Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

හමුදා වැට ළඟ සිරවුණු බලාපොරොත්තු
‘ඉඩම් දුන්නොත්, ජනපතිකම දෙනවා!’

යුද්ධය නිම වන තුරු දහනම වසරක්ද, නිමා වූ පසු තවත් සත් වසරක්ද, ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඉටු වන තුරු තවත් සය මසක්ද ඔවුහු බලා සිටියහ. ඒ තමන්ට උරුම බිම් කඩෙහි යළි පය තැබීමේ බලාපොරොත්තුවෙනි. ‘‘මම මේ මීඩියා එකකට කතා කරන 61වෙනි වතාව. ඒත් අපි තවම මෙතැනමයි.’’ තනබාලසිංහම් විජයරාජා පැවසුවේ ආවේගයෙනි. මම එක් වනම විස්මයටත්, ලැජ්ජාවටත් පත් වුණෙමි. […]

28.06.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

යුද්ධය නිම වන තුරු දහනම වසරක්ද, නිමා වූ පසු තවත් සත් වසරක්ද, ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඉටු වන තුරු තවත් සය මසක්ද ඔවුහු බලා සිටියහ. ඒ තමන්ට උරුම බිම් කඩෙහි යළි පය තැබීමේ බලාපොරොත්තුවෙනි.

‘‘මම මේ මීඩියා එකකට කතා කරන 61වෙනි වතාව. ඒත් අපි තවම මෙතැනමයි.’’

තනබාලසිංහම් විජයරාජා පැවසුවේ ආවේගයෙනි. මම එක් වනම විස්මයටත්, ලැජ්ජාවටත් පත් වුණෙමි. මා අබියස සිටින්නේ සුපිරි ගායන තරුවක් හෝ දේශපාලන තාරකාවක් නොවේ. හැට එක් වතාවත් යනු එවැන්නකුට වුවද අසීරු ඉලක්කයකි. මගේ හැඟුම් වටහාගත් බැවින්දෝ ඔහු යළි මෙසේ කීවේය.
‘‘ඒකට කමක් නෑ, කතා කරමු.’’
ඔහුගේ පෙට්ටියේ තිබුණේ කුඩා සාලයන් ය. ඔහු මුලින් ඒ ගැන කතා කළේය.
‘‘සාලයො කිලෝ දහයක් ගත්තා. මේ ඔක්කොම වික්කොත්, මට ලැබෙන්නෙ රු. 350යි.’’
විජයරාජාගේ ‘ගම’ යාපනය, වලිකාමම් උතුර, උරුම්පිරෙයිහි ‘නීදවන්’ කඳවුරයි. අවුරුදු 29ක් වන සිය ජීවිත කාලයෙන් වසර 26ක්ම ඔහු දිවි ගෙව්වේ එහිය. එයද ඇතුළුව ඔහුගේ ජීවිතයට අදාළ තවත් බොහෝ කුරිරු ඉරණම්වල තීරකයා වූයේ යුද්ධයයි.
ධීවරයකු වූ සිය පියා නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යන විට ඔහුගේ වයස අවුරුදු 31/2 කි. අද වන තුරු පියාට කුමක් සිදුවීදැයි විජයරාජාට කියා දුන් කෙනකු නැත.
‘‘අපි ඉපදුණු දවසෙ ඉඳලා දුක් විඳිනවා. ඇයි අපිව හැදුවේ? ඇයි මැරුවෙ නැත්තෙ?’’
විජයරාජා ප‍්‍රශ්න කරන්නේ සිය මවගෙනි.

