ගුරුකුඹුරේ
‘අලි අවනඩුව’
මිනිස් ශිෂ්ටාචාරය මහ පොළොව මත විස්මිත ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටියදී ඔවුන් තවමත් ගස් උඩය. ඒ කාගේ වරදින්ද?
රාස්සිගේ අව්වේ සෙවණැලි මැකී යෑමට පෙර මහ පොළොව මත සිදුකරන සියලූ කටයුතු නිමා වේ. රාත‍්‍රී ආහාරයට තම්බා ගත් අලයක්, කොළයක් හෝ බඩඉරිඟු කරලක් කා බී අවසන් කළ යුතුය. නැතිනම් ගුවනේදී ආහාර පිණිස ඔතාගත යුතුය. මහා රූස්ස ගස් පාමුල ඇති දිවා නිවස්නේ දොර කවුළු වැසෙන්නේ ඉන් පසුවයි. රාත්‍රි නිවහන ඇත්තේ මහ පොළොවේ සිට අඩි විස්සක් තිහක් තරම් උස රූස්ස ගස් මතය.
වැල් හැරපටින් වෙළුෑ ඉනිමඟ දිගේ ඉහළට නැගිය යුත්තේ ඉතා සීරුවෙනි. ගැබිනි මව්වරුන්, කිරිකැටි බිළිඳන් තුරුලූ කරගත් අම්මාවරුන් මෙන්ම හරියට ගතේ වාරු නැති ආච්චි අම්මලාද මහගිරිදඹ තරණය කරන්නා සේ ඉනිමඟ දිගේ ගහ උඩ පැලට නැගිය යුතුය. ආරක්ෂාව ඇත්තේ එහිය. ඉතිං මෙතැන් සිට පසුදා සක්සුදක් සේ මහ පොළොව පෙනෙන තුරු නිදි නැතිව හෝ ඇතිව රාත‍්‍රිය මේ ගස් මතම ගෙවා දැමිය යුතුය.
මේතාක්, ජීවිතයේ වැඩිම කාලයක් ඔවුන් ගෙවා දමා ඇත්තේ මේ මහා රූස්ස ගස් මත තනාගත් පැල්පත් තුළය. මේ ජීවන විලාසය ඇත්තේ ඇමේසන් වනාන්තරයට යාබද ගම්මානයක නොවේ. ශ‍්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ‘ගුරුකුඹුර’ ගම්මානයේය.
ගුරුකුඹුරමහියංගණය නගරයේ සිට ගුරුකුඹුර ගම්මානයට ඇති දුර කිලෝමීටර් 24කි. දඹාන හන්දියේ සිට ගුරුකුඹුර ගම්මානයට ඇති දුර කිලෝමීටර් අටකි. ගම්මානය පිහිටා ඇත්තේ මාදුරුඔය රක්ෂිතයට මායිම්වය. කුලප්පු වන වන අලින් විසින් වරින් වර පෙරළා දමන විදුලි වැටට මෙපිටින් ඇති ගුරුකුඹුර ගම්මානයේ කුඹුරු ඉඩම් ඇත්තේම නැති තරම්ය. ප්‍රධාන ජීවනෝපාය ගොඩ ගොවිතැන හෙවත් හේන් වගාවයි.
දහවල් කාලයේ මහා සාමකාමී මුහුණුවරකි. රාත‍්‍රිය ඉතා කලබලකාරීය. අලින්ගේ කුංචනාදයත් ඔවුන් එළවා දැමීමට ඝෝෂා කරන මිනිසුන්ගේ විලාපයත් තැන තැන පත්තු කරන අලි වෙඩි පිපුරුම් හඬත් රාත‍්‍රියේ නිස්කලංක බව බිඳින්නේය. මෝසම් වැස්සෙන් පසුව එළැඹෙන හේන් වගා කාලයත් වගාවන් කිරිවදින කාලයත් බොහෝ ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී. රංචුපිටින් වන අලි ගමට කඩා පනින්නේ ත්‍රස්තවාදීන් මෙනි. වගා පාළුවෙන් වගා බිම් බේරාගැනීම සඳහා අලි වෙඩි පමණක් නොව තුවක්කු වුවද පත්තු කෙරෙන අවස්ථා තිබේ.
