Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සහෝදර භාෂා දෙකේ සංහිඳියාව සොයන
ගුරු පිය මුණසිංහ

මිනිසුන් එකිනෙකාට සැක කරවන හැම දේකටම මුළ සංවාදය නොදන්නාකම යැයි මුණසිංහ අවබෝධ කරගත්තේ ය. එදා පටන් ඔහු වෙන්වූ සහෝදර භාෂා දෙකේ සංහිඳියාව ගැන කෙටිකතා ලිව්වේ ය. පාසල් ළමයින් හා කෙටි චිතුපට හැදුවේ ය. මේ නිර්මාණ හරහා සංහිඳියාව ගැන මහා පාඩමක් කියා දෙන්නට ඔහු උත්සාහ දරන්නේය.

11.09.2018  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
සරත් මුණසිංහ

කෝකිලායි කලපුවේ උණුසුම් සුළඟින්ද මුලතිව් වනයේ වෙඩි හඩින්ද කැළඹුණු ගම්මානයකි. තල්කොළ මුල්ලේ දුෂ්කර සිංහල ගමක පාසලට යන බව කියා මඩකලපුවේ ගමකින් මේ ගමට ආ භද්‍ර යෞවනයේ ගුරුවරයෙකි. පාසල ගුරුවරුන්ද අඩු ළමයින් ද අඩු සිංහල පාසලක් වු අතර ඒ ගමත් පාසලත් වටවී තිබුණේ දෙමළ බස කතාකරන වැසියන්ගෙනි.
නැගෙනහිර පළාතේ උපන්නෙකු නමුත් ඒ ගුරුවරයා දෙමළ දැන නොසිටියේ ය.තම ගමේ සිටිනතාක් ඔහුට සිංහල මිස වෙන යම් බසක් අවශ්‍ය වේ යැයි සිතුණේ ම නැත.එක්තරා දවසක ඔහුට දෙමළ බස චතුර ව කතා කිරීමේ අවශ්‍යතාව පැන නැංගේ ය.එම බස චතුර ආකාරයටත් වඩා
අලංකාරව, උපමා උපමේයන් ඇතිව, මටසිලිටුවට ළගන්නාසුලුව, ළයාන්විතව හැසිරවීමේ නිපුණත්වය ඇත්නම් මුළු ලෝකයේම සිටින වාසනාවන්තම මිනිසා තමන්යැයි එදා ඔහුට සිතුණේය. ඒ ශඛිලා දකින විටය.

පාසල හැරී ගුරු නිවාසයට වී හුදකලාව ගම දෙස නෙත් යොමාන සිටින ඔහුට ගුරු නිවස අද්දර ගංසූරිය දෙවැට මැදින් කෙළිලොල් ගමනින් යන ශඛිලාගේ දසුන සවස්වරුවේ දෙතුන් වරක් නෙත ගැටෙයි.ශඛිලාගේ දැස් ඔහු හා කතා කර බිමට යොමු වෙයි. ඔහු ඇගේ නළලත පොට්ටුව දෙස යොමා සිටින ඇස වරලසේ මල්වැල ඈතට නොපෙනී යන තෙක් වෙනතකට හරවා නොගනී. ගංසූරිය දෙවැටේ මංතලාවේ වියැළුණු තණපත් පවා ඇගේ පයට තැළි තැළී නොපෙනි යන තෙක්ම ශඛිලාගේ හැඩ රුව බලා හිඳී.ඇගේ දෙපයේ පැටළෙමින් වරෙක ඉදිරියෙන් හා වරෙක පසු පසින් ආරක්ෂාව දෙමින් යාමට පිං කර ඇත්තේ කුවා පමණි.

‘කුවා ….. සුරුකා වා‘ කියන විට කුවාට හොඳට තේරෙයි.කුවා ඉඳ හිට මේ තරුණයාට ද බුරාගෙන ශඛිලාගේ ආදරය දිනාගනී.