/camp9

ඔහුගේ මව, ලතා තනබාලසිංහම් 48 හැවිරිදිය. ඇගේ සැමියා 1993 ජුනි 10 වැනිදා ධීවර රැකියාවේ යද්දී පැහැරගෙන යන විට ඇය තිදරු මවකි. 1990 මෙම අවතැන් කඳවුරට පැමිණ ඇති ඇය පුතුන් දෙදෙනාත් දියණියත් ඇති දැඩි කරගෙන ඇත්තේ අනේකවිධ අසීරුතා මධ්‍යයේය. ඇය මෙන්ම තවත් පවුල් 60කට අයත් ජනතාව වසර 26ක් තිස්සේ, සෑම දහවලකම කිහිරඟුරු මෙන් රත් වන ටකරන් වහලවලින් ආරවණය වූ කුකුළු කූඩු වැනි කුඩා නිවහන්වල සිරුරු තවාගනිමින් දිවි ගෙවති. දැන් ඔවුන් පසුකරමින් සිටින්නේ, අවතැන් ජීවිතයේ තුන්වන පරම්පරාව ය.
‘‘අපි හිටියෙ ‘මයිලටි’වල. අපේ ඉඩම් හමුදාව අල්ලගෙන ඉන්නවා. ඒ ඉඩම් ආපහු දෙනව කියල ජනාධිපතිතුමා පොරොන්දු වුණා. ඒත් තවම අපි මේ අපායෙ දුක් විඳිනවා. අපිට දැන්වත් ගමට යන්න  ඕන. එච්චරයි අපි ඉල්ලන්නෙ. එහේ ගියොත් අපිට පුළුවන් වගා කරල, මාළු අල්ලල, ජීවත් වෙන්න. ’’

උදුරාගත් උරුමය

එය ඇගේ කතාව පමණක් නොවේ. යාපනය දිස්ත‍්‍රක්කයේ පවුල් 11,077කගේ කතාවය. ඔවුන්ගේ පාරම්පරික උරුමය වන ඉඩම් අක්කර 6729ක් රජයේ ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටී. ඒ ඔවුන් භුක්ති විඳි පොදු දේපළ වන, පාසල්, තැපැල්හල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, මංමාවත්, ක‍්‍රීඩාංගන, සුසාන භූමි යනාදිය පිහිටි භූමි ප‍්‍රමාණයට අමතරවය. කෝවිල් හා ආගමික සිද්ධස්ථාන 83ක්ද විශාල ප‍්‍රමාණයේ දේවස්ථාන 7ක්ද ඇත්තේ ආරක්ෂක හමුදා කලාපය තුළය. ජනතාවගේ ඉඩම් වැඩිම ප‍්‍රමාණයක් හමුදාව අත්පත් කරගෙන සිටින තෙලිප්පෙලෙ ප‍්‍රදේශයේ පමණක්, හමුදා කලාපය තුළ ඇති පාසල් ගණන 16කි. (එයින් දෙකක් පමණක් මෑතදී නිදහස් කෙරිණි.)
වලිකාමම් උතුරු ප‍්‍රදේශය තුළ කඳවුරු 43 ක අවතැන් වූවෝ වෙසෙති. ඉන් වැඩි දෙනකුගේ ඉඩම් ඇත්තේ මයිලටි සහ පලාලි ප‍්‍රදේශවලය. මයිලටි හමුදා කඳවුර හා පලාලි ගුවන් තොටුපළ අවට විශාල භූමි ප‍්‍රදේශයක් හමුදාව අත්පත් කරගැනීම නිසා ජනතාවට තම ඉඩම් අහිමි වී ඇත. විශේෂයෙන්ම පලාලි ගුවන් තොටුපළ සහිත අධි ආරක්ෂක කලාපයේ මාර්ග 3 ක් වැසීයාම නිසා, කෙටි දුරක ගමනකට විශාල වට  ප‍්‍රමාණයක් යාමට සිදු වීමෙන් ඔවුහු අසීරුතාවට පත්ව සිටිති. ජනාධිපතිවරණය සමයේ දී පලාලි ජනතාව සතු ඉඩම් නිදහස් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් දැන් ඒ පිළිබඳව ආණ්ඩුවේ කතාබහක් නැත./camp-1
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනතාවට දුන් පොරොන්දුවට අනුව 2015 දෙසැම්බර් 07 වැනිදා ඉදිරිපත් කෙරුණු කැබිනට් පති‍්‍රකාවක් මගින් යාපනය දිස්ති‍්‍රක්කයේ යුද හමුදාව භාරයේ තිබෙන ජනතාව සතු පුද්ගලික ඉඩම් අක්කර 701ක් මුල් උරුමකරුවන්ට නිදහස් කෙරිණි. තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් අක්කර 468.5ක් ද කෝපායිහි ඉඩම් අක්කර 233ක් ද වශයෙනි. ඒ අනුව පවුල් 700ක් පමණ නැවත පදිංචි කිරීමට අවස්ථාව සැලසී තිබේ.

