Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උතුරු - දකුණු රස යා කළ
යාපනය රස උදානය

ප්‍රණීත අහරක් යනු බිඳුණු හදවත් යළි යා කළ හැකි තරම් විස්මිත බලයකින් යුතු ඔසුවකි. කලෙක බිහිසුණු අවි අත දැරූ ඔවුහු, සූපවේදය ඔස්සේ මියුරු රස ජනනයට දෑත් හුරු කර ගනිමින් සිටිති. ‘යාපනය රස උදානය’ ඒ වෑයමෙහි මියුරු ඵලයයි.

16.01.2018  |  
යාපනය දිස්ත්‍රික්කය

උතුර දකුණ යා කෙරෙන යාපනය රස උදානය 2017 (Jaffna Food Festival 2017)  දෙසැම්බර් 15,16 සහ 17 යන දිනවල උත්කර්ෂවත් අන්දමින් යාපනයේදී පැවැත්විණ. යුද හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණු මෙම රස උදානය සංගීත සංදර්ශනවලින් මෙන්ම විනෝද ක‍්‍රීඩාවලිනුත් සමන්විත සැණකෙළි සිරියක් ගෙන තිබුණේය. යාපනයේ ජනතාව මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ටද අපූර්ව වින්දනයක් සහ අත්දැකීමක් ලබා දුන් මෙම වැඩසටහන, ශ්‍රී ලාංකිකත්වය පිළිබඳ හැඟීම් තීව‍්‍ර කරන පැසසිය යුතු පියවරක් වශයෙන් හැඳින්විය හැකියි. රස නහර පිනා යන ආහාර වර්ගවල රස බැලීමට මෙහිදී අපටද අවස්ථාව උදා විය.

යාපනය රස උදානය 15 වැනිදා සවස යාපනය කොටුව ඉදිරිපිටදී ආරම්භ කෙරුණේ යාපනය ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ, ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්, යුද හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් ජනතාවද  සහභාගී විය. යාපනයේ ජනතාවට රටේ ආහාර රටාවේ විවිධත්වය දැන හඳුනා ගැනීමට මෙන්ම අත්විඳීමටද මෙහිදී අවස්තාව ලැබිණි.

‘‘ලංකාවේ හැම පැත්තේම කෑම කාලා බලන්න පුළුවන් වුණා. අපිට දකුණේ කෑම කන්න ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම හරිම සතුටුයි මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන. හමුදාවේ අය තමයි සේරම කෑම හදලා තියෙන්නේ. හරිම රසයි.’’

යාපනය රස උදානයට සහභාගී වෙලා හිටපු දමිළ මවක් එසේ පවසද්දී යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින් පිරිසක්ද කෑමවල රස බලමින් සිටින අයුරු දක්නට ලැබුණි. මේ දකුණෙන් පැමිණ සිටි එක් සිංහල ශිෂ්‍යයෙක් පළ කළ අදහස්ය.

‘‘යාළුවොත් එක්ක එළියට ඇවිල්ලා සවස් වරුව මෙහෙම ගත කරන්න ලැබුණ එක ගැන සතුටු වෙනවා. මෙතන තියෙන්නේ අපේම දේශීය කෑම වර්ග. පළාත් නවයේම කෑම වර්ග මෙතන තියෙනවා. මේ කොත්තුව හරිම රසයි.’’

/

විදෙස් සංචාරකයෝ රැසක්ද ‘යාපනය රස උදානයට’ සහභාගී වී සිටියහ. එවැනි එක් සංචාරකයෙක් රස උදානය ගැන තම හැඟීම් ප‍්‍රකාශ කළේ මේ අන්දමිනි.

