Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

‘අඟහරු ලෝකයේ’
ජන ජීවිතය

‘අඟහරු ලෝකේ’ හෙවත් අඟහරු ග්‍රහයා ගැන නොදන්නා කෙනෙක් නැත. එහෙත් ‘අඟහරු ලෝකය’ යැයි නම් ලද ජනාවාසයක් ශ්‍රීලංකාවෙහි ඇතැයි දන්නේ කව්ද?

11.09.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

අඟහරු ලෝකයේ ජලය තිබේද? එහි ජීවයක් පවතීද? එහි වගා කටයුතු කෙරෙනවාද? එහි ජීවත් වන්නේ කෙබඳු මිනිසුන්ද? එහි යාමටත් ඒමටත් යානා පවතීද? මේ ප්‍රශ්නාවලිය ඔබට පෙනුණු සැණින්ම ඔබට ‘ඔබ දන්නා’ අඟහරු ලෝකය සිහිපත්වනු ඇත. ඊළඟ ප්‍රශ්නය නම් ‘ඔබ නොදන්නා’ අඟහරුලෝකයක් තිබෙනවාද යන්නය. අපේ පිළිතුර නම්, ‘ඔව්’ යන්නය. ඒ අඟහරුලෝකය ඇත්තේ අපේ රටේය.

කොළඹ සිට ඊට ඇති දුර කිලෝමීටර් 417කි. බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය මැතිවරණ කොට්ඨාශයේ දඹාන වසමේ උල්හිටියාව පාලම ළඟින් දකුණට ඇති පාරේ කිලෝමීටර් එකහමාරක් ගිය තැන ‘අඟහරු ලෝකය’ ගම්මානය ඔබට හමුවනු ඇත. හරියටම කිවහොත් මහියංගණයේ සිට අම්පාර පදියතලාව පාරේ 53 කණුව නැවතුමෙන් දකුණට ඇති පාර ඇත්තේ අඟහරු ලෝකයටය.

අප කොළඹ සිට මහියංගණයට ගියේ බස් රථයෙනි. මහියංගනය නරගයේ සිට අඟහරු ලෝකය වෙත ගියේ ත‍්‍රිරෝද රථයකිනි. ත‍්‍රී රෝද රථ රිහදුරා ඒ පළාතේ කෙනෙකු වුවත් ඔහුද මුල්වරට අඟහරු ලෝකයට ගියේ අපි සමඟය.

”අඟහරු ලෝකයට ඒ නම හැදුණේ කොහොමද?” අප විමසා සිටියේ එහි මුල් පදිංචිකරුවන්ගේ පරම්පරාවේ වත්මන් පුරුකක් වන එච්. එම්. ෙප්‍ර්මරත්න ගොවි මහතාගෙනි.

”අපේ තාත්තලාගේ පරම්පරාවේ සිරිත වුණේ ඒ කාලේ හැටියට හේන් කොටලා අහවර වුණාම ඒ හේන කනත්තට අතඇරලා අලූත් හේනක් කොටන එක. අපේ තාත්තලාගේ පරම්පරාවේ තුන්දෙනෙක් එහෙම තැනින් තැනට යන්නේ නැතිව මේ ගමේ ස්ථිරව පදිංචි වුණා. ඒ පවුල් තුන මේ ගම්මානයේ මූකලාන කපලා වෙලක් හැදුවා. දෙහි පොල්, දොඩම්, අඹ, කොස් වාගේ ඉස්තීර භෝග වගේම බඩඉරිඟු, කුරහන්, මෙනේරි, තල, බටු, කරවිල, වී, කව්පි, මුං වගේ ජාති මහාපරිමාණයෙන් වගා කළා. ඒ කාලේ හැම තැනම දිය කඳුරු. පොළොව අඩි තුනක් හෑරුවාම වතුර. කන්න දෙකම වගා කළා. තැන තැන හේන්කොටාගෙන යන මිනිස්සු අතරේ මෙතන තිබුණේ ‘වෙන ලෝකයක්’ මෙහේ හිටපු මුල් පදිංචිකාර පවුල් වැඩිය එළියට පහළියට ගියෙත් නෑ. යන්න අවශ්‍ය වුණෙත් නෑ. මේ අමුතු ගතිය නිසා ඒ කාලේ කව්රු හරි ‘අඟහරු ලෝකේ’ කියන නම පටබැඳලා. පරම්පරාවෙන් පරම්පරාවට ඒ නම ආවා. හැබැයි දැන්නම් අඟහරු ලෝකෙම තමා. වතුරත් නෑ. ජීවයකුත් නෑ. මිනිසුන්ට ජීවත්වෙන්න ක්‍රමයකුත් නෑ.” ෙප්‍ර්මරත්න මහතා කීවේ මහත් කනස්සල්ලෙනි.

