දුක් විඳින හැටි පුරුදු කරන
මහවැලි ‘එල්’ කලාපය
යුද්ධයෙන් පසුව ජනතාව නැවත පදිංචි කළ මහවැලි එල්. කලාපයේ ජන ජීවිතයේ ගැටලු පිළිබදව, මේ ලිපිය සමීප රූපයකි.
තුරු වදුලුද රත් වී, මඟ දෙපස ඉලුක් මානා පඳුරු කර වී, හමන ගිනියම් සුළඟට තොලකට වේලා ඇත.
දොළොස් හැවිරිදි දියණිය දෙපා රිදෙන බව කියයි. උකුළේ වඩාගත් බිලිඳා කිරි ඉල්ලයි. ඩබ්.ජී. පේමාවතී නම් තරුණ මව, මේ යන්නේ ඇයටත් දරුවන්ටත් කෑමට යමක් සොයාගෙනය.
සම්පත් නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, යුද්ධයෙන් පසුව ජනතාව යළි පදිංචි කෙරුණු ගමක් වන ‘නාමල්පුර’ ඇගේ ගමයි. එහි වැසියෝ අංශ රැසකින් පීඩා විඳිති. එකක් නම් නියඟයයි. අනෙක හරිහමන් ජීවනොපායක් නොමැතිකමය.
අසරණ වූ මවක්පේමාවතී නාමල්පුරයේ පදිංචියට පැමිණ සිව් වසකි. දෙවන දරුවා ඉපදී වසරක් ගත වෙන්නටත් පෙර, ඇගේ සැමියා වූ අජිත් කුමාර මියගියේය. එදිනෙදා කුලීවැඩ කිරීමෙන් ජීවත් වූ ඔවුන්ට කිසිදු වත්කමක් නොවිණි. සැමියාගේ හත් දවසේ දානය නිම වූ දිනයේ සිටම ඇයට ජීවත් වීම අභියෝගයක් විය.
“මට කුළී වැඩකට යන්න බෑ,මේ කිරි දරුවා නිසා. ගෙදර තිබුණු කෑම ජාති ඉවර වුණාට පස්සේ එක දිගට තුන් දවසක් බඩගින්නේ හිටියා. ඉවසන්න බැරිම තැන, ළඟ තියන කඩේ නංගිට කිව්වාම එයා මට එදා කෑම බීම බඩු ටිකක් දුන්නා. පංසලේ හාමුදුරුවොත් ටිකක් අරන් දුන්නා. පිං පඩිට රුපියල් 350ක් ලැබෙනවා. ඒක ගන්න යන්නත් රුපියල් දෙසීයක් විතර ත්‍රී වීල් එකට දෙන්න වෙනවා. මේ වෙනකොට රුපියල් 2700ක ලයිට් බිලකුත් ඇවිත්. මෙහෙම අඩුපාඩු නිසා තමයි මට කෑමට යමක් ඉල්ලාගන්න ගම්මානවල අවිදින්න යන්න සිදුවුණේ.”
ඒ ගමනේදී ප්රේමාටත් දරුවන්ටත් බොහෝ දේ ලැබුණි. ඒ මොහොතේ පිපසය කුසගින්න නිවාගන්නට ආහාර මෙන්ම, ඇඳුම් වියළි ආහාර වැනි දේද සිල්ලර මුදලක් ද ඇයට දීමට ගම් වැසියෝ අනුකම්පා සහගත වූහ.
ඒ ලැබුණු දේත් දැන් අහවරය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපකාර මත රජයෙන් අනුමත නිවස හා වැසිකිළියේ වැඩ අවසන් වෙමින් ඇත. එහෙත් එදිනෙදා පැවැත්ම තවමත් ඇයට පිළිතුරු නැති ප්රශ්නයකි.
සිඟමනේ ගිය ගමන ගමේ ඇතැමුන් හා නිලධාරීන්ගේ විවේචනයට ලක් වූ නිසා ඒ ගමන නැවත යන්නටද ඇයට සිත් නොදෙයි.
“මට තියන අඩුපාඩු සම්පූර්ණ කරගන්න විදියක් තියෙනවා නම් මට හිඟමනේ යන්න ඕනෑ නෑ” යි ඇය කීවා ය.
