Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තොරතුරු හංගන්න
ආණ්ඩුවලට ඉඩදෙන්න එපා

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වී ලබන මාසයට අවුරුද්දකි. පනත නිල වශයෙන් ක‍්‍රියාත්මක වීම ආරම්භ කර මාස තුනකි. එම පනත ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයේ ප‍්‍රතිචාරය කෙබඳුද? ප‍්‍රකට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු මෙන්ම තොරතුරු කොමිසමේ සාමාජිකයකුද වන නීතිඥ එස්.ජී.පුංචිහේවා මහතා සමඟ ඒ සම්බන්ධයෙන් කළ සංවාදයකි.

12.05.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
නීතිඥ එස්.ජී.පුංචිහේවා

තොරතුරු පනත ක‍්‍රියාත්මක වුණු පසුගිය මාස තුන ගැන සිවිල් ක‍්‍රියාකාරිකයෙක් විදිහට ඔබ තෘප්තිමත්ද?

ඔව්. මේක ලංකාවට අලූත් පනතක්. මෙච්චර කල් ආණ්ඩු හංගගෙන හිටපු තොරතුරු දැන් ජනතාවට දෙන්න ඒගොල්ලො නීතියෙන් බැ`දිලා ඉන්නවා. දැන ආණ්ඩුවට කියන්න බෑ, ඒවා දෙන්න බෑ, ඒවා ඔයගොල්ලන්ට අදාළ නෑ වගේ කතා. ආරක්ෂාව වගේ අවස්ථා කිහිපයකදි හැරෙන්නට අනෙක් සියලූම දේවල් විවෘත විය යුතුයි. ඇත්තටම මේ පනතේ සාර්ථකත්වය රඳාපවතින්නේ ජනතා ක‍්‍රියාකාරිත්වය මතයි.

ලංකාවෙ තොරතුරු පනත ක‍්‍රියාත්මක වෙන්න පටන් අරන් මුල් ම මාසෙ, ඒ කියන්නෙ මාර්තු මාසෙ තොරතුරු ඉල්ලීම් තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ඇවිත් තිබුණා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අද තොරතුරු පනත වඩා සාර්ථකව ක‍්‍රියාත්මක වෙන ඉන්දියාවෙත් මුල්ම මාසෙ-දෙකේ මේ වගේ සාර්ථකත්වයක් තිබිලා නෑ. ඒකට හේතුව විදිහට මං දකින්නෙ ලංකාවෙ සාක්ෂරතාව වැඩි වීම. ජනතාව මේ ක‍්‍රියාකාරිත්වයෙදි ඉස්සරහින් හිටියට ඇතැම් රාජ්‍ය නිලධාරීන් තවමත් ඉන්නෙ සෑහෙන පසුපසින්. ඔවුන් මේ හුරුවුණු සංස්කෘතිය වෙනස් කරන්න කැමැති නෑ. ඒකට දිගටම දැනුවත් කිරීම් අවශ්‍යයි. ඒවා හැදෙන්න ටික කාලයක් ගත වෙයි.

ගැටලූ එක්ක තමයි අපි තවම වැඩ කරන්නෙ

මේ ප‍්‍රශ්නය අහන්නෙ සිවිල් ක‍්‍රියාකාරිකයාගෙන් නෙවෙයි, තොරතුරු කොමිසමේ සාමාජිකයාගෙන්. ජනතාව කොයි තරම් සක‍්‍රීය වුණත්, තොරතුරු පනත යටතේ ඉහළම බලයක් පවරලා තියෙන තොරතුරු කොමිසම තවමත් සක‍්‍රීය මදි කියන චෝදනාව කරන්න සිද්ධ වෙලා තියෙනවා…?

පිටතට එහෙම පේන්න පුළුවන්. ඒ වගේම ඒක සාධාරණයි. අපට තවම වෙනම කාර්යාලයක් නෑ. නියමිත කාර්ය මණ්ඩලය ලබා දීලා නෑ. දැනට තියෙන තාක්ෂණික පහසුකම් ප‍්‍රමාණවත් නෑ. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ කාමර දෙකක් විතරක් තියෙනවා. එතැනට ආවහම ජනතාවට විවෘතව කතා කරන්න මානසිකත්වයක් නෑ. කොමිසමෙන් යම් කරුණක් විමසන්න එන රාජ්‍ය නිලධාරියකුට හෝ මාධ්‍යවේදියකුට හෝ වාහනයක් පාක් කරන්න තැනක් නෑ. මේ වගේ ගැටලූ එක්ක තමයි අපි තවම වැඩ කරන්නෙ. ඒ නිසා ඔබ කරන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන්න බෑ. මේ අවුරුද්දෙ අයවැයෙන් මේකට සල්ලි වෙන් කරලා නෑ. ඒකත් මේ මූලික කරුණු හදාගැනීමේදී ගැටලූවක් වෙලා තියෙනවා.