අඟහරු ලෝකයේ සශ්‍රීකත්වය ෙප්‍ර්මරත්න මහතාගේ කතාවට අනුව අයිතිව ඇත්තේ අතීතයටය. වත්මන් තත්ත්වය නම්, පෘථිවියට අයිති වුවද අඟහරු ලෝකය තරම් සංකීර්ණ ප්‍රශ්න ජනිත කරවන තැනකි.

අඟහරු ලෝකයේ වතුර නැත

අඟහරුලෝකයේ මිනිස්සු වගා කටයුතු කරන්නේ අවුරුද්දකට එක වරකි. ඊට හේතුව ඔවුන්ගේ බසට අනුව ‘වැසි දියර’ පිහිටෙනි. වැසි ජලය නොලැබුණොත් ඒ කාලයේ ජීවත් වීමට කැලෑ වැදී එක්කෝ මී පැණි, එසේත් නැත්නම් බෙහෙත් පැලෑටි, කොළ පොතු, මුල්, ඇට එකතු කළ යුතුය. නැතිනම් උල්හිටිය ඔයේ වැලි ගොඩ දැමිය යුතුය. දැන් ඒ නිදහසද සීමා වී ඇත. එබැවින් වගා කිරීමට අවශ්‍ය ජලය කෙසේ හෝ සම්පාදනය කරගැනීමට ඔවුහු තවමත් දිය උල්පත් සොයා යති. අඟහරු ලෝකය ගම්මානයේ ජල අවශ්‍යතාවය සඳහා ජලය රැස් කර බෙදා හැරීමට තැනූ කැකලාන වැවේ වාන් දොරටු කැඞී බිඳීගොස් වසර තුනකටත් වැඩිය. එබැවින් ඒ වැවේ අද අරික්කාලක තරම්වත් වතුරක් නැත. වතුර පිරෙන්නේද නැත. අඟහරු ලෝකයට වතුර බෙදා හැරීම සඳහා ඉදි කළ කැකලාන ලේන්සුපිටිය දකුණු ඇළ පද්ධතියේ මෙතෙක් කිසි දවසක වතුර ගලා ගියේ නැත.

/

අඟහරු ලෝකයේ පදිංචිකරුවකු වන විජේබංඩා වලගෙදර මහතා ඒ ඇළ පිළිබඳව මෙවැනි කතාවක් කීවේය: ”කුඹුරු අක්කර 42ක් කන්න දෙකම වගා කරන්න තමයි මේ ඇළ කැපුවේ රුපියල් ලක්ෂ පනහක් විතර දිවි නැගුම සමෘද්ධිය ව්‍යාපෘතිය යටතේ මේකට වැය කළා. අපේ ඉඩම් දෙකට බෙදලා අඩි අටක විතර පළලට අඩි 10/15 ගැඹුරට ඇළ කැපුවා. අද වනතුරු ඇළේ වතුර ගලාගියේ නෑ. ඇළක් කපද්දි මීටර් සීයකට අඟල් හයක්වත් බැස්ම තියෙන්න කපන්න ඕනෑ. එහෙම කරලා නෑ. කොන්ත‍්‍රාත් මුදල ගන්න කොන්ත‍්‍රාත් කරපු කටිටිය කානුව වගේ ඇළ කපලා ගියා. ඇළ මීටර් 59 ක් දුරට කැපුවා. ඇළේ වතුර නොගියත් කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් ගෙවලා. මම මේ අවනඩුව බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන්නා. කිසිම පිළිතුරක් නෑ. විසඳුමක් නෑ. අපි අඟහරු ලෝකේ නිසා වෙන්න ඇති”

අඟහරුලෝකයට අලි එති

එම්. ඞී. අමරසිංහ මහතා අවුරුදු විසිපහකට පෙර අඟහරු ලෝකයට පැමිණි අයෙකි. ඔහු නම් කියන්නේ මේ ප්‍රදේශයට ඒ නම හරියටම හරිගියේ අසූව දශකයෙන් පසුව බවයි. ”1980 වෙනකං කරදරයක් නැතිව වගා කරගෙන හිටියා. අපි කරන්නේ ගොඩ ගොවිතැන. ඒ කාලේ වැවේ ඇළේ වතුර තිබුණා. දැන් වතුර නැහැ. කරන්ට් එක ලැබුණේ මීට අවුරුද්දකට දෙකකට කලින්. අඩිපාර වෙනුවට පස්පාර තිබුණත් අද ඒකෙ යන්න බෑ. අමාරුවෙන් ගොවිතැන් කළත් අලි ආවම ඔක්කොම ඉවරයි.

