Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උපතේ සිට මරණය තෙක්
මීපැණි සමඟ දවි ගෙවන ගමක්

මිහිපිට ඇති මියුරුම නිපැයුම යැයි කිව හැකි මී පැණි රැුස් කිරීම ඔවුන්ගේ ජීවනෝපායයි. එහෙත් ඔවුන්ගේ ජීවිත එතරම් මිහිරි නැතැයි කියන්නට සිත් නොදෙන්නේ, සැබැවින්ම එ්වා දුෂ්කර වුවත් සොබාදහමේ මිහිර සමග වෙළී ඇති නිසාය.

10.12.2017  |  
පොළොන්නරුව දිස්ත්‍රික්කය

මල්වත්ත කැලයේ පලූ පුෂ්පියන් රවටා මල් පැණි පැහැරගන්නා මී මැස්සියෝ එ්වා ගස් බෙන හා ගල් බෙනවල ස`ගවා තබති. එ් තැන්වල තම වස්තුව සුරක්ෂිත යැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන. එ්, මල්වත්ත කැලය ආසන්නයේ ඇති කුඩාපොකුණේ ඇත්තන්ගේ තරම නොදන්නා නිසාය.

ගස්, ගල් බෙනවල සඟවා ඇති ‘පැණි ගබඩා’ සොයා ගන්නටත් විල්ලූ හා වගුරු පතුලේ සැඟව සිටින මත්ස්‍යයින් දඩයම් කරන්නටත් කුඩාපොකුණේ ඇත්තෝ විශිෂ්ටයෝය. ඔවුන්ට ඒ දැනුම ලැබී ඇත්තේ පාරම්පරිකවය.

මාලූ කෙළිය සහ මී කෙළිය

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වැලිකන්ද නගරයේ සිට කිලෝමීටර් 17ක දුරකින් කුඩාපොකුණ ගම්මානය පිහිටා ඇත. එක් පසෙකින් දිඹුලාගල කඳු වැටියත් මහවැලි ගඟත්ය. අනෙක් පසින් මාදුරු ඔය රක්ෂිතයත් ඊට යාබද මල්වත්ත වනපෙතත්ය. මේවා මේ ගම්වැසියන්ගේ ධන නිධාන මෙනි. ගම්මානය ආසන්නයේ ගුරු පාරක බස්රථ ධාවනය කෙරුණද ගම ඇතුළත තවමත් ඇත්තේ අඩි පාරවල්ය.

එහි ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම්, ආදිවාසී මිත‍්‍රශීලී සංස්කෘතික පසුබිමකි. ඔවුන් ‘කුඩාපොකුණවාසීන්’ මිස ජාති හෝ ආගමික පදනමින් බෙදී නැත. ජීවනෝපාය විසින් ඔවුහු සමානයින් කර ඇත. ගොවිතැන, වේවැල් ගැහිල්ල, මාලූ කෙළිය සහ මී කෙළිය ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය ක‍්‍රමයි. මාලූ කෙළිය කීවේ මාලූ ඇල්ලීමය. මී කෙළිය කීවේ මී පැණි කැඞීම හෙවත් රැුස් කිරීමය. වේවැල් ගැහිල්ල යැයි කීවේ වේවැල්වලින් කූඩ ගෙතීමය.

රාජකාරි සමය

පලූ, වීර හා කුඹුක් මල් පිපෙන කාලය මී මැස්සන්ට පැණි වැඩියෙන් ලැබෙන කාලයකි. එය කුඩාපොකුණ වාසීන්ගේද අවිවේකීම සමයයි. වනාන්තරය මල් සුගන්ධයෙන් හුස්ම ගන්නේ යම්සේද කුඩාපොකුණ වාසීහුද දින ගණන් කැලෑ වැද මී මැසි රුකුල් සොයා වෙහෙසෙති. කැලෑ වැදීම වනජීවියේ මහත්තුරු අනුමත නොකරති. එනමුදු ජීවත් වීමේ වෙහෙසකර යුද්ධය වෙනුවෙන් වනජීවියේ මහත්වරුන් මඟහැර කැලෑ වදින්නට කුඩා පොකුණ වාසීන්ට සිදු වේ.


කුඩාපොකුණ වයස්ගත පැණි මදින්නකු වූ කේ. සෙල්වනායගම් කැලෑ වදින පිළිවෙළ අපට කීවේය.

