Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පැමිණි දුක් පැණි රසින් වළඳන
හදවතින් පොහොසත්තු

හතළිස් නව හැවිරිදි මෙන්ඩිස් ගුණසේකර මට හමුවුණේ වව්නියාව සිදම්බරම්නගර් නැවත පදිංචි කිරීමේ ගමේදී ය. වව්නියාව නගරයේ සිට මේ ගමට ඇති දුර සැතපුම් හතක් පමණකි. එහෙත් පරිපාලන නගරයෙන් ඊට වඩා බොහෝ දුර ඈත පෙදෙසක් සේ එය බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ.

13.12.2018  |  
වවුනියාව දිස්ත්‍රික්කය

“මගේ තාත්තා මෙන්ඩිස් අප්පු, අම්මා අන්න පොට්ටු, මගේ නෝනා ධන ලක්ෂ්මි. අපි ඔක්කොම ඉපදුණේ මේ පුංචි ලංකාවේ. අපි සියලු දෙනා සාමයෙන් ජීවත් වෙනවා. ඒත් අපට ජීවත්වෙන්න අවශ්‍ය අවම පහසුකම්වත් නැහැ.”

හතළිස් නව හැවිරිදි මෙන්ඩිස් ගුණසේකර මට හමුවුණේ වව්නියාව සිදම්බරම්නගර් නැවත පදිංචි කිරීමේ ගම්මානයේදීය. වව්නියාව නගරයේ සිට මේ ගම්මානයට ඇති දුර සැතපුම්  හතක් පමණකි. එහෙත් පරිපාලන නගරයෙන් ඊට වඩා බොහෝ දුර ඈත පෙදෙසක් සේ එය බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ.

“කලිසම උස්සගන්න, බලාගෙන ලිස්සලා වැටෙයි.” මෙන්ඩිස් ගුණසේකර  මට එසේ පැවසුවේ මා වසර ගණනක සිට දන්නා හදුනන තරම් ළෙන්ගතුකමෙනි. එහෙත් මට ඔහු හමු වී ගෙවී තිබුණේ මිනිත්තු කීපයක් පමණි.   සිදම්බරම්පුරම් නොහොත් සිදම්බරම්නගර් ගම්මානයට ඇතුළුව අතුරු මාවතක් දිගේ  පියවර මනිද්දී  ඔහු කියූ කතාවේ සත්‍ය මට වැටහිණි.

“මං කිව්වේ ඒකනේ. තව පොඩ්ඩෙන් ලිස්සලා වැටෙනවා නේද? ආගන්තුකයෙක් අපේ ගමට අාවොත් එක්කෝ පාරේ යද්දී  ලිස්සලා වැටෙනවා. නැත්නම්  තව මොකක් හරි. ලංකාවේ අනෙක් ප්‍රදේශ දිහා බලද්දී අපි ඉන්නේ අවුරුදු ගාණක් පිටිපස්සෙන්. ආදී වාසීන් ජීවත් වුණු ප්‍රදේශ මීට වඩා දියුණුයි.”

අවතැන්වීම

සිදම්බරම් නගර් මුල් වරට ජනාවාස වන්නේ යුද්ධය හේතුවෙන් අවතැන් වූ ජනතාවගෙනි. උතුරේ ප්‍රදේශ රැසකින් පැමිණි ජනතාව මෙහි කඳවුරු ලා ගන්නේ වෙනත් යා යුතු ස්ථානයක් නොමැති හෙයිනි. මෙන්ඩිස් ගුණසේකරලාගේ මුල් ගම වන්නේ නාවලපිටියයි. 1954 වර්ෂයේ ඔහුගේ පියා මන්නාරමේ  පදිංචියට යන්නේ සිය බිරිඳ ද්‍රවිඩ ජාතික කාන්තාවක් වීම හේතුවෙනි.

