සෙනසුරු දෙවි පිහිට ලද
සදාකාලික බැඳීමක්
සෙනසුරුට ජාතිභේද, කුල – මල ආගම් භේද නැත. කරුණාදාස පවුලටත් ඒ ධර්මතාව පොදුය. කරුණාදාසට දාව පාක්‍යම්ට ලැබුණු දියණියත් ඇතුළුව කරුණාදාස පවුලේ දරුවන් තිදෙනාම විවාහ වී ඇත්තේ, දෙමළ අය සමඟිනි.
මරතඩි හංදියේ පදිංචි ඩී. එච්. කරුණාදාසට පාක්‍යම් මුණ ගස්සන්නේ සෙනසුරු ය. ඍෂිවරුන් හා ජ්‍යොතීර්වේදීන්ගේ මතයට අනුව සෙනසුරු මිනිසාගේ දෛවය ක්ෂණයකින් වෙනස් කිරීමට හැකි අපූරු බලයක් සහිත ග්‍රහයෙකි. ඔවුන් සෙනසුරු නිරූපණය කර ඇත්තේ, කාල වර්ණ, කෙට්ටු, උස් සිරුරක් ඇති මහලු පෙනුමකින් යුත් පුරුෂාකාර නපුංසකයකු ලෙසිනි.
සෙනසුරු බොහෝ දෙනකුගේ ආවාහ විවාහවලට, අනවිණ, කුඩු කේත්තුකම් කළද, කරුණාදාසට එසේ සලකා නැත. ඒ ඔහු තුළ සෙනසුරු දෙවියන් කෙරෙහි වන ගෞරව ප්‍රණාම භක්ත්‍යාදරය නිසාම විය යුතු ය. මේ නිසාම කරුණාදාසගේ පවුල හා සෙනසුරු කෝවිල අතර ඇත්තේ, කිසිදා වෙනස් නොවන සදාකාලික බැඳීමකි. ත්‍රීකුණාමලයේ මරතඩි හංදියේ පිහිටි සෙනසුරු කෝවිල මෙරට පිහිටි එකම සෙනසුරු කෝවිල ය. එමෙන්ම ලොව පිහිටි සෙනසුරු කෝවිල් දෙක අතරින් එකකි. අනෙක පිහිටා ඇත්තේ, ඉන්දියාවේ කුච්චනූර්හි ය.
“මේ සෙනසුරු දෙවියෝ අපි නියම විධිහට අදහනවානම්, ආයේ වෙන දෙවි කෙනෙක් ඕන නැහැ…වෙන එකක් තියා මගේ නෝනා මට මුණ ගැස්සුවෙත් සෙනසුරු දෙය්යො තමා..”
කරුණාදාසගේ බිරිය “පාක්‍යම්” දෙමළ තරුණියකි. කරුණාදාසට පාක්‍යම් හමුවන්නේ, මරතඩි හංදියේ පිහිටි සෙනසුරු කෝවිල තුළදී ය.
වරක් දුටු අයකුට නැවත වරක් හැරී බැලීමට තරම් රූ සපුවකින් හෙබි පාක්‍යම් අභියස කරුණාදාසගේ හිත නවතින්නේ සංසාරේ පතා ගෙන ආ පරිද්දෙනි.
“මගේ බිරිය හදිසි අසනීපයකින් නැතිවුණා. එතකොට අපිට දරුවෝ දෙන්නෙක් හිටියා. දරුවෝ දෙන්නම කුඩයි. මොනවා කරන්නද කියලා මට හිතා ගන්නවත් බැහැ.මං ඒ කාලේ ඉඳන්ම මගේ දුක කිව්වේ සෙනසුරු දෙය්යන්ට. දවසක් මං සෙනසුරු කෝවිලේ ඉද්දී තමා පාක්‍යම් හම්බ වුණේ. පාක්‍යම්, අපි එකම වත්තේ හිටිය නිසා අපි ඊට කලින් දන්න කියන අය. කොහොම හරි එයා මට සහකාරි විතරක් නෙවෙයි, මගේ දරුවෝ දෙන්නට අම්මා වෙන්නත් කැමති වුණා.”
කරුණාදාස පාක්‍යම් පවුල හා සෙනසුරු කෝවිල අතර ඇත්තේ, කිසිදිනක නොබිඳෙන සමීප සබඳතාවකි. පාක්‍යම් සිය සැමියා සමඟ මේ වන විට සෙනසුරු කෝවිලට පමණක් ආවේණික වු සෙනසුරාදා පමණක් විවෘත තබන කලු තිර හා තල ඇට සමන්විත එළඟි තෙල් පහන් විකිණිමේ කුටියක් පවත්වා ගෙන යන්නී ය. සෙනසුරුට ජාතිභේද, කුල – මල ආගම් භේද නැත. කරුණාදාස පවුලටත් ඒ ධර්මතාව පොදුය. කරුණාදාසට දාව පාක්‍යම්ට ලැබුණු දියණියත් ඇතුළුව කරුණාදාස පවුලේ දරුවන් තිදෙනාම විවාහ වී ඇත්තේ, දෙමළ අය සමඟිනි.
