Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කසළින් පිරි නුවරකට නැතිව ම බැරි
නිකසළ චරිත දෙකක්

උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් ව ලද සරසවි වරම අත පොවන මානයේ තිබිය දී ඔහු වැඩි දුර ඉගෙනුම පිණිස තෝරා ගත්තේ ජීවන සරසවියයි. වැලිගම තුෂාර උදය කුමාර අද වන විට ඉන් ලබා ඇති දැනුම් සම්භාරය ඉමහත් ය. මෙහි දිග හැරෙන්නේ ඉන් බිඳක් පමණකි.

29.08.2018  |  
මාතර දිස්ත්‍රික්කය

තුෂාර උදයකුමාර දෙමළ, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණය මනාව හදාරා, උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් සරසවි වරම් ලැබීමට සමත් විය. උදය සරසවි යෑමට වරම් ලැබුවත්, අම්මාට ඒ බර දරන්නට නොහැකි නිසා ඔහු ඒ ගමන අතහැර දැමුවේය. සරසවියට යනු වෙනුවට අම්මා සමඟ වීදි දිගේ, වෙරළ දිගේ සහ සංචාරක හෝටල් අවට ඇවිද යාමත්, මිනිසුන් තැන තැන දමා යන අපද්‍රව්‍ය නිවැරදි ලෙස වර්ග කර එක්රැස් කිරීමත් ඔහු වෘත්තිය කොට ගත්තේය.

මිනිසුන් විසින් නොසැලකිල්ලෙන් තැන තැන දමා යන ප්ලාස්ටික්, පොලිතින්, කාඩ්බෝඩ් සහ වීදුරු ඉතා සැලකිලිමත් ලෙස එක්රැස් කරමින් ඒවා වර්ග කිරීම තුෂාර උදයකුමාරගේත්, නන්දාවතීගේත් රැකියාව ය. තුෂාර සහ නන්දාවතී යනු පළාත්පාලන ආයතනයක සේවය කරන සනීපාරක්ෂක කම්කරුවන් නොවේ. මේ සේවය වෙනුවෙන් ඔවුන් දෙදෙනා රජයෙන් හෝ කිසියම් ආයතනයකින් වැටුප් ලබන්නන්ද නොවේ. නන්දාවතීගේ පුත්‍රයා වන්නේ තුෂාර උදයකුමාර ය. මේ මවගේ හා පුතා ගේ ජීවන වෘත්තිය අපූරු එකකි. පරිසරය පිරිසුදුව තැබීම ඔවුන් ගේ මේ රැකියාවේ අතුරු පලය වුව ද ඔවුන්ගේ වෘත්තියමය ජීවිතය අපට බොහෝ පාඩම් කියා දෙයි.

පයින් ඇවිද යමින් දුෂ්කර සේවයේ

තුෂාර සහ නන්දාවතී ජීවත් වන්නේ වැලිගම, හේන්වල, ‘නුගගහවත්ත‘ නමැති තමන්ට යැයි කිසිදු හිමිකමක් නැති බිම් ‍කොටසක ය. අලුයමින් නැගිටින මේ මවු පුතු දෙපළ මුලින්ම යන්නේ වැලිගම වෙරළ තීරයට ය. වෙරළේ ඇති ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල්, හිස් බියර් ටින්, කාඩ්බෝඩ් ඇතුළු සාමාන්‍ය මිනිසුන්ට කිසිදු වටිනාකමක් නැතැයි හැඟෙන සියලු දේ ඔවුහු සිය මලුවලට පුරවා ගනිති. දෙදෙනා ඊළඟට යන්නේ විදේශීය සංචාරකයන් වැඩිපුර ගැවසෙන මිරිස්ස වෙරළ තීරයට ය. එතැන දී කෙරෙන්නේද ඒ කටයුත්ත ය.

මුල් කාලයේ මේ කටයුත්තේ නියැළෙද්දී ‘මේ අම්මටයි, පුතාටයි නම් පිස්සු‘ යැයි ඇතැමෙක් නන්දෙඩූහ. අවඥා සහගත ලෙස ඒ දෙස බැලූහ. එහෙත් අවසානයේ වැලිගම මිරිස්ස සංචාරක හෝටල් හිමියන්ගේ ගජ මිතුරන් වූයේ මේ මව සහ පුතා ය. ඊට හේතුව සංචාරක හෝටල් පරිශ්‍රවල එකතු වන බෝතල්, කාඩ්බෝඩ්, පොලිතින් ඇතුළු කසළ බඳුන් ඉවත් කොට ඒවායේ පවිත්‍රතාවට ද උර දෙන්නේ මොවුන් දෙදෙනා වීම ය. මුල් කාලයේ සැතපුම් දෙක-තුනක් පයින් ඇවිද යමින් දුෂ්කර සේවයේ යෙදුණු ඔවුන් අද මේ රැකියාවේ නිරත වන්නේ කසළින් ඉපැයූ මුදලින් මිලට ගත් කුඩා වාහනයක ආධාරයෙනි.