“මම උපන්නේ මන්නාරමේ. මම කුඩා කාලේ අපිට කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. හොඳින් හිටියා. තත්ත්වය නරක අතට  හැරුණේ යුද්ධය නිසයි. දෙපැත්තම ගහගත්තා. අපිට මන්නාරමේ ඉන්න බැරි වුණා. තාත්තා, මම සිංහල වුණාට අම්මා දෙමළ නිසා තාත්තට ගැටලු ආවා. මම මන්නාරමේ ඉද්දි තාත්තයි පවුලේ අනෙක් අයයි  ආරක්ෂාව පතා ඉන්දියාවට ගියා. ඒ අය නැවත ලංකාවට ආවේ යුද්දේ ඉවර වුණාම තමයි. මේ අතරේ මගේ නෝනා වුණෙත් ද්‍රවිඩ කාන්තාවක්.  රටේ යුද්දේ තිබිලා දෙගොල්ලෝ මරා ගත්තත් ධන ලක්ෂ්මි එක්ක ඇති වුණු ආදරය අතරමග නතර කරන්න මට හිතුණේ නැහැ.”

 /

මෙන්ඩිස් ගුණසේකර හා ධන ලක්ෂ්මි  යුවළට දාව දියණියන් තිදෙනෙකි. වැඩිමහල් දියණිය පුවනේශ්වරී මේ වන විට විවාහ වී සිටින අතර ඇගේ අත ගෙන ඇත්තේ කසුන් බණ්ඩාර නමැති සිංහල ජාතික රජයේ සේවකයෙකි. එම දෙපළගේ දරුවා කසුන් ශෂ්වින්ය.

  “අවුරුදු තිහක් මරා ගත්තා. මොකද්ද ප්‍රශ්නේ?  ජාතිය, ආගම. මේකෙන් වුණේ අපේ රට ලෝකයේ රටවල් එක්ක බලද්දී  අවුරුදු  තිහක් ආපස්සට ගියෙ එක විතරයි.” එසේ කියූ මෙන්ඩිස් ගුණසේකර  වාතලයට දිගු සුසුමක් එක් කළේය.  ඔහුගේ මුවින් නික්මුණු වචනවල ගැබ්ව තිබුණේ දුක මුසු කලකිරීමම පමණි. ඔහු සෑම විටම මතු කිරීමට උත්සාහ කළේ මිනිස් සිරුරේ දුවන රුධිරය සියල්ල එක බවයි.

”දැන් බලන්න මගේ තත්තා සිංහල, අම්මා දෙමළ, මම සිංහල, මගේ නෝනා දෙමළ. මගේ දුව සිංහල, මගේ බෑනා සිංහල. මගේ මුණුපුරා සිංහල. මේ වගේ සිංහල කාන්තාවන් දෙමළ තරුණයන් විවාහ කරගෙන ඉන්නවා. ඒ අයගේ ළමයි,ළමයින්ගේ ළමයි මේ ඔක්කොම කලවම් වෙලා. හැබැයි අන්තිමට දුවන්නේ මොන ලේද  කියල කාටවත් කියන්න පුළුවන්ද?

ඩී. එන්. ඒ. එකකින් කියන්න පුළුවන්ද මේ සිංහල ලේ, මේ ද්‍රවිඩ ලේ, මේ මුස්ලිම් ලේ, මේ බෞද්ධ ලේ. මේ කතෝලික ලේ කියල”

 යුද්ධයේ සාපය

මෙන්ඩිස් ගුණසේකර පවසන පරිදි යුද්ධය හේතුවෙන් අවසන් වශයෙන් සිදුව ඇත්තේ  ජීවත් වීමට අවම පහසුකමක්වත් නොමැති තත්වයකට පත් වීම පමණය. මේ පව මේ වන විට ගෙවීමට සිදුව ඇත්තේ කාන්තාවන්ට වීමද අභාග්‍යයකි. දේශපාලකයන් මෙන්ම විවිධ ඉල්ලීම් මත ආයුධ අතට ගත්වුන් මේ තත්වයට වගකිවයුතු වුවත් අද  ඔවුන්ගෙන් කොටසක් ජීවිතය අතහැර ගොස් ඇති අතර තවත් පිරිසක් කිසිවක් සිදු නොවූ විලසින් සිටියි.