”පැණි කඩන්න කැලෑ වදින්නේ හතරවෙනි මාසේ (අපේ‍්‍රල්*. මාර්තු මාසේ ඉඳලා භාරහාර වෙලා පේ වෙනවා. කඩන මී පැණි පුදලා බාරේ ඔප්පු කරන්න තමයි භාර වෙන්නේ. දවසේ පැණි කෙළියට යන අය ගෙනියන්නේ අත්පොරොවයි, බාල්දියයි විතරයි. අමතරව ඉතින් දුමක් දාන්න සුරුට්ටුවක් බීඩියක් ගෙනියනවා. මී දෙකක් තුනක් කැඩුවාම පැණි බෝතල් හත අටක් හොයාගත්තැකියි. දවසට ඒ ඇති.’’

‘‘ගෑනියි මිනිහයි මී කඩන්න කැලේ යනවා. ‘පවුලේ’ පදිනවා කියන්නේ ඒකට. පවුල් දෙක තුනක් එකතුවෙලා යන එකට කියන්නේ ‘රුකුල් පදිනවා’ කියලා. ගෑනු විතරක් එකතු වෙලා යන වෙලාවල් පිරිමි විතරක් එකතු වෙලා යන වෙලාවල් තියෙනවා. ඒවාට කියන්නේ ‘හවුලේ’ පදිනවා කියලා. කොල්ලෝ විතරක් ගියාම ‘ගැට පැදිල්ල’ කොහොම ගියත් කවුරු කවුරුත් කැලේදි මුලිච්චි වෙනවා. මාසේ හමාරේ කැලේ ලගින්න යනකොට හාල් තුනපහ ලූණු ටිකක් ගිනි පෙට්ටියක් ගෙනියනවා. බාල්දියයි පොරොවයි කොහොමත් ගෙනියනවා. ?ට ඉන්නේ ගස්යට නැතිනම් ගල් ගුහාවක. කැලේ තියෙන අලයක් කොළයක් තම්බ ගන්නවා කන්ට. වගුරකින් පීලි දෙක තුනක් බාගත්තම වේල හරි” සෙල්වනායගම් මාමා පීලි යැයි කීමේ මාළුන්ටය.

ගුමු ගුමු නාදය දිගේ

කුඩාපොකුණ වැසියන් මී රුකුල් සොයාගන්නා උපක‍්‍රමය පහසු එකක් නොවේ. අලූයම වන වදින ඔවුන් මල් පිපී ඇති ගස් යට ගුමු ගුමු නාදයට කන් දී සිටිති. මී කෙළියට බට මී මැස්සන්ගේ නාදය ඔස්සේ පියවර තබන ඔවුන් අවසානයේ මී මැස්සන් වදින ගස් බෙනය හෝ ගල් බෙනය ටක්කෙටම සොයා ගනිති. ඇතැම්විට පොළොවේ සිට අඩි විසිපහක් තිහක් උසින් පිහිටි රූස්ස ගසක ගස් බෙනයක මී රුකුල තිබෙන්නට පුළුවන. හැරපටක් සදා වරපටක් අතට ගන්නා ගස්නගින්නා ගසෙහි බඳ පහසුවෙන් සිට ගැනීමට හැරයක් තනා ගනී. ඉන්පසුව මී රුකුල ඇති ගස් බෙනයේ මුඛය පොරවෙන් කොටා මී වදය එළියට ගත හැකි දොරටුව තනා ගනී. බීඩිය හෝ සුරුට්ටුව දල්වා නැතිනම් සැර කැලෑ කොල වර්ගයක් වේලා සකස් කර ගත් සුරුට්ටුවක දුමාරය මී රුකුලට පිඹ මැස්සන් ඉවත් වූ පසුව මී වද බාල්දියට පුරවා වර පටකින් ගස බිමට පහත් කරයි. කුඩාපොකුණේ මේ වික‍්‍රමය කරන්නේ පිරිමි පමණක් නොවේ. මී කෙළියට යන ඇතැම් ගෑනු එක්ක ගස් නගින්නට සමහර පිරිමින්ටත් බැරිය.