මහාචාර්ය සේන නානානයක්කාර හා කලාකරුවන් මුණසිංහට සුබපැතීම

තරුණයා දවසක් ඇය හා සිනාසෙන්නට වැර දරුවේ ය. ඇයගේ ප්‍රතිචාරය කට කොණ උපහාසාත්මක සිනාවකට සීමා විය. ඇයට මිමිණීම සඳහා සිංහලෙන් හදවතේ මැවෙන වචන,කව් පදවැල් ගිත ඛණ්ඩ හා පුංචි කතාන්තර කිසිවක් ඔහුට දෙමළට පරිවර්තනය කර ගන්නට කුසලතා නොවෙයි. දවසක ඔහු යමක් කීවේ ය.එයට ප්‍රතිචාර නැත. තවත් දවසක තරුණිය ඔහුගෙන් යමක් විමසන්නට මෙන් ළංවුණා ය.ඒත් ඇය ඔහුව අමතන බස නොදැන සිටියා ය.

මේ පෙම් කතාවට දුෂ්ඨයන් නැත.බාධක අවහිර නැත.ඒත් අමතන්නට මාධ්‍යයක් නැත.කුවා පාසල් ගිහින් හෝ රට පුරා සමාජය ඇසුරු කර හෝ නැත.එහෙත් ඔහු ශඛිලා සමග අදහස් හුවමාරු කර ගනියි. දැන් දැන් තරුණයා සමග ද කුළුපඟව හැසිරෙයි. ‘කුවා ඉඦෝ.වරෙන්‘ කී විට නවාතැනට පැමිණ කෑම කා යයි. ඔහුට ද ආදරය දක්වයි.ගුරු නිවාසයට නාදුනන කෙනෙක් ආ විට ආරක්ෂාවට බුරයි. යන්න කී විට යයි. බල්ලාට ඇති සන්නිවේදන මාධ්‍ය තරම්වත් හැකියාවක් ගුරුවරයකු වූ තමාට නැතිවීම ගැන තරුණයා දුක් වෙයි: පසු තැවෙයි.

‘‘කුවා උඹට දෙමළත් පුළුවන්.සිංහලත් පුළුවන්. උඹ උඹේ අක්කාටත් ආදරෙයි කියනවා.අක්කාත් උඹට ආදරෙයි කියනවා. උඹ මටත් ආදරෙයි කියනවා. මාත් උඹට ආදරෙයි. ඒත් මනුෂ්‍යයෝ වෙච්චි අපට අපේ ආදරේ කියාගන්න ක්‍රමයක් නැති හැටියක්!‘‘යි දිනක් ඔහු කුවාගේ හිස අත ගාමින් කීවේ ය.

අගොස්තුවක් එළඹිණි. තල්කොල මුල්ලේ අහස මෙන් දං ගස බරවී තිබිණි. දං පොකුරක් කඩාගත් තරුණයා  ශඛිලා එන මග බලා සිටියේ ය.‘දං කනවාද .මේ ඔයාට කියා‘ කියාගෙන ඔහු දං අත්ත ඇයට දුන්නේ ය.

‘නාවල්….යේන්…‘‘ කියාගෙන දං අත්ත අතට ගත් ශඛිලා තවත් මොනවදෝ වචන මාලාවක් කියාගෙන ගියා ය. එම වචන ඔහුගේ සවනේ රැව්දුන්නේ ය. ඒත් කිසිවක් තේරුණේ නම් නැත.තමාට ඇසුණු සැටියෙන් ඔහු ඒ හඬ කොළයක ලියාගත්තේ ය.
පසුදා පාසල් ආ දෙමළ දන්නා ගුරුවරයකුගෙන් ඔහු ඒ වාක්‍ය වල තේරුම විමසුවේ ය. ‘‘ඒ වචන වල කිසි තේරුමක් නෑ. මං හිතන්නේ ඔයා හරියට ඒ වචන ලියාගෙන නෑ..‘‘ යන්න පරිවර්තකයාගේ පිළිතුරු විය.

තරුණයාට සිය ගම් පළාතට නැවත ස්ථාන මාරුවක් ලැබුණි.2008,2009 සමයේ අවසන් යුද ගිණි ඇවිළුණේ ය.තල්කොළ මුල්ලේ තමන් රාකාරි කළ සේවා ස්ථානයේ ලොග් සටහන්, නිවාඩු විස්තරය හා බඩු භාර දීමේ ලිපිය ලබාගැන්මට ගුරුභවතාට එන්නට සිදුවුණේ ඉන් පසුවය.


ඔහු පාසල සොයා එන විට ගම වෙනස්වි තිබිණි.පාසල තිබූ ස්ථානයේ නටබුන් ගඩොල් ගොඩකි. රත්පැහැයෙන් වටේම බිම අව්රශ්මියට දිලිසෙයි. කතාකරන්නට අඳුනන කෙනෙක් නැත. පස් කණ්ඩියක් මතට නැග ඔහු ඈත පිට්ටනිය දෙස බලා සිටියේ ය.