ඒත් ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 76ක් කොමිසමට වෙන් කළ බවක් අපි මාධ්‍යවල දැක්කා…?

ඔව්. එහෙම මුදල් වෙන් කරලා තියෙනවා. ඔය ලෝක බැංකුවෙන් එන සල්ලි. මේ පනත ගේනකොට ලෝක බැංකුව පනතේ ක‍්‍රියාකාරිත්වයට අවශ්‍ය මූලික මූල්‍ය සහයෝගය ලබාදෙන බව කිව්වා. ඒත් රාජ්‍ය ආයතන හරහා සල්ලි එන එකේ ප‍්‍රමාදයන් තියෙනවා. ඒ නිසා කොමිසමට පහසුකම් සැපයීමේ ප‍්‍රමාදය තවම එහෙමමයි. උදාහරණයක් විදිහට කොමිසමේ කාර්ය මණ්ඩලය 19 ක් ඉන්න  ඕනෙ. ඒත් තවම පත් කරලා තියෙන්නෙ හයයි, නැත්නම් හතයි.

ආණ්ඩුවලට  ඕනෙ තොරතුරු හංගන්න

2016 ජුනි මාසෙ සම්මත වුණු මේ පනතට අදාළ මූලික වැඩ ටික කරන්න අවුරුද්දකදිත් බැරි වෙලා තියෙනවා. ඒ කියන්නෙ පොරොන්දු වුණු හින්දා පනත ගෙනාවට දැන් ඒක අක‍්‍රීය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා වගේ…?


මං මුලදිත් කිව්වා වගේ ආණ්ඩුවලට  ඕනෙ තොරතුරු හංගන්න. ආණ්ඩු කැමැති නෑ ජනතාව මේවා ඔක්කොම දැනගන්නවට. ඒක නිසා බාධා කිරීම් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න  ඕනෙ.

ඒත් කොමිසමේ වැඩවලට නම් මෙතෙක් කිසිම බාධා කිරීමක් කරලා නෑ. විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශය අපේ වැඩ වලට ලොකු සහයෝගයක් දෙනවා. කවුරුත් මේ වැඩවලට ඇඟිලි ගහන්න ආවෙ නෑ.

ආණ්ඩුවට මේක අක‍්‍රීය කරන්න තියෙන විදිහ තමයි අයවැයෙන් සල්ලි වෙන් කරන එක අඩු කරලා, පහසුකම් නොදී ඉන්න එක. දැන් මේක නීතියක් විදිහට සම්මත වෙලා තියෙන හින්දා ආණ්ඩුවට මේක නැති කරන්න බෑ. ක‍්‍රමයෙන් අක‍්‍රීය වෙන්න ඉඩහරින්න පුළුවන්. ඒත් ඒ ගැන හරියටම කියන්න තවම කල් වැඩියි. තවම මාස තුනයි නෙ ගතවුණේ. රාජ්‍ය ආයතන වල ඔය මන්දගාමී සංස්කෘතිය වෙනස් කරන එකත් ලේසි නෑ.

එතකොට පොරොන්දු ඉටු කළා කියලා හැමතැනම කිව්වට වැඬේ කෙරෙන්නෙ අනෙක් පැත්තට, ජාතික විගණන පනතේ ඉරණම මේකටත් අත්වෙයි ද…?

ඒක හරියටම කියන්න තවම කල් වැඩියි. ඒත් එහෙම වෙන්න පුළුවන්. මොකද මේ පනත ගෙනාවෙත් ආණ්ඩුවට මගහරින්න බැරි තරම් ජනතා බලපෑමක් ආපු හින්දා. නැත්නම් ඔබ කියපු විදිහට ජාතික විගණන පනත වගේ ම මේකත් තව තව ප‍්‍රමාද වෙන්න තිබුණා. ඒත් සිවිල් සංවිධාන සෑහෙන්න මේකට මැදිහත් වුණා. ඒක හින්දා විගණන පනත වගේ එක තැනක හිර කරලා කල් මරන්න ආණ්ඩුවට බැරි වුණා.