ත්‍රීකුණාමලය මරතඩි හංදියේ පිහිටි මෙම සෙනසුරු කෝවිල තැනීම පසු පස සැගව ඇත්තේ, ඵෙතිහාසික මෙන්ම ආශ්චර්යවත් අපූරු කථා පුවතකි.
කන්ද උඩරට රාජධානි සමයෙහි ත්‍රීකුණාමලය තඹලගමුවේ විසු ශාස්ත්‍රඥයකුට සුව කළ නොහැකි කුෂ්ඨ රෝගයක් වැලඳුණෙන්,ඔහු තම ජන්ම පත්‍රය පරික්ෂා කර බැලීමේ දී එය සෙනසුරු ඒරාෂ්ඨකයක් හේතුවෙන් හට ගත් බව දැන ගනී.
එයින් මිදීම සදහා හෙතෙම සෙනසුරු දෙවියන්ට පුද පූජා පවත්වමින් යාදිනි ගයමින් සිටියදී එක් රැයක සිහිනෙන් පැමිණි දේවාත්මයක් ශාස්ත්‍රඥයාට කියා සිටියේ, තමා මනු ලොවට පැමිණි දිනක දැන සිටි ස්ථානයක මග සලකුණු දක්වා එහි ගොස් කෝවිලක් තනා ඊට පුද පූජා පවත්වන ලෙසත්, ඉන් පසු රෝගය සුව වනු ඇති බවත් ය.
දේවාත්මය සිහිනෙන් කියු මග සලකුණු ඔස්සේ මහ කැලය පීරමින් ගිය ශාස්ත්‍රඥයාට මෙකල මරතඩි හංදිය ලෙසින් ප්‍රකට වත්මන් සෙනසුරු කෝවිල පිහිටි ස්ථානයේ හිස රහිත ලේ ගලමින් තිබු වලස් සිරුරක් හමු වී තිබේ. පසුව ඔහු වලස් සිරුර එම ස්ථානයෙන් ඉවත් කොට එහි අතු ඉති එකතු කොට පැලක් ඉදි කොට සෙනසුරු දෙවියන්ට කැප කොට ඇත.
එසේ එදා ඉදි කළ එම කෝවිල ත්‍රීකුණාමලය මරතඩි හංදියේ පිහිටි වත්මන් සෙනසුරු කෝවිල වන බවත්, ලංකාදීපයේ පිහිටි අපමණ වු විවිධ දෙවිවරුන්ට කැප කළ කෝවිල් අතරින් සෙනසුරු දෙවියන් උදෙසා ඉදි කළ එකම හා අවසාන කෝවිල වන්නා බවත් “ශනේෂ්වර කෝවිල් වෘත්තාන්තයේ ” සඳහන් ය.
කිසිම ජගතකුට අවනත නැති සෙනසුරු දෙවියන් අනෙක් දෙවිවරු මෙන් ලොකුකම් බලවත්කම් මිල මුදල් තකන්නේ නැත. වෙනකක් තබා බිංදු තුනේ මුදල් නෝට්ටු තබා පුද දෙන පලතුරු වට්ටි, පඩුරු පාඩුක්කම් දිහා සෙනසුරු හැරීවත් බලන්නේවත් නැත.
එදා වේල සරිකර ගැනීමට අපහසු දිළින්දාගෙනුත්, පරම්පරා ගණනකට හරිහම්බ කර ගත් කෝටිපතියාගෙනුත් සෙනසුරු දෙවියන් බලාපොරොත්තු වන්නේ, කළු රෙදි කඩක බහාලු අබ පොට්ටනියක් හා අබ තෙල් සහිත මැටි පහනක බහා දැල්වීම පමණි.
“ඔය අනෙක් දෙවිවරු වගේ සෙනසුරු දෙවියෝ කාටවත් සල්ලි වලට අර ගන්න බැහැ.පලතුරුවට්ටි, රත්තරංබඩු, මුදල් නෝට්ටු සෙනසුරු දෙයියන්ට ඔට්ටු නැහැ. සෙනසුරු දෙයියෝ සතුටු වෙන්නේ, අබ පොට්ටනියක් දාපු එළඟි තෙල් පහනක් විතරයි. මේ කෝවිලට එන අය අපහු යද්දී පිටි පස්ස හැරෙන්නත් බැහැ. ගියා නම් ගියා..මේකට ගොඩක් අය කියන්නේ, කාක කෝවිල කියලා. සෙනසුරු දෙවියන්ගේ වාහනේ කාක්කෙක් කියලා කියනවනේ.. මේකෙ හැම තැනම කාක්කෝ ඉන්නේ. ඔය කසාද හරියන්නේ නැතිව ගෙදරට නාකි වෙන අය මෙතනට ඇවිත්,පහනක් පත්තු කළොත් කිරි ගහට ඇන්නා වගේ තමයි…” කරුණාදාස කියන්නේ,සිය ජීවන අත්දැකීම ද සිහිපත් කරමිනි.