ඈතින් දූලි වළාවක් මෙන් යමක් තමන් දෙසට පාවීගෙන එන දසුනකි. ඒ දූවිල්ල මැදින් වේගයෙන් තමා ඉදිරියට පැන කූං කූං ගාමින් පා ඉඹිමින් කුවා දැවටෙන්නට ගත්තේ ය.

‘‘කුවා ඔයාට මං මතකයිද පැටියෝ?‘‘ ඔහු ඇසුවේ ය. කුවා හැති අරිමින් ඔහුගේ දෙපයට තුරුළු විය. ඒ සමගම කුවා යනුවෙන් අනෙක් පසින් ඔහුගේ ස්වාමි දියණියගේ හඩ ඇසුණේ ය.

කුවා පණිවිඩය කියන්නට මෙන් ඔහුට සමු දී පිට්ටනිය දෙසට හැරුණේ ය. ඔහු හිස ඔසදවා බලන විට මැදි වියේ රූමත් කාන්තාවක් කුවා එන තුරු බලා සිටියා ය. ඇගේ හිසකේ අවුල් ය. වෙනදාට වඩා මුහුණ රවුම් ය.වඩාත් පළල් වු ළය,උරහිස්,හා ඉණ වටා දැවටි තිබුණේ පරණ වූ සල්වාර් ඇඳුමකි. ඔහුට පිටු පා ශඛිලාත් කුවාත් ඈතට ගියෝ ය. ඔවුන් ඈතට යන්නට ඉඩ හැර තරුණයා ද හෙමින් මඟක් පියමැන්නේ ය.ඈතින් පෙනෙන්නේ සරණාගත කඳවුරකි.

මෙය දස වසරකට පෙර සිදු වූ සත්‍ය සිදුවීමකි.එය කෙටි කතාවක් ලෙස ගොඩනැගුවේ රඹෑව මහා විද්‍යාලයේ උපගුරු සරත් මුණසිංහ ය. මුණසිංහට මේ අනුවේදනීය කතාන්තරය හමුවන්නේ ඊටත් කාලාන්තරයකට පෙර ඔහුටම මුහුණදෙන්නට වූ ජනවර්ග අතර අවිශ්වාසය (සැකය) පදනම්කරගත් අසාධාරණ සිදුවීමක් හේතුවෙන් වූ කම්පනය මත ඔහු සොයා ගිය එවැනි සිද්ධීන් තුළ ය. එය මීට අවුරුදු විස්සකට එපිට අපූරු කතාවකි.

එදා මුණසිංහ අධ්‍යාපන විද්‍යාපීඨ සිසුවෙකි.රඹෑව ප්‍රදේශයෙන් බසයට නැග අනුරාධපුරයටත්, අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පොල්ගහවෙලටත් යන ඔහු පොල්ගහවෙලින් රාත්‍රි බදුලු කෝච්චියට ගොඩවන්නේ එළිවෙන ජාමෙට බදුල්ලෙන් බැස බිදුණුවැවවිද්‍යාපීඨයේ නේවාසිකාගාරයට යාමටය.එය ඔහුගේ සුපුරුදු රටාව ය.මෙසේ යන හැමදාම ඔහුට එළිය වැටි බසයක් පැමිණෙන තුරු පැය හතර පහක් දුම්රිය ස්ථානයේ බංකුවක සීතලේ ගුලිවී සිටින්නට සිදුවෙයි.

