Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජාතිවාදී ගින්නට තෙවරක් කොටුවුවත්
මාතර අතහැර නොගිය තවේන්ද්‍රන්

ඔහු මෙන් උතුරින් දකුණට ආ බොහෝ දෙනෙක් ඒ අඳුරු කාල පරිච්ඡේදයේදී දකුණ හැර ගියහ. ඇතැමුන්ට ජීවිතය පවා හැර යෑමට සිදු විය. එහෙත් ඔහු තවමත් දකුණේය. ඒ නරක මිනිසුන් තරමට ප්‍රසිද්ධ නැති හොඳ මිනිසුන්ගේ ආදරය නිසාය.

24.10.2017  |  
මාතර දිස්ත්‍රික්කය
තවේන්ද්‍රන්

“ බෙහෙත් ටික බිව්වද? මම හැමවෙලේම කියන්නෙ ඕක නේ. බෙහෙත් ටික වෙලාවට බොන්න කිසි උවමනාවක් නෑනේ. හා හා දැන් බොන්න ”

බන්දුලගේ අණින් තිගැස්සුණු තවේන්ද්‍රන් මුදලාලිගේ නළල රැලිවැටුණේය. ඔහු වමතින් නළලට කීපවිටක් තට්ටු කර ගත්තේ තමාට සිදු වූ අමතක වීම පසක් කර ගනිමිනි. බන්දුල දෙස මහත් ආදරයකින් බැලූ තවේන්ද්‍රන්, මේසයේ ලාච්චුව ඇර එහි තිබූ බෙහෙත් බෑගය අතට ගෙන පෙති එකින් එක තෝරා කොටස් කරන්නට විය.

සිංහල- බෞද්ධයකු වූ බන්දුල සහ දෙමළ- හින්දු භක්තිකයකු වූ තවේන්ද්‍රන් අතර මිත්‍රත්වය බොහෝ ගැඹුරු එකකි. තවේන්ද්‍රන්ට හෘදයාබාධයක් වැලදී මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී සියලු උපස්ථාන කටයුතු කරදෙමින් ළ සිටියේ බන්දුලය.

මාතර මිනිසුන් සමඟ තවෙන්ද්‍රන්ට ඇත්තේ අපූරු බැඳීමකි. වසර හතළිහක් පුරා නොබිඳුණ බැඳීමකි. මෙම බැඳීම පුදුමසහගත වන්නේ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා තුනකදී තම සේසත සාහසිකයන් අතින් දැවී අළු වී යද්දී ජීවිතය පමණක් බේරාගත් තවේන්ද්‍රන්, මාතර ජනතාව සමඟ සිටිමින් යළි යළිත් ජීවිතය ගොඩනැගූ නිසාය. එය ත්‍රාසය හා භීතිය පිරි කතන්දරයකි.

උතු‍රෙන් දකුණට

යාපනයේ ඒලාලෙයි කොන්ඩාවිල් පදිංචි තවේන්ද්‍රන් රාමසාමි (61) මාතරට එන්නේ 1977 සිරිමා බණ්ඩාරනායක රජය සමයේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 21කි. 10 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා පාසැල් කාලය හමාර කර සිටි තවේන්ද්‍රන් මාතරට කැඳවාගෙන එන්නේ තම පවුලට දුර නෑකමක් ඇති සිවසම්බු මුදලාලිය.

“ මම ඉස්කෝලෙ යන්නෙ නැතිව ඉන්නකොට සිවසම්බු මුදලාලි ඇවිත් තාත්තාගෙන් මම මාතරට ගෙනියන්න අවසර ඉල්ලුවා. තාත්තා අවසර දුන්නා. මම ආසාවෙන් ආවෙ. මාතර ආ මට සිවසම්බු මුදලාලිගෙ සුරුට්ටු කඩේ ගෝලයා හැටියට තමයි වැඩකරන්න තිබුණෙ. තව ගෝලයෝ දෙන්නෙක් හිටියා ”

මාතරට පැමිණෙන විට ඔහු සිංහල බස දැන සිටියේ නැත. එහෙත් නන්නාඳුනන ප්‍රදේශයක තමන්ට නුහුරු භාෂාවක් කතාකරන මිනිසුන් සමඟ ගනුදෙනු කිරීම ඔහු ප්‍රශ්නයක් කර නොගත්තේය.