මුල සිට පටන්ගැනීම

ආණ්ඩුව හමුදාව යටතේ පැවති ඉඩම් යම් ප‍්‍රමාණයක් නිදහස් කිරීමට කටයුතු කළත් එම ඉඩම් ලැබී තිබෙන්නේ ඉඩම් නොමැතිව සිටින ජනතාවගෙන් අතළොස්සකට පමණි. නිදහස් කර තිබෙන ඉඩම්වල නැවත පදිංචියට ගොස් සිටින පවුල් ද මේ වන විට ගැටලූ රාශියකට මුහුණ දී සිටිති.
2015 මාර්තු සිට නොවැම්බර් දක්වා තෛලිප්පලෙයිහි ඉඩම් අක්කර 658ක්ද දෙසැම්බර් මාසයේදී ඉඩම් අක්කර 479ක්ද නිදහස් කර තිබේ. නිදහස් කරනු ලැබ ඇති ඉඩම්වල එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහා කොමසාරිස්  කාර්යාලය (UNHCR) මගින් තාවකාලික නිවාස තුන්සිය ගණනක් තනා ගැනීම සඳහා මුදල් ආධාර ලබා දී තිබේ. එම නිවෙස්වල ගල් බැඳීම සඳහා රු. 13,000 බැගින් ලබා දී ඇති අතර වහළ සෙවිලි කිරීම එම පවුල් විසින් සිදු කර ඇත. දැනට පවුල් 10 ක් ‘වර්ධනවිලා’ ග‍්‍රාමයේ ඉඩම්වලට පැමිණ පදිංචි වී සිටියි. ඩී. නාගේන්ද්‍රන් නේසම් (52) පවසන්නේ 1990 දී ගම අතහැර ගොස් සුන්නාගමයිලනි, අලෙවම්, උරුම්පිරයි සහ මට්ටුවිල් යන කඳවුරුවල වරින්වර සිටි බවයි.
‘‘අවුරුදු 26 ක්ම අපි හිටියේ උරුම්පිරායි කඳවුරේයි. දැන් ඒක දාලා එන එකත් දුකයි. 2015 අපේ‍්‍රල්වල අපි මෙතනට එනකොට සේරම කැලෑව වෙලයි තිබුණේ. සරප්පු 21/2 ක් තිබුණු ඉඩම අපිම මැනලා ගත්තෙ. මුලින්ම හිටියෙ තල්කොළ වලින් හදපු පැල්පතක. නොවැම්බර් මාසෙ තමයි මේ නිවාස දුන්නෙ.’’
ඇතැම් ඉඩම්වල වැට මායිම් දමා, ඉදිකර තිබෙන නිවාස වසා දමා ඒවායේ හිමිකරුවෝ වෙනත් ස්ථානවල පදිංචි වී සිටිති. මෙහි පැමිණ පදිංචි වී සිටින පවුල්වලට කිසිදු පහසුකමක් නොමැති වීම ඊට හේතුවයි. ජලය හා විදුලිය නොමැතිවීම ප‍්‍රධාන ගැටලුවකි. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ජීවනෝපායයන් පවත්වාගෙන යාමට ද නොහැකි වී තිබේ. ඊට ප‍්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම ඉඩම්වලින් කොටසක් තවමත් හමුදාව භාරයේ පැවතීමයි.
‘‘අපිට වගා කරන්න තියෙන ඉඩම් තවමත් හමුදාව අතේ. මේ ඉඩම්වලින් යන්න කලින් අපි එළවළු වගා කළේ ඒ ඉඩම්වල. අපි බද්දට අරගෙන තමයි ඒ කාලෙ වගා කළේ. තවම අපිට විදුලිය, වතුර නැහැ. කිලෝ මීටර් කාලක් විතර යන්න  ඕනෙ වතුර ගේන්න.’’
ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා තම අමාත්‍යංශය මගින් ව්‍යාපෘති කිහිපයක් දියත් කර තිබෙන බවත් ඒ සඳහා රජය මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ඇති බවත් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය නීතිඥ ඞී. ඇම්. ස්වාමිනාදන් සඳහන් කළේ ය.

