Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තනිහිතක පන්නරයෙන් නැඟී සිටි
දිරියවන්තිය නිශා

නිශා සරීෆ් ඉණෙන් පහළ අප්‍රාණික හා එහෙයින්ම අනාගතයේ සමාජ අනුකම්පාව මත දිවිගෙවිය යුතු යැයි සමාජ තීන්දුවට ලක්වූ දැරියකි. උපන්ගෙයි ආබාධිත තැනැත්තියක වූ නිශා සිය ආබාධිත බව හේතුවෙන් සිදු කෙරුණු නොසලකා හැරීම් හා පිළිකුල් කිරීම හමුවේ පන්නරය ලැබූ තවත් දිරිය දියණියකි.

15.11.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය

නිශා සරීෆ්ගේ මව්පියන් කදිම නිල්වන් දෙනෙතක් ඇති හුරුබුහුටි සිය දියණිය පිළිබඳව ආඩම්බරවූ නමුත් ඔවුන්ගේ කම්පාවට හේතුව වූයේ සිය පුංචි රුවැත්තිය  ඉණෙන් පහළ අප්‍රාණික හා එහෙයින්ම අනාගතයේ සමාජ අනුකම්පාව මත දිවිගෙවිය යුතු වෙතැයි කල්පනා කළ බැවිනි. උපන්ගෙයි ආබාධිත තැනැත්තියක වූ නිශා භාජනය වූයේ අනුකම්පාවට පමණක් නොවේ. සිය ආබාධිත බව හේතුවෙන් පාසල් අධ්‍යාපනය  පවා අහිමි වූ ඇය නොසලකා හැරීම් හා තමන් පිළිකුල් කිරීම හමුවේ පන්නරය ලැබුවාය.

නිශාගේ තිර අදිටන වූයේ ඒ පන්නරයෙන් අනුකම්පාව වෙනුවට අවස්ථාව ලබන ස්වශක්තියෙන් නැගීසිටින්නියක බවට පත්වීමයි. ඒ සඳහා ලැබෙන ඇගේ ජීවනගමන වෙනස්කරන අවස්ථාව වුයේ රාගම ආබාධිත පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසර දෙකහමාරක වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ලැබීමයි. එහිලා ඔරලෝසු අලුත්වැඩියා කිරීමට අතිරේකව, අහිමිවූ පාසල් අධ්‍යාපනය දිනාගනිමින් ලිවීම හා කියවීමේ හැකියාවද ඇය හිමිකරගත්තාය.

මහනුවර අම්පිටියේ සිය නිවසේ ඉස්තෝප්පුවේ කොනක පුංචිකාමරයක් සාදාගන්නා ඇය ආරම්භකළ නිශා වොච් රෙපයාර් සෙන්ටර් කෙමෙන් දියුණු කරගත්තාය. මේ දිරියවන්තිය මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම අසළ තවත් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළාය. මාසික වැටුපකට සහායකයෙක් ලෙස තමන් වැනිම ආබාධිතයෙක්ද ඊට එකතුකරගත්තේ ඒවනවිට ආබාධිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිණියක බවටද පත්ව සිටි නිසාය. ඒ උදෙසා පිහිටුවා ගෙන ඇති අපේ අයිතිය සංවිධානයේ සභාපති ඇයයි.

දුක්බර කතා

“මං හිතනවා මගේ කතාව කාට වුණත් අහගෙන ඉන්න වටින කතාවක් කියලා මං මහා ලොකු කෙනෙක් නොවුණත්. මොකද මං සැලකිය යුතු කෙනෙක්.” මහනුවර අම්පිටිය හන්දියේ හරිමැදට වන්නට පිහිටා ඇති බෝ රුකට යාබද නිවෙස් දෙකකට එහා පිහිටා ඇති ඇගේ නිවසේ වරණ්ඩයේ පුටුවකට වාරුව සිටි නිශා එසේ සිය කතාව ආරම්භ කළාය.

