Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සම්මුතිවාදී දේශපාලනය තුළ
දෙමළ ජනතාවට ලැබෙන දෙයක් නැහැ !

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී සිවශක්ති ආනන්තන් ඔහුගේ ඡන්ද කොට්ඨාසය තුළ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු, දෙමළ දේශපාලන පක්ෂ අතර පවතින බෙදීම් හා කාන්තාවන් දේශපාලනය තුල ඔවුන්ගේ හඬ අවදි කිරීමේ වැදගත්කම පිලිබඳ ව සවිස්තරාත්මක සංවාදයක යෙදෙයි.

19.06.2017  |  
යාපනය දිස්ත්‍රික්කය

යුද සමයේ අතුරුදහන් වූ තම ආදරණීයයන් ගැන ඔවුන්ගේ ඥාතීන් තවමත් සොයමින් සිටිනවා. සත්‍යය ඉල්ලා අදටත් උද්ඝෝෂණ, පෙළපාලි උතුරේ පැවැත්වෙනවා. නමුත් බොහෝ අයට ඔවුන් අමතක වී ඇති බවයි පෙනෙන්නේ. මේ ගැන දෙමළ ජාතික සන්ධානයේ (T N A ) ස්ථාවරය කුමක්ද ?

සිවශක්ති ආනන්දන් : අතුරුදන් වුවන්ගේ ඥාතින් බොහෝ තර්ජන ගර්ජන මැද මෙම ප්‍රශ්නයට නිසි අවධානය ලබාගන්න දැඩි උත්සාහයක යෙදුනා පසුගිය වසර අට පුරා. ඔවුන් හොඳාකාරවම දන්නවා මෙහිදී අප කළ වැඩ කොටස. රජය 2015 දී වෙනස් වුවත් මේ පිරිසගේ අරගලය එලෙසමයි. දේශපාලන පක්ෂයක් ලෙස අපි පාර්ලිමේන්තුවේදී අගමැතිතුමාට ප්‍රශ්නය යොමු කලා. රජය මෙහිදී දරන මතය අපට පැහැදිලි කලා. නමුත් රජයෙන් නිසි පිළිතුරක් නැහැ. එයින්ම පැහැදිලියි රජයට මෙම ප්‍රශ්නයට මුහුණ දීමට අපහසුයි.

පක්ෂ සාමාජිකයෙකුගේ උත්සාහය නිසා, අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම්වල වැදගත්කම අවධාරණය කෙරෙන ලිපි 7000කට ආසන්න ගණනක් රජයට යොමු කරන්න හැකි වුණා. නමුත් යම් පියවරක් ගැනීමට රජයට බල කරන්න එය ශක්තිමත් මදි වුණා. සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරන්න අපේ දේශපාලන නායකයින් සමත් නැහැ. ඔවුන් ප්‍රශ්නවල පැටලිලා ඉන්නේ. ප්‍රචණ්ඩකාරී නොවන උද්ඝෝෂණයක සැබෑ බලය ඔවුන්ට අවබෝධ කරගන්න බැහැ. මේ සඳහා ජනතා අරගලයක් ඇතිවිය යුතුයි. සියළුම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන මෙහිදී එක්විය යුතුයි. මම ඔවුන්ට අභියෝග කරනවා මෙම බලවේගය ඇතිකරන්න කියලා.

ලාංකීය දෙමළ ජනතාව නොයෙකුත් ප්‍රශ්න සමඟ ගැටෙමිනුයි ජීවත්වන්නේ. මේ ප්‍රශ්නවලට යම් හෝ විසඳුමක් සොයාගන්න  ෙදමළ දේශපාලන නායකත්වයෙන් කොයි ආකාරයක සහායක්ද මෙම ජනතාවට ලැබෙන්නේ ?

