Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වරදකට මරණ දඬුවම පැනවීම
ජනප්‍රිය සටන් පාඨයක් විතරයි

කළ වරදක් වෙනුවෙන් ”ජීවිතය” අහිමි කිරීමට පෙර ඒ උදෙසා ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක කළ යුතු බොහෝ පූර්ව පියවර රැසක් පවතින බව මරණ දඬුවම පැනවීමට එරෙහි ව අදහස් දක්වන සමාජයේ විවිධ ස්ථර නියෝජනය තරන ගිහි පැවිදි විද්වත්හු පෙන්වා දෙති.

13.09.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති විවාදය අවසානයකට ගෙන ඒමේ ලකුණු පහළ වූයේ වසර 40 කටත් වඩා කාලයකට පසුව යළිත් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණීමත් සමඟිනි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වීම නිසා මරණීය දණ්ඩනය පැනවුණු පුද්ගලයන් සඳහා එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් එකඟතාව පළවූයේ ඒ සඳහා ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවකට අවධානය යොමු කිරීමෙන් අනතුරුවය.

කළ වරදක් වෙනුවෙන් ”ජීවිතය” අහිමි කිරීමට පෙර ඒ උදෙසා ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග සහ ක‍්‍රියාත්මක කළ යුතු බොහෝ පූර්ව පියවර රැසක් පවතින බව මරණ දඬුවම පැනවීමට එරෙහි ව අදහස් දක්වන සමාජයේ විවිධ ස්ථර නියෝජනය තරන ගිහි පැවිදි විද්වත්හු පෙන්වා දෙති.

                                                                                             ගල්කන්දේ ධම්මානන්ද හිමි

”සමාජයේ ප‍්‍රශ්නයක් පැනනැගුණ ගමන් හරිම ලෙහෙසියි එල්ලන්න ඕනෙ, මරණ දණ්ඩනය දෙන්න ඕනෙ, කියලා කියන්න. නමුත් ඉතාම අසීරු, සංකීර්ණ, ඒවාට පාදක වෙච්ච හේතු, තත්ත්වයන් වෙනස් කරන්නට, අතගසන්නෙ නැතිව, ඒ අසීරු දේ වෙනස් කරන්න ලොකු කැපකිරීමක් නොකර, ඉතාම පහසුවෙන් මරණීය දණ්ඩනය ලබාදීම කළ හැකියි. මේ මරණීය දණ්ඩනය දෙනවා කියන ජනප‍්‍රිය සටන් පාඨය ගෙනෙන්න කලින්, අපරාධකරුවකු බිහිවීම වැළැක්වීමට ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග මොනවා ද, ඒවා සතුටුදායක ද, ඊට දක්වන කැපවීම කොතෙක් ද කියා ගෙන හැර දැක්වීම වැදගත්.” යැයි කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පවසති.

බෞද්ධ ප‍්‍රවේශයෙන් ගත් කල, කවර ආකාරයක හෝ හිංසනයකට මිනිසා බියක් දක්වන බවත්, තමන්ව ආදර්ශයට ගෙන, තමන් හිංසාවට අකමැති සේ අනික් කෙනා ද හිංසාවට අකමැතියි කියන අදහසින් හිංසාවෙන් වැළකී සිටිය යුතු යැයි පවසන පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ”මරණ දණ්ඩනය කියන්නේ ඉතාම දරුණු හිංසාවාදි ක‍්‍රියාවක්. හේතුඵල වාදයට අනුව මිනිසෙක් දරුණු කෙනෙක් වන්නට පුංචි කාලයේ ඉඳලාම බලපාන පරිසරය, ලැබෙන ආදරය, ආරක්‍ෂාව, දුප්පත්කම, පාසලේදි හිංසාවට පත්වීම හා සමාජයේදි එල්ලවන හිංසා බලපානවා. මේ කරුණු බොහෝදුරට අපරාධකාරයන් බිහිවෙන්නට බලපානවා.”යැයි කීහ.

”වරදකට හෝ ප‍්‍රශ්නයකට පිළිතුරු හැටියට පූර්වයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග කිසිවක් නොගෙන, එයට විසැඳුම් ලෙස ක්‍ෂණිකව මරණීය දණ්ඩනය තීරණය කිරීම සාර්ථක පිළිතුරක් නෙවෙයි. රටේ නීතිය, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය කුමක් ද? බලවත්, ශක්තිමත් මිනිස්සුන්ට නීතිය ක‍්‍රියාත්මක නොවෙන බව අපි හොඳින් දන්නවා.

