නෙලූම් කුලූනට ලැජ්ජා කරන
අමීර් සුල්තාන්ගේ ‘මාලිගාව’
කොළඹ අභිමානය ලොවට කියන නෙලූම් කුලූනට නුදුරෙහි වෙසෙන ඔවුන්ට උරුම වී ඇත්තේ කොළඹට පමණක් නොව මනුෂ්‍යත්වයටද නිගා දෙන අන්දමේ ජීවිතයකි.
හැට තුන් හැවිරිදි මොහොමඞ් අමීර් සුල්තාන් ‘මාලිගාවත්තේ’ පදිංචිකරුවෙකි.
. කදිම ගැළපීමකි. එහෙත් ඒ නාමික ගැළපීම හා යථාර්ථය අතර පරතරය අහසට පොළොව මෙනි. මොහොමඞ් අමීර් සුල්තාන්ගේ ‘මාලිගාව’ පුංචි කාමර දෙකකි. අමීර් සුල්තාන් හා ඔහුගේ බිරිඳ හැරුණුකොට ඔවුන්ගේ දියණියගේ පවුලද දිවි ගෙවන්නේ මෙහිය. එය ප‍්‍රමාණයෙන් සාමාන්‍ය මධ්‍යම පාන්තික නිවසක බාත්රූම් එකක ඉඩකඩට වැඩි නොවේ.
‘මාලිගාවත්ත’ පිහිටියේ කොළඹ නගරයේය. එහෙත් එහි ඇත්තේ පැල්පත් මිස මාලිගා නොවේ. වැලිතලපවල වැලිද ගල්බනිස්වල ගල්ද නැතිවාක් මෙනි. මාලිගාවත්තේ 211 කොටස හඳුන්වන්නේ රහුමානියා වත්ත නැතිනම් පුන්ගුලි ග‍්‍රාමම් කියාය. එහි පවුල් 135ක් ජීවත් වෙයි. කොළඹට ආශ්චර්යය රැගෙන ආ නෙලූම් කුලූන ඇත්තේ ඊට වැඩි ඈතක නොවේ.
කූඩු කළ ජීවිත”මට දැන් රස්සාවක් කරගන්න බෑ. හාමිනෙත් ලෙඩා. අපි දෙන්නම ජීවත්වෙන්නේ බෑනාගේ වියදමෙන්.දූලා දෙන්නෙක් ගෙදර ඉන්නවා. ඔක්කොම ඉන්නේ මේ ගෙයි තමයි. මීට අවුරුදු විස්සකට කලින් අපි හිටියේ පංචිකාවත්තේ. එහෙන් අපි ඉවත් කළා. ඊට පස්සේ තමයි මෙතෙන්ට පදිංචියට ආවේ. මම කළේ මනිබඩු ගෙවල් ගානේ ගිහිල්ලා විකිණපු එක. දවසකට රුපියල් පන්සියයක් විතර හෙව්වා. ඒත් දැන් එහෙම යන්න තරම් සනීපයක් නැහැ. මගේ දරුවන්ගේ දරුවන්ට හරි ජීවත් වෙන්න ඉඩකඩක් ලැබුණොත් ඒ ඇති.” සුල්තාන්වරයකු නොවූ අමීර් සුල්තාන් කීවේය.
රහුමානියා වත්තේ පවුල් 135 සඳහාම ඇත්තේ පොදු වැසිකිළි 4කි. මේ වත්තේ මිනිසුන්ගේ ජීවිත එහෙමපිටින්ම වැරහැලි වී ඇත්තේය. ජීවත් වීම සඳහා සියල්ලෝම කුඩා රැකියාවල නිරත වෙති. ඔවුහු මුට්ට කර ගැසීම, කුලී වැඩ, අන්නාසි, වඬේ විකිණීම, කඩදාසි බෑග් ඇලවීම, රෙදි මැසීම වැනි මෙකී නොකී කුඩා ව්‍යාපාරයන්හි නියැළෙති. අතළොස්සක් පිරිමි ත‍්‍රීවීල් හයර් කරති. වත්තේ තැනිත් තැන ලොව ඇති කුඩාම වෙළෙඳසල් නැතිවාද නොවේ. ප‍්‍රවේශ මාර්ගයේ සිටම ඇත්තේ උපද්‍රවය.