විගණන පනතේ ඉරණම මේකට අත්වෙන්නෙ නෑ

කොහොම වුණත් විගණන පනතේ ඉරණම මේකට අත්වෙන්නෙ නෑ. දැන් මේක නීතියක් වෙලා ඉවරයි. ඒ නීතිය ශක්තිමත්. කොච්චර ශක්තිමත් නීති තිබුණත් ඒවා හරියට ක‍්‍රියාත්මක වෙන්නෙ නැත්නම් වැඩක් නෑනෙ. ඒක හින්දා මේ පනත ගේන්න බලපෑම් කරපු සිවිල් සංවිධාන වලට වැඬේ අතහරින්න බෑ. ජනතාවට මේ වැඬේ අතහරින්න බෑ. ජනතාව තවදුරටත් අවදියෙන් ඉන්න  ඕනෙ. ආණ්ඩුවට බලපෑම් කරන්න  ඕනෙ මේ නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් සපයාගන්න.

බලාධිකාරය තියෙන්නෙ ආණ්ඩුවට. ආණ්ඩුව මේක අක‍්‍රීය කරන්න පුළුවන් හැමදේම කළොත්…?

මං හිතන්නෙ නෑ ඒ වගේ තැනකට ආණ්ඩුව පත් වෙයි කියලා. ආණ්ඩුවට එහෙම කරන්නත් බෑ. මොකද ජනතාව මේ පනත ගැන හරිම උනන්දුයි. ඒක මේ මාස තුනේ හොඳට දැක්කා. තොරතුරු ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් රාජ්‍ය ආයතන වලට ඇවිත් තියෙනවා. ඇතැම් තැනකින් ඒ වැඬේ නොකෙරෙන අවස්ථාවල කොමිසමට පවා ඔවුන් ආවා. කළුතර නගර සභාවෙ සංවර්ධන ව්‍යාපෘති ගැන තොරතුරු කිහිපයක් ඉල්ලලා ඒ නිලධාරීන් ඒවා දෙන්න බෑ කියලා. ඊට පස්සෙ ඒ ඉල්ලීම කරපු කෙනා කොමිසමට අභියාචනා කළා. අපි දෙපාර්ශ්වයම ගෙන්නලා කතා කරන කොට නගර සභාවෙ නිලධාරීන් එතැනදිම ඒ තොරතුරු දුන්නා. නැත්නම් වැඩ වරදිනවා කියලා ඒ නිලධාරීන් දැනගත්තා. ජනතාව මේ විදිහට සකී‍්‍රය වීම තමයි පනත හරියට ක‍්‍රියාත්මක කරගන්න පුළුවන් එකම ක‍්‍රමය. ජනතාව දිගටම මේකත් එක්ක ඉන්න කොට අනෙක් නීති වගේ මේක යට ගහන්න ආණ්ඩුවට හැකියාවක් නෑ. රාජ්‍ය නිලධාරීන්ටත් මේ සංස්කෘතියට යටත් වෙන්න සිද්ධ වෙනවා.

මේ සංස්කෘතියට හුරුවෙන්න යම් කාලයක් ගත වෙයි

ඔබ කියපු කළුතර උදාහරණය ගැන කතා කළොත්, අදාළ ආයතනයෙදි ජනතාවට පරණ විදිහටම සද්දෙ දාලා කොමිසමේදි ෂේප් වෙන්න ඒ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. යාපනයේ, අම්පාරේ වගේ මෙහෙම සිද්ධියක් වුණොත් ඒ තොරතුරු ඉල්ලපු පුද්ගලයට කොමිසමෙන් සාධාරණය ඉටු කරගන්න කොළඹට එන්න-යන්න කොච්චර වියදමක් යනවද, මේවට අදාළව ඒ නිලධාරීන්ට විරුද්ධව මොනව හරි පියවරක් ගන්න බැරිද?

එහෙම ප‍්‍රතිපාදනයක් පනතෙ නෑ. ඒ නිලධාරීන් කොමිසමේදි අදාළ තොරතුරු දීපු නිසා එතැනින් ඒක ඉවරයි. කොමිසමේදිත් ඒ තොරතුරු දෙන්න බෑ කිව්ව නම් අධිකරණය දක්වා යන්න පුළුවන්. ඔබ කියන එක හරි. ඇතැම් අවස්ථාවලදි ජනතාවට කොළඹට එන්න-යන්න වියදම, රස්තියාදුව දරාගන්න වෙයි. ඒ්ත් ඔය විදිහට සිදුවීම් වෙනකොට රාජ්‍ය නිලධාරීන්ට පණිවිඩයක් යනවා, මේකෙන් ගැළවෙන්න බෑ කියලා. එතකොට ඔවුන් ඒ තොරතුරු අදාළ ආයතනයෙදිම ලබා දෙන්න පෙළඹෙයි. මං දිගටම කිව්වා වගේ මේ සංස්කෘතියට හුරුවෙන්න යම් කාලයක් ගත වෙයි. ඒක ඉක්මන් කරගන්න එක අපේ වැඩක්.

