Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

එක්සත් රටක් තුළ දෙමළ අයිතීන් දිනා ගැනීම
අපේ වත්මන් දේශපාලනයයි

තමන්ට රට තුළ දෙවැනි සන්නද්ධ අරගලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නොවූ බවට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවූවෝ (CFD) සංවිධානය පිහිටුවා ගෙන ඇති, තවදුරටත් ක්‍රියාත්මක නොවන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු සොල්දාදුවෝ කියති. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතනවල ආසන කීපයක් දිනා ගැනීමට සමත් වී ඇති CFD සංවිධානය, දෙමළ ඩයස්පෝරාවට සිය සුවපහසු පරිසරයෙන් මිදී දිළිඳුකමින් පීඩා විඳින දෙමළ ජනතාවට සහ රැකියා අවස්ථා නොමැති හිටපු කොටි සංවිධාන සාමාජිකයින්ට සේවය කිරීම පිණිස ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ඉල්ලා සිටියි.

18.06.2018  |  
යාපනය දිස්ත්‍රික්කය

CFD සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක වන තනබාලසිංහම් ඉදයලාල් ‘ද කැටමරන්’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී පැවසූයේ සියලුම ජන කොට්ඨාස එක්ව ජීවත් වන එක්සත් රටක් තුළ ඔවුන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දේශපාලන වශයෙන් සටන් කරන බවයි.

ද කැටමරන්: CFD සංවිධානය – හිටපු දෙමළ කොටි සාමාජිකයින්ගේ එකතුවෙන් පිහිටුවාගෙන ඇති දේශපාලන පක්ෂය මෙම පළාත් පාලන ආයතන මැතිවරණයේ දී උතුරු පළාත තුළ ආසන කීපයක් දිනා ගෙන තිබෙනවා. ඔබට සංවිධානයේ දැක්ම පිළිබඳ පැහැදිලි කළ හැකිද?

ඉදයලාල්: බන්ධනාගාරවලින් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් නිදහස් වූ හිටපු කොටි සාමාජිකයින් විසින් මෙම පක්ෂය පිහිටුවා ගෙන තිබෙනවා. සමාජයට නැවත එක් කළ හිටපු කොටි සාමාජිකයින් 12,500කට අධික සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 3,500ක් CFD සංවිධානයේ සාමාජිකයින් බවට පත්ව තිබෙනවා. උතුරේ සහ නැගෙනහිර සිටින අපේ ජනතාවට සේවය කිරීමත් හිටපු කොටි සාමාජිකයින් හට ස්වයං-රැකියා අවස්ථා නිර්මාණය කිරීමත් අපේ ප‍්‍රධාන මෙහෙවර වනවා.

දෙමළ ජනතාව අප දෙස බැලූවේ සැකයෙන්

ද කැටමරන්: මෙයට පෙර ඔබ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට ඔබේ අවතීර්ණවීම ප්‍රකාශයට පත් කළ විට ජනතාව සහ අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂ ඔබ පිළිගනු ලැබුවේ නැහැ. වර්තමාන තත්ත්වය කුමක් ද?

ඉදයලාල්: ඔව්, එය සත්‍යයක්. මුල් අවස්ථාවේ දී අපේම හිටපු කොටි සාමාජිකයින් සහ උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව අප දෙස බැලූවේ සැකයෙන්. ඔවුන් CFD සංවිධානයට බැදීමට මඳක් පසුබට වුනා. නමුත් අපි දේශපාලනයේ නිරතවීම සඳහා අපේ අයිතිවාසිකම් ලබා ගැනීමට සහ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා හඬක් වීමට ප්‍රජාතාන්ත‍්‍රික දේශපාලන මාර්ගයට අවතීර්ණ වූ බව ඔවුන්ට අවබෝධ කරවීම සඳහා වෙහෙස වී වැඩකටයුතු ඉටු කළා.

ද කැටමරන්: CFD සංවිධානය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔබ මෙතෙක් කර ඇත්තේ කුමක් ද?