කලාපයකම කතාවප්රේමාගේ නිවෙසින් නැගෙන මේ ශෝකය මේ ලෙසින්ම නැතත්, ගජබාපුර, කළ්‍යාණපුර, සපුමල්තැන්න, නෙළුම් වැව, හැලඹවැව ආදී හාර දහසක් පමණ පවුල් නැවත පදිංචි කළ සියලු ගම්මානවලට පොදුය. එම ගම්මාන, මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ‘වැලිඔය’ මහවැලි ‘එල්’ කලාපයට අයත් වේ.
ගජබාපුර මායාවැව පදිංචි අයි.ජී. සුරේෂ් (32) මාස අටක් පමණ කුලී වැඩ කරමින් ජීවිතය සරිකරගනු ලැබූවද මේ වන විට කුලී වැඩද නොමැති නිසා කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම වැඩපොලක් වෙත යාමට සැරසෙන බව කීවේය.
‘‘දැන් අවුරුදු පහක් මෙහෙ ඉන්නවා.ගොවිතැනක් කරන්න අපට මඩ ඉඩම් නෑ. ගොඩ ඉඩම්වල වගා කළත් නියඟය නිසා පසුගිය කාලේ වගාවන් හරිගියේ නෑ. ඒ නිසා කුළීවැඩ කරන්නත් කොහේවත් වැඩ නෑ‘‘
ඩී.එම්.ජී.නිහාල් එම ගම්මානයේම පදිංචිකරුවෙකි. ඔහු සිය මුනුබුරා සමග රජයෙන් ලැබුණු නිවසෙහි පදිංචිව සිටියි. කලාපයේ ප්‍රධාන ගැටලුවක් වන වකුගඩු රෝගයෙන්ද පීඩා විදින ඔහුට කිසිදු ජීවන මාර්ගයක් නැත. ප්‍රදේශයේ ජන ජීවිතයේ දුෂ්කරතාව ගැන ඔහු මෙසේ පැවසුවේය.
‘‘මටත් රජයෙන් නිවස හා වැසිකිළිය ලැබුණා. මට වකුගඩු අමාරු නිසා රජයෙන් රුපියල් 300ක් ලැබෙනවා. හදිසියේ සම්පත් නුවර නගරයට යන්න වුණොත් ත්‍රිවීල් එකට රුපියල් 400ක් ගෙවන්න වෙනවා. ගමට බස් එක් එන්නේ දවසකට එක් වතාවයි.”
ඩබ්ලිව්.ඩී.ගුණතිලකද වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකි. එහෙත් ඔහු අසනීපය දරාගෙනම කුලී වැඩට යයි. ඔහුගේ බිරිද වන චමිලා නිලන්ති කුමාරි ඒ ගැන මෙසේ පැවසුවාය. ‘‘මෙහෙ කුලී වැඩවලට ගෙවන මිල අඩුයි. රුපියල් දාහක් ගන්නෙත් අමාරුවෙන්. සමහරු දවල් කෑම, තේ ටිකවත් දෙන්නනේ නෑ. සමහරු වතුරවත් දෙන්නේ නෑ. ස්වයං රැකියා සඳහා රජයෙන් වතුර පොම්ප, බට ආදිය සමහර අයට දී තිබෙනවා. අපිත් වගා කරලා බැලුවා. අසාර්ථකයි. කොමඩු වගා කළේ. ඒ අස්වැන්නට මිලක් නැති නිසා අතහැරලා දැම්මා. මිරිස් වැව්වා. සාර්ථක වුණේ නැහැ. කන්න බොන්න අපටත් හරි හිඟයි. සල්ලි හම්බකරන්න ක්‍රම නැතුවට අපටත් වියදම් සේරම තිබෙනවා.
අගහිගකම්වල පීඩා නිසා ජීවිතයේ බොහෝ දේ අහිමි වූ තරුණ මවකි ගජබාපුර සඳුනි දිල්හානි. වැඩිමහල්පුතු පැවිදි දිවියට භාර දුන් ඇය, වයස අවුරුදු හතේ හා දොළහේ පසුවන දියණියන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් වරක් මැදපෙරදිග විදේශ සේවයට ගියාය. ඒගොස් නැවත ඇය ආවේ සැමියා ඇතිකරගෙන තිබූ අවුල් විසඳීමටය. දැන් සැමියා ගෙදර නැත. චමිලා නැවත විදේශ ගමනට සූදානම් වන්නේ ගජබාපුරදි ජීවත්වීමට ආදායමක් ලැබිය නොහැකි නිසාය.