පළමු ගින්න

“කඩේ සුරුට්ටු, දුම්කොළ, බීඩි, හදුන්කූරු ආදිය තොග සහ සිල්ලරට විකිනීම තමයි කළේ. මට පාර්සල් බදින්න තමයි තිබුණේ. මුල්ම පඩියවුණේ මාසයකට රුපියල් හැත්තෑ පහයි. ඒක හොඳටම ඇති. මම මාතරට ඇවිත් මාස දෙකකින් සිංහල දෙමළ කලබලයක් ඇති වුණා. අපේ කඩේ කඩා විනාශ කළා. ඇඳන් හිටිය ඇඳුම විතරයි ඉතිරි වුණේ. නාගරාජා දොස්තර මහත්තයාගේ ගෙදර ඉඳන් ජීවිතය බේරාගෙන යාපනයට ගියා. මුදලාලි නැවත කඩේ හැදුවා. මමත් නැවත මාතරට ආවා. බයක් ඇති වුණේ නෑ. පසුව මැතිවරණයක් තිබුනා. ඒකෙන් සිරිමා පැරදී ජේ. ආර් බලයට ආවා. කලබල අඩු වුණා. අපි දිගටම කඩේ කරගෙන ගියා”

සුරුට්ටු කඩයේ ඇතුළත

වසරින් වසර ගතවද්දී තවේන්ද්‍රන්ට සිංහල කතාකිරීමේ හැකියාව ද ටිකින් ටික වර්ධනය විය. සිංහල හා මුස්ලිම් ප්‍රජාව සමග කටයුතු කිරීමටද හිතවත්කම් ගොඩනගා ගැනීමටද තවෙන්ද්‍රන්ට අවස්ථාව ලැබුණේය. ඒ සදහා සිවසම්බු මුදලාලිගේ සහාය නොඅඩුව ලැබුණි.

මෙලෙස තවත් වසර කීපයක් ගතවෙද්දී ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් වූ 1983 කළු ජූලිය පැමිණියේය. රට පුරා ඇති වූ කලබලකාරී තත්වයත් සමග මාතර සුරුට්ටු කඩයද ගිනිගෙන දැවිණි. තවෙන්ද්‍රන්ලා මාතර දුම්රියපොළ පාරේ කතරගම දේවාලයට පැන දිවිරැකගත්තේ යුධහමුදාවේ රැකවරණය මතයි.

දෙවැනි ගින්න

“ 83දි කඩේ ගිනිතිබ්බට පස්සේ දින දෙකක් කතරගම දේවාලයේ හිටියා. එතැනටත් බෝම්බ ගැහුවා. එදා හිටිය ආමි ලොක්කා හරියටම රාජකාරිය කළා. අපිට කිසි කරදරයක් හිරිහැරයක් වෙන්න ඉඩදුන්නේ නෑ. පස්සේ සර්වේසස් විද්‍යාලයට ගෙනගොස් එහි තබාගෙන අපිට හොඳට කන්න බොන්න දුන්නා. එදා අපේ දෙමළ අය දෙසිය පනහක් විතර එතැන රැඳී සිටියා. දවස් හතකට පසු අපි යාපනයට පිටත්කර හැරියා. අවස්ථාවාදීන් තමයි කරදර කළේ ”

සාහසිකයින්ගෙන් ජීවිතය රැකගැනීමට සිංහල හිතමිතුරන් උදව් කළ ආකාරය තවේනද්‍රන් අදටද සිහිපත් කරන්නේ කෘතවේදීවයි. ඒ අතර කන්න බොන්න ලබාදුන් අරනෝලිස් මුදලාලි විශේෂයෙන් මතක් කරන්න ය.

තම කඩය දැවී අළුවී ගිය ද හිත දුර්වල කර නොගත් සිවසම්බු මුදලාලි මසක් ඇතුළත කඩය යළි ගොඩනැගුවේ ය. එහෙත් ඒ වනවිටත් යාපනයේ ගෙදර සිටි තවේන්ද්‍රන් කඩේ වැඩට ආවේ තවත් මාසයක් ගතවීමෙන් පසුවයි.