අනතුරුව ඇරඹෙන්නේ නිවසට රැගෙන ආ කසළ වර්ගීකරණය කිරීමේ මෙහෙයුම ය.

නන්දාවතීගේ ස්වාමිපුරුෂයා වන ඒ.එච්.විමලසේන වෘත්තියෙන් ධීවර කාර්මිකයෙකි. 1999 දී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු හදිසියේ මිය ගියේය. එවකට උදයකුමාරගේ වයස අවුරුදු අටකි. ඔහුගේ සහෝදරියගේ වයස අවුරුදු දොළහකි. දරු දෙදෙනා පෝෂණය කිරීමට නන්දාවතී සිය ඉඩමේ වගා කළ කෙසෙල් මිරිස්ස පොළට රැගෙන ගොස් අලෙවි කළා ය. දරුවන්ට අධ්‍යාපනය ලබාදුන්නේ ඒ මුදල්වලිනි. දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටත්, ගෙදර දොර අගහිඟකම් පිරිමා ගැනීමටත් නන්දාවතීගේ වත්තේ කෙසෙල් ගස් ප්‍රමාණවත් වූයේ නැත. ඇයගේ සහෝදරයාගේ සහාය ඇතිව කිරි ගවයන් කිහිප දෙනකු ඇති කරන්නට පටන් ගත්තේ ඉන්පසුව ය. දොවාගත් කිරි වීදුරු බෝතල්වල අසුරා ගෙයින් ගෙට ගෙන ගොස් අලෙවි කිරීම ඊළඟ ජීවන වෘත්තිය විය.

නව ගමනකට පාර

එයද වැඩි කාලයක් කරගෙන යාමට අවස්ථාව උදා වූයේ නැත. කිරි හරක් නැවත හිමිකරුවන්ටම ලබාදීමට සිදු විය. ඉතිරි වූයේ හිස් වීදුරු බෝතල් රැසකි. ඒ ඉතිරි වූ හිස් බෝතල් මේ මවටත්, පුතාටත් නව මාවතක් විවර කර දුන්නේය. 2013 වසරේ එක්තරා දිනක පාරේ ඇවිද ගිය බෝතල් පත්තරකාරයකු නන්දාවතීගෙන් හිස් වීදුරු බෝතල් තොගය මිලදී ගත්තේය. එසේ මිලදී ගත්තේ මෙවැනි උඵදෙසක් දෙමිනි.

‘පුළුවන් නම් මේවා එකතු කරලා දෙන්න. මම ඇවිත් සල්ලි දීලා ගන්නම්.‘

නව ගමනකට පාර කැපුණේ එතැනිනි. ජීවත් වීම උදෙසා අරගලය ඇරඹුණේ එතැනිනි.

මේ මව සහ පුතු ජීවත් වන්නේ වසර දෙසීයක් පමණ පැරණි පාරම්පරික නිවසකය.

‘මමයි, පුතායි උදේ හතරට නැගිටින්න පුරුදු වුණා. පුතා ඉස්කෝලෙ යන්න කලින් අපි වැල්ලට ගිහින් වීදුරු බෝතල්, ප්ලාස්ටික්, කාඩ්බෝඩ් එකතු කරනවා. ඒවා ගෙදර ගෙනැල්ලා වත්තෙ ගොඩගහලා, පුතා ඉස්කෝලෙ ගිහින් ආවම දෙන්නත් එක්ක ඒවා වර්ග කළා. එහෙම තොගයක් එකතු වුණාම ඒ තොගය විකුණලා අපි ඊළඟ තොගය එකතු කරගන්න තුරු ලැබුණු මුදල් පරෙස්සමට වියදම් කළා.‘

උසස් පෙළ විභාගය

නන්දාවතී සිය පවුල නඩත්තු කළ අරපරෙස්සම අපට හෙළිදරව් කළේ ඒ අයුරිනි. ලැබුණු මුදල් මෙසේ පරෙස්සමට තියාගෙන තිබුණේ උසස් පෙළ විභාගයට සූදානම් වන තුෂාර උදයකුමාරගේ වියදම් සඳහා ය. දෙමළ, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණය මනාව හැදෑරූ උදය, උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් සරසවි වරම් ලැබීමට සමත් විය. ඒ සියල්ල කෙරුණේ ද වෙරළේ, පාරේ හෝ සංචාරක හෝටල් අවට ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය එක්රැස් කරන අතරතුර ය.

සරසවි යෑමට වරම් ලැබුවත්, අම්මාට ඒ බර දරන්නට නොහැකි නිසා ඔහු ඒ ගමන අතහැර දැමුවේය. සරසවියට යනු වෙනුවට අම්මා සමඟ වීදි දිගේ, වෙරළ දිගේ සහ සංචාරක හෝටල් අවට ඇවිද යාමත්, මිනිසුන් තැන තැන දමා යන අපද්‍රව්‍ය නිවැරදි ලෙස වර්ග කර එක්රැස් කිරීමත් වෘත්තිය කොට ගත්තේ ය.