”අපි කුඩා කාලේ, ඊට පස්සේ තරුණ කාලේ සැහැල්ලු ජීවිත තමයි ගත කළේ. ජීවත් වෙන්න ඕනෑ තරම් මාර්ග තිබුණා. හැබැයි යුද්ධය අපිට මේ සියල්ල නැති කළා. අද අපි සිද්ධ වෙලා තියනවා ජීවත් වෙන්න අපේ නෝනලා රට යවන්න. මගේ නෝනා ඉන්නේ සෞදියේ.  ඒ වගේම මේ ගමේ බහුතරයක් කාන්තාවෝ ඉන්නේ පිට රටවල. ආයේ මේ වගේ තත්වයක් කවදාවත් ඇති වෙන්න හොඳ නැහැ. හැබැයි මම හිතන්නේ ජනතාවට ඒ අවබෝධය තියනවා. යුද්ධ කරන්න ඕනෑ දේශපාලකයනට. මොකද ඒ අයට ඡන්දේ ගන්න පහසු වෙන්නේ එතකොට තමයි “

/

සිදම්බරම්නගර්  ගම්මානයේ “තලෙයිවර්” හෙවත් සභාපති වන්නේ තාන්ඩවර් රාජන් පන්චලිංගම් මහතාය. මීට අමතරව මේ ග්‍රාමයේ අවමංගල්‍යධාර සමිතියේ හා ග්‍රාමෝදය මණ්ඩලයේද සභාපති වන්නේද ඔහුයි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහුට අවුරුදු විසි එකක දියණියක් හා අවුරුදු  පහළොවක පුත්‍රයෙක් සිටියි. මේ ගමේ කාන්තාවනට උරුම පිටරට රැකියාව ගමේ සභාපති වූ පන්ච්ලිංගම් මහතාගේ බිරිඳටද උරුම වී වසර තුනකට ආසන්න කාලයක් ගත වී තිබේ. පන්ච්ලින්ගම් මේ වන විට ජීවත් වන්නේ දැඩි කලකිරීමෙනි. එයට ප්‍රධාන හේතුව ජිවත් වීමේ අරගලය හමුවේ බිරිඳ විදේශ රටකට යැවීමට සිදුවීමයි. මීට අමතරව උසස් පෙළ සමත් දියණිය රැකියාවක් නොමැතිව නිවස තුළට කොටුව සිටීම ඔහුගේ කලකිරීම දෙගුණ කර ඇත.

මහත්තයගෙ නෝනත් සිංහලද? ……… මගේ පැනයට සභාපතිවරයාගේ මුහුණ අඳුරු විය. එකෙනෙහිම මට අවබෝධ වූයේ මගෙන් වරදක් සිදු වූ බවයි. මෙතෙක් වෙලා අසීරුවෙන් සිංහල බසින් මා සමග කතා කළ  පන්චලිංගම් මහතා ද්‍රවිඩ භාෂාවෙන් යමක් එකදිගට පැවසුවේය.  ඔහුගේ කතාවේ අරුත දේ මට පරිවර්තනය කළේ  මගේ මිතුරා ගාමිණී ය.

“ඔන්න ඕක තමයි වැරදුණ තැන. දෙමළද, සිංහලද, මුස්ලිම්ද , බෞද්ධද කතෝලිකද… අපි මෙතනින් අයින් වෙන්න ඕනෑ.  අවුරුදු තිහක් දුක් වින්දේ මේ නිසා තමයි. උප්පැන්නේ හැමෝගෙම තියෙන්නේ ශ්‍රී ලාංකික කියලා. අපි එහෙම හිතන්න පුරුදු වෙන්න ඕනෑ. අනික් කාරණේ තමයි ලෝකේ අනික් රටවල් දිහා බලද්දී  මේක ඉතාම  පුංචි රටක්. ඉතින් මේ පුංචි රටේ බෙදීමක් අවශ්‍ය නැහැනේ. යමක් කමක් දන්න ඔයාලත් ඔහොම අහනවනම් කවර කතාද?”

ළෙන්ගතුකම

සිදම්බරම්නගර් නැවත පදිංචි කිරීමේ ගම්මානයේ ජීවත්වන පවුල් ගණන හත්සිය හතළිස් පහකි. එහෙත් එහි ඇත්තේ නිවාස දෙසිය අටක් පමණි. එයිනුත් අඩකට වඩා වැසිකිළි නොමැති බව මේ ගම්මානයේ සභාපති තාන්ඩවර් රාජන් පන්චලිංගම් මහතාගේ අදහසයි.

