Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

හැරෙන තැපෑලෙන් පිහිට සලසන
මැණික්හින්නේ ගුරුකම්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පසු වැඩිම පාර්සල් ප්‍රමාණයක් හුවමාරු වන තැපැල් කන්තෝරුව මැණික්හින්න තැපැල් කාර්යාලයයි. මැණික්හින්න කූරගන්දෙණිය ගම්මානයේ පාරම්පරික නීචකුල බන්ධන හා රොඩී දැහැන් වශී ගුරුකම් කටයුතු සඳහා නන්දෙසින් වු ජනතාව තැපැල් මාර්ගිකව පිහිට පැතීම ඊට හේතුවයි.

14.11.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය
මැණික්හින්න තැපැල් කන්තෝරුව

කූරගන්දෙණියේ වශී ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර හේතුවෙන් මැණික්හින්න පිළිබඳ බොහෝ දෙනෙකුගේ සිතේ මැවී ඇති ප්‍රතිරූපය නිවැරදි නොවන අතරම, එයින් අගතියට හා කනස්සල්ලට පත්ව ඇති පිරිස ද සුළුපටු නොවේ.

මෑත කාලීනව වශී ගුරුකම් පාර්සල් හුවමාරුව නවීකරණය වී “කූරියර් සේවාව හරහා සිදු වුණද, පසුගිය කාලයේ මාසිකව පාර්සල් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් මැණික්හින්න තැපැල් කන්තෝරුව හරහා හුවමාරු වු බව නම හෙළි කිරීමට අකමැති වු තැපැල් සේවකයකු අප සමග කියා සිටියේ, උපහාසාත්මක ආඩම්බරයකිනි.

සෑම සති අන්ත ජාතික පුවත්පතක ම පාහේ එක පිටුවක් කූරගන්දෙණියේ නීචකුල බන්ධන වශී ගුරුකම් ඇතුළු අනෙකුත් කටයුතු සදහා වෙන්වී තිබීම පුවත්පත් පාඨකයනට අරුමයක් නොවේ. මුද්‍රිත මාධයෙන් එපිටට ගිය කූරගන්දෙණියේ නීචකුල වශී ගුරුකම් වෙළෙඳ දැන්වීම් මේ වන විට එක්තරා රූපවාහිනී නාළිකාවක ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට ද පත්ව තිබේ.

සාක්ෂරතාව 98% ඉක්ම වූ අප රටේ මිථ්‍යාවට මුල්තැන දෙමින් මාධ්‍ය ආයතන ද සිය මල්ල තර කර ගැනීමට කූරගන්දෙණියේ නීචකුල වශී ගුරුකම් සඳහා වෙන් කරන ඉඩ හා කාලය ද මවිතය දනවනසුලු ය.

ගැටකොස්ගහ ගෙදර ගුණපාල ගුරුන්නාන්සේ

රොඩී කුලයේ මහා හුලවාලි ගුරු දැහැනින් අසරණ වු ඔබට පිහිට වන බව කීවද, කූරගන්දෙණියේ කිසිවෙකුත් රොඩී කුලයේ හෝ හුලවාලි කුලයේ නොවන බව කූරගන්දෙණිය ගම්මානයේ නායකයා ලෙස පිලිගැනෙන ගැටකොස්ගහ ගෙදර ගුණපාල ගුරුන්නාන්සේ කියා සිටියේ, කැට තබමිනි. මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු වන හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ, සිංහල රජ දවස ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් විසින් තමන්ගේ මී මුත්තන් රජවාසලේ ශාන්තිකර්ම සේවා සපයන්නන් ලෙස කූරගන්දෙනියේ පදිංචි කැවන ලද බවයි.

“කූරගන්දෙණිය රොඩී ගමක් කරලා තියෙන්නේ පත්තරවලින්. මේ ගමේ වැඩි හරියක් ඉන්නේ, ගොයිගම උදවිය. අපේ සමහරක් අය පත්තරවලට රූපවාහිනියට දැන්වීම් දාන්නේ, පාරම්පරික මහා හුලවාලි පරම්පරාවේ ඉතා පැරණි රොඩී දැහැනින් ගුරුකම් කරනවා කියලා. මේවා පට්ටපල් බොරු. යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම් නැතෙයි කියලා මං කියන්නේ නැහැ. හැබැයි,ඔය වරු තුනෙන් වශී කරනවා..දින හතෙන් සුරාව සූදුව නතර කරනවා කියන කතා පට්ටපල් බේගල්. මං  කරන්නේත්, යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් කේන්දර බලන වැඩ..