රහුමානියා වත්ත සහ ඇපල්වත්ත වෙන් කෙරී ඇත්තේ ඇළ මාර්ගයකිනි. වතුර බිඳක් තැවරුණහොත් යටිපතුල් කුණු වී යන තරම් එය අපවිත්‍රය.
අසූචි, ප්ලාස්ටික්, පොලිතින් පාවෙන, කාළ වර්ණයෙන් පිරී ගිය මෙහි ප‍්‍රකෝටි ගණනක රෝගකාරක මිස අන් කිසිවක් තිබිය නොහැකිය. මේ පරිසරයට පැමිණෙන ආගන්තුකයකුට එය ඔක්කාරය දනවන දසුනකි. එනමුදු ඇළේ නම ‘ඇපල් වත්ත ඇළ’ය.
අපායට යන පාරපැල්පත්වල ඉරිතැළුණු කුඩා බිත්ති අතරින් 211 කොටසට යන මාර්ගය වැටී තිබේ. අපජලය ගලා බසිනා කාණුවේ කොන්ක‍්‍රීට් තැටි මතින් ඒ මාවත දිවේ. ඒ මාවත අඩි පාරකි. තැනින් තැන තැබූ ගල් කුට්ටියකට සීරුවට අඩි තබා මිස මේ මාවතේ යා නොහැකිය. අපජලය උතුරා පැතිරී ගොසින්ය. දරුවන් පාසල් යන්නේත් වැඩිහිටියන් උදේ හවා ගමන් ගන්නේත් මේ මාර්ගයේය. මාවතට පිවිසි සැණින් එක් අතකින් නාසය වසා ගත යුතුය. අනෙක් අතින් ඇඳ සිටින වස්ත‍්‍රය කෙටි කර අල්ලා ගත යුතුය. සකලවිධ අසූචිවලින් උතුරා යන මේ මාවත විසින් අපට පෙන්වා දෙන්නේ වසර ගණනාවකින් මේ කාණු පද්ධතිය පවිත‍්‍ර කර නොමැති බවය.
‘‘ජීවිතේ කොහොමහරි ගැටගහගන්න අපිට පුළුවන්. අපි යන එන මේ පාර හදලා දෙන්න. අසූචි ගලන කානුව උඩින් ගමන් බිමන් යන්න පුළුවන්ද?’’ අමීර් සුල්තාන් එසේ කීවද 211 වත්තේ ජීවිතය හැම අතින්ම කටුකය. සුල්තාන්ගේ බෑනා වාහන ස්ටිකර් අලවන තැනක සහායකයෙකි. දවසට ඔහු උපයන්නේ රුපියල් දහසක මුදලකි. හයදෙනෙකු ජීවත් කරවන්නට දරුවන් පාසල් යැවීමට ලෙඩට බෙහෙතක් හේතක් ගැනීමට ඒ උපයන මුදල ප‍්‍රමාණවත් වන්නේ කෙසේද? කොහොම වුණත් 211 වත්තේ බොහෝ නිවෙස්වල බතක් පිසෙන්නේ එක වේලකට පමණි. පාන් හෝ කෙටි ආහාර මොවුන්ගේ ආහාරවේල් වැඩි ගණනකට වග කියයි.
වද දෙන ප්රශ්නහැට දෙහැවිරිදි මොහොමඞ් අබාස්ගේ ජීවිතයද ඊට වෙනස් නැත. අඩි 20 පමණ දිග අඩි නවයක් පමණ පළල ඔහුගේ නිවසේ අට දෙනෙක් ජීවත් වෙති. රාත‍්‍රියට ඔවුන් නිදාගන්නේ ‘මුර’ ක‍්‍රමයටය. නිවසේ සිට වැසිකිළියට ඇති දුර මීටර් 150 ක පමණ දුරකි. බඬේ ගායක් හැදුණු දිනක නම් පොදු වැසිකිළිය අසල නැවතී සිටිය යුතුය. සත්‍ය වශයෙන්ම මාලිගාවත්තේ පදිංචිකරුවන් සියල්ලන්ටම මෙවැනි ආකාරයේ වද දෙන කුමන හෝ ප‍්‍රශ්නයකි. ”ඉඩ මදි. ඒ වුණත් ගෙදර බඩු මුල්ලකට ගොඩගහලා මේකේ තෙරපි තෙරපි හරි තුන් තිස්පැය ගෙවනවා. කොහොමහරි දුක් විඳලා කෑම වේල හොයා ගන්නවා. නගර සභාව හරි නාගරික සංවර්ධන අධිකාරිය හරි මැදිහත් වෙලා මේ කානු ටිකයි කුණු ඇළයි සුද්ද කරලා දුන්න නම් මීට වැඩිය සැනසිල්ලක් තියෙනවා” දෙතුන් වරක් නාසය වසා ගනිමින් මොහොමඞ් ඒ වචන පිට කළේය.
