Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සංහිඳියාවට යන ගමනේදී
සපුරා ගත යුතු මුලික වුවමනා බොහොමයි

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසංධාන කටයුතු සාර්ථක වීමට නම් තවත් මූලික පියවර රැසක් ගත යුතුව ඇතැයි ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා කියයි.

22.09.2017  |  
යාපනය දිස්ත්‍රික්කය

සටන්කාමී දෙමළ කොටින්ට විරුද්ධ වීමටත්, ඔවුන්ගේ ක්‍රමවේදවලට එරෙහිව යෑමටත් පෙර දේවානන්දා ඔවුන් සමඟ සටන් කළේය. තරුණ වියේදී ඔහු සටන්කාමීන් සමඟ එක් වූයේ මන්ද යන්න පිළිබඳ සිහිපත් කරන අතරම සංහිඳියාව සාර්ථක ලෙස සිදු නොවුන හොත් අවි අමෝරාගත් ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු අරගලයක් ඇති වීමට අවස්ථාවක් තිබේද යන්න පිළිබඳ ඔහු සිතන්නේ කෙසේදැයි යන්න මෙසේ පැහැදිලි කළේය.

ආරම්භයේදී ඔබ අවි අතදැරූ අරගලයකට සම්බන්ධ වීමට හේතුව කුමක්ද?

ඒ අවස්ථාවේ සිටි දෙමළ ජන නායකයන්ගේ ඉදිරිපත් කිරීම් අප ඉච්ඡාභංගත්වයට පත් කළා. ඒ බොරු පොරොන්දු සහ නොසතුට වගේම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත තරුණ ජනයා අවි අමෝරාගෙන සටන් කරන මට්ටමට ගෙන ඒමට හේතු වුණා.

අවසානයේ සියල්ල අවබෝධ වූ පසුව, ඔබ දුටු සහ ඔබ විසින් කරන ලද සියලූ දේ පිළිබඳ දැනුම්වත්ව සිටියදී යළි අවි දරා අරගල කිරීමකට යොමු වීම නිවැරැදි දෙයක් ලෙස සිතනවාද?
ඒ අවස්ථාවේ තිබුණු එකම විකල්පය එය පමණයි. එහෙත් අවි අත දරාගත් දෙමළ ජනතාව ඔවුනොවුන් අතරම ඇණකොටා ගන්න ගියාම, ඔවුන්ගේ ප්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රමවේද පටන්ගත්තාම, එය සටනට බලපෑවා. අරගලයේදී අපිට සැලැස්මක් අනුව එය කරන්න තිබුණා. එසේ කිරීමට අපොහොසත් වීම නිසා අරගලයේ ගමන් මඟ වෙනස් වුණා වගේම එය දුර්වල වුණා.

දෙමළ ජනතාව බෙදී ගොස් ඔවුනොවුන් සමඟ සටන් කරන්නට හේතුව කුමක්ද?
ආයුධ සන්නද්ධ පිරිස්වල අරමුණ වුණේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම කීවට, සතුරා කවුද යන්න පිළිබඳ ඔවුන්ට තිබුණේ වෙනස්-වෙනස් මත. ඒ වගේම සටන් කළ යුත්තේ කොහොමද කියන එක ගැනත් සිතුවේ එක-එක විදිහට. සතුරා කවුද මිතුරා කවුද යන්න ගැන ඒ ගොල්ලන්ට සම්පූර්ණ නිවැරැුදි අවබෝධයක් තිබුණේ නෑ. අභ්‍යන්තර ගැටුමකට හේතුව ඒකයි.


මතු වුණු සෑම ගැටලූවකදීම මම හැමවිටම බල කළා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමකට යමු කියලා. ඒත් සමහරු විශ්වාස කළේ ප්‍රචණඩත්වයෙන්ම සියල්ල විසඳිය හැකියි කියලයි.

විවිධ මත මතු වුණා. ඉතිහාසය පෙන්වා දෙනවා මගේ ප්‍රවේශය තමයි නිවැරැදි කියලා. ඒ එක්කම ඒ වෙලාවේ මාව විවේචනය කළ අයටත් අන්තිමේදී එතැනටමයි ඇදෙන්න වුණේ.

ඔබ හිතනවාද ශ්‍රී ලංකා රජය කවදා හෝ දෙමළ ජනතාවට හොඳ විසඳුමක් දෙයි කියලා, එහෙමත් නැත්නම් ඔබ සිතන්නේ මේ සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ යම් මැදිහත් වීමක් අවශ්‍යයි කියලද?

අන්තර්ජාතික ප්‍රජාව දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න පියවර ගන්නවාය කියන අදහස දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනයාගේ ඡන්ද කඩාගන්න ගොතපු බොරු පොරොන්දුවක්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකා රජය සමඟ ගනුදෙනු කිරිමේදී කටයුතු කරන්නේ තමන්ගේ යහපත වෙනුවෙන්. සමහර වෙලාවට, ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කරන්න ඕන වුණාම අන්තර්ජාතික ප්‍රජාව දෙමළ ජනයාගේ දේශපාලනික ඉල්ලීම් හෝ මානුෂීය කතන්දර ඇදලා ගන්නවා. දෙමළ අයට මෙය හොඳට පාවිච්චි කරන්න පුළුවන්.

ප්‍රතිසංධාන කටයුතු සඳහා දරන උත්සාහයන් අසාර්ථක වුණොත් ආයුධ සන්නද්ධ අරගලයකට යළි පාර කැපෙයි කියා ඔබට බියක් දැනෙන්නේ නැද්ද?