නිශා වොච් සෙන්ටර්

” උපදින වෙලාවෙ මගේ ස්නායු රැහැන් ගුලියක් වගේ පිටට නෙරලා තිබිලා පිටකොන්දෙ කෙළවරින්. ඒකට සැත්කමක් කළා. ඒත් එදා මෙඩිසින් අද වගේ දියුණු නැහැ. ඒකෙ ප්‍රථිඵලය මං ඇවිදින්න බැරි දරුවෙක් බවට පත්කරපු එක.” එය ඇගේ දෛවය මිස කාගේවත් වරදක් ලෙස ඇය අදත් සිතන්නේ නැත. එහෙත් ඒ අතීතය පිළිබඳ නිශාට ඇත්තේ අමිහිරි මතකයකි. “මට තේරුණා අනික් අයට ලැබෙන දේවල් මට අහිමිවෙලා තියෙනවා කියලා. මගේ අක්කලා ඉස්කෝලෙ යද්දි මං අම්මාගෙන් ඇහුවා ඇයි මට ඉස්කෝලෙ යන්න බැරි අම්මෙ කියලා. අනේ එයාට උත්තරයක් තිබ්බෙ නෑ. මගෙ තාත්තත් බොහොම පුංචි රස්සාවක් කළේ. සමහර විට මගේ අනාගතය ගැන තාත්තට බය හිතෙන්නත් ඇති.” ඇය අක්කලාගේ සුදුගවුම් හැඳ පාසල් යන දැරියක සේ තමන් සමගම සෙල්ලම් කළාය. අසීරුවෙන් මිදුලට පැමිණ අහස හා වටපිටාව දෙස බලා තනිවම සතුටට පත්වූවා ය.

බැරිකමේ වේදනාව

තමන් ආබාධිත යුවතියක හා ඉනුත් පසුව ආබාධිත ගැහැනියක බවට පත්වන්නට නියමිත බව ඒ වනවිටත් මනාව අවබෝධ කරගනිමින් සිටි නිශා සරීෆ් ඉන් කම්පා නොවී ලැබෙන දෙයක් බාරගැනීමේ සූදානමින් හිත හදාගනිමින් සිටියාය. “මං දැනගෙන හිටියා මට ලැබෙන්න නියමිත දේ. ඒ ගැන මට කම්පාවක් තිබුණෙම නෑ. මොකද මං හුරුවෙමින් හිටපු නිසා. හැබැයි මට දුක හිතෙන්න තරම් පීඩනයක් දැණුනු දේවල් තිබ්බා. ළමයි සමහරු මාව සෙල්ලමට ගත්තෙ නෑ. සමහර වැඩිහිටි අය මාව පිළිකුල් කළා. ඒ අය කිව්වා ඔයාට බෑනෙ. ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා. මේ හැමෝම හිතන්න ඇති මං වැරදීමකින් මේ ලෝකෙට ආවා කියලා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මට දඬුවමක් දිලා කියලා. මට වැඩියෙන්ම දුක හිතුණෙ මං බැරි කෙනෙක් කියලා ලේබල් කරන කොට” නිශාගේ බැරිකම ලෙස වැඩිහිටියන් හඳුනාගත් කුමක් හෝ දෙය නිසා ඇයට අහිමිවන වටිනාම දෙය පාසල් අධ්‍යාපනය ලැබීමේ වරමයි. ඇය කල්පනා කළේ මව්පියන් නැති කලෙක තමන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි බිහිසුණු ඉරණම ගැනයි.

තනිහිතක පන්නරය

“මගෙ තාත්තා පුළුවන් විදියට මට කන්න බොන්න බේත් හේත් ටික එහෙම දුන්නා. ඒත් මට ඕන වුණා අනාගතයෙ අම්මා තාත්තා නැති කාලෙක මට මොකක්ද වෙන්නෙ කියලා කල්පනා කරන්න. ඊටත් වඩා මට හිතුණා ඒ ප්‍රශ්නෙට විතරක් නෙවෙයි තව ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න නම් මම මොනවහරි කරන්න ඕන කියලා.” එහෙත් ඒ මොහොතේ නව යොවුන් වියට එළඹ සිටි නිශාට කරන්නට කිසිම දෙයක් නොවූයේ ඇය කිසිදා පාසල් අධ්‍යාපනය ලබා නොසිටි නිසාය. නිවෙසට වී පහන් තිර ඇඹරීම හෝ බීඩි එතීම වැනි දෙයකින් සෑහිමකට පත්වෙන්නට ඇගේ සිත සූදානම් නොවීය. “ඉතිං මම ගෙදර අයට බල කළා මට කොහේ හරි ගිහින් මොනවා හරි ඉගෙන ගන්න අවස්ථාවක් හොයලා දෙන්න කියලා. තාත්තා ඒකට කැමති වුණේම නෑ. එතකොට බැඳලා හිටියෙ නැති අක්කලා ආයෙත් කියනවා. ඔයාට බෑනෙ අපි ඔයාව බලන්නම් ගෙදර ඉන්න කියලා. අන්තිමේදී මට අපි වගේ අයට ජීවිතය දෙන තැනකට යන්න ලැබුණා. ඒ කියන්නෙ රාගම ආබාධිත පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. මං එහේ ගිහින් සාම්ප්‍රදායික දෙයක් වෙනුවට ඔරලෝසු හදන හැටි ඉගෙන ගන්න හිතුවා. ඒ විතරක් නෙවෙයි අකුරුත් ඉගෙන ගත්තා. අන්තිමට ලියන විභාගෙ පළමුවෙනියා මං. කාර්මික දැනුමත් ලැබුණා. එහෙන් එනකොට ටූල් සෙට් එකක් දුන්නා.”

