Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මේ දේශපාලන ග්‍රහචාරය
නැවත එන්නෙ නෑ

ශ්‍රී ලංකාවට අවැසි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය අරභයා බහුවිධ කතිකාවන් මතුව තිබියදී සභාගත කරන ලද අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන කරුණුවලින් ඔබ්බෙහි ජනතාව මේ අතුරු වාර්තාව ගැන කුමක් දන්නේද? මේ ඒ දැනුවත් බව උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න සමඟ කළ සාකච්ඡාවකි.

14.11.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ව්‍යවස්ථා කෙටුම්පත් කරන කාර්යයෙහිදී මේ වනවිට ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාව කියන්නේ කුමක්ද?
විෂයන් 06 ක් පිළිබඳව ඒ කියන්නේ රාජ්‍යයේ ස්වභාවය, විධායකය, මැතිවරණ ක‍්‍රමය, බලය බෙදාහැරීමේ මූලධර්ම පිළිබඳව, ආගම සහ රජයේ ඉඩම් යන විෂයන් ගැන මෙහෙයුම් කාරක සභාවල ඉදිරිපත් කරපු වාර්තාව. එය අවසාන වාර්තාවක් නෙවෙයි. ඒක සාකච්ඡුාවකට ප‍්‍රවේශයක්. මොකද සමහර කාරණා පිළිබඳව පූර්ණ එක`ගත්වයක් තිබිලා තියෙනවා. සමහර කාරණා ගැන විකල්ප ඉදිරිපත් වෙලා තියෙනවා. කිසිසේත්ම මේක අදහස් මාලාවක් මිස ව්‍යවස්ථා කෙටුම්පතක් නෙවෙයි.

මෙලෙස ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ ක‍්‍රියාවලිය තුළ අතුරු වාර්තාවක් එළි දැක්වීමේ අවශ්‍යතාවක් මතු වුණේ ඇයි?
ව්‍යවස්ථාවක් හදා ගැනීම ගැන පාර්ලිමේන්තුව සම්මත කරපු යෝජනාවේම තියෙනවා මුලින්ම අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන කියලා. අනුකමිටු 06 ක වාර්තා දැනටමත් එළි දක්වලා තියෙනවා ඒ අනුව සාකච්ඡා කරලා තමයි අවසාන කෙටුම්පතට යන්නෙ. මේක ඊට පෙර කරන වැදගත් සහ අත්‍යවශ්‍ය පියවරක්. මොකද ඒ තුළින් අවසන් එකඟතාවලට එළඹෙන්න පුලූවන්.

මේ දිනවල අතුරු වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කෙරෙනවා. නව ව්‍යවස්ථාවකට පක්ෂව අදහස් ඉදිරිපත් වීමේ තත්ත්වය සාධනීයද?
ඇත්තටම ඔව් ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි විපක්ෂය පවා සාධනීය අදහස් ඉදිරිපත් කළා. විරුද්ධවාදීන්ටත් මේ විවාදයේදී නව ව්‍යවස්ථාවට විපක්ෂව අදහස් දක්වලා කිසිම වාසියක් ගන්න බැරි වුණා. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ වලට පක්ෂව අදහස් දක්වන පිරිසට මේ විවාදය වාසිදායක වුණා.
සම්බන්ධන් මැතිතුමා ඇතුලූ උතුරේ සහ නැගෙනහිර මහජන නියෝජිතයෝ මේ ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද?
ඔවුන් ඉතාමත්ම මධ්‍යස්ථ තැනකට එන්න උත්සාහ කරනවා. ඒ පක්ෂයේ අදහස් ඉතාම සාධනීයයි. කිසියම් විසඳුමකට එන්න පුලූවන් තත්ත්වයක් එතැන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේ. ඔවුන්ගේ මන්ත‍්‍රීවරුන් 06 දෙනාම ඒ වගේම කොමියුනිස්ට් පක්ෂෙ මන්ත‍්‍රීවරයත් ඉතාම සාධනීය අදහස් ඉදිරිපත් කළා. ඒව ගැන බලාපොරොත්තු තියාගන්න පුලූවන්.

මේ අතුරු වාර්තාව ගැන අදහස් දක්වන බාහිර විරුද්ධවාදීන් සමහරවිට එහි අන්තර්ගතය දන්නෙ නැහැ. එහෙම තත්ත්වයකදී දක්වන විරෝධතා ගැන ඔබ හිතන්නේ මොකක්ද?
මේ රටේ එක්තරා පිරිසක් ඉන්නවා කිසිම විසඳුමකට විරුද්ධ. ඔවුන්ගේ ස්ථාවරය ගැන මං සතුටු වෙනවා. මොකද ඔවුන් එදත් අදත් එකයි. ඔවුන් අවංකයි. හිතන්නේ මේ රටේ ආධිපත්‍ය තියෙන්නේ සිංහල බෞද්ධයට කියලා. සම්පුර්ණයෙන්ම දේශපාලන හේතුන් මත මේවාට විරුද්ධ වෙන අය ගැනයි කණගාටුයි.


2000 අවුරුද්දේ කැම්පේනවලදී රට නොබෙදා බලය බෙදමු කියලා සටන් පාඨ නිර්මාණය කරපු ක‍්‍රියාශීලී අය අද විරුද්ධ පක්ෂයට වෙලා ඉතාම පටු හේතු මත විරුද්ධ වෙනවා.

මේ ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා අතරේ සමාජ, ආර්ථික, සංස්කෘතික අයිතිවාසිකම් ගැන පුලූල් කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා නේද?.
මහින්ද සමරසිංහ ඇමතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් තිබුණු මූලික අයිතිවාසිකම් ගැන අනුකමිටුවේ මාත් හිටියා. ඉතාම සාධනීය යෝජනා මාලාවක් එහිදී මතු වුණා. ඒ යෝජනා අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ආවොත් කිසිම විවාදයක් නෑ ආසියාවේ හොඳම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තියෙන්නේ අපේ ව්‍යවස්ථාවෙ වෙනවා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය පුලූල් කරන්නත් සමාජ ආර්ථික, සංස්කෘතික, පාරිසරික, කාන්තා සහ ළමා අයිතිවාසිකම් ගැන පුලූල්ව හිතන්නත් මේ යෝජනා ආලෝකය සපයනවා.

නව ව්‍යවස්ථාවක් හදාගැනීමට මේ ලැබුණු අවස්ථාව මග හැරුනොත් මොකද වෙන්නේ.
මේ දේශපාලන ග‍්‍රහචාරය නැවත එන්නෙ නෑ. ප‍්‍රධාන පක්ෂ දෙක එකට ආණ්ඩු කරනවා. දෙමළ පක්ෂ මධ්‍යස්ථ තැනක ඉන්නවා. අගමැතිතුමයි ජනාධිපතිතුමයි සුහදව කටයුතු කරන මේ වාතාවරණය අනාගතේ එකම පක්ෂය තුළවත් දකින්න නොලැබුණොත් මොකද කරන්නේ. අනෙක් කාරණය මේ මධ්‍යස්ථ නායකයින්ට පස්සෙ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට දැඩි මතධාරී රැඩිකල් අය පත් වුණොත් ජාතික ගැටලූව විසඳන්නේ කොහොමද?. මේක මගහරින්න බැරි අන්තිම අවස්ථාව.