Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දල්ලට යටවූ ගැහැනියගේ
කාන්තා නියෝජන කෝටාව

ගී පදවල ගැයෙන අන්දමට වතුකරයේ කාන්තාව තේ දලූ නෙළන්නේ මදහස නඟමින් නොවේ. ඇගේ ජීවිතය අතිශය කර්කශය. ඇය ලබන අත්දැකීම්ද එලෙසමය. පළාත් පාලන මැතිවරණයේ දි ඇය මෙවර ලබන්නට නියමිතව ඇති අත්දැකීම ගැන අනාවැකි නොකීව ද මෙය ඒ ගැන ඉඟියකි.

08.02.2018  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

”මේ පාර ඡන්දෙ ඉල්ලන්න ගෑනු අයත් ආවා. හැබැයි ගොඩක් නෙවෙයි. දෙන්නෙක් විතර මට මතක හැටියට. කොටසින්ද, ලැයිස්තුවෙන්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ. මේ පාර ගෑනු අයත් දාලා තියෙනවලූ. ඒත් අපි දන්නෙ නෑ ඇයි එහෙම කරන්නෙ කියලා.” ඒ වයෝවෘද්ධ වේලූ අම්බිගාවතී මාතාව සිය එළවළු තට්ටුවේ පිටුපස සිට පළාත් පාලන මැතිවරණයේ සියයට විසිපහක කාන්තා නියෝජනය පිළිබඳ තමන් දන්නා දේ පවසන අන්දමය.

බණ්ඩාරවෙල කොළඹ මාර්ගයේ හපුතලට ආසන්නයේ සිය සැමියා සමඟ කුඩා එළවළු කඩයක් පවත්වා ගෙන යමින් ජීවිකාව ගෙන යන ඇය පවසන සියල්ල තහවුරු කරගන්නේ වරින්වර ඔහු දෙස බලමිනි. අම්බිගාවතී මව මෙන්ම වතුකරයේ බොහෝ ස්ත‍්‍රීන් තීන්දු තීරණ ගැනීමේදී හා කිසිවක් තක්සේරු කිරීමේදීත්, තහවුරු කිරීමේදීත් ස්වාමි පුරුෂයන් දෙස බැලීම ස්වභාවය වුවත් මෙහි ඇත්තේ එය ඉක්මවා යන නොදන්නාකමය. මෙවර ඒ නොදන්නාකම වතුකරයේ බොහෝ ගැහැනුන් අතර මෙන්ම වැඩිමනත් පුරුෂයින් අතරද නිරීක්ෂණය කළ හැකි විය. සංශෝධිත පළාත් පාලන මැතිවරණ නීතියට අනුව සෑම පළාත් පාලන ආයතනයකටම පත්වන නියෝජිතයින් අතරින් සියයට විසිපහක් අනිවාර්යයෙන් කාන්තාවන් විය යුතුය. එමනිසා සියයට හැටක කොට්ඨාශ ලැයිස්තුවේද සියයට හතළිහක සමානුපාතික ලැයිස්තුවේද කාන්තාවන්ගේ නම් සඳහන් කිරීම අනිවාර්ය වී තිබේ. එහි අර්ථය වෙනදාට වඩා කාන්තාවන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත්ව අවමය සියයට විසිපහක් පළාත්පාලන ආයතන වලට පත්වන බවයි.

ගුණසේකරම් රැජිනිකාන්ත් හා වේලූ අම්බිගාවතී

”හැබැයි එක දෙයක් තියෙනවා. මේ විදහට ගෑනු අය මන්ත‍්‍රිලා වෙනවානම් ඒකෙ හොඳකුත් තියෙනවා. හැමදේම පිරිමින්ගෙන් කරගන්න යනවාට වඩා ඒක පහසුයි. සමහර දේවල් තියෙනවා පිරිමින්ට කියලා කරගන්න බැරි. මේ ගෑනු අය අර තරම් හොරකම් කරන එකකුත් නෑ” වේලූ අම්බිගාවතී මාතාව කාන්තා නියෝජනය සඳහා හිමිව ඇති කෝටාව දෙස එලෙස සුබදායී අන්දමින් බැලූවත් ඇය ඇතුලූ වතුකරයේ බොහෝදෙනා ඒ පිළිබඳව දකින්නේ පැහැදිලි සිතුවමක් නොවේ.