2015 වර්ෂයේ දී ඔවුන් තම උත්සාහයේ එක් පියවරක් පසු කළේ කසළ රැස්කිරීමේ කටයුතු සඳහා ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමත් සමඟ ය. දැන් ඉතින් කුලියට වාහන ගත යුතු නැත. උදයට සහ නන්දාවතීට තමන්ගේම වාහනයකට හිමිකම ලැබීමත් සමඟ වැඩියෙන් මහන්සි වන්නට ඉඩ ලැබිණි. වාහනයේ ලීසිං වාරිකය ගෙවීමට  කසළ එක්රැස් කිරීමේ සීමා පුළුල් කෙරිණි.

තමන්ගේම වාහනයකට හිමිකම

අලුයම පහට නිවසින් පිටත් වන මේ මව හා පුතා නිවසට නැවත පැමිණෙන වේලාව තීරණය කෙරෙන්නේ එක්රැස් කරන ප්ලාස්ටික් බෝතල්, කාඩ්බෝඩ් ප්‍රමාණය අනුවය. ඇතැම් දිනවල පැයකි, දෙකකි. ඇතැම් දිනවල මධ්‍යහ්නයද පසු වේ. දහවල් ආහාරයෙන් පසුව පැයක් පමණ විවේක ගැනීම සාමාන්‍ය සිරිතකි. අනතුරුව ඇරඹෙන්නේ නිවසට රැගෙන ආ කසළ වර්ගීකරණය කිරීමේ මෙහෙයුම ය. එක්රැස් කරගෙන ආ හිස් බියර් ටින් තලා අලෙවියට සූදානම් කෙරෙන්නේ උදයගේ වාහනයේ උපකාරයෙනි. නිවස පරිශ්‍රයේ ඒවා තුනී කර ඇත්තේ ඒ නිසා ය.

වාහනයේ ලීසිං වාරිකය

එතැන හරි පුදුම වැඩබිමකි. යකඩ කොටස්, ප්ලාස්ටික්, පොලිතින්, කඩදාසි, වීදුරු කටු වෙන වෙනම තොග ගණනින් ගොඩ ගැසේ. සියල්ලම කෙරෙන්නේ මවගේ සහ පුතුගේ දෑත් වලිනි. මසකට එක් වරක් පැමිණෙන වෙළෙන්දන් මේ වර්ගීකරණය කළ කසළ මිලදීගන්නේ තොග ගණනිනි. ලැබෙන මුදලින් වාහනයේ වාරිකයට රුපියල් 30,000ක් වෙන් කර, ඉතිරි මුදල නිවසේ අගහිඟකම් පියවා ගැනීමට සහ සෙසු සමාජ කටයුතු සඳහා වියදම් කිරීමට යෙදවේ. නිවසේ අය-වැය සැකසෙන්නේ ඒ අකාරයටය.

තවමත් තමන්ට යැයි කිවහැකි බිමක උරුමයක් නැති මේ මව සහ පුතු ජීවත් වන්නේ වසර දෙසීයක් පමණ පැරණි පාරම්පරික නිවසකය. නිවසක තිබිය යුතු මූලික පහසුකම් ටික හැරුණු කොට වෙනත් කිසිවක් එහි නැත. එහි අලුත් ඉදිකිරීමකට හෝ එය කඩා ඉවත් කිරීමටද ඔවුනට අවසරයක් නැත. දැන් දැන් කසළ රැස්කිරීම සඳහා වෙන් වූ භූමියද සීමා වෙමින් ඇත.

මේ මවගේත්, පුතුගේත් ක්‍රියා කලාපය හේතුවෙන් දිනපතා වැලිගම සහ මිරිස්ස වෙරළ තීරය පවිත්‍ර වෙයි. එය මුදල් ගෙවාවත් නිසි පරිදි ඉටු කර ගත නොහැකි මෙහෙවරකි. උදය සහ ඔහුගේ මව නන්දාවතී මේ කසළ රැස්කිරීමේ ව්‍යාපෘතිය නවතා දැමීමට බොහෝ දෙනා අවස්ථා ගණනාවකදී උත්සාහ කළත්, වැලිගම සංචාරක හෝටල් හිමියන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ මැදිහත්වීම නිසා එය කළ නොහැකි විය. ඒ නිසා ඔවුහු අදත් මේ වෙරළ තීරය පවිත්‍ර කිරීමේ මෙහෙයුමේ නිරත වෙති.

දැන් උදයගේ වසය අවුරුදු 29 කි. ජේලර්වරයකු ලෙසත්, සෞඛ්‍ය කම්කරුවකු ලෙසත්, පාසල් ආරක්ෂක නිලධාරියකු ලෙසත් ලැබුණු රැකියා මඟහැර ඔහු තවමත් නියැළෙන්නේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ ය.