Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

‘අපටත් දැන් ලිපිනයක් ඇත’
වතුකරයේ ලිපින විප්ලවය

ලිපිනයක් යනු කෙතරම් වටිනා දෙයක්දැයි ඔබ මින් පෙර සිතා නැතිවාට සැක නැත. ඒ ඔබට ලිපිනයක් තිබෙන නිසාය. එහෙත් ලිපිනයක සැබෑ වටිනාකම ඔවුහු දනිති. ඒ ලිපිනයක් නොමැති වීමේ වේදනාව දිගු කලෙක සිට ඔවුන් අත් විඳ ඇති බැවිනි.

22.10.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

ස්ථිර ලිපිනය කුමක්දැයි ඔබෙන් කිසියම් අයදුම්පතක් විමසයි නම්, එකී හිස්තැන සම්පූර්ණ කිරීමේ හැකියාවක් ඔබට, මට මෙන්ම අප බොහෝ දෙනෙකුට තිබේ. එවැන්නක් හිමි නැති පිරිසක් ගැන ඔබට සිතාගත හැකිද? සිතාගැනීමට අසීරු වුවද එවැනි පිරිසක් මෙරට සිටියි. ඒ නිකමුන් හෝ අපතයින් නොව පරම්පරා ගණනක් මෙරට වැවිලි ආර්ථිකය වෙනුවෙන් දහඩිය වැගිරූ මහා ශ්‍රම බලඇණියක් වූ වතුකරයේ ජනයාය. වගුරන ශ්‍රමයට ගෙවන වැටුප සේම මිනිසුන් ලෙස හිමි විය යුතු අයිතිවාසිකම් හා ගරුත්වයද ඔවුන් විෂයෙහි පවතින්නේ ඉතා පහළිනි. ස්ථිර ලිපිනයක් නොමැති වීම, ඔවුන් පෙළන සමස්ත අසාධාරණකම්වල සංකේතයක් වැනිය.

ලිපිනය යනු පුරවැසියන්ගේ අයිතිවාසිකමකි. දෛනික ජීවිතයේ බොහෝ ගනුදෙනු කිරීම් සහ රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා ලිපිනය අත්‍යවශ්‍ය සාධකයකි. ස්ථිර ලිපිනයක් නොමැති වීම හේතුවෙන් රැුකියා අවස්ථා අහිමි වීම, බැංකු ගනුදෙනු අඩාළ වීම, සමාජ පිළිගැනීම අවම වීම, විදේශගතව හෝ දුරබැහැර සිටින සමීපතමයන් සමඟ ඇති ළෙන්ගතුකම් ඇනහිටීම ඇතුළු ගැටලූ ගණනාවක් ජනිත වේ. වැවිලි ප්‍රජාවේ ආරම්භක සමාජය මුහුණ දුන් එම තත්ත්වය අද වනතුරුත් එලෙසමය.

‘ඌව ශක්ති’

දශක ගණනක් තිස්සේ වතු කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන වෘත්තීය සමිති හා දේශපාලන බලවතුන්ගේ න්‍යාය පත්‍රවලින් ගිය මේ ගැටලූව සම්බන්ධයෙන් අපූරු අරගලයක නිරත පිරිසක් සිටී. ඒ ‘ඌව ශක්ති පදනම’යි.

/

‘ඌව ශක්ති පදනම’ යනු වාර්ගික සංහිඳියාව, සාමය ගොඩනැගීම සඳහා බිම් මට්ටමේ පුරවැසියන් බලගැන්වීම සඳහා කැප වූ ස්වාධීන සංවිධානයකි. 1996 පස්සර නමුණුකුල අසල කණවරැල්ල වතු යායේ සිදු වූ නාය යාම හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා උපකාර කිරීමට එක් වූ ස්වේච්ඡා කණ්ඩායමකින් මෙම සංවිධානය ආරම්භ කෙරිණි. ඉන් පසුව විවිධ සමාජ සේවාවන් වෙනුවෙන් කැප වූ මේ කණ්ඩායම 1999 දී ‘ඌව ශක්ති පදනම’ යනුවෙන් ලියාපදිංචි සංවිධානයක් බවට පත් විය.