ජීවිතය ඇලවීමපනස්හත් හැවිරිදි අබ්දුල් වහබ් මොහොමඞ් ආතුරයෙකි. වසර ගණනාවක් කුලී වැඩ කළ ඔහු ඇදුම රෝගය වැලඳීමෙන් පසුව ඒ රස්සාව අතහැරියේය. ඊළඟට ඔහු තෝරාගත්තේ එකතැන හිඳගෙන කරන රස්සාවකි. ”දැන් මම බෑග් අලවන රස්සාව කරන්නේ. කඩදාසි ගන්නේ බෝතල් පත්තර කඩෙන්. කිලෝ එකක් රුපියල් තිහයි. නෝනයි මමයි විතරයි අපිට ළමයි නෑ” ඔහු ඊළඟට සිය කාලසටහන විස්තර කළේය. ”උදේ පහට නැගිටිනවා දහය වෙනකං බෑග් අලවනවා. දහයට තමයි වාඩි වෙච්ච කකුල් දිග අරින්නේ. දහයට උදේ කෑම ගත්තම හවස දෙක වෙනකං බෑග් අලවනවා. දවල්ට කන්නේ දෙක හමාරට විතර. ඊට පස්සේ තුනේ ඉඳලා ? දොළහ වෙනකං බෑග් අලවනවා. දවස් දෙකෙන් දෙකට අලවන බෑග් කඩවලට වඬේ කරත්තවලට විකුණනවා. ඒකෙන් තමයි අපි ඔක්කොම කරගන්නේ”
කඩදාසියේ ප‍්‍රමාණය අනුව මොහොමඞ් අලවන බෑග්වල සයිස් එක තීරණය වේ. ඒවා හාල් මැස්සන් 500ක් දැමීමේ සිට වඬේ පහක් දැමීම දක්වා ලොකු හෝ කුඩා වේ.
මොහොමඞ්ගේ මේ පුංචි පැල්පතේ ඇත්තේ ප‍්‍රධාන දොරටුව පමණි. ඇඳුම් ඇත්තේ පරණ කාඞ්බෝඞ් පෙට්ටියකය. උයා පියා ගන්නේ එතැනය. ඒවා මුල්ලක පිළිවෙළට ගොඩගසා සැතපෙන්නේද එහිය. රස්සාවට බෑග් අලවන්නේද එතැනය. දෙන්නෙකුට නිදා ගැනීමට වඩා ඉඩකඩක් එහි නැත. කුණු ඇළේ දුර්ගන්ධය වාතලයට මුසුව මේ කාමරය සිසාරා පැතිරෙයි. කන බොන වෙලාවටත් ලාම්පු තෙල් ළිපෙන් උයා ගන්නා වෙලාවටත් දොර හැර දැමීම කළ යුතුය. ඒ වෙලාවට මාලිගාවත්තේම අමිහිරි සුළඟ මේ පැලේ අස්සක් මුල්ලක් නෑරම උදුරා ගන්නේය. ජීවත් වීම උදෙසා මහා දුෂ්කර ව්‍යායාමයකි.
