Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සතර දිග පිපෙන මලින් සතර කොන එක් කරන
මාලාකාර ජීවිත

ජීවිත කාලයම මල් සමඟ ගත කිරීමට ලැබීම අපූරු අත්දැකීමකි. පණ්ඩාරම්වරු ලෙස හැඳින්වෙන සුවිශේෂ අනන්‍යතාවට හිමිකම් කියන ඔවුහු ඒ භාග්‍ය ලද්දෝය. මල්මාලා ගෙතීම ඉසියුම් කලාවකි. පණ්ඩාරම්වරු වනාහි එහි කෙළපැමිණියෝය.

11.01.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය
වසන්ත

දෑඟිලි අතර යුහුසුලුව දිවෙන නූලකි. සැණෙකින් එතෙන ගැටයක සිරවෙන මලකි. මලින් මල අමුණා ගෙත්තම් කරන විසිතුරු මල්මාලාවකි. පැහැයෙන්, පියකරු සුවඳින් පිරුණු මල් සහ නූල් අත ගැටුණත් මේ මාලාකාරයන්  ගෙත්තම් කරන්නේ ජීවිතයයි.

තමන් කරන රැකියාව ප්‍රබෝධමත් ලෙස තෘප්තිමත්ව කරන්නට ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද එහෙත් මාලාකාරයන් නම් සිටින්නේ මල් මෙන් ප්‍රබෝධමත්වය. අසතුටක් පෙනෙන්නට වත් නැත. මේ මල්මාලා ගොතන්නන් අපට මුණගැසෙන්නේ කොළඹ කොච්චිකඩේ වරකාහන්දියට නුදුරෙනි. පිච්ච, ගැටපිච්ච, කපුරු, දාස්, රෝසමල් සුවඳින් පිරුණු මේ කඩපිල්වලට ගොඩවැදීම පවා මහත් සැනසිල්ලක් උපදවන්නේය.

කෝවිලේ දේව ප්‍රතිමාවටත් දේවස්ථානයේ සුරුවමටත් පන්සලේ පූජාවටත් හින්දු චාරිත්‍ර අනුවමඟුලටත් මරණයටත් මල්මාලා නිපදවන්නෝ නම් කොච්චිකඩේ වීදිය සුවඳ කරන හා හැඩ කරන මේ මාලාකාරයෝය. මල්මාලා ගෙත්තම් කරන වැඩි පිරිස පිරිමිය. කාන්තාවන් සිටින්නේ අතළොස්සකි. අනෙකුත් ගෙත්තම් කෙසේ වෙතත් මේ වීදියේ මල්මාලා ගොතන පිරිමින්ට තරගයක් දීමට කාන්තාවන්ට නොහැකිවා සේය. ඔවුන්ගේ දෑත් ක්‍රියාකරන්නේ මැෂිමකටත් වඩා වේගයනි. බැලූ බැල්මට ඔවුන් ගෙත්තම් කළ මල්මාලා පවා යන්ත්‍රානුසාරයෙන් කරන ලද්දක්දැයි සැක හිතේ. එහෙත් ස්වභාවික මලින් මල්මාලා ගෙත්තම් කරන්නන්ට යන්තර නැත.