  ගුණපාල මහතා කියන අන්දමට කූරගන්දෙණිය ගම්මානයේ දැනට පවුල් එකසිය විස්සක් පමණ ජීවත් වන අතර, එයින් පවුල් හතළිහක් පමණ තව දුරටත් පාරම්පරිකව මෙම වෘත්තියේ නිරතව සිටියි. නව පරපුර  පාරම්පරිකව පැවත එන මෙම වෘත්තියට වැඩි මනාපයක් නැති බැවින් ශීඝ්‍ර ලෙස සිය පාරම්පරික උරුමය වියැකී යමින් තිබෙන බව ගුණපාල ගුරුන්නාන්සේ කියා සිටින්නේ, තරමක කනගාටුවෙනි.

“දැන් මේ ගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රොඩී ගමක් හැටියට. ඒ හංදා අලුත් දරු දැරියෝ මේකට වැඩි කැමැත්තක් නැහැ. මේ ගමේ ගොඩක් අය රජයේ රැකියා කරනවා. පොලිසියේ හමුදාවේ ඉන්නවා. මගේ එක මිනිබිරියක් විශ්ව විද්‍යාලයේ ගිහින් තියෙනවා. අහල ගම්වල වැඩි දෙනෙක් අපිට පහත් විධිහට සලකන්නේ නැති වුණාට, අපේ දරුවෝ පිට ගියහම රොඩී ගුරුකම් කරන ගම, හුලවාලි ගම කියලා මදි පුංචිකම් සිද්ධ වෙනවා කියලා කියනවා. මේ නිසාද කොහෙද අපේ දරුවෝ මේ වෘත්තියෙන් අහක් වෙනවා.  මං මේක ඉගෙන ගත්තේ, මගේ සීයගෙන්. එයාගේ නම කොස් කොටේ ගුණයා..මගේ තාත්තත් මේක කළා. ඒත්, දැන් මගේ දරුවෝ වෙන වෙන රස්සා කරන්නේ. පරම්පරාවේ මේක තියෙන්න ඕන නිසා එක දරුවෙක් විතරක් මේක ඉගෙන ගන්නවා..

තිස්ස කුසුම් කුමාර සහ එම්.ජී.සුමනාවතී ගුරු මෑණියෝ

ගුණපාල ගුරුන්නාන්සේ කියන අන්දමට වර්තමානයේ බොහෝ දෙනකු මෙම වෘත්තියෙන් ඉවත් වෙමින් සිටියද, එය කූරගන්දෙණියෙන් නැත්තටම නැතිවේයැයි සිතිය නොහැක. සෑම පවුලකම එක් අයකු තම පාරම්පරික වෘත්තිය ආරක්ෂා කර ගැනීමට උත්සුකවීම ඊට හේතුවයි. ගමේ නායකයා වන ගැටකොස්ගහ ගෙදර ගුණපාල ගුරුන්නාන්සේගේ බාල පුත් ජී.ජී.ටී.තිස්ස කුසුම් කුමාර මහතා සිය පාරම්පරික උරුමයට පයින් ගසමින් දේශීය සංගීත භාණ්ඩ නිෂ්පාදන කම්හලක් කූරගන්දෙණියේ පවත්වාගෙන යයි.

  “මේක පාරම්පරික උරුමයක් නිසා පවුලේ කවුරු හරි රැක ගන්නවා. තාත්තගෙන් පස්සේ අපේ අය්යා මේක කරනවා.. මං පුංචි කාලේ ඉදන්ම ඒ වෘත්තියට වැඩි කැමැත්තක් තිබ්බෙ නැහැ. මගේ දරුවෝ වුණත්, එහෙමයි… ගොඩක් අය මේ රස්සාව ජාවාරමක් විධිහට කරගෙන යන නිසා මිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙලා අපි දිහා අමුතු විධියට බලනවා. පත්තරේ තියෙන දැන්වීමක් දැක්කහම නොදන්න කෙනෙක් හිතන්නේ, මේක රොඩි ගුබ්බෑයමක් කියලා. මේ නිසා මේ ගමට අඩිය තියන්නත් සමහරක් අය බය වෙනවා..

ගැටකොස්ගහ ගෙදර ගුණපාල ගුරුන්නාන්සේගේ බාල පුත් ජී.ජී.ටී.තිස්ස කුසුම් කුමාර මහතා කූරගන්දෙණීය වත්මන් තත්වය පැහැදිලි කර සිටියේ ඒ අන්දමිනි.