ඉදයලාල්: අපේ වසර දෙකක කෙටි දේශපාලන ගමන්මඟ තුළ දී අපි ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම, අධ්‍යාපනය, ස්වයං-රැකියා අවස්ථා නොමැතිකම සහ පෙළඹවීම් අඩුකම හා ඉතා අඩු මට්ටමේ ආත්ම විශ්වාසය යනාදිය දෙමළ ජනතාව හා හිටපු කොටි සාමාජිකයින් අතර පවතින ප්‍රධාන ගැටලු ලෙස හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් බන්ධනාගාරවලින් හා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් නිදහස් කිරීමෙන් පසුව ඔවුන්ට රැකියා අවස්ථා නිසි ලෙස ලැබුණේ නෑ.

අපිට විශාල මූල්‍යමය ශක්තියක් නොමැති නිසා අප කුඩා පරිමාණයෙන් මෙම ගැටළුවලට පිළියම් සෙවීමට ආරම්භ කර තිබෙනවා. අපි පරිසර දූෂණය අවම කිරීම සඳහා වැඩි වැඩියෙන් පැළ සිටුවීම ඉලක්ක ගත වූ හරිත මිහිකත සංකල්පය පිළිබඳ අපේ දැක්ම නිවේදනය කර තිබෙනවා. CFD සංවිධානය උතුරු සහ නැගෙනහිර පළාත්වල හරිත ආවරණය වැඩිදියුණු කිරීම සඳහා සෑම වැදගත් උත්සව අවස්ථාවකදීම අඹ, පොල්, තැඹිලි ආදී පැළ බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. පහත් ආත්ම විශ්වාසය හේතුවෙන් මානසික බලපෑමට ලක්ව සිටින හිටපු කොටි සාමාජිකයින් සඳහා ස්වයං-රැකියා අවස්ථා වැඩිකිරීම පිණිස අපි කාබනික ගොවිපොල කීපයක් ආරම්භ කිරීම සඳහා වූ CFD යෝජනාව ද සමාජ ගත කර තිබෙනවා.

යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් වූ 25,000ක්

ද කැටමරන්: මේ වැඩසටහන් සඳහා CFD සංවිධානයට දෙමළ ඩයස්පෝරාවෙන් ආධාරය ලැබෙනවා ද?

ඉදයලාල්: මෙම ජනතාවට ආධාර කිරීම සඳහා අපිට විදේශයන්හි ජීවත්වන දෙමළ ජනතාවගෙන් සහයෝගය ලැබෙනවා. අපි ඍජුවම මුදල් හසුරුවන්නේ නැහැ. නමුත් ආධාර අවශ්‍ය අය පිළිබඳ තොරතුරු ඔවුන්ට ලබා දෙනවා. මේ වන විට, මෙම වැඩසටහන් සඳහා මුදල් හසුරුවීම පිණිස CFD සංවිධානය තුළ රාජ්‍ය-නොවන සංවිධාන ව්‍යුහයක් අපිට නැහැ. අපේ තොරතුරු අනුව යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් වූ 25,000කට අධික සංඛ්‍යාවක් වන කාන්තාවන්ට සහායෝගය දැක්වීම සදඟා එවැනි රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවීමට අපි සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අපිට ඔවුන් සඳහා රැකියා හෝ ස්වයං-රැකියා යෝජනාක්‍රම සොයා ගැනීමට රජයේ උපකාරය ලබා ගැනීමට ද අවශ්‍ය වෙනවා. ඔවුන්ට දරුවන් සිටිනවා. රැකියා නොමැතිකම නිසා ඔවුන් ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා.

ද කැටමරන්: ඔබ ඔබේ දේශපාලන පක්ෂය අනෙක් පළාත්වලට ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා ද?