මුණසිංහ ගේ නිෂ්පාදක කණ්ඩායමේ පිරිසක්

එක්තරා දවසක කොච්චියේ බණ්ඩාරවෙලට ළඟාවන විට අසුනේ එකට වාඩිවී සිටි පුද්ගලයෙක්විස්තර අසන්නට විය. මුණසිංහ තමා යන ගමන ගැන සියල්ල කීවේ ය. අමුත්තා කාරුණික විය.
‘ඔයා බහින තැනින් මමත් බහිනවා. මෙතන සීතලේ ඉන්නේ අපරාදේ. මමත් මේ ළඟ නැවතිලා ඉන්නේ.
‘මගේ කාමරේ පහසුකම් තියන විදියකට ඉමු.නිදාගෙන ඉඳලා උදේ යන්න‘ අමුත්තා යෝජනා කළේ ය. මුණසිංහ ඒ අදහසට එකවරම කැමති වුණේ ය. දෙනො කඳු නගිමින් පුංචි දෙවැටවල් මැදින්,මීදුම කපාගෙන ලයිමක ගෙවල් අතරින කාමරය සොයාගෙන යන අතරමග ‘ මට ඔයාගේ නම අහන්නත් බැරිවුණා‘ යි මුණසිංහ කිවේ ය.
‘‘ මම පුවනේන්ද්‍රම්‘ මිතුරා කීවේ ය. මුණසිංහ තිගැස්සුණේ ය.‘‘රටේ තත්ත්වය නම් බොහොම භයානකයි.දෙමළ මිනිහෙක් එක්ක ඉඳලා මට පොලිසි ගාණේ යන්න වෙයිද? මේ මිනිහා හොරෙක්වත් ද? ඇයි මට බලෙන් උදව් කරන්නේ? මට ගහලා මගේ බඩු මූට්ටු අරන් යයිද?‘‘ ආදී දසකුත් කුකුසන් මුණසිංහගේ හිත තුළ ගොඩ නැගුණි.

දෙ දෙනා තේවත්තක බංගලාවකට ගොඩ වුණි. මුණසිංහ විශාල ගමන් මල්ල කරේ තබාගෙන නැවතී බයෙන් ගැහී ගැහී සිටියේ ය.පුවනේන්ද්‍රම් ගේ වටේ කැරකෙමින් යතුර හොයන්නට විය. එය ද මුණසිංහට සැකයකි. ඔහු ගිනිකූරක් දල්වාගෙන අහුමුළු අස්සේ අතගාන විට මුණසිංහට බෑගයත් අරන් ආපසු දුවන්නට සිතෙයි.ඔහු හොරෙන්ම හැරී යන්නට ද තැත් කරයි.

කෙසේ හෝ දොර ඇරගත් පුවනේන්ද්‍රම් බූරු ඇඳන් දෙකක් දිගෑරගෙන මිතුරාට එකක් පිළියෙල කර නිදාගන්නට දෙයි.මුණ සිංහට සීතල අමතක ය. ඔහුගේ බිය පහව යන්නේ නැත.ඒ නිසා ගමන් මහන්සිය,සීතල හා නිදිමත කොතරම් වුවත්නින්ද යන්නේ නැත.මුණසිංහට නින්ද නොයන්නේ සීතල නිසා යැයි පුවනේන්ද්‍රම් සිතයි.එවිට ඔහු මිතුරා ළගට විත් පොරවන රෙද්ද හොඳින් පාදවලට වසා යයි. පුවනේන්ද්‍රම් නොනිදන නිසා මුණසිංහට කෙසේවත් නින්ද නොයයි.මදුරුවන් නිසා ඔහු නින්ද යන්නේ නැතැයි දුක්වන පුවනෙන්ද්‍රම් මුණසිංහ ළඟට පැමිණ මදුරුවන් පන්නයි. මුණසිංහ එවිට ද තිගැස්සේයි.

අලුයම තේ කෝප්පයක් ද තනා දෙන පුවනේන්ද්‍රම් අලුත් මිතුරාව බස්නැවතුම්පොල වෙත එක්කරගෙන යන්නේ ඔහුගේ ගමන් මල්ලද ඔසවාගෙනය.මුණසිංහට මේ සියල්ල සැක ය.බසයට මිතුරා ගොඩකරවන ඔහු මිතුරාට සමු දී අත වනා පිටව යයි.මොහු මේතරම් සලකන්නේ කපටි කමට නොවේදැයි සිතන මුණිසිංහ හෙමෙන් සිය ගමන් මල්ල ඇද එහි ඇති බඩු මුට්ටු හා රුපියල් තුන්සීය පරීක්ෂා කර බලයි. එයද එසේම ඇත.

‘‘මට නැති වූ දෙයක් ද නැත.ඒත් මං මේ මනුස්සයා සැක කරනවා. ඇයි මම එහෙම කළේ? ඔහු තමාගෙන්ම ප්‍රශ්න කර ‘මේ තරම් වටිනා ආගන්තුක සත්කාර ඉටු කළ මිතුරෙකුට මම ස්තුතියිවත් කීවේ නෑ. මොකද්ද මගේ මේ අකෘතඥකම්?‘‘ යි සිතා ඔහු තමාටම වෛර කරගත්තේ ය.


