Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මෙවර පළාත් පාලන මැතිවරණය
වතුකර ජනතාවට දුන් යතුරක්

පැවැති පළාත් පාලන මැතිවරණයේදී වතුකරයේ ජනතාවගේ දේශපාලන සහභාගිත්වය පෙරට වඩා කැපීපෙනෙන මට්ටමක පැවතිණි. සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව ඉහළ නැංවීමට ඉතාමත් වැදගත් වෙයි. ඒ සම්බන්ධයෙන් මේ සාකච්ඡාව සිදු කළේ පස්සර ඌව ශක්ති පදනමේ සභාපති හා වතුකරයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නඩේෂන් සුරේශ් සමඟ ය.

19.02.2018  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

මෙවර පළාත් පාලන මැතිවරණයේදී වතු ජනතාවගේ ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබුණද ?

ඔව් අපි මැතිවරණ නිරීක්ෂණයට සම්බන්ධ කණ්ඩායමක් හැටියටත් එය දැක්කා. ඡන්ද ප්‍රතිඵල වලදිත් එය සනාථ වුණා වතු ජනතාවට වුවමනා වුණා මේ පවතින ක්‍රමය ආරක්ෂා කරගන්න. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීව අලුත් මැතිවරණ ක්‍රමය අත්හදා බලන්නත් ඒ අයට වුවමනා වුණා.

ඡන්දය ජනතාවගේ අයිතියක් කියන සාධකය ගැන වතුකර ජනතාව සලකා බලලා තිබුනද?

ඔව් අනිවාර්යෙන්ම කාන්තාවන්ට ඒ කියන්නේ අපේක්ෂිකාවන්ට ඡන්දය දෙන කොට ජනතාව එය සලකලා බලලා තිබුණා. ඒ වගේම මේ සීමා නීර්ණය කටයුතුවලින් පස්සෙ තමන්ගේ වත්තේ තමන්ගේම ලැයිමෙ තමන්ගේ කොට්ඨාසය නියෝජනය කරන කෙනෙකුට ඡන්දය දෙන්න පුළුවන් වුණා. ඉස්සර ඡන්දෙ දුන්නේ පිටින් නම් කරන අපේක්ෂකයින්ට.

ඒ කියන්නේ මේ වතාවෙ වතුකර ජනතාව අතරිනුත් සැලකිය යුතු අපේක්ෂක පිරිසක් පත් වුණා?

බදුල්ල දිස්ත්‍රික්කයේත්  නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සැලකිය යුතු වතුකර ජනතාව පිරිසකට ප්‍රාදේශීය සභාවලට පත් වෙන්න පුළුවන් වුණා. බහු ආසනවල වතුර ජනතාවට අවස්ථාව ලැබුණා ඒ වගේම සමානුපාතික ලැයිස්තුව ලත් වතුකර ජනතාවට අවස්ථාව දීලා තිබුණා.

හැබැයි වතුකරයේ කාන්තාවට ලැබුණු අවස්ථාව සාපේක්ෂව අඩුයි නේද?

දකුණු ඉන්දියාවේ වගේම ලංකාවේ වතුකරයේ පුරුෂ මූලික බව ඉහළයි. වතුවල කාන්තාව දළු කඩනකොට  පිරිමි කංකානි කෙනෙක් ළඟ හිටගෙන ඉන්නවා අදත්. ඒවා සාම්ප්‍රදායිකව මුල් බැහැගත්ත ආකල්ප. හැබැයි සමහර තරුණ කාන්තාව ඉදිරිපත් වෙලා මේ ගතානුගතික ආකල්ප බිඳගෙන ඉස්සරහට ඇවිල්ල තියනවා. දැන් කරන්න ඕන කාන්තාවන්ගේ තත්ත්වය යටපත් වීම වළක්වන එක.

/

මෙය බිම් මට්ටමෙන් වතුකර ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් තහවුරු වීමක්ද ?

එය වතුකර ජනතාවට දුන් යතුරක්. නුසුදුසු අය ලැයිස්තුවලට දාල තියෙනව නං ප්‍රශ්න කළ යුත්තේ ආසන සංවිධායකවරු. මේ අවුරුදු පහට පත්වෙච්ච අය පිළිබඳ ගැටළු තියෙනවා නම් ඊළඟ වතාවේ වෙනස් කරගන්න පුළුවන්. පුරවැසියන්ට පුළුවන් ලැයිස්තු හදන්න අපිට ඉඩ දෙන්න කියලා ඉල්ලීම් කරන්න. සීමා නිර්ණය ගැටලු පළාත් සභා මැතිවරණයට පෙර විසඳා ගන්නට පුළුවන්. මේ දේවල් ජාතික සංහිඳියාවට වැදගත්.

දැන් වතුකරයේම අය ජනතා නියෝජිතයෝ හැටියට පත් වෙලා ඉන්නවා නම් මූලිකව ඒ පිරිස මොනවා ගැනද අවධානය යොමු කරන්නට ඕන?

ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන වලට ලොකු බලයක්  තියෙනවා. ඒක දෙවෙනි වෙන්නෙ ජනාධිපතිවරයාට විතරයි. නමුත් පළාත් පාලන ආයතන වල සේවාව මෙතෙක් වතුකරයේ ජනතාවට ලැබුණේ නෑ. මොකද ඒ මිනිස්සු ප්‍රාදේශීය සභාවට බදු ගෙව්වේ නෑ. දැන් පුළුවන් ඔවුන් බදු ගෙවන්නෝ බවට පත් කරලා ඒ සේවාව ලබා දෙන්න. වීථිරේඛා නම් කරලා පාරවල් හදලා ඒ ජනතාවට ලිපිනයක් දීලා සේවාවන් සලසන්න ඕන. පළාත් පාලන ආයතන වල අයවැය හදද්දිම ජනතාව සහභාගි කරවා ගන්න පුළුවන්. මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය අනිවාර්ය යෙන්ම සංහිඳියාව ප්‍රවර්ධනය කරන්න හේතුවක් වෙනවා.