පසුගිය දශක තුන පුරා සටන් වැදීමෙන් දෙමළ ජනතාවගේ ජීවිත විනාශ වුණා. දෙමළ දේශපාලන නායකත්වය මේ ප්‍රශ්නය යහපත් විදිහට කළමනාකරණය කරනවා නම් අලූතින් ආයුධ සන්නද්ධ අරගලයකට යෑමේ අවශ්‍යතාවක් මතු වන එකක් නෑ.
සංහිඳියාව අප සැලකිය යුත්තේ යුද්ධයෙන් තුවාල වුණු හදවත්වලට කරන වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙසටයි. එතැනට ළඟා වන්න නම් මූලික කරුණු කීපයක් ඉටු කළ යුතුව තිබෙනවා. ඉතාම ප්‍රාථමික මට්ටමේ දෙමළ ජාතික ප්‍රශ්න කීපයකට විසඳුම් සෙවීම අත්‍යාවශ්‍යයි. දෙමළ ජනතාවගේ පරම්පරාගත ඉඩම් ආපසු ලබා දීම, දේශපාලන සිරකරුවන් මුදා හැරීම, අතුරුදන් වූවන් පිළිබඳ සැබෑ විමර්ශනයක් මෙහෙයවීම, අර්ථවත් නැවත පදිංචි කිරීමේ වැඩසටහනකට යොමු වීම සහ අමතර හමුදා කණ්ඩායම් උතුරෙනුත් නැගනහිරිනුත් ඉවත් කිරීම.
ඒ එක්කම සංහිඳියා ව්‍යාපෘතිය සිංහල ජනතාවගේ සහ අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේ බිය සැක දුරු කිරීමට සමත් ආමන්ත්‍රණයකින් යුතු වීමත් අවශ්‍යයි. සංහිඳියාව ඇති කළ හැක්කේ එය සැක සංකා ඇති නොවන ආකාරයේ පදනමකින් ක්‍රියාත්මක වුණොත් පමණයි. අපි, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හැටියට උතුර සහ දකුණ යා කිරීමේ අපේ වැඩ කොටස ස්ථාපනය කර හමාරයි.

/සිවිල් යුද්ධය අවසානයේ දහස් ගණනින් ජීවිත අහිමි වූවන් අනුස්මරණය කිරීම සඳහා පැවැත් වූ මුල්ලිවෛක්කාල් සැමරුම් දිනය ගැන ඔබේ අදහස කුමක්ද?

දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ඒ භයංකර මරණ බොහොම සාදරයෙන් පිළිගත්තෙ. ඔවුන්ට ඕන වුණේ දෙමළ කොටින් සම්පූර්ණයෙන් ඉවරයක් කර දමනවා දකින්නයි. එතකොට ඒගොල්ලන්ට තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් කරගෙන යන්න පුළුවන්. එනිසා ඒ ගොල්ලන් යුද්ධය නතර කළෙත් නෑ අපේ මිනිස්සු මරණයෙන් ගලවා ගත්තෙත් නෑ. අද අපේ ජනතාව තමන්ගේ අහිමි වුණු ආදරණීයයන් වෙනුවෙන් වැලපෙනකොට අරගොල්ලොත් බොරුවට කිඹුල් කඳුළු හෙළනවා. මේ දේශපාලකයන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට මේවා පාවිච්චි කරනවා. මම විශ්වාස කරන විදිහට නම් මේ සඳහා පොදු අනුස්මරණ හා ශෝක දිනයක් තීරණය කළ යුතුයි. මම ඒ වෙනුවෙන් පෞද්ගලික මන්ත‍්‍රී කෙටුම්පතකුත් ඉදිරිපත් කළා.

ඔබ තවත් කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. උදාහරණයක් හැටියට මේ රටේ ඉතිහාසය පිළිබඳ කරුණු පෙළ පොත්වල විකෘත වෙමින් පවතින බව ඔබ විශ්වාස කරන බව කීවා?

ඒක ඉතිහාස පෙළ පොත්වල පමණක් නොවෙයි, හින්දු ආගම සඳහා වන පෙළ පොත්වලත් සිදු වෙනවා. මේ ගැන මම අදාළ අමාත්‍යවරයාට වගේම නිලධාරීන්ටත් කතා කළා. මේ පිළිබඳ වැදගත් සාකච්ඡා කීපයක් දෙමළ භාෂා ප්‍රවීණයන් සහ සමාජ ක්‍රියාකාරීන් සමඟත් පැවැත්වූවා. ඒ අනුව, විවිධ විශේෂඥ කමිටු මඟින් මේ පොත් පෙළ ගැස්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් දෙනවා. මම විශ්වාස කරනවා ඒ වැරැදි ආපසු දකින්න නොලැබේවි කියලා.

සිංහල පිරිස්, දෙමළ සහ හින්දු ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමා පිහිටුවීම ගැන ඔබ මොකද හිතන්නේ?

මේ ගැන චෝදනා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මම හිතන හැටියට බෞද්ධ ඉතිහාසයක් ඇති ප්‍රදේශවල බුදු පිළිම තැබීමේ හෝ පන්සල් අලූත්වැඩියා කිරීමේ වරදක් නෑ. කොහොම වුණත් පුරාවිද්‍යා සංරක්ෂණයේ මුවාවෙන් වංචා සහගත ලෙස දෙමළ භූමිවල බුදු පිළිම පිහිටුවීමට අවසර දෙන්න බෑ. මේ පිළිබඳ මගේ අදහස මම ලිඛිතවම අගමැතිතුමාට ඉදිරිපත් කළා.