83 කළු ජූලි සිද්ධිය හා මෑතකදී නුවර සිදුවීම සම්බන්ධව අප දුටු දේ තමයි, ඒ වෙලාවේ වෛරයට පාත‍්‍ර වෙච්ච කුඩා ජන කණ්ඩායම්වලට එරෙහිව ප‍්‍රහාර එල්ලකරමින් ඔවුන්ගේ දේපොල විනාශකරන කොට අපේ රටේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන නිහඬව බලාසිටියෙ බව. ඉතාම පැහැදිලිව 83 දිත් මෙය ම සිදුවුණා. මෙහෙම රටක ද මේ එල්ලා මැරීමේ නීතිය ගෙනෙන්න සුදානම් වෙන්නේ ? ‘යි ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ විමසති.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම රට තුළ බිහිසුණු හා සංවිධානාත්මක අපරාධ පිළිබඳ අවධානය ඉහළ යද්දී මරණ දඬුවම යළි බලපැවැත්විය යුතු ද නැද්ද යන විවාදය කලක සිට පැවතිණි.

හෝකන්දර සමූහ ඝාතනය, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය, සේයා සදෙව්මි හා ශිවලොගනාදන් විද්‍යා වැනි බාල වයස්කාර දැරියන් දූෂණය හා ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ අවධානය යොමු කළ ඇතැම් දෙනා ශ්‍රී ලංකාව තුළ නැවත මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් පළ කළහ. එහෙත්, ඊට ප්‍රතිරෝධී අදහස් ද ශ්‍රී ලාංකික සමාජය තුළ ඕනෑතරම් විය.
(https://www.bbc.com/sinhala/sri-lanka-44795565)

මරණ දණ්ඩනය ලබාදීමට ගත් තීරණය, මෑතකාලයේදී සිදුවුණු වෙඩිතැබීම්, පාතාල කල්ලි හා සම්බන්ධ මිනිමැරීම් රැල්ල පිළිබඳ ඇති ජනතා අසහනය සහ විරෝධය අභිමුව, මනා විශ්ලේෂණයකින් තොරව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව එළඹී හදිසි තීරණයක් යැයි කිතුනු ලංකා සභාව නැතහොත් ඇංග්ලිකානු සභාව ප‍්‍රකාශ කරයි. මනුෂ්‍යයකු හෝ රාජ්‍යයක් කිසිදු මානව ජිවිතයක් නසාලීම ක‍්‍රිස්තියානි සභාව සම්පුර්ණයෙන් ම හෙළා දකින බව ඇංග්ලිකානු සභාවේ රදගුරු හිමිවරුන් නිකුත් කළ ප‍්‍රකාශයක සඳහන් කරයි.

බරපතල අපරාධ සිදුකර නීතියට හසුනොවී පැන යාම සඳහා නිදහසේ ඇති කපොලූ සම්පුර්ණයෙන් ම වසා දැමීමට ආණ්ඩුව කිසිඳු පැකිලීමකින් තොරව කඩිනම්ව පියවර ගනු විනා තමන්ගේ වගකීම් වලින් ගැළවෙන්නට මිනිසුන් මරාදැමීම සඳහා නොපෙලඹිය යුතු යැයි රදගුරු හිමිවරු අවධාරණය කරති.

මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකරන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) අදහස් අදක්වමින් කියා සිටින්නේ, වසර 40 කටත් වැඩි කාලයකට පසු මරණ දණ්ඩනය යළිත් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කිරීම, ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමයට හානි ගෙන දෙන්නක් බවය.

                                                                                              දිනුෂිකා දිසානායක

ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විටත් සැලසුම්කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා, මරණ දණ්ඩනය පැමිණවීම සම්බන්ධයෙන් එය අවලංගු කිරීමෙහිලා පළමු පියවර ලෙසට නිත්‍යානුකුල විලම්බන කාලයක් නම් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) දකුණු ආසියානු පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්‍ෂිකා දිනුෂිකා දිසානායක සඳහන් කළේය.

