Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පාරට වැටුණු රණ විරුවා සහ
දියණිය සොයන අම්මා

යුද්ධය අවසන් වී අට වසරක් ගෙවී ඇතත් තවමත් විසඳාගැනීමට නොහැකි වූ ගැටලූ බොහෝ ගණනකි. මේ කතා දෙකෙන් හෙළි කර දක්වන්නේ ඒ අඳුරු පෙදෙසය.

03.06.2017  |  
වවුනියාව දිස්ත්‍රික්කය

”ශ්‍රේෂ්ඨ රණවිරුවකු ලෙස ඍජු වූ වික‍්‍රමාන්විතභාවය, අවංකභාවය, නිර්භීතභාවය මෙන්ම අපමණ කැපවීම්ද දක්වාලමින් රුදුරු ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් ශ‍්‍රී ලංකාද්වීපය මුදවා ගැනීම සඳහා ඇරඹුණු මානුෂීය මෙහෙයුමේදී සක‍්‍රිය දායකත්වය ලබා දී දැක්වූ ආදර්ශමත් කැප කිරීම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ හමුදාපති වශයෙන් මම ගෞරව පූර්වක වූ මහත් ප‍්‍රණාමයෙන් අගය කරන බව මෙයින් සැල කරමි”

ඒ අභිමානවත් සහතික පත හිමි, ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ලා/කෝ චන්දන මට හමුවූයේ, ඔහු වර්තමානයේ රැුකියාව කරන ‘මහ මග’දීය. 2009 නොවැම්බර් මස 6 වන දින හමුදාපතිවරයා විසින් ලබා දුන් ඒ සහතිකය හැරුණු විට, තවත් වැදගත් ලියකියවිලි කිහිපයක්ද ඔහු සතුව තිබේ. 2015 අපේ‍්‍රල් මස 24 වැනි දා හමුදාපතිවරයා විසින් නිකුත් කර ඇති, හමුදා සේවයෙන් අස් කිරීමේ සහතිකයද, ඔහුට සිදු කරන ලද සැත්කමට අදාළ වෛද්‍ය වාර්තාද ඒ අතර වෙයි.

ඒ කිසිදු ලියැවිල්ලක සටහන් නොවුණු දිගු කතාවක්ද ඔහු සතුව තිබිණි. ‘හිටපු රණවිරුවා’ ඒ කතාව මා ඉදිරියෙහි සෙමෙන් දිග හැරියේය.

‘රට වෙනුවෙන්’ පෙරට

මුතුමුනී සිරිමාල් චන්දන යුද හමුදාවට බැඳුණේ 1993 මැයි මස 19 වන දිනය. මවුපියන්ගේ නෑදෑ හිතවතුන්ගේ විරෝධය නොතකා රට වෙනුවෙන් යුද්ධ කරන්නට ඔහු හමුදාවට බැඳුණේය. දුෂ්කර පුහුණුවීම් අතරතුර ඔහුගේ උදර ප‍්‍රදේශය තැළීමකට ලක් වූයේය. එකී ආබාධය පවා යටපත් කරමින් පුහුණුවීම්වලින් අනතුරුව ක‍්‍රියාන්විත රාජකාරිවල නිරත වූයේය. වෙත්තලකේනි, කිලිනොච්චි, විශ්වමඩු ඇතුළු අධිආරක්ෂිත කලාපවල පවා චන්දන දරුණු සටන්වල නිරත වූයේය. තුන්වන ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළකු ලෙස චන්දන හත්වන ආරක්ෂක වළල්ලේද ක‍්‍රියා කළේය.

හමුදාවට බැඳුණු මුල් අවධියේ ඔහුගේ මූලික වැටුප රුපියල් 2856 ක් විය. ක‍්‍රියාන්විත රාජකාරිවල නිරත වීමත් සමඟ චන්දනගේ මූලික වැටුප රුපියල් 26,000ක් දක්වා වැඩි කර තිබිණි. 2002 වසරේ විවාහ වූ චන්දන දරුවන් තිදෙනකුගේ පියෙකි. 2014 වර්ෂයේ රාජකාරිවල නිරතව සිටියදීම චන්දන හදිසියේ අසනීප වූයේය. මුත‍්‍රා මාර්ගයෙන් ලේ පිට වීමත් සමඟ ඔහු කරාපිටිය මහ රෝහලේ 46 වන වාට්ටුවට ඇතුළත් වූයේය. එසේ කරන්නට සිදු වූයේ ලැබුණු කෙටි නිවාඩුවට ගෙදර ආ දිනයකය. මුත‍්‍රාශයේ ස්නායු අක‍්‍රිය වීම සහ වකුගඩුවක ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට හදිසි ශල්‍යකර්මයක් සිදු කෙරිණි. ශල්‍යකර්මයත් සමඟ මුත‍්‍රා ඉවත් කිරීම සඳහා විකල්ප පද්ධතියක් ශරීරයේ බාහිරව සවි කළේය.