අලිවැට තියෙන්නේ නමට විතරයි. වනජීවියේ මහත්වරු දවල්ට ඇවිත් යනවා. රෑට අලි එනවා. අවුරුද්දකට ජීවත්වෙන්න එක කන්නයක් වගා කරන එකත් අලි කෑවම අපි කොහොමද ජීවත් වෙන්නේ.


ඉතින් කන්නත් නැතිව, වතුරත් නැතිව හරිහමන් පාරක් තොටක් නැතිව අපි ඉන්නේ අඟහරු ලෝකෙම තමයි.”

සොබාසිරි පෙර පාසල

අඟහරු ලෝකයේ පෙරපාසල් පාලිකා ආර්. එම්. චන්ද්‍රා රත්නායක මහත්මිය, අඟහරු ලෝකයේ පූර්ව ළමාවිය සංවර්ධනය ගැන කීවේ මෙවැනි කතාවකි. ‘‘පෙරපාසලට ගොඩනැගිල්ලක් මීට අවුරුද්දකට කලින් ලැබුණා. මේ ප්‍රදේශයේ පවුල් 81 විතර ඉන්නවා. අපේ සොබාසිරි පෙරපාසලට එන්නේ දරුවෝ දොළාස් දෙනයි. දරුවෙක් පෙරපාසලකට එවන්න තරම් වත්කමක් නැති පවුල් ඉන්නවා. ඒ නිසා හැමෝම පෙරපාසල් යන්නේ නෑ. පෙරපාසල නඩත්තු කර ගෙන යන්න අවශ්‍ය මුදලක් උනත් දෙන්න හැකියාවක් නැති අය ඉන්නවා. ගමේ තියෙන වතුර ප්‍රශ්නය දරුවොන්ගේ අධ්‍යාපනයටත් බලපානවා. අඟහරු ලෝකයේ සමහර දරුවෝ ඉස්කෝලේ නොයන්නත් හේතුව ඒක.

ලේන්සු පිටිය

අඟහරු ලෝකයේ මූකලන් යාය උගුලා දමා එහි වෙල්යායක් කපා හැදීමට මූලිකයා වී ඇත්තේ ඒ.පී. ලේන්සුවා අප්පුහාමිය. ඒ නිසා එදා එලෙස කපා හැරි වෙල්යාය අදත් හඳුන්වන්නේ ලේන්සු පිටිය කියාය. ලේන්සු අප්පුහාමි අද ජීවතුන් අතර නැතත් ඔහුගේ මුණුපුරු සනත් තුෂාර අඟහරු ලෝකයේ ජීවිතය ගැන කීවේය.

/

”ඉස්සර මෙහාට අඟහරුලෝකය කියලා, කියලා තියෙන්නේ බව භෝගවලින් මේ ප්‍රදේශය අවට වෙනත් ප්‍රදේශවලට වඩා සශ්‍රීකව තිබුණු හරි අපූරු ප්‍රදේශයක් නිසා. අද අපි දකින්නේ පාඩම් පොත්වල තියෙන අඟහරු ලෝකය. වතුර නෑ. වතුර නෑ කියන්නෙම වෙන මොකුත් නෑ කියන එක. අපි කියන්නේ මෙච්චරයි. අපිට සමෘද්ධිය එපා අපිට මොන වාරිමාර්ග ක්‍රමයකින් හරි වතුර දෙන්න”