ආසියා කලාපයේ රටවල් රාශියක් මෙකී මරණීය දණ්ඩනය අනුමතකර සිටි කාල පරිච්ඡේදයකදී, මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක නොකිරීම අතින් ශ්‍රී ලංකාව ආසියා කලාපයේ නායකත්වයක් දැරු රටක් බව ඇය සිහිපත් කළාය. මරණීය දණ්ඩනයේ ඇති බිහිසුණු බව හා වැරදි සහගත දිශානතිය තුළ වත්මනේ දි ලෝකයේ බොහෝ රටවල් මරණීය දණ්ඩනයට පිටුපා සිටියදී ශ‍්‍රී ලංකාව එයට යළි පණ පෙවීමට යෑම කිසිසේත්ම සුදුසු නොවන්නක් බව ද අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදට පත්වන පුද්ගලයන් මරණ වරෙන්තුවට ලක්කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව ද පැවසු ඇය, කුමන අවස්ථාවකදී හෝ මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරිම හා එකී මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳ ජාත්‍යාන්තර ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විරුද්ධත්වය ප‍්‍රකාශකරන බව ද පවසයි.

ශ්‍රී ලංකා සමාජයේ සිදුවන මත්ද්‍රව්‍ය අලෙවිය සහ වෙනත් දරුණු ගණයේ අපාරාධවලට දේශපාලන හා නීතිය ක‍්‍රියාත්මක කරන කොටස්වල සහයෝගය ලැබෙන බවට සමාජයේ පොදු මතයක් පවතින බව සඳහන් කරන ශ‍්‍රි ලංකා මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම, එවන් අඩුපාඩු තිබියදී ඒවාට විසඳුම් නොගෙන මරණ දණ්ඩනය පමණක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම අර්ථ විරහිත කටයුත්තක් බව පෙන්වා දෙයි.

”මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ බන්ධනාගාරය තුළ නම්, එය බන්ධනාගාර පද්ධතියේ දුර්වලකමක්. පවතින ඒ දුර්වලකම නිවරැදිකර නොගෙන, මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කළාට ප‍්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නෙ නැහැ. බන්ධනාගාරය තුළ සිට ඉතාම සූක්‍ෂම විධියට මේ දරුණු අපරාධ ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද? ඊට සහයෝගය දෙන නිලධාරින් කවුද ? කියලා දැඩි විමසුමක් කරන්න ඕනේ. මේ තත්ත්වය ජය ගන්නට නම් බන්ධනාගාර පද්ධතිය මීට වඩා ශක්තිමත් විධිමත් ක‍්‍රියාවලියකට බඳුන් විය යුතුයි.”

ආචාර්ය දීපිකා උඩගම

ප‍්‍රශ්න ඕහේ ඉදිරියට යන්න දීම ඉතාම දරුණු ඛේදවාචක මතු කරන්නට ඉඩකඩ සපයන්නක්. මේ ප‍්‍රශ්න විගසින් විසඳන්නත් බැහැ. කල්පවත්නා විසඳුම් ලබාගන්න ඕනෙනම් බොහෝ කරුණු කාරණ සාකච්ඡා කරලා, විමසලා, දීර්ඝකාලීන වැඩපිළිවෙළක් හා ක‍්‍රියාමාර්ග ගත යුතු වෙනවා.”යැයි ආචාර්ය දීපිකා උඩගම අවධාරණය කරයි.

මරණ දණ්ඩනය මිනිසාගේ ගරුත්වයට නොගැළපෙන්නක් බවත් ඒ මගින් අපරාධ කිසිවක් සිදුවීම වලකාලීමට හැකි බවට සනාථ කරන ලද කිසිඳු තොරතුරක් නැති බවත්, එබැවින් තවදුරටත් මරණීය දණ්ඩනයට විරුද්ධවීමේ සම්ප‍්‍රදාය ඉදිරියට ගෙන යන ලෙසට යුරෝපා සංගමය ශ‍්‍රි ලංකා ජනාධිපතිවරයාගෙන් පසුගිය දා ඉල්ලා සිටියේය. නෝර්වේ සහ කැනඩා තානාපතිවරුන්ගේ ද එකඟතාව‍ මත, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරුන් පසුගිය ජූලි මස දී මෙම ලිඛිත ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.

කිතුනු විශ්වාසයට හෝ ඇදැහීමට අනුව දෙවියන්වහන්සේ මෙලොවට ලබාදුන් ජීවිතයක් විනාශ කිරිමට කිසිදු පුද්ගලයකුට අයිතියක් නොමැති බැවින් මරණ දණ්ඩනයට කතෝලික සභාවේ අනුමැතියක් නැතැයි සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක, නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමා අවධාරණය කරයි.