උඩ වාඩිය- බිම වාඩියසෑම වසරකම අගෝස්තුවේ බිම පැලත් ගහ උඩ පැලත් යන දෙකම ප්‍රතිසංස්කරණය කෙරේ. ඉලූක් හෙවිලි කළ මැටියෙන් තැනූ ‘බිම පැල’ තුළ ඇත්තේ සරල උපකරණ කිහිපයකි. ගොවි තැනට ගන්නා කැත්ත, උදැල්ල, හැරුණුකොට ඉවුම් පිහුම් උපකරණ හා අඳින වස්ත‍්‍ර කිහිපයකි. ලූණු මිරිස්, තුනපහ පවා රැුකගන්නේ ගහ උඩ පැලේය. පැල් හදන අගෝස්තුව ගස් උඩ කූඩු තනන සමයයි. ඉලූක් හෙවිලි කර සීරුවට පැලේ මැස්ස විවීමත් පවුලේ සාමාජිකයන් ප‍්‍රමාණයට ප‍්‍රමාණවත් ඉඩකඩක් සහිතව ඉදිකිරීමත් පහසු කාරියක් නොවේ. ඒ සඳහා ගුරුකුඹුරේ සියල්ලෝම හවුල්කාරයෝ වෙති. ඇතැම්විට එක පවුලක් සඳහා ගහ උඩ පැල් දෙක තුනක් වුව ඉදිකිරීමට පසුබට වන්නේ නැත. ඒවා අලූත විවාහ වූ ජෝඩු සඳහාය.
හිත පිරෙන වැසි සමයසැප්තැම්බර් අග ඔක්තෝබර් මාසය හේන් වගා කරන සමයයි. කාෂ්ඨක පොළොව වැසි දියෙන් තෙතබරිත වීම තරම් සොම්නසක් මේ ආදිවාසී ගොවියන්ට නැත. බඩඉරිඟු, කුරහන්, තල, මෙනේරි, මුංඇට, කව්පි, බටු, තම්පලා, වට්ටක්කා, පිපිඤ්ඤා, මඤ්ඤාක්කා පොළොවට යට කෙරෙන්නේ මේ කාලය තුළය. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල අස්වනු කරලින් බර වේ. ඉරිඟු මල්වල සුවඳ පැතිරී යෑම ඇරඹේ. බඩඉරිඟු, කුරහන් මල් සුවඳ වන අලියන් උමතු කරවනසුලූය. නිසි ප‍්‍රමිතියට නැති අලි වැට බිඳීමට මේ මදයෙන් මත්වූ අලි පසුබට වන්නේ නැත. හේන සරු කලට නම් ගහ උඩ පැලේ වුව නින්දක් නැත. එසමයේදී ගුරුකුඹුර රාත‍්‍රී කාලය පුරාම අවදියෙන්ය.
මෙසේ දුක්විඳ රකින හේන් අස්වැන්න ඊළඟ වගා කන්නය තෙක් රැුකගැනීමට ඔවුන්ට සිදුවේ. ඇතැම්විට ඒවා ගබඩා කරගන්නේ ගුරුකුඹුරින් එපිට ඥාතීන්ගේ නිවෙස්වලය. නැතිනම් අස්වැන්න විකුණා දමා මුදල් ළඟ තබාගත යුතුය. සියලූ අගහිඟකම් පිරිමසා ඉතිරි අස්වැන්න පමණක් මුදල් කරගැනීම සාමාන්‍ය ක්‍රියාවලියයි. ලෙඩකට දුකකට බෙහෙත් ගැනීමත්, දරුවන් පාසල් යැවීමත් එදිනෙදා අත්‍යවශ්‍ය වියදමුත් පියවා ගන්නේ ඉතා අමාරුවෙන් මඩි ගසාගත් මේ මුදලෙනි. ඊළඟ කන්නයට අවශ්‍ය බීජ අටුවක තබා අමාරුවෙන් රකී. ඇතැම්විට අලි ගම් වැදී කා බී ප්‍රීති වන්නේ මේ සුරක්ෂිත කළ බීජ කොටසය. එවැනි අවස්ථාවල කොටන තුවක්කුවෙන් වෙඩි නොකා බේරෙන්නට අලින් වග බලාගත යුතු සේය.