ඉල්ලියාස් මොහොමඞ් දරුවන් සයදෙනෙකුගේ පියෙකි. පෑලියගොඩ මාළු මාර්කට් එකෙන් මිලදී ගන්නා මාළු මාලිගාවත්තට ගෙනැවිත් අලෙවි කිරීම ඔහුගේ රැකියාවයි. දිනකට රුපියල් දහසක හෝ දෙදහසක ආදායමක් ලබන ඔහුට මාලිගාවත්තේ අනිත් අයට තරම් ප‍්‍රශ්න නැත. එනමුදු යන එන පාර පිළිබඳවත් කාණු පද්ධතිය පිළිබඳවත් හිතට වද දෙන ප‍්‍රශ්න ඔහුට තිබේ. ”අපි පල්ලියට යන්නෙත් කුණු කානු දිගේ. දරුවෝ ඉස්කෝලේ යන්නෙත් මේ අසූචි ගලන කුණු කානුවේ කොන්ක‍්‍රීට් තහඩු උඩින්. අපි ඉල්ලන්නේ එක දෙයයි මේ කුණු ඇළයි කානු පද්ධතියයි පිරිසිදු කරලා දෙන්න”
පාසල් නොයන දරුවෝමොහොමඞ් ෆාතිමා ෆරීනා විසිහත් හැවිරිදි සිවුදරු මවකි. තවමත් ළාබාල වයසේ පසු වන කුඩා දරුවන් මව සමඟ පැලේ තනිකර ඇය දහවල් කාලය ගෙවන්නේ කුලී වැඩ කිරීම සඳහාය. ඇගේ දෛනික වැටුප රුපියල් තුන්සියයකි. තමන්ගේ දරුවන් ගෙදර දමා ඇය අනුන්ගේ දරුවන් බලා ගැනීමටත් උයා පිහා දීමටත් ගෙවල් ගානේ යන්නීය. ඒ අමිහිරි රැුකියාව කරන්නේ පියාගේ පිළිසරණක් නැති දරුවන් පෝෂණය පිණිසය. තවමත් මේ දරුවන් පාසල් නොයන නිසා ෆාතිමා දැනට උපයන මුදල දරුවන්ගේ බඩගින්න නිවීමට ප‍්‍රමාණවත් වනවා ඇත. එහෙත් තවත් ටික කාලයකට පසුව කුමක් සිදුවේද? මාලිගාවත්තේ 211 කොටසේ පාසල් නොයන දරුවන් හතළිහකට ආසන්න පිරිසක් සිටින බව මොහොමඞ් ෆාරුක් අපට කීවේය. ඔවුන් පාසල් නොයන්නේ පාසල් පිටත් කිරීමට තරම් ආදායමක් මව්පියන්ට නැති නිසාය. ඉතින් මහත්වරුනි, මේ පොළොන්නරුව හෝ ගිරුවාපත්තුව, යාපනය නොවේ. කොළඹය.
මහත්වරුනි, මේ කොළඹමාලිගාවත්තේ පවුල් කිහිපයක් සිටින නිවෙස්වල රාත‍්‍රී කාලය ගෙවා දමන්නේ හෝරා කළමනාකරණයෙනි. කාඞ් සෙල්ලම් කිරීම, කැරම් ගැසීම අවදියෙන් සිටින හෝරාවේ කරන ක‍්‍රියාකාරකම්ය. ඊළඟට අවස්ථාව ලැබුණු යුවළ කුඩා කාමරයේ සිය ජීවිතයේ මිහිිරි කොටස අත්විඳියි. සියල්ලම පැයකට දෙකකට යටත්වය.
මහත්වරුනි! මේ කොළඹ මාලිගාවත්තය. වැසිකිළි නැති පවුල් ශරීර කෘත්‍ය සඳහා පොලිතින් බෑග් පාවිච්චි කළ යුතුය. ඒවා පසුවදා කුණු රැස් කරන ට‍්‍රැක්ටරයටය. නැතිනම් කුණු ඇළටය. මෙවැනි පීඩා විඳීමට සිදුව ඇත්තේ මේ මිනිසුන්ගේ වරදකින් නොවේ. සංවර්ධනය පිළිබඳවත් සුපිරිසිදු නගරයක් පිළිබඳවත් කසළ කළමනාකරණය පිළිබඳවත් දවස ගානේ ඇසෙන වදන් මාලිගාවත්තට අදාළ නැතිවා සේය. මේ කුරා කුහුඹු මිනිසුන්ගේ දහසකුත් ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ කවදාද? ඔවුන්ගේ ගැටලූ විසඳා දීමට මාලිගාවත්තෙන් ජනාධිපතිවරයකු පත්වන තෙක් බලා සිටිය යුතුද?