නොදැනුවත් බව දැනුවත් වීම

වතුකරයේ ජන සමාජය අතිශය පුරුෂ මූලික බව හා දේශපාලනයේදී එය වඩාත් තහවුරු වන බව ඇතැම් සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙලිදරව් වී තිබේ. මේ නොදැනුවත් බවටද එය එක් හේතුවකි. ”වතුකර ස්ත‍්‍රීයගේ දේශපාලන නියෝජනය” මැයෙන් නිබන්ධනයක් සම්පාදනය කරන පර්යේෂිකා විනීෂියා මුණසිංහ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල නිව්බර්ග් වත්ත ආශ‍්‍රයෙන් පෙන්වා දෙන අන්දමට මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමට පමණක් වතුකර ස්ත‍්‍රීයගේ දේශපාලන සහභාගීත්වය පසුගිය කාලයේ සීමා වී තිබුණි. එහිදීද සිය ඡන්දය ලබා දෙන්නේ කාටදැයි යන තීන්දුවට කතුන් එළඹෙන්නේ සැමියාගේ හෝ වැඩිමල් පුතුන්ගේ තීරණයට අනුගත වෙමිනි. වතුකර කාන්තාවගේ සාපේක්ෂ නූගත්කම මේ තත්ත්වයට බලපා ඇති අන්දම විග‍්‍රහ කරන පර්යේෂිකාව පෙන්වා දෙන අන්දමට ඇය කළ මත විමසීමකට යොදාගත් නියැදියකින් සියයට හැට හතරක පිරිසක් ප‍්‍රකාශ කර තිබුණේ ස්ත‍්‍රීයට දේශපාලනය අනවශ්‍ය බවයි.

තවත් සියයට විසිතුනක් ප‍්‍රකාශ කර තිබුණේ පුරුෂයින්ගේ මතයට මුල් තැන දිය යුතු බවයි. මෙම පර්යේෂණය සිදුකරන අවදියේදී බදුල්ල දිසාවේ වතු කම්කරු ස්ත‍්‍රීන් කිසිවෙකු හෝ අවම තරමින් මැතිවරණයකදී නාමයෝජනා හෝ ලබා තිබුණේ නැත. එවැනි පසුබිමක මේ ලද අවස්ථාව වතුකරයටද ඉතාමත් වටිනා බව පවසන පිරිස්ද වතුකරයේ වෙති. හපුතල ප‍්‍රාදේශීය සභාවට තරග වදින ගුණසේකරම් රැජිනිකාන්ත් එවැනි මතයක් දරන අපේක්ෂකයෙකි. ”වතු කාන්තාවටත් මේකෙන් තැනක් ආවා. තේ වත්තටයි කුස්සියටයි සීමා වුණු කාන්තාවන්ටත් සමාජයේ තැනක් ලැබෙයි.” එසේ පවසන ඔහුට අනුව අසල්වැසි වතු ස්ත‍්‍රීන් දෙදෙනෙකුට පක්ෂ දෙකකින් නාම යෝජනා ලැබී තිබේ. එහෙත් බහුවාර්ගික ආසනයක එය ගම්බද කාන්තාවන්ට වඩා අඩු ප‍්‍රතිශතයකි. එසේම කාන්තා නියෝජනය හා ඔවුන්ටද මැතිවරණයකට ඉදිරිපත්වීමට ඇති අයිතිය පිළිබඳ වතුකරයේ ජනයාට ඇති දැනුවත් බවෙහි මදිපාඩුව ඔහුද පිළිගනියි.