විරසකයක ඇරැුඹුමමිනිසුන් කැලෑ වැදීමත් අලි ගම් වැදීමත් මහා පුදුමාකාර දෛවයකි. ආදිවාසී පදනමේ සභාපති ඌරුවරිගේ සෙනෙවිරත්න ඒ ගැන මෙසේ කීවේය.
”අපේ අම්මලාගේ කාලේ තිබුණු නිදහස් ජීවිතය දැන් අපිට නැහැ. ගාලක හිරවුණු හරක් වගේ තමයි අපි ජීවත් වෙන්නේ. 1980 මාදුරුඔය රක්ෂිතයට කැලේ මැනලා, එදා අලි- කොටි- වලස්සු එක්ක එකට එකම කැලෑවක ජීවත් වුණු අපි කැලෙන් වෙන් කළා. කැලෙන්ම ජීවත් වුණු අපිට ගොවිතැන් කරන්න සිද්ධ වුණා. ඒවා රකින්න සිද්ධ වුණා. ඒකම තමයි මේ ගැටුමට හේතු වුණේ. එදා හිටියේ එක්කෝ ආරච්චි නැතිනම් ගමරාල. දැන් නිලධාරියෝ ගොඩයි. පොලීසිය, ග්‍රාමසේවක, වනජීවි එක, ග්‍රාමාරක්ෂක මේ කවුරුත් අපේ සංස්කෘතියේ ජීවත් වෙච්ච අය නෙවෙයි. අපි ජීවත් වුණ ක්‍රමය ඒ අය දන්නේ නැහැ. අපිට මේ නීති මහා පීඩාවක්.’’
වෙන් කළ ජීවිතයසෙනෙවිරත්න ඇත්තන් කියන්නේ මේ අවුල නිර්මාණය කළේ පාලකයින් බවයි. ‘‘මේකට හේතු හැදුවේ ආණ්ඩු. අපිට ඉස්පිරිතාල ඕන වුණේ නෑ. අපිට අවශ්‍ය වෙදකම අපි කරගත්තා. බේත හේත කැලෙන් හොයාගත්තා. සල්ලිවලට ගත්තේ ලූණු විතරයි. අද ලූණු කන්න තරම්වත් වත්කමක් උපයගන්න අපේ සමහර පවුල්වලට බෑ. රජවරු වගේ කැලේ හිටපු අපි ගම්වලට ගෙනත් දාලා හිඟන්නෝ කළා. ඒ ප්‍රතිඵල තමයි අද අපි විඳින්නේ”
මේ විනාශයට පාර කැපුණු හැටිද සභාපති ඇත්තන් අපට කීවේය. ”1967 ඒ කාලේ ආණ්ඩුව මේ මාදුරුඔය ඉඩම් කොළඹ මහත්තුරුන්ට දුන්නා. අක්කර එකේ ඉඳලා අක්කර අසූව දක්වා දුන්නා. ඉඩම් ගත්ත මහත්තුරු ඇවිත් මෙහේ තිබුණු ගස් ඔක්කොම කපලා පැටෙව්වා. මොරටුවට නැත්නම් මහියංගනයට. ඊට පස්සේ ඉඩම් බලාගන්න දුප්පත් මිනිස්සු ගෙනත් පදිංචි කළා. මේ මිනිස්සු මෙහේ ජීවත් වෙන්න දැනගෙන හිටියේ නෑ. 1976 විතර ඔවුන් මේ ඉඩම් අතහැරලා ගියා. ඊට පස්සේ මේ ඉඩම්වල තේක්ක කියන ගස් වගා කළා. අපි ඒවා අහලා තිබුණේවත් නෑ. තිබුණු කැලේ විනාශ කළා. ඊටපස්සේ 1980 විතර මාදුරුඔය කැලේ ජීවත් වුණු අපි මේ විනාශ කරපු ගමට තල්ලූ කරලා මාදුරුඔය අභය භූමිය ප්‍රකාශයට පත් කළා. අපිට කැලේ නැති වුණා. අලින්ටත් කැලේ නැති වුණා. දැන් දවල්ට මාදුරුඔය අවට ගම්වල අපි කවුරුත් කැලේ වදිනවා. අල හාරන්න, මාළු බාන්න, දඩයම් කරන්න, බෙහෙත් එකතු කරන්න, මී කඩන්න. රැට අලි ගම් වදිනවා බඩ පුරවගන්න. දෙගොල්ලන්ටම තිබුණු නිදහස නැති වුණා.”