“ආරංචියක් තියෙනවා ඇඟලුම් කම්හලක් වැලිඔය හදනවා කියලා. ඒක හදනකල් දැන් මට ඉන්න පුළුවන් කමක් නෑ.” ඇය කීවා ය.
ලැබුණු ඉඩමෙන් හා ගේ දොරින් ප්‍රයෝජන ගෙන, ගමෙන් පිට නොයා ජීවත් වීමටට අධිෂ්ඨාන කර ගත්තෙකි ගජබාපුර ටී.බී.සමරපාල. ඔහු වගාවෙන් ලැබූ අත්දැකීම මුළු එල් කලාපයේම යථාර්ථය හෙළි කරයි.‘‘මෙහෙ පස හරි සරුයි. හැම දේම වැවෙනවා. මම මඤ්ඤොක්කා වගාවක් කරලා අල විකුණාගන්න තැනක් නැතුව ගියා. අන්තිමට මම පෝයට දන්සලක් දීලා තමා ඒ අස්වැන්න ඉවරකර ගත්තේ.වතාවක් පිපිඤ්ඤා වගාකරලා, කිලෝ දෙසීයක් දඹුල්ලේ ගෙනිහිල්ලා ලැබුණු මුදල රුපියල් හයසීයයි. දැන් ගස්වල මුරුංගා බරවෙලා. ඒත් දෙන්න කෙනෙක් නෑ.”
වවන්නෝ දිනන්නෝද?නාමල්පුර සුරැකුම් ගොවි සංවිධානයේ සභාපති රොෂාන් මනෝජ් පවසන්නේ මහවැලි අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා මෙන්ම ස්වයං රැකියා සඳහාද අවධානය යොමු කර ඇති බවකි. එහෙත් මාර්ග පද්ධතිය හා බොහෝ පොදු පහසුකම් ඉටු කර ගත යුතු බවද ඔහු කීවේය.
වැලිඔය ප්‍රාදේශීය ලේකම් වරයාට අමතන මොහොතේ ඔහු සිටියේ බොහෝ කලකිරීමෙනි. රාජකාරී මට්ටමෙන් මෙන්ම පුද්ගලිකව විශාල කැපකිරීමකින් තමා හා නිලධාරීන් කටයුතු කළද විවේචන එල්ලවීම එයට හේතුව බව බව ඔහු පැවසුවේය.
සිය කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු සිටිය යුතු වුවද සිටින්නේ හය දෙනෙකු බවත් ග්‍රාම නිලධාරීන් වසම් නවයෙන් තුනක් පුරප්පාඩු වී ඇති බවත් ඔහු පැවසූ ඔහු, එවැනි ගැටලු නිසා මේ සා විශාල නව ජනපදයක් සඳහා සේවා සැපයීම තවත් දුෂ්කර වී ඇති බවද පෙන්වා දුන්නේය.
රැකියා හිඟයට විසඳුමක් ලෙස අලුතින් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට රජය පියවර ගෙන ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය. පදිංචිකළ ජනතාවගෙන් පවුල් කීයක් ආපසු ගියේදැයි විමසුමෙ දී ඒ මහතා කියා සිටියේ නිල වශයෙන් කිසිවෙක් ආපසු ගිය බවක් දැනුම් දී නැති බවකි.
මුලතිව් අඩවියේ එක් දෙසකින් නෙදූන්කර්නි දමිළ ගම්මානත් අනෙක් දෙසින් මහවැලි සිංහල ගම්මානත් දැන් සුළු වෙළඳ සම්බන්ධතා ආදියෙන් යා වී සාමයේ සලකුණු දිස්වේ. ඔවුන්ට නැත්තේ මහා සමාජයේ ඇති පහසුකම්ය. සමහරුන් ජනපදය හැරයාමට පෙළඹෙන්නට තරම් ජන ජීවිතය කර්කශ වී ඇත. ඔවුන්ගේ ජීවිත ගොඩනැංවීම සදහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කළ යුතුය.