ජී. මාර්කෝ සහ ඒ. ජෝන්

ඒ. ජෝන් සහ ජී. මාර්කෝ අගනුවර රැකියාවල නිරත වතුකරයේ තරුණයින්ය. ඔවුන් කල්තියා නිවෙස්වලට පැමිණ සිටින්නේ ඡන්දය දීම සඳහාය. කොළඹ රැකියාවල නිරත වීම නිසා අලූත් ක‍්‍රමය ගැන සහ කාන්තාවන්ට අනිවාර්යයෙන් සියයට විසිපහක කෝටාවක් හිමිවන බව තමන් දනිතැයි ඔවුහු ප‍්‍රකාශ කරති. ”ඒ වුණාට වතුකරයේ ගොඩක් දෙනෙකුට අවබෝධයක් නෑ ඇයි මෙහෙම කරන්නෙ කියලා. එයාලට සැකයි මෙහෙම වෙනවා කිව්වම. ඒක හරියට ඡන්ද ගුණ්ඩුවක් වගේ දැනෙනවා. ඇයි අපි ගෑනුන්ට ඡන්දෙ දෙන්න ඕන එයාලා එහෙමත් හිතනවා.”

තහංචි මැද්දෙන්

හපුතලේට නුදුරු වත්තක තේ දලූ නෙළීමෙන් ජීවත්වන පුෂ්පරාණි සහ ඇගේ යෙහෙළියන්ද මේ වෙනස් අත්දැකීමට කැමතිය. ”ගෙදර එක්කෙනා තමයි කිව්වෙ කාටද ඡන්දෙ දාන්න ඕන කියලා. ඉතිං අපි ගිහිං දාලා එනවා. හැබැයි කිසිම හොඳක් වුණේ නෑ. අපේ අර්ථසාධකේ වංචා කරලා. ගෙදරටම ඇවිත් දෙන සති ණයවලට අපි හිරවෙලා. ප‍්‍රශ්න ගොඩයි.” මේ කතුන් දුක්ඛ දෝමනස්ස රාශියකට නිදැල්ලේ බැහැර වන්නට ඉඩ හැර ඇත. ඔවුන් සිතන්නේ කාන්තා නියෝජිතයින් තමන්හට කුමන හෝ අස්වැසිල්ලක් වනු ඇති බවයි.

තිස්එක් හැවිරිදි මාරිමුත්තු ශ‍්‍රී දේවි එක් පක්ෂයක සමානුපාතික ලැයිස්තුවට ඇතුළත් කරගෙන ඇත. සිංහල පාසලක අධ්‍යාපනය ලබා ඇති ඇය පවසන අන්දමට තමන් යමක් උගත් කාන්තාවක නිසා මේ ලැබී ඇත්තේ ප‍්‍රයෝජනවත් අවස්ථාවකි. ”මම සමෘද්ධි සමිතියේ සභාපති. ඒ නිසා අපේ වත්තේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන දන්නවා. අහලපහළ ගම්වලට තියෙන පහසුකම් වත්තට නෑ. දියුණුවක් නෑ. මිනිස්සු ණය බරින් මිරිකිලා. කිසිම දෙයක් ගැන හරිහමන් දැනුවත් බවක් නෑ. මේ තත්ත්වයත් එක්ක බලන කොට දේශපාලනයේ පහළම තැන්වලට හරි කාන්තාවෝ එන්න ඕන. ඒ නිසා හොඳයි මෙහෙම දාන එක.”

පුෂ්පරාණි සහ මාරිමුත්තු ශ‍්‍රී දේවි

එසේ පැවසුවද සියයට විසිපහක කාන්තා කෝටාව වතුකරයේ ස්ත‍්‍රීන්ට ස්පර්ශ කරන්නට ලැබී ඇති තරමෙහි ඇය දකින ගැටලූද තිබේ. ඉන් ප‍්‍රමුඛ වන්නේත් බහුවාර්ගික ප‍්‍රදේශවල වතුකරයේ ස්ත‍්‍රීන්ට ලැබෙන අවස්ථාව සාපේක්ෂව ඉහළ නොවීමයි. එසේම ඇය වැනි කතුන්ට ගතානුගතිකත්වය හා ගැටෙන්නටද සිදුව තිබේ. ”කැන්වසින් ගියාම සමහර මිනිස්සු පුදුම වෙනවා අපි වගේ අය ඇයි ඡන්දෙ ඉල්ලන්නෙ කියලා. එයාලා අපෙන් මූණටම අහනවා ඇයි මෙහෙම වෙන්නෙ කියලා. මං හිතන්නෙ ඒ නොදැනුවත් කම නිසා වෙන්න ඇති. ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා නෑනෙ හරියට ඒකයි.”