“මේ ගමේ ගොඩක් දෙනා ජීවත් වෙන්නේ ලී කෑලි ටිකකට ඉටිකොළ දවටගෙන. ඒ වගේ ස්ථාන වලට විදුලිය දෙන්නේ නැති නිසා වෙනමම ස්ථානයක් පොඩියට ගඩොලින් හදා ගෙන තියනවා. රටේ කවුරුත් කාලයකදී කතා කලා  පැල්පත් නැති කරන්න ඕනෑ කියල. නමුත් මේ ඉටිකොළ ගහගෙන හදාගෙන තියන තාවකාලික මඩුවලට පැල්පතක් කියලවත් කියන්න පුළුවන්ද?”

/

මේ ගමේදී හමු වූ වඩිවේල් රාජනායගම් මහතාගේද මුල් පදිංචියද නාවලපිටියයි. රාජනායගම්ගේ බිරිඳ  මල්කොටුවෙගෙදර මාලා ශිරෝමි  ප්‍රනාන්දු ද නාවලපිටියේ පදිංචිකාරිනියකි. 1986 වර්ෂයේ මේ දෙදෙනා විවාහ වී ඇති අතර 1999 වර්ෂයේ වව්නියාවට පැමිණ පදිංචි වී ඇත. රාජනායගම් මහතා හොඳින් සිංහල කතා කරයි. මේ දෙදෙනාට දරුවන් සිව් දෙනෙකි. ජගත් පුෂ්පකුමාර, ජානකී පුෂ්පකුමාරි,  චතුරංගි පුෂ්පකුමාරි, යන තිදෙනා මේ වන විට විවාහ වී සිටින අතර  කවිෂ්ක මධුෂාන් අධ්‍යාපනය ලබයි.

ජගත් පුෂ්පකුමාර  ද්‍රවිඩ තරුණියක් හා විවාහව මේ වන විට කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වෙයි. ජානකී පුෂ්පකුමාරි සිංහල තරුණයෙකු හා විවාහව නුවර ප්‍රදේශයේ ජීවත් වෙයි.

හෙට දවස

ජානකී පුෂ්පකුමාරි ද්‍රවිඩ තරුණයෙකු වන රොක්සන් සමග විවාහව මේ ගම්මානයේ ජීවත් වෙයි. ජානකී එක වසරේ සිට  හයවසර දක්වා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර හයවසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා තිබේ. ජානකී මේ වන විට ද්‍රවිඩ දරුවනට සිංහල භෂාව ඉගැන්වීමේ නිරතව සිටි.

  “මට හොදට සිංහල, ද්‍රවිඩ  භාෂා දෙකම පුළුවන් මම ඒ නිසා ද්‍රවිඩ දරුවනට සිංහල කියා දෙනවා. මගෙන් ඉගෙන ගෙන හොදට ලකුණු ගත්ත ළමයිත් ඉන්නවා. මම ද්‍රවිඩ වුණාට සිංහල නමක් තිබීම ගැන සතුටු වෙනවා. අද මගේ පුංචි පුතා එයාගේ නම භාෂා තුනෙන්ම ලියනවා. ගෙදර බිත්තියේත් ලියලා තියනවා.මම උත්සාහ කරන්නේ මගේ පුතාට භාෂා තුනෙන්ම දැනුම දෙන්න. මේ ලංකාවේ තියෙන ප්‍රධාන භාෂා දෙක පුළුවන් නම් මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. මට පුළුවන් විදිහට මම ඒ වෙනුවෙන් කැප වෙනවා.”

ස්වෝත්සාහයෙන් ජීවිතය හා රටේ අනාගතය වෙනුවෙන් තිරසාර යමක් කරන රෝහිත්ලා, ජානකීලා, රාජනායගම්ලා සිටින සිදම්බරම්පුරම් ගම්මානය දෙස බලධාරීන්ගේ, වගකිවයුත්තන්ගේ දෑත් දිගුවන්නේ කවදාද?