මිනිසුන් එකිනෙකාට සැක කරවන මේ හැම දේකටම මුළ සංවාදය නොදන්නාකම යැයි එදා ඔහු අවබෝධ කරගත්තේ ය.

එදා පටන් මුණසිංහ වෙන්වූ සහෝදර භාෂා දෙකේ සංහිඳියාව ගැන කෙටිකතා ලිව්වේ ය. පාසල් ළමයින් හා කෙටි චිතුපට හැදුවේ ය.‘කුවා‘ කෙටිකතාව උතුරුමැද පළාත් කලා උළෙලක දි ප්‍රථම ස්ථානය දිනුවේ ය.

‘රාමලිංගම් මුත්තුසාමි‘ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට තරගයකට ඔහු රඹෑව මහ විදුහලේ සිසුන් සමඟ නිෂ්පාදනයක් කළේ ය.එහි සංස්කරණය අතුර දරුවන්ට ඒ වැඩ භාරදී මුණසිංහ හදිසි අවශ්‍යතාවකට සිය නිවසට ගියේ ය.ඔහු ආපසු පැමිණ බලන විට නිෂ්පාදක සිසු කණ්ඩායම මිහින්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගොස් තිබිණි.මුණසිංහ වහා පොලිසියට ගොස් බලන විට රිමාන්ඩ් කාමරය ඉදිරිපිට දරුවන් බිම ඉන්දවා තිබුණි.ඒ ඉදිරිපිටින් කොස්තාපල්වරුන් ගියේ මහා කොල්ලයකට සම්බන්ධව අත්අඩංගුවට ගත් සාහසික පිරිසක් දෙස බලන්නාක් මෙන් අවඥාවෙන් දරුවන් දෙස බැල්ම දාගෙනය.ඒ දැක මුණසිංහගේ දෑස්වලින් කඳුළු වැටුණි.

‘‘මං ඕ අයි සී එක්ක කතා කළා.ඇයි මේ ළමයි ගෙනාවේ කියලා ඇහුවාම කීවා දුරකතන වලින් මොනාදෝ වීඩියෝ කර කර ඉඳලා 119 දුරකථනයට, දැකපු කෙනෙක් දුන් කොල් එකකට කියලා. මම කෙටි චිත්‍ර පටයේ පිටපතයි මගේ ව්‍යාපෘතියයි පෙන්නලා කරුණු පැහැදිලි කලා. ළමයි රූ ගතකරලා තිබෙන්නේ සංස්කරණයට මදිවෙච්චි තත්පර කීපයක ආපහු ගන්න ඕනෑවෙලා. අවසානෙට ඕ අයි සී මගෙන් අහනවා විනාඩි හතේ චිත්‍රපටිත් තියනවාද? කියලා. මට තරහ ගිහින් මම ප්‍රශ්න කළා.

‘ ඔබ තුමාගේ නොදැනුවත්කම මගේ වරදක් ද?‘ කියලා. ඒකට එයාට තරහ ගිහින් බොහෝ බහින් බස්වීම් ඇතිවෙලා මම දරුවන්ව අරන්ගියා.ඒ හදාපු කෙටි චිත්‍ර පටය ‘සුලෝහිත‘. ඒක ජාත්‍යන්තර තරගෙන් කුසලතා සම්මානයක් දිනාගත්තා.‘‘ කියමින් මුණසිංහ අතීතය සිහිකළේ ය.

මේ තරම් අත්දැකීම් සමුදායක් නිර්මාණ සඳහා ද සංහිඳියාව ගැන මහා පාඩමක් කියන්නට ද මුල් වූ බව මුණසිංහ අප හා කීවේ ය.
‘‘ අපේ රටේ දෙමළ සිංහල කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. එකම බාධාව භාෂාව. මේ භාෂාවන් පුළුවන් නම් මේ අය තමන්ගේ ප්‍රශ්න ලස්සනට කතා කරලා විසඳා ගන්නවා. තමන්ට තියන ප්‍රශ්න අනෙක් අයට ඉදිරිපත් කරගන්න වාහකයක් ඕනෑ. ඕක තමා භාෂාව.අපි හිරවෙලා ඉන්නේ මෙතන. කුවාගේ කතාවේ තේරුම ඒක නෙවේද?‘‘යි මුණසිංහ කීවේ ය.