Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සැමියා සහ පුතු වෙනුවෙන්
යුක්තිය ඉල්ලන මවක්

අතුරුදහන්වීම්, ලාංකීය සමාජ දේහයෙහි ඇති ‘සුව නොවූ තුවාලයක්’ මෙනි. ත්‍රිකුණාමලයේ පදිංචි දෙදරු මවක වන සුලෝෂනාගේ කතාව එහි වේදනාව හඟවන තියුණු නිදර්ශනයකි.

21.04.2017  |  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සුලෝෂනාගේ එක් අතක කොටින්ගේ වෙඩි උණ්ඩයට බිලි වු සිය සැමියාගේ සේයාරුවකි. නාදුනන තුවක්කු කරුවන් විසින් පැහැරගෙන ගිය තරුණ පුතුගේ සේයාරුව අනෙක් අතේය. ඇස් නිලංකාර වන ගිනි කාෂ්ඨකයේ  පාවහන් යුගළක්ද රහිතව මහ මග ඇවිද යන ඇය, දන්නා කියන හැමෝගෙන්ම අසනුයේ, අතුරුදහන් වු තම එකම පුතු ගැනය. ඇය යදින්නේ, මරා දැමුණු සැමියා වෙනුවෙන් යුක්තියත්, අතුරුදහන්වු පුතුගේ ජීවිතයත්ය.

“මම අවුරුදු නවයක්  තිස්සේ පුතාව හොය හොයා ඇවිදිනවා. පුතා මිය ගිය අයෙකු සේ සලකලා මරණ සහතිකයක් නිකුත් කරලා වන්දියක් දෙන්න පුළුවන් කියලා රජය කියව්වත්, ඒක ගන්න මගේ හිත වාවන්නෙ නැහැ. මගේ හිත කියන්නෙම පුතා කොහේ හරි ඉන්නවා කියලා..”

පළමු ගොදුර

ඒ 1987 වසරේ ඔක්තෝම්බර් මාසයේ අදුරු රාත්‍රියකි. එවකට සුලෝෂනලා පදිංචිව සිටියේ, ත්‍රිකුණාමලය මිහිදුපුර ගමේය. දුමිරිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු වු සුලෝෂනාගේ සැමියා සේවය නිම කර නිවසට පැමිණ දරුවන් දෙදෙනා සමග ඇදෙහි වැතිර සිටියේය. සුලෝෂනා සිටියේ, මුළුතැන්ගෙයි වැඩක නිරතවය. හදිස්සියේම නිවසට කඩා වැදුණු  මුහුණු වසා ගත් ආයුධ සන්නද්ධ පිරිසක් යම් අයෙකු පිළිබද විමසන්නට වූහ.

“ එයාලා ඇහැව්වේ මහත්තයාගේ මල්ලී ගැන.. ඒ ආවේ, කොටි සංවිධානෙ අය කියලා අපි දැන ගත්තා. මොකද අපේ ගමේ කොටි සංවිධානයට උදව් කරන අයත් එයාලා එක්ක ඇවිත් හිටියා. අපි එයාලට කිව්වා එයා මෙහේ නැහැ කියලා. එතන හිටිය කෙනෙක් මට කිව්වා බොන්න වතුර ටිකක් අරගෙන එන්න කියලා..මම කුස්සියට ගිහින් වතුර අරගෙන එද්දී මහත්තයයි ආපු අයයි නැහැ.මම අහල පහළ අයට කෑ ගහලා කියද්දී ටිකක් ඈතින් වෙඩි සද්දයක් ඇහුණා. මට එච්චරයි මතක. මට සිහිය එනකොට මහත්තයාගේ බොඩි එක ගෙදරටත් ගෙනල්ලා.”

/

සිය සැමියා වන ආරුමුගම් සිවානන්දන් වෙඩි තබා ඝාතනය කළේ කොටින් බව සුලෝෂනා සැක හැර කියන්නීය.