අලුත් බලාපොරොත්තු

නව නිවාස 3140 ක් ඉදිකිරීම සඳහා එක් නිවෙසකට රු. 800,000 බැගින් වෙන් කර තිබේ. නිවාස 720 ක් අලුත්වැඩියා කිරීම සඳහා එක් නිවෙසකට රු. 200,000 බැගින් වෙන් කර ඇත. ජීවනෝපායයන් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් 3000 දෙනාට මූල්‍යාධාර ලබා දෙමින් තිබේ. ඒ හැරෙන්නට සුබසාධන මධ්‍යස්ථාන නඩත්තු කිරීම, ඉඩම් සුද්ද පවිත‍්‍ර කිරීම, යටිතල පහසුකම්, ජලය, වැසිකිළි පහසුකම් සැපයීම මෙන්ම තාවකාලික නිවාස සකස් කිරීම සඳහා වන ව්‍යාපෘති සියල්ලටම රු. 3,298,349,900 ක මුදලක් රජය වෙන් කර ඇත.
‘‘කුඩා නිවාස බඳින්න අපේ අමාත්‍යංශයෙන් එක් අයෙකුට ඩොලර් 1000 ක මුදලක් ලබා දෙනවා. පසුව රු. 25,000 කුත් 10,000කුත් මාස්පතා ලබා දී තිබෙනවා. UNHCR එකෙන් තාවකාලික නිවාස තමයි ලබා දෙන්නෙ. ඊට වඩා ලොකු ව්‍යාපෘතියක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එය සාර්ථක වුණොත් හැමෝටම නිවාස දෙන්න පුළුවන්. නිවාස 3000 ක් හදන ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘති සඳහා මුදල් ලැබී තිබෙනවා.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේ දී අනෙකුත් ඉඩම් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා පවත්වමින් තිබෙන අතර තව සති දෙක තුනකින් ප‍්‍රතිචාරයක් ලබා ගත හැකි වනු ඇති බවය.
හමුදාව අත්පත් කරගෙන ඇති, මහජනතාවගේ ඉඩම් නැවත ලබා දෙන බවට ආණ්ඩුව 2015 ඔක්තෝබර් මාසයේදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී සහතික විය. පමා වීම්, පසුබැසීම් ඇතත්, ජාත්‍යන්තර ප‍්‍රජාව, ජනාධිපතිවරයා ඇතුළු රජය කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇතැයි කිව නොහැකිය. කෙතරම් බලවත් දුෂ්කරතා මැද වුවද උතුරේ ජනතාවගේ විශ්වාසය සම්බන්ධයෙන්ද පෙනෙන්නට ඇති සත්‍යය එයයි.

/camp-3
සමුගන්නට සූදානම් වන මොහොතේ තනබාලසිංහම් විජයරාජා මෙසේ පැවසුවේය.
‘‘කලින් ජනාධිපති ඉදිද්දි අපිට හිඟා කන්න වෙලයි තිබුණේ. අලුත් ජනාධිපතිතුමා නිසයි අපි මෙහෙමවත් ඉන්නෙ. එතුමා අපේ ඉඩම් නිදහස් කළොත්. අපි හැමදාම එතුමව තියා ගන්නවා.’’