‘ලිපින අරගලය’

ලිපිනයක් අහිමි වතුකරයේ ජනයාට ලිපිනයක් ලබා දීම සඳහා ඌව ශක්ති පදනමේ මැදිහත් වීම ඇරඹෙන්නේ 2002 වසරේ සිටය. 2017 ජනවාරියේදී ඒ වෙනුවෙන් මහා මෙහෙයුමක් දියත් කෙරිණි. ඒ අනුව බදුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති තෙල්බැද්ද, වේවැස්ස, මාපාගල සහ කැන්දගොල්ල යන වතු යායවල්ද පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ඩැමේරියා වතු යායද ලූණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෝප්ටන් සහ ඌව කැලේ වතු යායවල්ද හාලිඇල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ස්්ප්‍රිංවැලි, ඌව කැටවල, මේමලේ සහ කෝට්ටගොඩ යන වතු යායවල්ද පදනම් කරගත් නියමු ව්‍යාපෘතියක් දියත් කෙරිණි.

මෙතෙක් ස්ථිර ලිපිනයක් නොතිබූ වතු කම්කරු පවුල් තුන්දහසකට ස්ථිර ලිපිනයක් හිමි කර දෙමින්, සාමාන්‍ය ක්‍රමය යටතේ ලිපියක් ලැබීමට සැලැස්වීමත් ඔවුන්ගේ ගරුත්වය හා අභිමානය ආරක්ෂා කිරීමත් මේ නියමු ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

‘නාමකරණය’

ලිපිනයක් ලබා දීම සඳහා තෝරාගත් වතු යායවල වෙසෙන පුරවැසියන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් මෙම වැඩසටහන සංවිධානය වේ. එහිදී ඇතැම් වතු යායවල පිහිටුවා ඇති පුරවැසි සභාවල ක්‍රියාකාරිත්වය සහ සක්‍රිය දායකත්වය මේ සඳහා මහෝපකාරි වූ බව ‘ඌව ශක්ති’ සඳහන් කරයි. වතු සහ ලැයිම් හඳුන්වා දීමට එතෙක් භාවිත කෙරුණේ මානව අභිමානයට හානිකර නම්ය. එම නිසා පවතින ලැයිම් නාමය වෙනුවට වෙනත් නම් යෝජනා කෙරිණ. වීදි නාම පවා සුදුසු අයුරින් වෙනස් කිරීමට පියවර ගත්තේය. නම් නොමැති පාරවල් සඳහා ‘අම්මන් පටුමග, නිලාවේලි පටුමග, සංගමම් පටුමග’ ආදී නම් ලබා දුන් අතර නම් නොමැති ප්‍රදේශ අම්මන් ග්‍රාමම්, විනයාගර් පුරම් ආදී වශයෙන් නම් කෙරිණ. එසේම වැවිලි ප්‍රජාවගේ ගෞරවයට හානි නොවන පාසල් පටුමග, පෙරුමාල් කෝවිල් පටුමග ආදී නම් එලෙසම පවත්වාගෙන යාමටත් රාක්කමාල් ලැයිම්, මාට්ටු පට්ටි ලැයිම් (හරක් ලැයිම, කංගානි ලැයිම, කෝවිල් ලැයිම, අක්කර 10 ලැයිම, එට්ටම් කාම්බරා ලැයිම) කාමර අටේ ලැයිම යනාදිය පිළිවෙළින් උයම් පටුමග, අෙලෙය පටුමග, සක්කරවාගම් කොලනි, කදිරේශන් අෙලෙයි පටුමග, කන්නදාසන් පටුමග සහ අරිවෝලි ගාමම් ආදී වශයෙන් වෙනස් කෙරිණි.

/

වැවිලි කර්මාන්තයේ යෙදෙන වතු සමාගම් ආශ්‍රිත වතු යායන්වල අභ්‍යන්තර නම් ගම් වෙනස් කරමින් ඌව ශක්ති පදනම වතු කම්කරු ජනතාවට ස්ථිර ලිපිනයන් ලබා දීම වතු ආශ්‍රිත ප්‍රජාවට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

ලිපිනය අහිමි වූ හැටි

ඔබටත් මටත් ස්ථිර ලිපිනයක් ඇති නිසා මෙය ‘සරල’ කාරණාවක් සේ දැනුණත් එය එතරම් සරල නැති බව ඌව ශක්ති පදනමේ නීති හා ජ්‍යෙෂ්ඨ උපදේශක සමාජ පර්යේෂක නීතිඥ ලක්ෂ්මන් ශාන්ති කුමාර් පෙන්වා දෙයි.