“ කඩේ නැවත පටන්ගත්තට පස්සෙ මම ඇවිත් වෙනදාටත් වඩා හොඳින් වැඩකළා. ආදායමත් හොඳට තිබුණා. කලක් ගතවෙනකොට මගේ පඩියත් රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩි වුණා ”

තෙවැනි ගින්න

මාතරටවී තනිකඩ ජීවිතයක් ගතකළ තවේන්ද්‍රන් 1986 වසරේදී තවත් කඩඉමක් පසු කළේය. ඒ සිය මවගේ බලවත් ඉල්ලීම මත විවාහ දිවියට එළඹෙමිනි. තවේන්ද්‍රන්ගේ සහකාරිය වූයේ ලොකු මාමාගේ දියණිය වූ වාසුකීය. විවාහයෙන් පසු නැවත මාතරට ආ තවේන්ද්‍රන්ට යළි බිහිසුණු අත්දැකීමක් විඳගන්නට සිදු විය. ඒ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කළදා ය. එදිනද සුරුට්ටු කඩය යළි ගිනිබත් විය. තම සිංහල හිතවතුන්ගේ හා ආරක්ෂක අංශවල සහායෙන් තවේන්ද්‍රන් යළිත් ජීවිතය බේරගත්තේය.

“ හපොයි එදා නම් මගේ ජීවිතේට අමතකනේනේ නෑ මහත්තයො. ගස් කපල පාරට දාල, ආණ්ඩුවෙ ගොඩනැගිලි පුච්චල, මහපාරේ ටයර් පුච්චල මහ විනාශයක්. මුදලාලිල ජීවිතේ බේරගත්තු එක මහ පුදුමයක්” තවේන්ද්‍රන්ගේ තවත් මිතුරකු වන ප්‍රේමසිරි, කටුක අතීත මතකය යළි සිහිපත් කළේය.

අවස්ථා තුනකදී කඩය විනාශ වීම වෙනුවෙන් රජයෙන් හෝ වෙනත් අයගෙන් ආධාර උපකාර ලැබුනේදැයි යන්න තවේන්ද්‍රන් නොදනී. විනාශ වී ගිය කඩය තුන්වැනි වතාවටත් සිවසම්බු මුදලාලි යළි ගොඩනැගුවේය. තවෙන්ද්‍රන්ද සුපුරුදු ලෙස යළි වැඩට පැමිණියේය. එතැන් සිට කරදරයකින් තොරව වැඩ කරගෙන යන අතර 1995දී සිවසම්බු මුදලාලි මියයාමත් සමග ඔහුගේ දරුවන් කඩය බලාගැනීමට අකමැති වූයෙන් එහි හිමිකරුවා වන්නට තවේන්ද්‍රන්ට අවස්ථාව ලබුණි. එතැන් සිට ඔහු තවේන්ද්‍රන් ‘මුදලාලි’ විය.

“ මම කඩේ භාරගත්තට පස්සේ බඩුවල සල්ලි ටික ටික මුදලාලිගේ ගෙදර අයට දුන්නා. තනිවම වැඩ ටික කරගන්න බැරි නිසා ගෝලයෙක් ගත්තා. එයා සිංහල ළමයෙක්. විවේකයක් නෑ. උදේ හයට කඩේට එනවා. රෑ දහය වෙනකම් වැඩ”

තවේන්ද්‍රන්ගේ ගෝලයා ලෙස වැඩට එක්වන්නේ ඔහුගෙන් සුරුට්ටු රැගෙන, බයිසිකලයකින් ගමින් ගමට ගොස් විකුණමින් සිටි නාදුගල අයි.ඒ. ප්‍රේමදාසය. අදටත් ඔහු තවේන්ද්‍රන් සමගය.

“ මට දැන් අවුරුදු හැත්තෑ පහක් වෙනවා. ඒ වුණාට හොදට වැඩ කරන්න පුළුවන්. මට දූලා තුන්දෙනායි පුතෙකුයි ඉන්නවා. අපි සතුටින් ඉන්නේ. දෙමළ කඩේක වැඩ කළා කියල මේ වනතෙක් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. මුදලාලි හොඳ මිනිහ නේ. ඇගේ හයිය තියෙනකං වැඩකරනවා.” ප්‍රේමදාස සිනාසෙමින් කියයි.

සුනාමියෙන් ගැළවීම

2004 දෙසැම්බර් 26 වැනි දින ආ සුනාමිය තවේන්ද්‍රන්ගේ ජීවිතය යළිත් අපස්සට හැරවූ අවස්ථාවක් විය. සුනාමියෙන් කඩය මුළුමනින්ම විනාශ වී ගියද තවේන්ද්‍රන්ගේ ජීවිතය බේරුණේය. රජයෙන් කිසිදු ආධාරයක් නොලැබුණ අතර රක්ෂණයේ පිහිටද නිසි ලෙස නොලැබුණි. එහෙත් තවේන්ද්‍රන් ස්වශක්තියෙන් යළි නැගිට්ටේය.