පණ්ඩාරම් වැඩකාරයෝ

කලාකාරයන්ගේ ආගමනය සහ ඉතිහාසය පිළිබවඳ ජනප්‍රවාද මෙන්ම ඓතිහාසික සටහන් ඉතිහාසය පිළිබඳ ලියවුණු පොතපතේ තිබේ. ශ්‍රීමහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය මෙරටට සපැමිණි දිනයේ තෙරණිය සමඟ සිව්සැට කලාවේ නිපුණ ශිල්පීන් මෙරටට පැමිණි බව කියැවේ. පොළොන්නරු යුගයේ කෝවිල්වල පූජා කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් පිරිස් පැමිණි බවද සඳහන්ය. එමෙන්ම මෙරට වතු ආර්ථිකය පවත්වා ගැනීම සඳහා දකුණු ඉන්දියාවෙන් වතු කම්කරුවන් රැගෙන ඒමත් සමඟ හින්දු ආගමික චාරිත්‍රවල නියැළුණු පිරිසක්ද පැමිණි බව සඳහන්ය. තමන්ගේ මුතුන් මිත්තන් මෙරටට පැමිණියේ කවදාදැයි ඉලංකෝන් දන්නේ නැත. ඉලංකෝන් සිටින්නේ කොච්චිකඩේ දේවස්ථානය අසල වීදි කෙළවරක පුෂ්පමාලා අලෙවිසැලේය. තමන්ගේ ඉතිහාසය පිළිබඳව ඔහු අපට කීවේ මෙවැනි කතාවකි.

ඉලංකෝන්

”අපි ‘පණ්ඩාරම් ‘ කුලේ කට්ටිය. අපේ සීයාගේ සීයා දකුණු ඉන්දියාවෙන් ආපු කෙනෙක්. පණ්ඩාරම් කුලේ කට්ටිය තමයි කෝවිල්වල වැඩ කළේ. මම මේ රස්සාව ඉගෙනගත්තේ තාත්තගෙන්. මගේ අයියත් මේ රස්සාවම තමයි කරන්නේ. අපේ පරම්පරාවම කළේ මල්මාලා ගොතපු එක. ඒකෙන් තමයි අපි ජීවත් වුණේ. අවුරුදු දහයේදී තාත්තා මට මල්මාලා ගොතන හැටි කියා දුන්නා. සීයා රස්සාව කරලා තිබුණෙන් හෙට්ටිවීදියේ කෝවිල ළඟ.”

ඉලංකෝන්ගේ දැන් වයස අවුරුදු 61 කි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. උදේ හයට විවෘත වන ඉලංකෝන්ගේ මල් කඩය වැසෙන්නේ රෑ හතට අටටය. කෝවිලේ හෝ දේවස්ථානයේ පූජා සමයන්හිදී නම් ඒ වෙලාවල් තවත් දිගුවේ. මුළු දවස තිස්සේම හිටගෙනය. දෑතටත් දෙපයටත් විවේකයක් ලැබෙන්නේ රාත්‍රියටය. දවසේ වෙහෙස මුදාහරින්නේ හීනියට ගන්නා මධුවිතෙනි. ඉලංකෝන්ගේ ඊළඟ පරම්පරාව මල් ගෙත්තම් කිරීමට පැමිණෙන්නේදැයි තවමත් ඔහුට කියන්නට බැරිය.

සේරුවෙන් සීරුවට

කොච්චිකඩේ මල්කඩ ඇරෙන්නේත් වැසෙන්නේත් එකම වෙලාවකය. කඩ ඇරෙන වැහෙන වෙලාවත් ගොතන මල් මාලාවලත් වැඩි වෙනසක් පෙනෙන්නට නැත. මේ මාලාකාරයන්ට මල් සපයන්නේ බදුල්ල, මාතලේ, කල්පිටිය, පුත්තලම, නුවරඑළිය, මරදන්කුලිය යන ප්‍රදේශවල සැපයුම්කරුවන්ය. මල් වෙළඳාම කරන්නේ සේරුවලිනි. මල් සේරු  පහක් ග්‍රරෑම් 350කි. සේරුවක මිල රුපියල් සියයකි. එම මිල අදාළ වන්නේ මල් වර්ගය අනුවය. ඉද්දමල් සේරුවක මිල රුපියල් සියයකි. සෙසු මල්වර්ගවලට වෙන වෙනම මිල ගණන් තිබේ. සාමාන්‍යයෙන් සැපැයුම්කරුවන් මල් සපයන්නේ සේරු දහය බැගිනි. සේරු දහයේ බෑග් අවශ්‍ය තරම් සැපයීමට සැපයුම්කරුවෝ සිටිති. මල්වලට අමතරව කොළ වර්ගවලින්ද මාලා ගෙත්තම්කෙරේ. කොහොඹ, මදුරුතලා, තුල්සි, ඊතණ, බුලත් ඒ සඳහා යොදාගැනේ. ගෙඩිවලින් කරන මාල සඳහා යොදාගන්නේ දෙහිය. මංගල අවස්ථා සඳහා ගොතන මල්මාලාවලට ඇපල් ගෙඩි එකතු කිරීම මෑත කාලයේ ආරම්භ වූවකි. කුමකින් ගෙතූවද මේ හස්ත කර්මාන්ත කරුවෝ ඒවා ගැට ගසන විදිය පරම්පරා උරුමයෙන් දනිති.