සිවශක්ති ආනන්දන් : අපට මේ ලබා දී තිබෙන ජනතා වරම හරහා ඔවුන්ගේ ප්‍රශ්න ගැනයි අපගේ අවධානය යොමුවිය යුත්තේ. ඔවුන්ගේ ඡන්දය ලබාදී අප පත් කළේ ඔවුන්ගේ නියෝජිතයින් ලෙසයි. ඒ ඔවුන් වෙනුවෙන් යමක් කරයි කියන බලාපොරොත්තුවෙන්. එනිසා දේශපාලන නායකයින්ට බැහැ සියලු සැපසම්පත් මැද ආරක්ෂාකාරීව සතුටින් ජිවත් වෙමින් මේ ප්‍රශ්නය මඟහරින්න.

කෙසේවෙතත්, ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ප්‍රමුඛ නියෝජිතයා ලෙස පෙනී සිටින ශ්‍රීලංකෙයි තමිල් අරසු කච්චි ( Illankai Tamil Arasu Kachchi ), ජනතාවගේ අරගලවලදී ක්‍රියාකාරී නැති බවයි හැඟෙන්නේ. ඔවුන් කියන ආකාරයට මේ ක්‍රියාකාරී ජනතා අරගල නිසා රටේ දකුණේන් ඇතිවිය හැකි ප්‍රතිචාර මත, රජයේ මතය වෙනස් වී තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. මෙය ආත්මාර්ථකාමී, අවස්ථාවාදී මතයක්. දේශපාලන පක්ෂයක් ලෙස ඔවුන් අවස්ථාවාදී ව තම මතය වෙනස් කරනවා.

අනෙක් පසින් සිටින දේශපාලන පක්ෂ දෙකේ මතය මිට හාත්පසින්ම වෙනස්. මම මෙහිදී අදහස් කරන්නේ ජනතා අරගල සාධාරණිකරණය කරමින් නමුත් ක්‍රියාකාරීව සම්බන්ධ නොවීම, වැරදි දේශපාලන මතයක්. අපි නිතරම සිටින්නේ ජනතාවගේ පැත්තේ. අපි වැඩ කරන්නේ ජනතාවගේ නියෝජිතයින් ලෙසයි.


අද සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙකුට, ක්‍රියාකාරි දේශපාලන පක්ෂයකට සේවය කරන ආකාරය ගැනවත්, අරමුණක් ඇතිව වැඩ කිරීම ගැනවත් හරි අත්දැකීම් නැහැ. ජනතා අරගලවලට ක්‍රියාකාරීව සම්න්ධ නොවීමට මෙය ප්‍රධාන හේතුවක්.

උතුරේ හා නැගෙනහිර වෙසෙන රැකියා විරහිත උපාධිධාරීන්, ලංකාවේ අනෙකුත් පළාත්වල ජිවත්වන රැකියා විරහිත උපාධිධාරීන්ට වඩා සංකීර්ණ බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මෙයට ඇති විසඳුම කුමක්ද ?

සිවශක්ති ආනන්දන් :  මෙම රජය බලයට පත්වූ පසු පොරොන්දු වුණා රැකියා මිලියනයක් ඇතිකරන්න. ඒක තවත් හිස් වචන ගොඩක් විතරයි. වසර ගණනාවක් ඇදුනු සිවිල් යුද්ධය මත සියලු වැරදි පටවලා, පාලක පන්තිය මේ ප්‍රශ්නය මගහැරියා. මෙය දිගින් දිගටම කල නොහැකියි. පාලක පන්තියේ මේ මතය තවදුරටත් රහසක් නොවෙයි. අපේ තරුණ පරම්පරාව, තමන්ගේ ජීවිකාව තහවුරු කරන ඕනෑම අංශයක රැකියා කරන්න සුදානම්. මෙවැනි තරුණ තරුණියන්ට රැකියා සොයාගන්න සහායක් ලෙස, ශ්‍රමය හා රැකියා පිලිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් මෙම රජය සකස් කලයුතුයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අනුකමිටුවේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිපදෙනකුම සිටියද දෙමළ ජනතාව හා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න කොන්කර තිබෙන බවයි බොහෝදෙනකුගේ මතය?