කොළේ වසා ගැසීම

පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන් වෙත පිරිනමන අනිවාර්ය සියයට විසිපහක කෝටාව වතුකර ස්ත‍්‍රීන් වෙත පිරිනැමීමේදී වතුකර දේශපාලන පක්ෂ හා ඇතැම් ආසන සංවිධායකයින් කර ඇත්තේ කොළේ වසා ගැසීමක් බව පස්සර ඌව ශක්ති පදනමේ නඬේසන් සුරේශ් පවසයි. ඔහුට අනුව එයින් සිදුව ඇත්තේ ජනතාව නොමග යෑමට අවශ්‍ය පසුබිම සැකසීමයි. ”අපිත් සාකච්ඡා කළා මේ ප‍්‍රශ්නෙ ගැන. සමාජ ව්‍යාපාරවල හිටපු ශක්තිමත් කාන්තාවන්ට මේ පාර තැනක් දීලා නෑ. වෘත්තීය සමිති නායකයෝ මොකද කළේ කෝටා එකට කොහොම හරි දාන්න ඕන නිසා තමන්ට හිතවත් කාව හරි අන්තිම මොහොතේ දැම්මා. මේ අඩුපාඩුව බලපායි වතු කාන්තාවො උඩට එන එකට. යූරි වත්තෙ ආගරතැන්නෙ දාපු ගෑනු ළමයෙක් හරිම අසරණ වුණා. එයාට ගමේ ඡන්දත් ඕනනේ දිනන්න. ඒත් එයාට බෑ ඡන්දෙ ඉල්ලන්න ගමට යන්න. සන්නිවේදනය කරන්න බෑ. ගම එයාව පිළිගන්නෙ නෑ.” සුරේශ් පවසන අන්දමට වතුකරයේ ඡන්දය දෙන්නේ කාටදැයි තීරණය කරන්නේ පුරුෂයින්ය. එවැනි පසුබිමක කාන්තාවන්ට ඡන්දය දීම දුර්වල කෙරෙන අතර අපේක්ෂිකාවගේ ස්වභාවය අනුව ගැටලූව උග‍්‍ර වනු ඇත. අවසන් ප‍්‍රථිඵලය වන්නේ සියයට විසිපහක් වන කාන්තා නියෝජනයක වතුකරයේ පංගුව පහළ යාමයි. ”හරි විදිහට බැලූවොත් පස්සර ප‍්‍රාදේශීය සභාවේ කාන්තාවෝ පහක්වත් ඉන්න ඕන. බදුල්ල දිස්ත‍්‍රික්කෙ අනූහතරක්වත් කාන්තාවො අනිවාර්යයෙන් ඉන්න ඕන. නැත්නම් ගැසට් වෙන්නෙත් නෑ. ප‍්‍රශ්නෙ මේකයි මේ ගොඬේ වතුකර කාන්තාවො කීයක් ඉන්නවාද කියන එක. අමාරුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් ගොඩ වෙයි. මොකද වැඩිපුර අවස්ථාවක් ලැබෙන විදියට පුළුල්ව හිතලා ශක්තිමත් අය දාලා ලැයිස්තු හැදුවේ නෑනෙ. අනික ලැයිස්තුවෙ කාන්තාවො සියයට විසිපහ දාන කොට වතුකර කාන්තාවො දැම්මෙ අඩුවෙන්. අර සමානුපාතික ලැයිස්තුවලට වතුකර කාන්තාවො දාලම නෑ වගේ.”