මල් එන පාර

කොච්චිකඩේ මලාකාරයන්ට මල් සැපයෙන්නේ විවිධාකාරයෙනි. බදුල්ල සහ මාතලේ ප්‍රදේශවලින් වැඩිපුරම ලැබෙන්නේ පිච්ච, රාජපොහොට්ටු, දාස්පෙතියා මල්ය. මාදම්පේ, කල්පිටිය, පුත්තලම, මදුරන්කුලිය, ප්‍රදේශවලින් ඉද්ද මල් සැපයේ. නුවරඑළියෙන්ලැබෙන්නේ කපුරු, බාබන්ඩේසියා,  ඕකිඩ් යන මල්ය. දියතලාවෙන් කපුරුමල්ය. ඉක්සෝරා, අසෝකමල් වැඩිපුර සැපයෙන්නේ හලාවතිනි. මාලාකාරයන්ට අනුව මල්මාලා පිදීමේ විශේෂත්වයක් තිබේ. ඊතණවලින් ගොතන මලා ගණදෙවියන්ටය. කොහොඹ පත්‍රවලින් ගොතන මාලා කාලි මාතාවටයි. තුල්සි පත්‍රවලින් මාලා ගොතන්නේ අයියප්පන් දෙවියන්ටය. රතුමල් මාලා කෝවිලේ  තිබෙන කාලිමාතා පිළිමයටත් කතෝලික දේවස්ථානයේ ඇති ශාන්ත සෙබස්තියන් උන්නාන්සේගේ පිළිරුවටත් පිදේ. ඇදහිල්ලක වරස්වරූපයක් දැරූවද මේ දෙවිවරුන්ගේද නිමැයුම්කරුවෝ මිනිසුන්මය. මිනිසුන් තැනූ ප්‍රතිමාවලට මිනිසුන් විසින්ම මල් දම්පැළඳවීමකි. හින්දුචාරිත්‍රවලට අනුව මනාලයා විසින් මනාලියටත්, මනාලිය විසින් මනාලයාටත් මල්මාලා පැළඳවීම සිදුකෙරේ. කොච්චිකඩේ වැඩකාරයන් ලවා තමන් කැමති මිලගණන්වලට කැමති ආකාරයට ඒවා ගෙත්තම් කරගත හැකිය. ඔවුන් සතුව ඊට අදාළ මෙනුවක්ද තිබේ. අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීමේදී පළඳවන මල්දම් අතරත්, මංගල චාරිත්‍ර ඉටු කිරීමේදී පළඳවන මල්දම් අතරත් දෙවියන්ට පුදන මල්මාලා අතරත් විශේෂත්වයක් නම් ඇත්තේ නැත. ඇතැම් ඒවා වත්කම් අනුව තීරණය කෙරේ.