තිස්ස කුමාර කියන අන්දමට කූරගන්දෙණිය සම්බන්ධ වෙළෙඳ දැන්විම් දකින්නකුගේ ඇඟ කිලිපොලා යෑම අරුමයක් නොවේ. කෙසේ වෙතත්, මැණික්හින්න ගම්මානයේ වැඩි දෙනකුගේ අදහස මොවුන් වැඩි දෙනකු අහිංසක මිනිසුන්ගේ දුක් ගින්දර වාසියට හරවා ගනිමින් මඩිය තර කර ගන්නා බොරුකාරයන් බවයි.

කූරගන්දෙණියේ වෙළෙඳ දැන්වීම්

“ඔය පත්තරවල තියෙනවා සුරාව දින තුනෙන් නවත්තලා සැමියා පූස් පැටියෙක් වගේ හීලෑ කරලා දෙනවා කියලා. කූරගන්දෙණිය ගැන නොදන්න අසරණ ගෑනු උදවිය කනකර උගස් තියලා සල්ලි හොයා ගෙන කූරගන්දෙණියට එනවා මිනිහගේ බීම නවත්ත ගන්න. නමුත්,ගුරුන්නාන්සේලා කියන අය කරන්නේ, ඔය ෆාමසිවල තියෙනවා මත්පැන් අසාත්මිකතාවයට බොන බෙහෙත් පෙති ගෙනත් ඒකට කහ සුදු හඳුන් කුඩු ටිකකුත් කලවම් කරලා අර ගෑනු උදවිය ඉස්සරහම ජීවං කරලා දෙනවා මේක කිරි එකට හරි කෑමට හරි දාලා දෙන්න කියලා. හැබැයි කිලි වද්දන්න එපා කියලත් කියනවා. අනේ මේක පෙවුනට පස්සේ, අරක්කු ගද ආවත්, වමනේ යනවා. බොන්න පුරුදු වෙච්ච මිනිහා කොහොමත් බොනවනේ. හැබැයි බොන්න හදන කොටම ,වමනේ යනවා. ඉතින් බැරිම තැන බීම දින තුනෙන් නවත්තනවා.කතාව ඇත්ත..

 මැණික්හින්න නගරයේ ත්‍රීරෝද රථ රියදුරකු අප සමග එසේ කියා සිටියේ ය. මසකට එවැනි කාන්තාවන් අඩුම තරමින් දහ දොළොස් දෙනකු කූරගන්දෙණියට රැගෙන යන බව හෙතෙම වැඩි දුරටත් හෙළි කර සිටියේ ය.

ත්‍රීරෝද රථ රියදුරා හෙළි කළ අන්දමට මෙම බෙහෙත් පෙත්තේ බලය රැඳෙන්නේ, මසක පමණ කාලයකි. මසක් ඉක්මවු පසු,නැවතත් සැමියා සුපුරුදු බීමට නැවත වරක් ඇබ්බැහි වන අතර, ගුරුන්නාන්සේ කියන්නේ, සැමියා බලවත් ගෑනු කිල්ලකට අසුවී ඇති බවත්, නැවත එය යාවජීව කිරීමට රුපියල් 5000 පමණ වැය වෙන බවත් ය. සැමියා බීමෙන් ගලවා ගැනීමට කැමති කාන්තාවන් නැවත නැවතත් කූරගන්දෙණියේ රැවටිල්ලට හසුවීම අරුමයක් නොවේ.

කූරගන්දෙණියේ මහා හුලවාලි ගුරු ලොකු උක්කුවා ගුරුන්නාන්සේ වරු තුනෙන් වශී ගුරුකමක් කර දීමට රුපියල් 15000 ක් ඉල්ලා සිටි අතර, සිය ගුරු පියාට පිනක් ලෙස සලකා එම මුදල රුපියල් 12000 දක්වා පහත හෙළීමට කාරුණික විය. ලොකු උක්කුවා ගුරුන්නාන්සේගේ බිරිය ද ඔහු හැර ගොස් ඇති බව හෙළි වූයේ, ඔහුගේ පුරාජේරුව ඉක්මවා ගිය මොහොතකදී ය. ලොකු උක්කුවා ගුරුන්නාන්සේ මේ වන විට කුරුණෑගලට ආසන්න ගමක සිය දේවාලය පවත්වා ගෙන යයි.

සුපිරි නිවාස මෙන්ම පැල්පත්ද රොඩී දේවාල බවට පත්ව ඇති අයුරු

මහනුවර නගරයේ ප්‍රධාන පෙලේ බාලිකාවක උසස් පෙළ හදාරමින් සිටින මැණික්හින්න ප්‍රදේශයේ දැරිවියක කියා සිටියේ, තමා කූරගන්දෙණියේ වීම හේතුවෙන් අනෙක් සිසුවියන්ගේ උසුළු විසුළුවලට බොහෝ කලක් ලක් වූ බවයි.