ඉදයලාල්: ඔව්, අපිට අපේ දේශපාලන ක්‍රියාකාරකම් දකුණේ ව්‍යාප්ත කිරීමට ද සැලසුම් තිබෙනවා. මේ වන විට, අපි උතුරේ සහ නැගෙනහිර අපේ සාමාජිකත්වය වැඩි කිරීමට උනන්දු වෙනවා. අපි ඉක්මනින්ම අපේ කාර්යාලයක් කොළඹ දී විවෘත කර, සිංහල ජන කොට්ඨාස සමඟ වැඩ කිරීමට සැලසුම් කරනවා. CFD සංවිධානයට උතුර සහ නැගෙනහිර දකුණ සමඟ දේශපාලනික, සංස්කෘතික හා අධ්‍යාපනික වශයෙන් සම්බන්ධතා ඇති කර ගැනීමට වුවමනායි.

ද කැටමරන්: ඔබට දෙමළ ජාතික සංධානයට TNA පක්ෂයට බැඳීමට අවශ්‍ය වුනේ ඇයි?

ඉදයලාල්: TNA පක්ෂය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂවලින් එකක්. කොටි සංවිධානය ක්‍රියාත්මක වූ කාලයේ දී එයට අවශ්‍ය වුණේ දෙමළ ජනතාවට සේවය කිරීම පිණිස සියලූම දෙමළ දේශපාලන පක්ෂවලට එකට වැඩ කිරීමටයි. TNA පක්ෂය හරහා පාර්ලිමේන්තුව තුළ දෙමළ ජනතාව නියෝජනය කිරීමට කොටි සංවිධානයට අවශ්‍ය වූ බැවින් TNA පක්ෂය සඳහා කොටි සංවිධානයේ සහයෝගය ලැබුණු බව රහසක් නෙවෙයි. අපිට සහාය වන්නේ කවුරුන් ද යන්න නොදැන සිටි බැවින් මුල දී TNA පක්ෂය පවා අප දෙස බැලූවේ සැකයෙන්. ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව අපිට ජනතාව වෙනුවෙන් සේවය කළ නොහැකි බවට CFD අවබෝධ කර ගත්තා. එබැවින්, දෙමළ ජනතාව අතර ඇති ගැටළු විසඳීම සඳහා සැලසුමක් සාමූහිකව ක්‍රියාත්මක කිරීමට අපි TNA පක්ෂය සමඟ එකතු වුණා.

අපිට අවශ්‍ය සිවිල් පරිපාලන පද්ධතියක්

ද කැටමරන්: කොටි සංවිධානයට සහ එහි ඡායා දේශපාලන පක්ෂය වන TNA පක්ෂය ඊලාම් ලෙස හැඳින් වූ දෙමළ ජනතාව සඳහා වූ වෙනම රාජ්‍යයක් තිබීමේ සංකල්පයේ එල්බ සිටියා. දැන් CFD සංවිධානයේ ස්ථාවරය කුමක් ද?

ඉදයලාල්: හිටපු කොටි සාමාජිකයින් වන අපි අපිට මේ රටේ දෙවැනි සන්නද්ධ අරගලයක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කළා. ඔව්, මුල් කාලයේ දී කොටි සංවිධානය දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ නමුත් දැන් අපිට අවශ්‍ය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහතික කරන එක්සත් රාජ්‍යයක් තුළ දෙමළ ජනතාව ජීවත්වීමටයි. ඔබ වෙනම රාජ්‍යයක් පිළිබඳ සංකල්පයෙන් අදහස් කරන්නේ කුමක් ද? එයින් අදහස් කරන්නේ වෙනම රටක්. අපිට දැන් අවශ්‍ය වන්නේ වෙනම රටක් නොව, සිවිල් පරිපාලන පද්ධතියක් – දෙමළ භාෂාව කථා කරන නිලධාරීන් සිටින පොලීසිය හා අනෙක් පරිපාලන ආයතන – හමුදාව අත්පත් කර ගෙන ඇති අපේ ඉඩම් ආපසු ලබා ගැනීම සහ උතුරේ හා නැගෙනහිර අපේ භාෂාව භාවිතා කළ හැකිවීම. අපේ ජනතාවට සිංහල හෝ දෙමළ භාෂාවලින් සන්නිවේදනය කළ නොහැකි බැවින් අපිට උතුරේ සහ නැගෙනහිර දෙමළ භාෂාව කථා කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට අවශ්‍යයි. එමෙන්ම උතුරේ සහ නැගෙනහිර තිබෙන අතිරේක හමුදා කඳවුරු රජය වෙතින් නිදහස් කර ගැනීමට ද අපිට අවශ්‍යයි.