‘ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි සියලූ රටවල් වරද කරනවුන් පුනරුත්ථාපනය කිරීම හා මරණීය දණ්ඩනය ප‍්‍රතික්‍ෂෙප කරන වකවානුවක, ශ‍්‍රි ලංකාව වසර 40කට පසුව මරණ දණ්ඩනය යළිත් ක‍්‍රියාත්මක කිරීමට උත්සා දැරිමෙන් පෙන්වා දෙන්නේ රාජ්‍යයේ අපොහොසත් බවයි. ද වරද ඇති තැන් හෝ ප‍්‍රශ්න ඇති තැන්වලට නිසි පිළිතුරු නොදී මරණ දණ්ඩනය ලබාදීම නැමැති සාපරාධි ක‍්‍රියාව ක‍්‍රියාත්මක කිරීමට යාමෙන් ජාත්‍යන්තර වශයෙන් ද අපකීර්තියකට ඇදැමෙනු ඇති බව අශෝක් ස්ටීවන් පියතුමන් පෙන්වා දෙයි.

”කෙතරම් දරුණු , බරපතල අපරාධ කළත්, තමන්ගේ බලය සහ ධනය නිසා අපරාධ කරන පුද්ගලයන් නොවෙයි ඒවාට මැදිහත් වන අහිංසක පුද්ගලයන් තමයි නීතියේ හස්තයට හසුවෙන්නේ. මේ මත්ද්‍රව්‍ය ජාවරමත් ඒ හා සමානයි. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන, ඒවා ගෙන්වන බෙදාහරින ප‍්‍රබලයෝ , මෝරු කිසිවෙක් නීතියේ රැහැනට හසුවන්නේ නැහැ.ඔවුන් වෙනුවන් සේවයේ යෙදෙන ඉත්තන් තමයි අවසන දඬුවම්වලට හා මරණ දණ්ඩනයට යටත්වෙන්නේ.”

ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව එවකට අග‍්‍රාමාත්‍යධූරය හෙබවු එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා 1956දී මරණ දණ්ඩනය අහෝසි කළේය. එහෙත් වෙස්වළාගෙන පැමිණි තල්දූවේ සෝමාරාම නැමති බෞද්ධ භික්‍ෂුන්වහන්සේ, බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමත් සමඟ ම 1959 වසරේදී මරණ දණ්ඩනය යළිත් වතාවක් පනවනු ලැබිණි. දැඩි ලෙස ඊට එරෙහිව විරෝධතා මතු වු බවත්, පසුකාලිනව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 1978 දී ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මරණ දණ්ඩනය භාවිතයේ යෙදවීම වෙනස් කළ බවත් වාර්තා වෙයි.

අශෝක් ස්ටීවන් පියතුමා

2016 වසර අවසාන වනවිට ලොව රටවල් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් මරණ දඬුවම නෛතිකව හෝ භාවිතයෙන් අවලංගු කර ඇති බව ද ක්ෂමා ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව රටවල් 141ක් එම දඬුවම අවලංගු කර ඇති අතර රටවල් 57ක් එය පවත්වාගෙන යමින් සිටිති.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පැවසූ පරිදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු කර මරණ දණ්ඩනයට යටත් කර ඇති පුද්ගලයින් ගණන 16 කි.ඒ අතර විදේශිකයින් කීපදෙනෙකු ද සිටින බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මරණ දඬුවම හැත්තෑව දශකයේ අගභාගයේ අත්හිටුවනු ලැබීමෙන් පසුව ස්ථිර වශයෙන් ම එම දඬුවමට ලක්කෙරුණු වරදකරුවන් 374 දෙනකු මේ වනවිට සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මරණ දඬුවම හැත්තෑව දශකයේ අගභාගයේ අත්හිටුවනු ලැබීම නිසා මේ පිරිසෙන් බොහෝ දෙනකු දැනට සිටින්නේ ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම් අත් විඳිමිනි. මරණ දණ්ඩනයට යටත් වුව ද ඊට එරෙහිව අභියාචන ඉදිරිපත් කළ තවත් 880 දෙනෙක් ද බන්ධානාගාරය තුළ සිටිති.