පාසල් දිවියට මෑතක දී සමුදුන් 19 හැවිරිදි ලක්මාල් අඟහරු ලෝකයේ ජීවන අත්දැකීම මෙලෙස දිග හැරියේය: ”උල්හිටියාව ඉස්කෝලෙට මම ගියේ බයිසිකලෙන්. මගේ යාළුවෝ ගියේ පයින්. යාළුවෝ ගොඩක් අය අතරමඟ නැවතුණා. සමහර දවස්වලට අලි පාරේ ඉන්න නිසා ඉස්කෝලේ යන්නේ පරක්කු වෙලා. සමහර දවස්වලට වතුර ගේන්න ඈතට ගිහින් එද්දි පරක්කු වෙලා. සමහර බලධාරීන් තේරුම් නොගත්තට ඇත්තටම වතුර නැහැ කියන්නේ මුළු ජීවිතයම අඩාළ වෙනවා කියන එකයි. අපි ඉස්කෝලේ යද්දී තිබුණු ප්‍රශ්න අපේ නංගිලා, මල්ලිලාට අදත් එහෙම ඉතුරුවෙලා තියෙනවා”

දක්ෂ දරුවෝ

අඟහරු ලෝකයේ දරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා මුලින්ම ඇතුළත් වන්නේ උල්හිටියාව ප්‍රාථමික විද්‍යාලයටයි. අඟහරු ලෝකයේ දරුවන් ගැන එම විද්‍යාලයේ විදුහල්පති දයානන්ද රත්නායක මහතා කීවේ මෙවැනි කතාවකි. ”1998 සිට මම මේ විද්‍යාලයේ සේවය කරනවා. ඉතාම දක්ෂ දරුවන් අඟහරු ලෝකයේ ඉන්නවා. අලි ප්‍රශ්න, වතුර ප්‍රශ්න නිසා මේ දරුවන් පාසලට එන්න ප්‍රමාද වෙනවා.”

/

ඉදිරි වැසි කාලය ඉලක්ක කරගනිමින් හේන් වගාවට බැද්ද කැපූ ජී.එම්. ධර්මදාස ගොවි මහතා කීවේද පොදුවේ මුහුණදෙන ප්‍රශ්නයේම තවත් කොටසකි.

”කැකලාන වැවේ ගේට්ටු කැඩිලා. ලේන්සු ඇළේ වතුර එන්නේ නෑ. ඉතින් වැස්සේ පිහිටෙන් බඩවියත රැක ගන්න වෙලා තියෙන්නේ. අපි වගා කරන්නෙ විශ්වාසෙකින් නොවෙයි. අලි වැට කඩාගෙන අලි ආවාම එක රැයෙන් ඔක්කොම ඉවරයි. වතුර ටිකයි, අලි වැටයි හරියට තිබුණා නම් මෙතන අලූත් ලෝකයක් හදන්න තිබුණා.”

යානා නොයන පාර

ඩබ්ලිව්.මනෝරි නිලාෂා අඟහරු ලෝකයේ පවුල් සෞඛ්‍ය සේවිකාවයි, ඇයගෙන් අප විමසා සිටියේ අඟහරු ලෝකයේ දරුවන්ගේ හා මව්වරුන්ගේ පෝෂණය පිළිබඳවයි. ඇය මෙසේ කීවාය.

”පෝෂණ මට්ටම, සෞඛ්‍ය මට්ටම හොඳටම හොඳ නෑ. මම සේවය කරන්නේ දඹාන වසමට අදාළව. මේ අඟහරු ලෝකයත් ඒ කලාපෙටම අයිතියි. කලාපෙටම තියෙන පොදු ප්‍රශ්න මෙහෙත් තියෙනවා. ඒත් ඉස්සරට වඩා එන්නත් කරගැනීම වගේම සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳව මේ ප්‍රදේශවල උනන්දුව වැඩියි. ඒක හොඳ තත්ත්වයක්.”

ඒ.ඞී. විජයරත්න අඟහරු ලෝකයට මදක් එපිටින් පිහිටි තට්ටයායේ වගා කටයුතුවල නිරත වන්නෙකි. ඔහු පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පොදු ප්‍රවාහන සේවාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

‘‘පාරයි, වතුරයි දුන්නා නම් අපේ ප්‍රශ්න භාගයක් ඉවරයි. ඉතිරි බාගේ සම්පූර්ණ කරගන්න අපිට පුළුවන්. වනජීවියේ මහත්වරු මැදිහත් වෙලා අලි වැටේ ප්‍රශ්නෙත් බේරලා දුන්නා නම් අඟහරුලෝකය කියන නම අපිට වෙනස් කරන්න පුළුවනි.”

ඡායාරූප; අජිත් සෙනෙවිරත්න