/

සරස්වතී ඉන්ද්‍රානී ඒ ජාතියේ ගැහැනියකි. මේ ඇයගේ හඬයි: ”මාළු කෙළියයි මී කෙළියයි අපේ පරම්පරාවේ රස්සාව. කසාද බඳින්න කලින් අම්මා අප්පා එක්ක මේ රස්සාව කළේ. කසාද බැන්දට පස්සේ මහත්තයා එක්ක මේ රස්සාව කරන්නේ. අතර පරම්පරාවල්වල කාටවත් කසාද බැන්දම දෙන්න දෑවැදි තිබුණේ නෑ.’’

‘‘ඉතින් මී කෙළිය පුළුවන් ගෑනියෙක් කසාද බැන්දම ඒක තමයි ලොකුම දෑවැද්ද. කසාද බැඳපු දවසේ ඉඳලා මගේ රස්සාව මී කෙළියයි. මාලූ කෙළියයි තමයි. අපේ අප්පා වගුරේ බුබුලූ දාන තැනට විදලා මාළු ගොඩට ඇදලා තියෙනවා. අද දැල් ආම්පන්න තිබුණාට එදා ඒවා තිබුණේ නෑ. එක්කෝ කලවැල් තලලා දිය කළා නැත්නම් ‘කරක්’ කැහුවා කරක්ගෙඩිය ගෙතුවේ කොටු වේවැල් එකතු කරලා. අදත් මෙහේ සමහරු ළඟ කරක් ගෙඩි තියෙනවා. මහත්තයා එක්ක මී කඩන්න ගියාම ගහක් ඇර ගහක් මමත් නගිනවා.”

කනට ඇසෙන පණිවිඩ

අපේ‍්‍රල් මාසයෙන් ආරම්භ වන කුඩාපොකුණ වැසියන්ගේ මී පැණි මෙහෙයුම හමාර වන්නේ අගෝස්තු මාසය අවසානයේදීය. ඉතිරි මාස මාළු ඇල්ලීම සඳහාය. මී පැණි රැුස් කරන කාල සීමාවේ උදෑසනත් සවස් කාලයත් යන දෙකේදිම කැලෑ වැදීම සිරිතයි. කේ. යෝගේස්වරන් කියන්නේ ඉර බැස යන වෙලාවටත් මී රුකුල් සොයා ගැනීම පහසු බවයි. එසමයෙහි ක‍්‍රමවේදය වෙනස්ය. යෝගේස්වරන් ඒ පිළිබඳව කීවේ මෙවැන්නකි. ”හවහට මී කෙළි අහවර වෙලා මැස්සෝ රුකුල් වදිනවා. ඒ වෙලාවට රූස්ස ගස්වලට කන තියලා රුකුලක් තියෙනවද නැද්ද කියලා හොයන සාස්තරේ අපේ පරම්පරාව දන්නවා. ඉතින් ඒ ගහපල්ලේ බුදියගෙන උදේට රුකුල කඩනවා.
පනස් හතර හැවිරිදි එම්.ඒ.ඞී. තෙරෙසා මී කෙළියට කැලෑ වදින ආකාරය පිළිබඳ තවත් තොරතුරු අපිට කීවාය.
”සතියක් දෙකක් ඉන්න කැලෑ වැදුනත් මී දෙක තුනකට වැඩියෙන් මී කැඩුවොත් පැණි බෝතල් 15, 16 හම්බ වෙනවා. එහෙම වුණොත් ගෙදර ඇවිත් ආයෙත් යනවා. දවල්ට වගුරක මාලූත් අල්ල ගන්නවා. හොද්දට වැඩි උන් ටික වේලනවා. බැද්දේ ගමන එහෙමයි කෙරෙන්නේ. ’’