සිවශක්ති ආනන්දන් : නව කමිටු හා විවිධ කොමිසම් පත්කිරීම පිලිබඳ මෙම රජය බොහොම ප්‍රසිද්ධයි. මේ කල් මැරීමට ගන්නා උත්සාහයන්. මෙම කමිටු රිසි පරිදි කාලය අරගෙන වාර්තා ඉදිරිපත් කරනවා නමුත් ඒවායින් කිසි ප්‍රතිපලයක් නැහැ. මේක තමයි රජය ගෙනයන වැඩපිළිවෙල. එක්සත් ජාතින්ගේ සංවිධානය මතුකළ කරුණු වලටත් සිදුවන්නේ මෙයමයි. මෙවැනි තත්ත්වයක් තුළ අපට අළුත් ව්‍යවස්ථාවක් බලාපොරොත්තු වන්න පුලුවන්ද ? එය තුල දෙමළ ජනතාව මුහුණ දෙන සාධාරණ ප්‍රශ්නවලට පිළිතුරු තියෙයිද ? මේක මහා අභිරහසක් හරියට මෙගා ටෙලි නාට්‍ය වගේ. අපේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලත් පිටතදීත් සටන් කරන්නයි අද අපිට සිදුවෙලා තියෙන්නේ. මේ සම්මුතිගත දේශපාලනය තුළ කිසිවක් ඉටුවෙන්නේ නැහැ. මෙය කවුරුත් දන්නා කරුණක්.

සෑම පාර්ශවයක්ම මැතිවරණය ගැන කඹ ඇදීමක ඉන්නේ. ඇයි ඒ ?

සිවශක්ති ආනන්දන් : දේශපාලන රාමුවේ බල කේන්ද්‍රයේ සිටින අය කල්මරමින් බලා සිටිනවා. නැවත මැතිවරණයක් පවත්වන්නේ තත්ත්වය ඔවුන්ට වාසිදායක නම් පමණයි.

/

ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැදගත් වන්නේ ඇයි ?

සිවශක්ති ආනන්දන් : ශ්‍රී ලංකාවේ ජනගහණයේ කාන්තා ප්‍රතිශතය වැඩියි. උතුරේ හා දකුණේ තත්ත්වය තවත් නරකයි. ගෘහ මුලිකයන් කාන්තාවන් වන පවුල් ගණන පිරිමින්ට වඩා වැඩියි. ඒවගේම පිරිමින්ට වඩා කාන්තාවන් සමාජයේ මුහුණ දෙන අභියෝග වෙනස්. එනිසාම තමයි දේශපාලනය තුළ ඔවුන් නිසි ලෙස නියෝජනය වියයුත්තේ.  ෙදමළ සන්නද්ධ අරගලයේදී කාන්තාවන් නොයෙකුත් කාර්යභාරයන්වල නියැලුණා පමණක් නොවෙයි ක්‍රියාකාරී දේශපාලනයේත් නිරත වුණා. කාන්තාවන් නොකඩවා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම ඉතා වැදගත්.

දෙමළ ඡන්ද දායකයින්ට හා දෙමළ දේශපාලකයින්ට වර්ධනය වීගෙන එන අනාගතය මොන වගේ වේවිද?

සිවශක්ති ආනන්දන් : වත්මන් දේශපාලන තත්ත්වය වෙනස්වන ආකාරය මත, දෙමළ නායකත්වය බෙදීමකට ලක්වේවි. රජයේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාකරන්න යෑමෙන් දමිළ සමාජයම විනාශයට ඇද වැටෙයි.

ජනතාව තෝරා පත්කරගන්නා දේශපාලකයින් ජනතාවට සේවය කල යුතුයි යන මුලධර්මය, ශක්තිමත්ව මේ සමාජය තුල නිදන ගත විය යුතුයි. මෙය දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සෑම අයෙක්ටම පොදුයි. දේශපාලන තැරැව්කරුවන් කොන් කර, දෙමළ ජනතාවගෙන් ලැබෙන අනුබලය මත පමණක් නව දේශපාලකයින් ඉදිරියට පැමිණිය යුතුයි. සමෘද්ධිමත් අනාගතයක් දෙමළ ජනතාවට ලැබෙන්නේ එවිටයි.