“අපේ ගමේ ඉස්සරහ කෑල්ලේ ඉන්නේ සිංහල අය. මහත්තයා මරන්න හදද්දී සිංහලෙන් කෑ ගහලා කියලා තියෙනවා කොටි මාව මරන්න හදන්නේ බේර ගන්න කියලා.මහත්තයා සිංහල අයව ආශ්‍රය කරන හිංදයි, හමුදාවට ඔත්තු දෙනවා කියන සැකේටයි මහත්තයා මැරුවා කියලා තමයි කොටි කියලා තිබුණේ..”

සැමියා මරා දැමීමෙන් පසු දරුවන් දෙදෙනා සමග දිවි කතරේ තනි වූ සුලෝෂනාට අන් සරණක් නොමැති තැන දරුවන් දෙදෙනා සිය මව භාරයේ තබා විදේශගත වන්නීය. නැවත ඇය ලංකාවට පැමිණෙනුයේ, සැමියාගේ විශ්‍රාම වැටුප ලැබීම ආරම්බවීමත් සමගය.

දෙවන දඩයම

“මහත්තයා කොටි මරද්දී දුවට අවුරුදු හයයි, පුතාට අවුරුදු හතරයි. මට මාසෙකට පැන්ෂන් එක විධිහට රුපියල් 2000ක් ලැබුණා. ඒක මදි නිසා මම ගෙවල් වලට ගිහින් කුලී වැඩ කළා. පුතාට පොඩි කාලේ ඉදන් හතිය තිබ්බා. ඒ නිසා පුතා 8 පංතියට විතරයි ස්කෝලේ ගියේ. ඒ වෙන කොට කොටි අරගෙන යයි කියන බයට මම දුවව කොන්වන්ට් එකක බෝඩ් කරලා ස්කෝලේ ඇරියේ. අවුරුදු 20 දී විතර පුතා වැඩ පුරුදු වෙන්න කියලා ගැරේජ් එකකට ගියා.. ඒ වෙන කොට අපි භාරතී පුරම් ගමේ හිටියේ.දවසක පුතා වැඩට ගිහින් හවස ගෙදර ඇවිත්  නිදා ගෙන ඉද්දී නිල් පාට ට්‍රක් එකක ආපු පිරිසක් පුතාව අරන් ගිහින් තියෙනවා. මම ඒ වෙලාවේ ගෙදර හිටියේ නෑ. ඒත් දුව ඉදලා තියෙනවා..”

නිල් පාට ට්‍රක් රථයකින් භාරතී පුරම් ගමට පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් සුලෝෂනාගේ පුතු සිවානන්දන් ප්‍රභාකරන්  ඇතුළු පිරිසක් මෙසේ පැහැර ගෙන යන්නේ, 2008 වසරේ පෙබරවාරි මස 05 වන දින සවස 6.45ට පමණය.

“ඒ වෙලාවේ මගේ දුව ගෙදර නනා ඉදලා තියෙන්නේ.. දුව දිය රෙද්ද පිටින්ම මගේ මල්ලී ගෙනියන්න එපා කිය කියා පස්සෙන් ගිහින් තියෙනවා. එයාලා දුවට දෙමලෙන් සිංහලෙන් කියලා තියෙනවා කට උත්තර අරන් එවනවා කියලා.සමහරක් අය පලයං බැල්ලී කියලා එලවලා.. දැකපු අය හැමෝම කිව්වේ එයාලා කරුණා පාටි එකේ අය කියලා.” තම පුතු පැහැර ගත්  පිරිස අතර රජයේ හමුදා සාමාජිකයන්ද සිටි බවට තොරතුරු ඇයට ලැබී තිබේ.

මවකට පුතකු තරම් වටින වස්තුවක් තවත් මෙලොව තිබිය නොහැක.

මවකට  පුතකු තරම් වටින වස්තුවක් තවත් මෙලොව තිබිය නොහැක. පුතු පැහැරගෙන යෑමෙන් පසු සුලෝෂනා ත්‍රිකුණාමලයේ නොගිය පොලිසියක් හෝ නොගිය කදවුරක් නැත. එසේම ඒ ප්‍රදේශයේ ඇය නොගිය දේවාලයක්, කෝවිලක්, පේන නිමිති සාස්තර කියන ස්ථානයක් නැති තරම්ය. ඒ හැම ස්ථානයකින්ම ඇයට කියන්නේ,එකම කථාවකි. ඒ ඉතා ඉක්මනින් පුතු ගෙදර එවන බවකි.