නීතිඥ එස්.ජී.පුංචිහේවා

ආයතන සංග‍්‍රහය වගේ මේ පනතත් එක්ක හැප්පෙන කොටස් නිසා රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට පත් වෙලා තියෙනවා. ඉහළ නිලධාරියගෙන් බේරෙන්නත්  ඕනෙ, වැඬේ කරන්නත්  ඕනෙ…?

ආයතන සංග‍්‍රහයේ දෙවැනි කොටසේ තිබුණු තොරතුරු දෙන්න එපා කියන කොටස ඉවත් කළා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඒක නිසා ඒකෙ දැන් ප‍්‍රශ්නයක් නෑ. ඒ වගේ හඳුනාගත් මේ නීතියත් එක්ක පරස්පර වෙන නීති රැසක් වෙනස් කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒ වගේම පනතේ පැහැදිලිව සඳහන් වෙනවා, මේ නීතියත් එක්ක යම් නීතියක් හැප්පෙනවා නම් මේක ඒවට ඉහළින් තියෙනවා කියලා. ඔය වගේ කාරණා ප‍්‍රායෝගිකව මේක ක‍්‍රියාත්මක වෙනකොට තවත් මතුවෙයි. ඒවා ඒ අවස්ථාවෙදි ම විසඳන්න  ඕනෙ.

ආයතන සංග‍්‍රහය වෙනස් කළා කියලා කොමිසමට දැනුම් දුන්නට තවම ඒකට අදාළ ගැසට් නිවේදනයක් නම් පිට කළේ නෑ…?

අපිට එහෙම දැනුම් දුන්නා. ගැසට් එක ගහන්න  ඕනෙ තමයි. මං ඒ ගැන බලන්නම්.  ඕක තමයි රාජ්‍ය යන්ත‍්‍රණය හුරු වෙලා තියෙන සංස්කෘතිය. ඔය සංස්කෘතිය තමයි, මේ පනත හරියට ක‍්‍රියාත්මක කිරීම හරහා වෙනස් කරගන්න  ඕනෙ.

සිවිල් සංවිධාන ජනතාව දැනුවත් කරන්න ඕනෙ

මේ පනත සම්බන්ධයෙන් ජනතාව වගේම රාජ්‍ය නිලධාරීන් පවා ප‍්‍රමාණවත් අවබෝධයකින් කටයුතු නොකරන බවයි ඇතැම් අයගෙ අදහස…?

ඔව්. ඒක පිළිගන්න වෙනවා. තවදුරටත් දැනුවත් කිරීම් කරන්න  ඕනෙ. දැනුවත් කළත් ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තමන් පුරුදු වුණු සංස්කෘතිය වෙනස් කරන්න මැලිකමක් දක්වනවා. අනෙක් අතට කොමිසමට මේ දැනුවත් කිරීම් කරන්න තියෙන පහසුකම් ප‍්‍රමාණවත් නෑ.


පහසුකම් තියෙන රාජ්‍ය ආයතන ඒ වැඩසටහන් වලට සහයෝගය දෙන්න කැමැති නෑ. ඒක නිසා සිවිල් සංවිධාන හැකි තරම් ජනතාව දැනුවත් කරන්න මැදිහත් වෙන්න  ඕනෙ. ඒ වැඬේ දැනටමත් සෑහෙන තරම් ඔවුන් කරනවා.

මොනවද එහෙම අකැමැති රාජ්‍ය ආයතන…?

ඔය ස්ලිඩා එක වගේ ඒවා.

ඇයි ඔවුන් එහෙම ප‍්‍රතික්ෂේප කරන්න හේතුව…?

ඔවුන්ට රාජ්‍ය නොවන සංවිධාන වගේ ඒවා එක්ක වැඩ කරන කොට වාසි වැඩියි. ඒක වෙන්න ඇති හේතුව.

ඉතින් ආණ්ඩුවට නිල වශයෙන් ඔය පහසුකම් සපයන්න මැදිහත් වෙන්න පුළුවන්නෙ…?

ඔව්. ඒත් එහෙම මැදිහත් නොවන ගැටලූවක් තියෙනවා.

ඒ කියන්නෙ අපි මුලින් කතා කරපු කාරණය හරි. ආණ්ඩුවට මේක අක‍්‍රීය කරන්නයි  ඕනෙ…?

එහෙම උත්සාහයක් තියෙන්න පුළුවන්. මං මුලදිත් කිව්වා වගේ ඒක තවම හරියට පේන්නෙ නම් නෑ. ජනතාව සහ සිවිල් සංවිධාන විදිහට මේ නීතියට මැදිහත් වෙන ප‍්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නෙ. බලපෑම වැඩි වෙන තරමට ආණ්ඩුවට මේකෙන් කරඅරින්න බෑ.