රැකියාව අහිමි වීම

දිගු කලක් රෝහල් ගතව සිටි ඔහුට ඉන් පසුවත් සේවයට වාර්තා කිරීමට හැකි වූයේ නැත.
සෞඛ්‍ය තත්ත්වය මත සේවයෙන් විශ‍්‍රාම ලැබීමට ඔහු දැරූ උත්සාහයද සාර්ථක වූයේ නැත. 1995 සිට 2014 දක්වා වසර 19ක් සේවය කළ ඔහුට අවසානයේ හිමි වූයේ නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් කිරීමේ සහතිකය පමණි. ”දීර්ඝකාලීනව නිවාඩු නොගෙන සේවයට නොපැමිණීම හේතුවෙන් කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් සිදු නොකර සේවය තවදුරටත් අනවශ්‍ය සේ සලකා 2015.04.24 දින සිට බලපැවැත්වෙන පරිදි ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡුා බළ සේනාවෙන් නීත්‍යනුකූලව අස්කර ඇති බැව් දන්වා සිටිමි” යනුවෙන් එහි සඳහන් කර තිබේ.


ශල්‍යකර්මයෙන් පසුව ඔහුට කිසිවක් කර කියා ගත නොහැකි විය. ටික කලක් ඔහුත් බිරිඳත් දරුවන් තිදෙනාත් යැපුණේ අවට නිවෙස්වලින් ලැබුණු ආහාරවලිනි. හැමදාම අසල්වාසීන්ට බරක් වීමට බැරි තැන ඔහු තීරණයක් ගත්තේය.

අභිමානය අත්හැරීම

පදක්කම්, කීර්තිය, ගෞරවය, ආත්ම අභිමානය යන සියල්ලම දරුවන් වෙනුවෙන් අතහැර දැමූ චන්දන එක් අතකින් මුත‍්‍රා බෑගයද එල්ලාගෙන මහ පාර අයිනේ ඉටිරෙදි කැබැල්ලක් මත හිඳ ගත්තේය. ඔහු අදත් ජීවත් වන්නේ මගීන්ගෙන් ලැබෙන සිල්ලර කාසිවල පිහිටෙනි. දරුවන් තිදෙනකු නඩත්තු කරගැනීමට නොහැකි වූ චන්දන එක් දරුවකු මහණ කරන්නට විහාරස්ථානයකට දුන්නේය. සෙසු දරුවන් දෙදෙනාත් බිරිඳත් දැන් ජීවත් වන්නේ චන්දන පදික වේදිකාවේ සිඟමන් යැද එකතු කර ගන්නා මුදල්වලිනි. චන්දනගේ මේ ආබාධිත තත්ත්වය සලකා මාසිකව රුපියල් හාරසිය පනහක දීමනාවක් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලැබෙන බව ඔහු කීවේය.

”මට වෙන කරන්න දෙයක් නෑ. ශල්‍යකර්මයෙන් දාපු මුත‍්‍රා මල්ල නිසා අතේ පයේ රස්සාවක් කරගන්න බෑ. දරුවෝ දෙන්නා ජීවත් කරවන්න  ඕන නිසා ලැජ්ජාව, කීර්තිය, අභිමානය පැත්තකින් තියලා මහ පාරට බැස්සා. සමහර දවස්වලට රුපියල් 2000 ලැබිලා තියෙනවා. සමහර දවස්වලට පන්සීයයි හයසීයයි. හැමදාම පාරේ ඉන්න බෑ. දවස් තුනක් හිටියොත් අනිත් දවස් තුනේ ඉන්න බෑ අසනීප වෙනවා.” කාෂ්ඨක අව්වේ දූවිලි කකා මාතර පදික වේදිකාවේ සිටි චන්දන අපට කීවේය.