ඌරුවරිගේ ජිනදාස සිය අහිමි වීම ගැන කීවේ මෙවැනි කතාවකි. ”අලි වගේම මිනිස්සුත් හොරකමට ජීවත් වෙන්නේ. කැලේට ඇතුල්වීම තහනම් වුණත් මී කඩන්න, කොළ පොතු එකතු කරන්න, මාළු අල්ලන්න මිනිස්සු දවල්ට කැලෑ වදිනවා. කැලේ ඉන්න අලි එළව එළවා තමයි මේ වැඩ කරගන්න වෙන්නේ. රැට අලි ගමට එනවා. අපි ජීවත් වෙන්නේ හේන් කරන කාලෙට අලයක් කොලයක් වගා කොරලා. ඉතිං ඒක රකින්න අලිත් එක්ක හැප්පෙන්න වෙලා. ඉස්සර එහෙම තිබුණේ නෑ. අලි හිටපු කැලේ අපිත් හිටියා. මෙහෙම කරදර වුණේ නෑ”
ශෝකාන්තයේ තවත් කතාවක්ඌරුවරිගේ විජේරත්න මේ ශෝකාන්තයේ තවත් කතාවක් කීවේය. ”අලිවැට අබලන් නිසා අලි ගමට එනවා. අලි ගමට එන එක නැවැත්තුවොත් අපිට වගා කරලා ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැති නිසා තමයි අපිටත් අලි ගමට එනවා වගේ කැලේට යන්න වෙන්නේ”
ඒ.එම්. සමන්කුමාරි තරුණ ගෙවිලියක්. ඇය මුහුණ දෙන ජීවන අත්දැකීම ඇය මෙසේ කීවාය. ”හතර පහ වෙද්දි දරු පැටව් එක්ක ගහේ රුකුලට නගිනවා. උදේ හය හත වෙද්දි බිමට බහින්නේ. ගහ උඩ රුකුලේ දරුවෝ පරිස්සම් කරගන්න අපි අවදියෙන් ඉන්නේ. දවල්ට පැයක් දෙකක් ඇහැ පියව ගන්නවා. සමෘද්ධියවත් වෙන දීමනා මොකුත්ම අපිට නෑ. වතුර ගේන්න කිලෝමීටරයක් විතර ඈතට යන්න වෙනවා. ගොවිතැන් රැුකගන්න එළිවෙනකං මාරුවෙන් මාරුවට අවදියෙන් ඉන්නේ.”
දුකසේ හදා වඩා ගන්නා වගාව එක රැුයෙන් වුවද අලින්ට පුදන්නට සිදුවීමේ ඛේදවාචකය පිළිබඳව සියල්ලන් තුළම ඇත්තේ අවිනිශ්චිත භාවයකි. මොවුන් පිළිබඳව සොයා බලන්නට සිටින සියල්ලන්ම ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ නිලධාරීන් සේය. ඔවුන් මේ ගම්මානවලට පැමිණ මේ මිනිසුන් මුහුණදෙන ජීවන අරගලය පිළිබඳ සොයා බලා නැත. ගස් උඩ නොව මහ පොළොවෙහි බියෙන් සැකෙන් තොරව ජීවිත් වීමේ අයිතිය ඔවුන්ට ලබා දීම ශිෂ්ට සමාජයක වගකීමක් නොවේද?
සේයා රූ: අජිත් සෙනෙවිරත්න