Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අසල්වැසියා මට පෙනෙන හැටි:
‘අපි කෝවිල් යනවා. යාළුවා දහම් පාසල් එනවා’

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

02.08.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

ආර්.ඞී. අංජුලා ඩිලංකා
11 වසර
බ/ ඇල්ල මහා විද්‍යාලය

අංජුලාට දෙමළ යාළුවො එහෙම ඉන්නවද?
ඔව්. මගේ පංතියෙ එක දෙමළ යාළුවෙක් ඉන්නවා. අපි එක වසරෙ ඉඳන්ම එකට හිටියෙ.

එයාගෙ නම මොකක්ද?
හෂිනි.

පාරෙදි කව්රුහරි මුණ ගැසුණොත් සිංහල කෙනෙක්ද දෙමළ කෙනෙක්ද කියලා හඳුනගන්න පුළුවන්ද?
පුළුවන්. ඒගොල්ලො අඳින පළඳින විදිහෙන් කතාබහ කරන විදිහෙන් කියන්න පුළුවන්. ඒගොල්ලො කතා කළේ නැත්නම් හරි සිංහල අය වගේ ඇඳලා ඉන්නවානම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒ වුණත් පුළුවන්.

අංජුලාට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන්ද?
දෙමළ එච්චරම බැහැ. වාංග පෝංග (එන්න යන්න) විතරයි කියන්න පුළුවන්.

දෙමළ යාලූවත් එක්ක කතාබහ කරන්නෙ මොන භාෂාවෙන්ද?
අපි සිංහලෙන් කතා කරන්නෙ. දෙමළ වචන ටිකක් කියලා දෙන්න කියලා මම යාළුවගෙන් ඉල්ලනවා. යාළුවා කියල දෙනවා.

දෙමළ භාෂාව ඉගෙනගන්න කැමති නැද්ද?
ඇත්තටම දෙමළ ඉගෙනගන්න කැමතියි. හැබැයි පොඩි කාලෙ ඉස්කෝලෙ අපිට දෙමළවලට ගුරුවරයෙක් හිටියෙ නැහැ. අකුරු ටික උගන්වන්න විතරයි හිටියෙ. දැන් තමයි දෙමළ උගන්වන්න ටීචර් කෙනෙක් ඉන්නෙ.

ඔයාගෙ දෙමළ යාළුවාට සිංහල භාෂාව හොඳට පුළුවන්ද?
ඔව් පුළුවන්. කතා කරන්නයි ලියන්නයි දෙකම හොඳට පුළුවන්.

කන්න කැමති දෙමළ කෑම වර්ග මොනවද?
ඉට්ලිවලට තමා මම ගොඩක් කැමති. සමහර දවස්වලට මම ආසයි කිව්වොත් අම්මා ඉට්ලි හදලා දෙනවා. අම්මට හොඳට ඉට්ලි හදන්න පුළුවන්.

ඔයා ලොකු වුණහම කව්රු වෙන්නද කැමති?
ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි කැමති.

දෙමළ යාළුවා කව්රු වෙන්නද කැමති?
එයා කැමති ටීචර් කෙනෙක් වෙන්න.

දෙමළ සංස්කෘතියෙ ඔයා වැඩිපුරම කැමති දේ මොකක්ද?
දෙමළ සංස්කෘතියෙ හැම චාරිත්‍ර වාරිත්‍රයකටම මම කැමතියි. ඒගොල්ලන්ගෙ සංස්කෘතික උත්සවවලට සහභාගී වෙන්න එහෙම ගොඩක් කැමතියි. ඒ ඇඳුම් අඳින්නත් කැමතියි. ඒගොල්ලන්ගෙ මගුල් ගෙදරකට යන්න ආසයි. තවම යන්න හම්බවෙලා නැහැ.

ඔයා කැමති දෙමළ ප්‍රසිද්ධ චරිතයක් ඉන්නවද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. හැබැයි දෙමළ ටෙලි නාට්‍යවල නළු නිළියන්ට කැමතියි.

හින්දු ආගමේ දෙවිවරු අදහනවද?
ඔව් මගේ පවුලෙ අයත් අදහනවා. නිතරම කෝවිලට යනවා. ගෙදර ළඟ කෝවිලේ උත්සව තිබුණොත් අනිවාර්යයෙන්ම යනවා.

දෙමළ යාළුවා පන්සල් එනවද?
මගේ යාළුවා දහම් පාසල් එනවා.

අංජුලාට ජීවිතේ ඉස්සරහට යද්දි විවාහ වෙන්න වෙනවා. විවාහ වෙන්නෙ සිංහල කෙනෙක් එක්කද දෙමළ කෙනෙක් එක්කද?
සිංහල කෙනෙක් එක්ක.

ඒ ඇයි?
අපේ පරම්පරාව සිංහල නිසා. අම්මලා තාත්තලා කොහොමත් කැමති වෙන්නෙ සිංහල කෙනෙක්ව බඳිනවටනෙ.

ඔයාගෙ කැමැත්ත මොකක්ද?
සිංහල කෙනෙකුට.

දෙමළ කෙනෙක් ගැන හිත ගියොත්……
ඒක කොහොමවත් වෙන්නෙ නැහැ. මොකද මම බෞද්ධ කෙනෙක්. ආගම පැත්තෙන් ගත්තහමත් මම දෙමළ කෙනෙකුට කැමති වෙන්නෙ නැහැ.