කුඩාපොකුණ වයස්ගත පැණි මදින්නකු වූ කේ. සෙල්වනායගම්

කුඩාපොකුණ ගම්මානයේ දැන් ස්ථිර නිවාස ඉදිවෙන්නට පටන්ගෙන තිබුණත් මීට වසර කිහිපයකට පෙර මෙන්ම දැනුත් එහි ඇත්තේ කුඩා පැල්පත්ය. ඉඳගැනීමට පුටුවක් හෝ නොමැති මේ කටුමැටි පැල්පත්වල බාල්දියක් වතුර කළගෙඩියක් පොරොවක්, කොට්ටයක් හෝ දෙකක් පැදුරු කබළක් හැර අන් කිසිවක් නැත. උයා පිහා ගැනීමට වළං දෙක තුනක දරත් නෙළා ගත යුතු එළවළුත් ඇත්තේ මේ පැලෙන් පිටය. දරුවන් සමඟ අඹුසැමියන්ට මේ පැල්වල සිතූ සේ ලගින්නට පහසුකම් නැත. දරුවන් පැලේ තනිකර මී කෙළියට කැලෑ වදින අඹුසැමියන් වනාන්තරය යහන්කොට ගැනීම සාමාන්‍ය සිරිතයි. රැුකියාවේ නාමයෙන් වයස අවුරුදු දහසයේ දාහතේ පුතුන් සහ දියණියන් පැල්පත්වල තනිකර යන්නේ කැමැත්තකින් නූනත් එකී දමා යෑම නිසා මේ පැල්පත් පැල්පත් අතර සිදුවන ගනුදෙනුවල අවසානය පරාගනය ඵල හට ගැනීම දක්වා දික් වේ. මල්වත්ත වනපෙත දන්නා රහස් සියල්ලම සඟවා සිටින නිසාවෙන් අප ඒවා කුමට නම් කියමුද?

මධුර යාමය

කුඩාපොකුණේ සියල්ලන් පැල්පත්වල සිටියද ඒ සෑම අයෙකුම තම තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ට හැකි පමණින් දේව මන්දිර ඉදි කර දී ඇත. පුල්ලෙයාර්, කන්දස්වාමි, හනුමා, රාමා, විශ්ණු, දැඩිමුණ්ඩ, ශිව, අයියනායක නැති පැලක් කුඩාපොකුණේ නැත. මෙහි වැසියන්ගේ ජීවනෝපාය තරම්ම ජීවිතයද සරලය. විවාහ උත්සවයක් යනු දඩමස්, විල් මාළු සමඟ පිළියෙල කරගත් සැර බීම සහිත ආහාර වේලකි. මනාලියටත් මනමාලයාටත් දොර වසන ලද පැලක රාත‍්‍රිය ගත කිරීමට වරමකි. එදින නිවැසියෝ හෙවත් ඥාතීහු එළිමහනේ රාත‍්‍රිය ගත කරති. පසුදා සිට මී කෙළියත් රතී කෙළියත් සඳහා සෙවන දෙන්නේ මල්වත්ත වන පියසය.

මේ නිවෙසක කිසිවෙකු මියගියහොත් මුවෙහි මී පැණි තැවරීම සාමාන්‍ය සිරිතකි. දැන්වීම් පත‍්‍රිකා බැනර් පෝස්ටර් කිසිවක් නැත. බොහෝ දෙනා මළමිනිය බහාලන මංජුසාව ගෙදරම නිපදවා ගනිති. නැතිනම් පැදුරු කඩමාල්ලක ඔතා මිය ගිය දිනට පසුදිනම මිහිදන් කරති. අවමංගල සහ ආගමික චාරිත‍්‍ර හෝ යාඥා ඉතාමත් කෙටි සහ සරලය. බෙර දවුල් වාදනය කිරීම හෝ භික්ෂූහු වැඩම කරවීම ඉතාමත් දුලබය. ඒ තරම් වත්පොහොසත්කම් ඇති පිරිසක් මේ ගම්මානයේ නැත. කෝවිලේ පූජාවටත් ඉඳහිට පැවැත්වෙන බෝ සෙවණේ ධර්ම දේශනාවටත් සහභාගි වෙන්නේ එකම පිරිසය. දෙවියන්ට බුදුන්ට මෙන්ම ප‍්‍රභූන්ටත් ඔවුන් පුදනා අනර්ඝතම වස්තුව තමන් සතු මී පැණිය. අලූත උපන් බිළිඳාගේ මුවේ තැවරෙන්නේ මී පැණිය. එතැන් සිට මුළු ජීවිතයම මී පැණි සමඟය. කෙතරම් දුෂ්කර වුවද අගහිඟ බොහෝ වුව ද කුඩාපොකුණ වැසියෝ මී කෙළියටත් මාළු කෙළියටත් පුදුමාකාර ඇල්මක් දක්වති. ඔවුහු එය අත්හරින්නට කැමැත්තක් නැත. වනපෙත සමඟ ගැටගැසුණු ජීවිතයේ මිහිර දන්නා ඔවුහු කෙතරම් වියපත් වුවද දින දෙක තුනක් හෝ කැලෑ වැද සිටින්නට අමතක නොකරති.

සේයා : අජිත් සෙනෙවිරත්න