මහ පාරේ සිඟමන් යදින ඔහු වැඩ ඇරී ගෙදර යන්නාක් මෙන් හවසට ගෙදර යයි

ඔහු මාසිකව මාතර මහ රෝහලේ 3 සහ 5 යන වාට්ටුවල සායනවලටද යා යුතුය. ඒ සඳහා බස් ගාස්තුව පවා මගීන්ට අතපා ඉල්ලා ගන්නවා හැර ඔහුට අන් මඟක් නැත. මහ පාරේ සිඟමන් යදින ඔහු වැඩ ඇරී ගෙදර යන්නාක් මෙන් හවසට ගෙදර යයි. පියා ගෙදර එනතුරු දරුවෝ මඟ බලා සිටිති. රණවිරු පියා මහමඟ සිඟමන් යැද මුදල් උපයාගෙන එන බව ඒ දරුවන් දන්නේ නැත.

”මම පේමන්ට් එකේ ඉන්න සමහර දවස්වලට කුණු වෙච්චි දෙහි ගෙඩි, කෙසෙල් ගෙඩිවලින් මට දමලා ගහපු දවස් තිබුණා. මම ඉන්න තත්ත්වයවත් මට මෙහෙම කරන්න වුණේ ඇයි කියලවත් ඒ අය දන්නේ නැතිව ඇති” ඔහු වේදනාබරව පැවසුවේය.

දියණිය සොයන මව

සෙල්ලකුමාර් ජයවනිතා අම්මා සිටින්නේද මහ පාරේය. ඇය වව්නියාවේ පදිංචිකාරියකි. ජයවනිතා අම්මා සමඟ තවත් අම්මාවරුන් වව්නියාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ උපවාස කරන්නේ අතුරුදන් කළ තම දරුවන්ට සිදු වූයේ කුමක්දැයි දැනගනු පිණිසය. අතුරුදන් වූ දරුවන් සොයා කිලිනොච්චියෙත් ත‍්‍රිකුණාමලයෙත් වව්නියාවෙත් අම්මාවරුන් මහ පාරේය. අතුරුදන් වූ සිය දියණිය සොයා දෙන්නැයි ඉල්ලන සෙල්ලකුමාර් ජයවනිතා අම්මාගේ කතාව අතුරුදන් වූවන් පිළිබඳව සමීප රූපයකි.

”මගේ දුව 2009 මාර්තු හතර වෙනිදා වෙල්ලමුල්ලි වයික්කාල්වලදී අතුරුදන් වුණා. මොනවා වුණාද කියලා දන්නෙ නෑ. හැම තැනම හෙව්වා. දරුවා අතුරුදන් වෙද්දි වයස අවුරුදු 17 යි. 2015.01.07 වෙනිදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පත‍්‍රිකාවක් මෙහේ බෙදුවා. ඒ පත‍්‍රිකාවේ ඉන්නේ මගේ දුව මේ බලන්න” යැයි ඉකි ගසමින් ඇය අපට එම පත‍්‍රිකාව දිගහැර පෙන්නුවාය.

”ඒක දැකපු ගමන් මට තේරුණා මගේ දරුවා කොහේ හරි ඉන්නවා කියලා. අනේ මට මගේ දරුවා හොයලා දෙන්න…”

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නමින් යාපනයේ බෙදා ඇති අත්පත‍්‍රිකාවේ මෛත‍්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයා සමීපයේ සිිටින දියණිය ඇගේ දියණියද නැතිනම් ඊට සමාන වෙන අයකුදැයි අප දන්නේ නැත.


ඇගේ මේ සරල පැනය විසඳා දීමට කිසිවකු ඉදිරිපත් නොවීම කනගාටුදායකය.

යුද්ධයට සහභාගී වී, රණ විරුවකු ලෙස සහතික ලත් මුතුමනි චන්දනගේ කතාවත්, යුද සමයේ අතුරුදන් වූ දියණිය ගැන තොරතුරක් ඉල්ලා අට වසරක් තිස්සේ වැලපෙන සෙල්ලකුමාර් ජයවනිතා මවගේ කතාවත්, යුද්ධයේ නොවිසඳුණු ගැටලූ දස දහස් ගණනකින් දෙකක් පමණි. යුද්ධයෙන් ලැබුවේ යැයි කියන ජයග‍්‍රහණයත් සමග, රටක් ලෙස අප ලැබූ පරාජයන් බොහෝ ගණනක්ද ඈඳී තිබේ. යුද්ධයෙන් පසුව අට වසරක් ගතවීත් විසඳාගත නොහැකි වූ මානුෂික ගැටලූ සම්භාරය ඒ අතරින් ප‍්‍රමුඛ වේ.