නාවිමන සුමිත් හෙට්ටිආරච්චි (57) තවේන්ද්‍රන්ගේ කඩයට නිතර යන එන අයෙකි. සුමිත් හා තවේන්ද්‍රන් අතර හිතවත්කමට වසර තිස් දෙකකි.

“ මම 1985 ඉදල කඩේට එනවා. එදත් අදත් කිසිම වෙනසක් නෑ. බොහොම සාධාරණව ව්‍යාපාරය කරගෙන ඉන්නවා. මම තාත්තට සුරුට්ටු ගෙනියන්න තමයි මුලින්ම ආවෙ. එහෙම හඳුනගෙන ඇති වුණු යාළුකම තමයි අදටත් තියෙන්නේ.”

සිංහල මිතුරා

බන්දුල-තවේන්ද්‍රන් මිතු දමද එතරම්ම පැරණි එකකි.

“ මම එහෙම තමයි. අපි දෙන්න හොදඳයාළුවො. මගේ සහෝදරයෙකුටත් වඩා මුදලාලි මට උදව් කර තිබෙනවා. මමත් මුදලාලිට සලකන්නෙ ඒ වගේ.”

මෙතරම් කරදර වෙලත්, දරුමල්ලො යාපනයේ දාල මාතරටම වෙලා හිටියෙ ඇයි? කඩේ අතහැරදාල යන්න හිතුණෙ නැද්ද?

“ ගෙදර අය බලපෑම් කළා. ඒත් යන්නෙ කොහොමද? මම ගියොත්, මට සුරුට්ටු, දුම්කොළ, බීඩි, හුණු වගේ බඩු සපයන තැන්වල වැඩ කරන හාරසීයකට විතර රක්ෂාවට ප්‍රශ්න ඇති වෙනවා. ඒ දරුපවුල්වලට මොකද වෙන්නෙ? ඒ නිසා දිගටම හිටියා. මම කුලියට ඉන්න මේ කඩ කාමරය අයිති මහත්තයා කාමරය නැවත ඉල්ලනකොට මම ගමේ යන්න හැදුවේ. විජයගිරි හෝටලයේ ගෝරින් මහත්තයයි, නිව් මෝටර්ස් ජගත් මහත්තයයි මට යන්න නොදී තැනක් හොයා දුන්නා. මම දිගටම රාත්‍රියට සිටියේ විජයගිරි හොටලයේ කාමරයක. කවදාවත් සල්ලි ගත්තෙ නෑ ”

එල්. එච්. බන්දුලසේන. අයි. ඒ. ප්‍රේමදාස. සුමිත් හෙට්ටිආරච්චි.

1977දී මාතරට එන විට තිබූ පරිසරය අද සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව තවේන්ද්‍රන්ගේ අදහසයි. 77 දී සිටි අයට වඩා හොඳ අය දැන් සිටින බවත් එදා චණ්ඩි බලෙන් බඩු ගත්තද අද එසේ නොවන බවත් තවේන්ද්‍රන් පවසන්නේය. එදා ජාතිවාදය තිබුණද අද සියයට අනූවකටත් වඩා මිනිසුන් තුළ එවැනි අදහස් නැති බවත් ජාතිවාදීව හැසිරෙන්නේ සුළු පිරිසක් බවත් ඔහුගේ අදහසය.

තවෙන්ද්‍රන් හත්දරු පියෙකි. පුතුන් තිදෙනෙක් හා දියණියන් සිව්දෙනෙකි. දියණියන් දෙදෙනෙකු විවාහවී ඇති අතර බාල දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබයි. පුතුන් දෙදෙනෙක් රැකියාව කරති. තවේන්ද්‍රන්ගෙන් පසුව ඔහුගේ ව්‍යාපාරයට කුමක් වේද?

“ මගෙන් පස්සෙ මේක කරන්න කවුරුවත් නැතිවේවි. ළමයි මේවගේ තැනකට එන්නේ නෑ. එයාල සෆාරි ඇදල, ලෝන්ස් දාල, ටයි දාල ඉන්න කැමතියි. මේක එහෙම කරන්න බෑ. මගේ නෝනා මාසයක් ඉන්න කියල ඇවිත් දවස් තුනෙන් ගියා. පුතා දින දෙකෙන් ගියා. තවේන්ද්‍රන් සිනාමුසුව පැවසුවේය.