”දෙමළ කම්කරු ජනයා අසල්වාසී සිංහල ජනයා සමඟ සුහද සම්බන්ධතාවක් ගොඩනගා ගන්නවාට බ්‍රිතාන්‍ය පාලකයන්, වතු පාලකයන් කැමැති වුණේ නෑ. නමුත් වතු කම්කරු ජනතාව දකුණු ඉන්දියාව සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමට සහාය වුණා. මේ නිසා බදුල්ල, නාවලපිටිය, හැටන්, රත්නපුර, හපුතලේ, රක්වාන, මොනරාගල යන වතු ආශ්‍රිත ප්‍රදේශවල තැපැල් ස්ථාන ඇති කළා. ඉන්දියාවේ සේලම් මධුරෙයි (චෙන්නායි) අරන්කාන්කේලි යන ප්‍රදේශවලත් තැපැල් කාර්යාල ඇති කළා. තමිල්නාඩුවෙත් ලංකාවෙත් තැපැල් සේවාව ආරම්භ වීමට මේ තත්ත්වය පූර්වාදර්ශයක් වුණා. නමුත් ජාතික තැපැල් සේවාව වශයෙන් මේක ආරම්භ වුණායින් පස්සේ ඒ අයිතිය වැවිලි ප්‍රජාවට අහිමි වුණා. ඒකට හේතු වුණේ 1948 නිදහසින් පස්සේ වැවිලි ප්‍රජාවගේ පුරවැසිභාවය අහෝසි කිරීම.’’

එතැන් සිට අද දක්වාම පැවතුණු තත්ත්වය, විශ්වාස කිරීමටද අසීරු තරම්ය. නීතිඥ ශාන්ති කුමාර් ඒ ගැන මෙසේ සඳහන් කරයි.

‘‘බොහොමයක් වතුවල තැපැල් සේවාව සිදු කරන්නේ වතු පාලකයො. මේ නිසා වතු ප්‍රජාවට හිමි ලිපි ඔවුන්ට ඍජුව අතට ලැබෙන්නේ නෑ. තැපැල් කාර්යාලවලින් ලිපි ලබා දෙන්නේ වතු පරිපාලන කාර්යාලයට. ඊට පස්සේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතින් අත ගිහින් තමයි අන්තිමට හිමි කෙනාට ලිපිය ලැබෙන්නේ. මේ නිසා සමහර වෙලාවට ලිපියේ අන්තර්ගතය ප්‍රසිද්ධ වෙනවා. ලැබිය යුතු තැනැත්තාට ලිපිය නොලැබීම, සම්මුඛ පරීක්ෂණ, වැඩසටහන් ලිපි, ආරාධනා පත‍්‍ර, බැංකු ලිපි, තරුණ තරුණියන්ට ලැබිය යුතු ලිපි නියම අවස්ථාවේ ලැබෙන්නේ නෑ. මේ තත්ත්වය නිසා නිවැරදි පුද්ගලයෝ බන්ධනාගාර ගත වුණු අවස්ථා, විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වුණු අවස්ථා, රත්තරන් බඩු බැංකුවල සින්න වුණු අවස්ථා, හිමි විය යුතු ගුරු පත්වීම් ආදිය නොලැබුණු අවස්ථා මේ වතුවල ඕනෑතරම් තියෙනවා. මෙන්න මේ අසාධාරණ ක්‍රියාව වැළැක්වීම තමයි අපේ අරමුණ වුණේ. ඇත්තෙන්ම වීදියකට නමක්, නිවසකට අංකයක්, ලිපිනයක් ලබා දීම කියන්නේ වැවිලි ජනතාව නූතන ලෝකයට ප්‍රවේශ වීමක්”

‘පරිපාලනයේ වෙනසක්’

වැවිලි ප්‍රජාවට ස්ථිර ලිපිනයක් ලබා දීමේ නියමු ව්‍යාපෘතියේ සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ඌව ශක්ති පදනමේ ලේකම් සුමිත් අබේකෝන් (තිස්ස) සිය පදනමේ මෙහෙයුමට පදනම් වූ කරුණු කාරණා අපට මෙසේ කීවේය.

”ස්ථිර ලිපිනයක් නැති නිසා මේ ප්‍රජාව විඳවපු ප්‍රශ්න සේම විඳවමින් සිටින ප්‍රශ්න ඉතා ගැඹුරුයි, සංකීර්ණයි. ඔවුන්ට සමාජයට මුහුණ දීමට හැකි තත්ත්වයක් තිබුණේ නෑ. වතුකරේ කිසිම වෘත්තීය සමිතියක් මේ ජනයාගේ එකී අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ නෑ. මේ නිසා මේ සමාජ ගෞරවය ඔවුන්ට අත්පත් කර දෙන්න අපි ක්‍රියා කළා. ව්‍යාපෘතිය සාර්ථක වුණා. ස්ථිර ලිපිනයක් ලැබුණු වතු ආශ්‍රිත ප්‍රජාව ඒ තත්ත්වය තමන්ට ලැබුණු ගෞරවයක් ලෙස දකිනවා.’’