බොරු වුණ අනාවැකි

“උප්පුවේලි පොලිසියෙන් කිව්වා මාස හයකින් පුතා ගෙදර එවයි කියලා..සී.අයි.ඩී එක කිව්වෙත් ඒකමයි. ඒත්, ඒ මාස හය මේ වෙනකම් ආවේ නැහැ. මේ වෙන කොට පුතා අරගෙන ගිහින් අවුරුදු නවයකුත් වෙන්න ආවා.. ”

මෙම පැහැර ගැණීමෙන් මසකට පමණ පසු අසල්වාසියෙකු සුලෝෂනාගේ පුතු වු සිවානන්දන්  තවත් පිරිසක් සමග සුදු වෑන් රථයකින් පැමිණ  ත්‍රීකුණාමලය නගරයේ රැදී සිටිනු දැක තිබේ. එහිදී අසල්වාසියා දුටු සුලෝෂනාගේ පුතු පැලද සිටි කැප් තොප්පීයෙන් මුහුණ සගවා ගත් බවත්,ඔහු සමග සිටි අනෙක් අයවළුන් කරුණා කංඩායමේ අය බවත් අසල්වාසියා සුලෝෂනා හමුවේ හෙළි කර ඇත.

එම සිදුවීමෙන් තවත් මාස පහකට පමණ පසුව තම සහෝදරයා ට්‍රක් රථයක නැගී ත්‍රීකුණාමලය දෙසට ගමන් කරනු සුලෝෂනාගේ දියණිය ඇස ගැටී තිබේ. එහෙත්,ඇයට සිය සහෝදරයාට කතා කිරීමට ඉඩක් ලැබී නැත.

පුතු අතුරුදහන් වී වසර නවයක් ගත වී ඇතත්, සුලෝෂනා අදටත් තම පුතු සොයන්නීය. දන්නා කියන හැම අයෙකුගෙන්ම පුතු ගැන අසන්නීය. එහෙත් ඇයට මේ වන තෙක් කිසිදු පාර්ශ්වයකින් සාධාරණ පිළිතුරක් ලැබී නැත.


අතුරුදහන් වීම ලාංකීය සමාජය වෙළාගත් සංකීර්ණ සමාජ ගැටලුවකි. එයට උතුර- දකුණ කියා බේදයක් නැත. ඒවාට වගඋත්තරකාර පාර්ශ්ව එකක් නොව බොහෝ ගණනකි.

සෘජු ලෙස රජයේ ආරක්ෂක අංශවලට චෝදනා එල්ලවන සිදුවීම් කෙරෙහි යොමු වන තරම් අවධානයක් සෙසු පාර්ශ්ව චූදිතයන් වන සිදුවීම් සම්බන්ධයෙන් දක්නට නැත. සුලෝෂනාගේ කතාව, ඒ පිළිබද එක් සාක්ෂියකි.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් මේ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල  නොනවතින උපවාස මාලාවක් අරඹා තිබේ. එයින් වැඩි පිරිසකගේ චෝදනාව වී ඇත්තේ තම ඥාතියා පැහැර ගත්තේ හෝ මරා දැමුයේ ආරක්ෂක අංශ බවයි. සුලෝෂනාගේ කතාව ඊට වෙනස් වුවත්,  ඇය එම උපවාසයේ යෙදී සිටියි. ඇයට අවශ්‍ය සාධාරණයයි.

“මම තාමත් බලාගෙන ඉන්නේ මගේ පුතා ඉන්න ගැනකින් ඉක්මනටම මාව හොයා ගෙන එයි කියලා..”

සුලෝෂනා අතුරුදහන් පුතුගේ සේයාරුව මහත් සෙනෙහසින් ළමැදට තුරුලු කර ගනිමින් මුමුනන්නීය.