/

ඉතා මෑතක් වන තුරුම මේ මල් දම් ගෙතීම සඳහා භාවිත කළේ කෙසෙල් පතුරු වියළා සකස් කළ පට්ටයි. සැපැයුම්කරුවන් දුලබ වීමෙන් පොලිතින් පටි හෝ නූල්වලට මාරු වෙන්නට මාලාකාරයන්ට සිදු විය. ඇතැම් කෝවිල් සහ දේවස්ථාන පොලිතින් භාවිතයෙන් ඉවත්ව ඇති නිසා කෙසෙල්පට්ට හෝ ගෝනිනූල් භාවිත කරන මාලාකාරයන් නැතුවා නොවේ. කෙසෙල් පට්ටයෙන් ගෙතූ මල්මාලාවක් ලෙහෙසියෙන් පර වෙන්නේ නැත.

මාලා ගොතන ජීවිත

විසිහතර හැවිරිදි ජීවා තරුණ මාලාකාරයෙකි. ජීවා මල්මාලා ගොතන්නේ කොච්චිකඩේ වුණත් ඔහුගේ උපන්ගම බදුල්ලය. මව්පියන් සිටින්නේ එහිය. ජීවා නිවාඩු ගන්නේ අවුරුද්දකට එක් වතාවකි. ඒ සිංහල අවුරුදු දින කීපයේය. නිවාඩුව දින තුනකට වඩා නම් දිගු වන්නේ නැත. ජීවා රස්සාව ඉගෙන ගත්තේ ඔහුගේ අයියාගෙනි. මල් කඩය පවත්වාගෙන යන්නේ මේ අයියාමලෝ දෙන්නාය.

ක්වින්ස්ටන් කැමිලස් සිල්වා මාලාකාරයන්ගේ පරම්පරාවේ අයකු නොවේ. ඔහු රැකියාවට යොමු වූ ආකාරය සුන්දර අත්දැකීමකි. ”මම සිංහල. අපේ ගෙවල් කිට්ටුව හිටිය රාමසාමි සුන්දරම් කියල වැඩකාරයෙක්. එයා තමයි මට මල් මාලා ගොතන්න කියා දුන්නේ. සුන්දරම්ට 1972 දි විතර ලංකාවෙන් යන්න වුණා ඉන්දියාවට. මල්මාලා ගොතන හැම වෙලාවකම මට මිනිහ මතක් වෙනවා. හින්දු කෝවිලටත් දේවස්ථානයටත් මම ගොතන මල්මාලා ගෙනියනවා. පන්සලේ බෝධි පූජාවට ගෙනියන්නෙත් ඒවාම තමයි.”

ජීවා

හතළිස් හැවිරිදි වසන්ත ගුණතිලක මල්මාලා ගොතන්නේ සිල්වාගේ මල් කඩයේමය. සිල්වා සහ වසන්ත දෙමස්සිනෝය. වසන්ත මල්මාලා ගෙතීම රැකියාව කර ගත්තේ අවුරුදු විස්සේදීය. දරුවන් සිව්දෙනෙකු ඇතුළු පවුලේ බර සැහැල්ලුවෙන්නේ වසන්ත ගොතන මල්මාලාවල අනුහසිනි. දිනකට මල්මාලා හැතැතෑපහක්-සීයක් විතර ගොතන්නට පුළුවන්යැයි ඔහු කීවේ වේගයෙන් දෑතේ මල්වලට නූල් පැටලෙමින් තිබියදීය.

මේ මාලාකාරයන්ගේ ජීවිතයේ අපූර්වත්වයක් තිබේ. දිවයිනේ සතර දිග්බාගයේ පිපෙන මල්වලට අලංකාරයක් මෙන්ම අරුතක්ද එකතුකරන්නේ ඔවුන්ය. හින්දු චාරිත්‍ර අනුව මළකඳටද මල්මාලා පැළඳවීම සිරිතකි. ජීවිත කාලයම මල්මාලා ගෙතුවද විවාහයේදී හැර, මාලාකාරයන්ගේ ගෙලට මල්දමක් පැළඳෙන්නේ එකම එක වතාවකි.

සේයා රූ : අජිත් සෙනෙවිරත්න