නඩේසන්,සුමිත්, ලක්ෂ්මන්

ස්ථිර ලිපිනයක් ලබා දීම රාජ්‍ය පරිපාලනයටත් පහසුවක් බවත්, එකම වාසගම සහිත පුද්ගලයන් රැසක් වතු ආශ්‍රිතව ඉන්න නිසා ඇතිවන ගැටලූව ස්ථිර ලිපිනයක් ලබා දීමේ ව්‍යාපෘතියෙන් අහෝසි කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රාදේශීය සභාව වතු ආශ්‍රිත සංවර්ධනයට මැදිහත් නොවීමේ පිළිවෙත වෙනස් කිරීමටද මෙය පදනමක් වනු ඇති බවද ඔහු පැවසුවේය. ‘‘වීදි නාමකරණයක් තිබීම, ලැයිම්වලට නිශ්චිත නම් දැමීම ගෘහ අංකනය කිරීම නිසා ඒවා රාජ්‍ය ආයතනවල ලියාපදිංචි වෙනවා. මේ නිසා ප්‍රාදේශීය සභාවේ මේ ලිපින ලියාපදංචි වුණාම වතු ආශ්‍රිත යටිතල පහසුකම් නැංවීම රාජ්‍ය ආයතනවලට වුණත් පහසු කටයුත්තක්.’’

නිලධාරීන්ගේ සහයෝගය

‘අපටත් දැන් ලිපිනයක් ඇත’ ව්‍යාපෘතිය වෙනුවෙන් අසීමිත කාර්යභාරයක් ඉටු කළ සහ ඉටු කරමින් සිටින ඌව ශක්ති පදනමේ සභාපති නඬේෂන් සුරේෂ් සිය මෙහෙයුම පිළිබඳව අපට මෙසේ පැවසුවේය.

”ස්ථිර ලිපිනයක් ලබා දීම, වතුකරයේ ජනතාය මුළු ඉතිහාසයක් පුරා කරන ලද ශ්‍රමයට ගෞරව කිරීමක්. පුරවැසියන්ට තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට, දෛනික කටයුතු පහසු කර ගැනීමට ස්ථිර ලිපිනයක් වැදගත් වෙනවා. ස්ථිර ලිපිනයක් තිබීම රාජ්‍ය පරිපාලනයටත් ඉතා වැදගත් වෙනවා. පුරවැසියන් වෙනුවෙන් වගකිව යුතු ග්‍රාම නිලධාරීන්ට, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට, කෘෂිකර්ම හා සමෘද්ධි නියාමක වැනි නිලධාරීන්ට, පළාත් පාලන ආයතනවලට, පොලීසියට, පුද්ගලයකුගේ අනන්‍යතාව සොයාගන්න ස්ථිර ලිපිනය වැදගත්. වතු පුරවැසියන් සමඟ ගනුදෙනු කරන ඕනෑම අයෙකුට දැන් අපි ඒ පහසුකම ස්ථාපිත කරමින් ඉන්නවා.’’

අවවරප්‍රසාදිත ප්‍රජාවන් සම්බන්ධයෙන් බොහෝ සිවිල් සංවිධාන අනුගමනය කරන පිළිවෙතින් තම සංවිධානය වෙනස් වන අයුරුද ඔහු පෙන්වා දුන්නේය.

‘‘සිවිල් සංවිධානයක් හැටියට අපි වතු ආශ්‍රිත ප්‍රජාවට ටකරං බෙදා දීම, වැසිකිළි තනා දීම, නල ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුරවැසියන් යැපුම් මානසිකත්වයකට හුරු කළේ නෑ. ඊට වඩා ඔවුන්ට ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය පන්නරය ලබා දුන්නා. මේ කාර්යයේදී ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් නිලධාරිවරු, පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රීවරු, වතු අධිකාරිවරු අපිට සහාය දුන්නා. තවදුරටත් ඔවුන්ගේ සහාය අපේක්ෂා කරනවා. අපේ බලාපොරොත්තුව වැඩ කරන ආයතනවලට පූර්වාදර්ශයක් ලබා දීම. වතු ආශ්‍රිත කම්කරු ජනතාවට ස්ථිර ලිපිනයක් ස්ථාපිත කිරීම වගේම ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් පිළිගැනීම වෙනුවෙන් පළාත් සභාවේ ප්‍රඥප්තියක් මඟින් ස්ථිර විසඳුමක් ලබා දිය යුතුයි. එවැනි වටපිටාවක් සූදානම් වෙමින් පවතිනවා ඒක සතුටට කාරණයක්.’’