කූරගන්දෙණියේ ප්‍රකට නැසී ගිය රූපරත්න ගුරුන්නාන්සේගේ බිරිය වන එම්.ජී.සුමනාවති ගුරු මෑණීයෝ වෙළෙඳ දැන්වීම්වලට අනුව රටේ ප්‍රකට ගුරුකම්කාරියකි. ගුණපාල ගුරුන්නාන්සේ කෙසේ කීවද, සුමනාවති ගුරු මෑණියෝ නම් බයක් සැකක් නැතිව කියා සිටින්නේ, තම පරම්පරාව රොඩීන් බවයි. රොඩීන් යනු සිංහල රජ දවස මාලිගාවේ අතු ගෑමේ නිරතවු හෙවත්,රොඩු ඉවත් කරවූවන් ය.

“අපි පරම්පරා හතක් තිස්සේ මේ රස්සාව කර ගෙන යනවා.මේවා බොරු නෙවෙයි.මගෙන් පස්සේ මගේ පුතා මේක භාර ගන්නවා.ඕනෑම කෙනෙක් නීචකුල රොඩී දැහැනින් වශී කරන්න පුළුවන්.මේ රොඩී දැහැනේ බන්දන 18 ක් තියෙනවා.මගෙන් ගුරුකම් කර ගන්න ප්‍රසිද්ධ දේශපාලඥයෝ, ව්‍යාපාරිකයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ පවා කූරගන්දෙණියට එනවා. ටිකකට කලින් රූපවාහිනී නිළියකුත් ඇවිදින් ඉඳලා ගියා..”ඇය කියා සිටියේ, සුමනාවතී ගුරු මෑණියන් හා නිළිය එකට හිඳ ජංගම දුරකතනයෙන් ගත් ඡායාරූපයක් ද සාක්ෂියට පෙන්වමිනි.

සුනේත්‍රා වල්ලි ගුරු මෑණියන් තැපැල් මාර්ගිකව දරුවකු සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් කර දීමට රුපියල් 8500 ක් අය  කරන බව කියන්නී ය.

සුනේත්‍රා ගුරු මෑණියන් එසේ කීව ද, මහනුවර දිස්ත්‍රීක්කයේ විභාග ප්‍රථිපල විශ්ලේෂණය කර බලන්නකුට මැණික්හින්න අයත් වන වත්තේගම අධ්‍යාපන කලාපයේ විභාග ප්‍රථිපල අනෙක් කලාපවලට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්වා නොමැති බව පෙනේ.

කූරගන්දෙණියේ දේවාල

මහ හුලවාලි ගුරු උක්කුවා ගුරුන්නාන්සේ දින හතක් ඇතුළත  සුරාව සූදුව නතර කර දීමට රුපියල් 8500 ක් අය කරන බව කියයි. කෙසේ නමුත්, කූරගන්දෙණියේ බොහෝ දෙනකු සූදුවට කෙසේ වෙතත්, සුරාවට දැඩි සේ ඇබ්බැහිවූවන් බව නොරහසකි. දින හතෙන් සුරාව නතර කර දෙන බව කියන මහ ගුරුන්නාන්සේලා වැඩි දෙනකුගේ  දරුවන් මැණික්හින්නේ නම ගිය බේබද්දන් බව පිටස්තර මිනිසුන් දන්නේ නැත.

මේ ගුරුකම් කටයුතු කරන කූරගන්දෙණියේ පවුල් අතර ද වැඩි සමගියක් නැත. ඔවුන් වෙළෙඳ දැන්වීම් පවා පළ කරනුයේ, අනෙකා බොරු කාරයකු බව ඒත්තු ගන්වමිනි. මොවුන්ගෙන් මුළා වූ ඇතැම් අය සල්ලි නැවත ඉල්ලා ගැටුම් ඇතිකර ගනිමින් මැණික්හින්න පොලිසියට පැමිණිලි කිරීම ද සුලබ සිද්ධියකි.

කූරගන්දෙනියේ මහ හුලවාලි ගුරුන්නාන්සේලාගේ ගුරු මෑණියන්ලාගේ  ගුරුකම් පචාතවීමත් සමඟ, ඔවුන් වෙනත් දිස්ත්‍රීක්කවල උප දේවාල පිහිටුවීම අලුත්ම මෝස්තරයයි. ඒ සඳහා කූරගන්දෙණියේ වැඩි දෙනකු තෝරා ගෙන ඇත්තේ, කුරුණෑගල පොතුහැරයි. නොබෝ දිනකින් කූරගන්දෙණියට හිමිකර ගෙන සිටින ස්ථානය පොතුහැරට හිමීවීම කිසිවකුටත් වැලැක්විය නොහැකිවනු ඇත.