ඔරලෝසු අලුත්වැඩියා කිරීම

වසර දෙකහමාරක පාඨමාලාව අවසානයේ නිවෙසට පැමිණි නිශා දැන් කුමක් හෝ කරන්නට සූදානම්ය. ඇය නිවසේ තිබුණු ලටපට එකතු කරගනිමින් හා ඇතැම් විටෙක ආබාධිත බව නොසලකා තමන්ම ගල් පවා කඩමින් ඉස්තෝප්පුව කෙළවරෙහි ඉදිකළ කාමරයේ නිශා වොච් සෙන්ටර් ආරම්භ විය. “මුලදි හරිම අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගත්තෙ. පස්සෙ මගේ දහිරියේ ඇත්ත කතාව නිසාම මට මහනුවර ගුඩ්ෂෙඩ්වල නිශා වොච් සෙන්ටර් අලුත් එකකුත් අරින්න පුළුවන් වුණා” ඒ වනවිට ඇය බලාගන්නම් කියූ අක්කාගේ දරුවන් වෙනුවෙන් කිසියම් දෙයක් කරන හා අම්මා රැකබලාගන්නා තැනැත්තිය බවට පත්වන්නට ඇයට පුළුවන්ව තිබුණි. “මං මගේ මල්ලිටත් මේ දැනුම දුන්නා. කුරු බව නිසා ආබාධිත කෙනෙක් රස්සාවට ගත්තා. එයා මං නිසා ජීවත් වෙනවා. පස්සෙ මට හිතුණා මං වගේ ඉන්න තව ගොඩක් අය වෙනුවෙන් යමක් කරන්න. ඒකෙ ප්‍රථිඵලය අපේ අයිතිය සංවිධානය.”

අනුකම්පා කරන්න එපා

ආබාධිත ඇය මේ වනවිට සිය ගණනක් ආබාධිත ජනයා වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියකි. “මට ඕන වුණේ එක දෙයක් ලෝකයට තේරුම් කරන්න. මෙහෙම හිතන්න අපි බස් එකට නගිනවා. ඇත්තයි අපිට එහිදී උදව් ඕන වෙනවා. ඒත් අනේ පව් නේද කියන සානුකම්පිත හැගීම අපිට ඕන නෑ. අපි පව් ගෙවනවා නෙවෙයි මේ.” නිශා පවසන අන්දමට ලංකාවේ පවතින ආගමික හා සංස්කෘතික චින්තාවන් නිසා ආබාධිත බව සැළකෙන්නේ කරුමය වැනි සංකල්පයන් හා මුසු වූවක් ලෙස ය. අනෙක් අතට ජනයාගේ එවැනි සහවේදනයන් ඇමට යොදාගෙන සිය ආබාධිත බව ජීවන මාර්ගය කරගත් බොහෝ දෙනාද වෙති. “මේ හිතන විදිය අපිට හරිම වධයක්.  දවසක් අපේ අයිතිය රැස්වීමක් ඉවරවෙලා පාරෙ ඉද්දි අපේ අය ගාවට ආපු එක්කෙනෙක් කියනවා එයාගෙ තාත්තගෙ තුන්මාසෙ දානෙ නිසා බත් පාර්සල් ටිකක් තියෙනවා දෙන්න අපි වගේ අයයි හෙව්වෙ කියලා. සමහරු මං නුවර පාරෙ යද්දි රුපියල් දහයක් විස්සක් දෙන්න අහනවා. ඒ වෙලාවට අපේ හිත් හරියට කඩා වැටෙනවා. ඉතිං මං කියන්නෙ අපිට එහෙම අනුකම්පා කරන්න එපා. ඒකෙන් අපිට වෙන්නෙ නරකක් විතරයි. අපි ඉල්ලන්නෙ අනේ අපොයි කරුමෙක මහත කියන සාම්ප්‍රදායික අනුකම්පාව නෙවෙයි. අපිටත් ගෞරවයක්. අපිටත් මොනවහරි කරන්න අවස්ථාවක්. ගරුත්වය හා අවස්ථා ලබාදීමෙන් පුළුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න. මතක තියාගන්න මං අම්මාව අක්කාව මල්ලිව බලාගන්නවා වගේම තව කෙනෙකුට රස්සාවක් දුන්න කෙනෙක්”