ද කැටමරන්: ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ ඔබේ අදහස් මොනවා ද?

ඉදයලාල්: සිංහල හා දෙමළ ඇතුළු සියලූම ජනකොට්ඨාස මේ රට තුළ එකට ජීවත් විය යුතුයි. බොහොමයක් දෙමළ ජනතාව දකුණේ ජීවත් වන්නාක් මෙන් සිංහල හා මුස්ලිම් ජනතාව ද උතුරේ හා නැගෙනහිර ජීවත් වන අතර ඔවුන් ඔවුන්ගේ කටයුතු සිදු කර ගන්නවා. මෙය ප්‍රතිසංන්ධානය සඳහා යහපත් තත්ත්වයක් වන අතර ඉතා හොඳ ලකුණක් ද වෙනවා.

දෙමළ ජනතාවට ආධාර කරන බව කියන බොහෝ අය වංචනිකයින්

ද කැටමරන්: දෙමළ ඩයස්පෝරාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ඔබ අදහස් දක්වන්නේ කෙසේ ද?

ඉදයලාල්: විදේශයන්හි ජීවත්වන ඇතැම් පුද්ගලයින් හිටපු කොටි සාමාජිකයින්ට හා යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් වූ කාන්තාවන්ට මූල්‍යමය වශයෙන් උපකාර කර තිබෙනවා. ඔවුන් හැරුණු කොට, විදේශයන්හි ජීවත් වන, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ආධාර කරන බවට පවසන බොහෝ දෙනෙක් වංචනිකයින්. ඔවුන් අපිට සහයෝගය දක්වන්නේ නැහැ.

ඔවුන්ට අපිට ආධාර කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ශ්‍රී ලංකාවට පැමිණ ඔබේ දෙනෙතින්ම තත්ත්වය දෙස බලන්නැයි මම ඔවුන්ට කියන්නට කැමතියි. ඇමෙරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, කැනඩාවේ හා යුරෝපීය රටවල ඉතා සුවපහසුව ජීවත් වන අතර ඔබ අහිංසක හා දිළිඳු දෙමළ ජනතාවට උපකාර කරන බවට පැවසිය නොහැකියි. කෙසේවුවත්, විදේශ රටවල ජීවත්වන පුද්ගලයින් කොටිසංවිධානය සඳහා මුදල් එකතු කර, එම මුදල් ඔවුන්ගේ සාක්කුවලට දමා ගන්නවා.

ගෝලීය දෙමළ සංසදයට අභියෝග කරනවා

දෙමළ ජනතාවට සහයෝගය දැක්වීමට පිහිටුවා ගත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් තිබෙනවා. ගෝලීය දෙමළ සංසදය (GTF) වැනි එවැනි රාජ්‍ය නොවන සංවිධානවලට මම කියන්න කැමතියි ඔවුන් මේ වන තෙක් දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කර ඇති දේ කුමක් දැයි ප්‍රකාශ කරන ලෙසට. GTF සංවිධානය ඊලාම් ආණ්ඩුවක් පිහිටුවා ගෙන රුද්‍රකුමාරන් එහි රාජ්‍ය නායකයා ලෙස පත්කර ගෙන තිබෙන අතර අමාත්‍ය මණ්ඩලයක් ද පත්කර ගෙන තිබෙනවා. අහිංසක දෙමළ ළමයින්ට අධ්‍යාපනය ලැබීමට සපත්තු, පොත්පත්, නිල ඇඳුම් හා නිවහනක් නොමැති අතර ඔවුන් මිලියන ගණන් මුදල් වියදම් කරමින් සුඛෝපභෝගී හෝටලවල ඔවුන්ගේ ග්‍රීෂ්ම ඍතු රැස්වීම් පවත්වනවා. අහිංසක දෙමළ ළමයින් උහුලාගත නොහැකි රස්නය දරාගෙන සැතපුම් ගණනාවක් පාසලට පයින් ගමන් කරනවා. මම ඔවුන්ට ඔවුන්ගේ ප්‍රකාශන හකුලා ගෙන අපේ ජනතාව පීඩා විඳින ආකාරය දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට අභියෝග කරනවා.