‘‘ලංකාවේ කෑම හරිම රසයි. අහම්බෙන් තමයි මෙතනට එන්න ලැබුණේ. සංස්කෘතික වශයෙන් ගත්තහම මේ වැඩසටහන හරිම වැදගත් එකක්. මෙවැනි දේවලින් උතුරේ සහ දකුණේ සම්බන්ධකම් තවදුරටත් අලුත් වෙනවා. කෑම වර්ග ගොඩක් තියෙනවා. මොනවද කන්නේ කියලා හිතා ගන්න බැහැ. දැනට කෑව දේවල් නම් හරිම රසයි.’’

යාපනයේ පළමු වරට පැවැත්වුණු මෙම ආහාර සැණකෙළියේ විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකාවේ පළාත් නවය නියෝජනය වන අන්දමින් ඒ ඒ පළාත්වලට ආවේනික විශේෂිත කෑම වර්ග සුදානම් කිරීමය. මේ අනුව රසනහර පිනා යන දේශීය කෑම වර්ග රැසක රස බැලීටම මෙයට සහභාගී වන සැමට අවස්ථාව උදා කරදී තිබුණි. මෙම වැඩසටහන යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ සංකල්පයකි. මේ හැම වර්ගයකම කෑම සකස් කර තිබුණේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ යාපනය හමුදා මුලස්ථානයේ හමුදා සාමාජිකයින් විසිනි.

/

ඇත්තෙන්ම ඔවුන් මේ කටයුත්ත ඉතාම ආකර්ෂණීය සහ ප‍්‍රිය උපදවන ලෙස සංවිධානය කර තිබුණාදැයි කිවහොත් ආහාර ප‍්‍රදර්ශනය කෙරෙන කුටි පවා ඉතා නිර්මාණශීලි සහ අලංකාර ලෙස නිමවා තිබුණි.  මෙහි කෑම වර්ග ලබා දුන්නේද ඉතාම අඩු මිලකටය.

‘‘පළමුවෙනි වතාවට තමයි ආමි එකෙන් මෙවැන්නක් සංවිධානය කරන්නෙ. නත්තලට සමගාමීව උතුරේ ජනතාවත් එක්ක සම්බන්ධ වීමේ අරමුණින් තමයි මේක සංවිධානය කළේ. එහෙම නැතිව ලාභයක් ලබා ගැනීමේ අරමුණින් නෙවෙයි. මෙහෙ දෙමළ ජනතාවට හුඟක් වෙලාවට දකුණේ කෑම කන්න ලැබිලා නැහැ. ඒ නිසා තමයි මෙවැන්නක් සංවිධානය කරන්න හිතුවේ. මෙම උළෙල දිගටම පවත්වනවා. එන වෙසක් උත්සවයටත් වෙනත් විදිහක උත්සවයක් පවත්වන්න හිතාගෙන ඉන්නවා. ඉතාම උසස් මට්ටමින් පිරිසිදුව තමයි මේ ආහාර සකස් කරලා තියෙන්නේ ඇසුරුම් කරලා තියෙන්නෙත් පිරිසිදුවයි. ඉතාම සුළු මුදලකට තමයි අපි මේ කෑම ලබා දෙන්නේ.’’

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ කළමනාකරු වශයෙන් මෙම ආහාර උත්සවයේ කටයුතුවල නිරත වූ කපිතාන් තුෂාර සම්පත් මහතා රස උදානය ගැන විස්තර කළේ එලෙසිනි.

16 වැනිදා සවස පැවැත්වුණ ‘Rhythm of Harmony’ රාත‍්‍රී සංගීත සංදර්ශනය සඳහා යාපනයේ ජනතාව විශේෂයෙන්ම තරුණ තරුණියෝ උනන්දුවෙන් සහභාගී වූහ. ශ‍්‍රී ලංකා යුද හමුදා කැරොල් කණ්ඩායම සහ අගරදගුරු නිවෙස සහ යාපනය කතෝලික පල්ලිවල කැරොල් කණ්ඩායම් එක්ව සංවිධානය කරන ලද නත්තල් කැරොල් ප‍්‍රසංගයක්ද 17 වැනිදා සවස පැවැත්විණ.

/