ඔවුන් විදේශ රටවල ඉතා සුඛෝපභෝගී ලෙස ජීවත්වන අතරතුර ඊලාම් රාජ්‍යයක් පිළිබඳව කථා කරනවා. ඊලාම් ඇත්තේ කෙහේ ද? එය තිබෙන්නේ නිව්යෝක්, ලන්ඩන්, ටොරොන්ටෝ හෝ සිඞ්නි නගරවල ද? එම රාජ්‍ය නොවන සංවිධානවල දෙමළ ජාතිකයින් ඔවුන්ගේ පැවැත්ම සඳහා කොටි සංවිධානයේ නම භාවිතා කරන බැවින් ඔවුන් කොටි සංවිධානයට නරක නාමයක් එකතු කරනවා. මා රුද්‍රකුමාරන් වැනි දෙමළ පුද්ගලයින්ට පවසනවා ආණ්ඩුව ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට.

ඔවුන් මෙතෙක් කල් සිදු කර ඇත්තේ කුමක් ද, ඔවුන් කොපමණ මුදලක් එකතු කර තිබෙන්නේ ද සහ ඔවුන් උතුරේ හා නැගෙනහිර ජීවත්වන දෙමළ ජනතාවගේ සුභසාධනය සඳහා එම මුදලින් කොපමණ ප්‍රමාණයක් වියදම් කර තිබෙන්නේ ද යන්න පිළිබඳ පුර්ණ වාර්තාවක් අපට ලබා දෙන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව තුළම දෙමළ ජනතා ප්‍රශ්න විසඳාගත යුතුයි

මා වසර 13ක් විදේශගතව ජීවත් වූ අතර මට මගේ ජනතාව සමඟ ජීවත් වෙමින් ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය බැවින් මගේ පවුල සමඟ මෑතක දී හොංකොංවල සිට ආපසු පැමිණියා. බටහිර රටවල් අපට කිසිවක් නොදෙන බවටත් අපේ රට – ශ්‍රී ලංකාව තුළම දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගත යුතු බවට අපි විශ්වාස කරනවා.

ද කැටමරන්: උතුරේ සහ නැගෙනහිර වර්තමාන තත්ත්වය පිළිබඳ දෙමළ ඩයස්පෝරාව දැනුම්වත් කිරීමට ඔබ සැලසුම් තිබෙනවාද?

ඉදයලාල්: ඔව්, දෙමළ කොටියන් ලෙස වෙස්වලා ගෙන සිටින ‘හිවලූන්’ පිළිබඳ යුරෝපයේ ජීවත්වන දෙමළ ජනතාව දැනුම්වත් කිරීම සඳහා මා ඉක්මනින්ම එහි යනවා. සැබෑ කොටියන් දැන් ශ්‍රී ලංකාවේ සිටින බවටත් දෙමළ ජනතාවට සේවය කිරීම සඳහා ඔවුන් ප්‍රජාතාන්ත‍්‍රික දේශපාලන මාර්ගයට පිවිස ඇති බවට අපි ඔවුන්ට කියනවා. ව්‍යාජ කොටින්ට අරමුදල් සැපයීම නවත්වන ලෙසට අපි ඔවුන්ට කරුණු දක්වනවා.