Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අන්තවාදය පිටුදකින්න මුස්ලිමුන්ගේ දෙවුර මත
පැටවී තිබෙන වගකීම සුවිශාලයි

අන්තවාදයට විසඳුම තවත් අන්තවාදයකින් උදාකර ගත නොහැකි අතර, විවේචනයට, සැක කිරීමට සහ පලිගැනීමට වඩා අවබෝධකර ගැනීම එහිදී වැදගත් ය. අන්තවාදි තර්ජන පරාජය කිරීමට සියලූම දෙනා එක් වී කටයුතු කිරීම කාලීන අවශ්‍යතාව බව කොළඹ, ඉස්ලාමීය දේවධර්ම ආචාර්ය, හෂිමි පදනමේ සභාපති සහ අන්තර් ආගමීක සාම පදනමේ භාණ්ඩාගාරික මවුලවී ලෆීර් මදනි (58) කියයි.

03.07.2019  |  
ගම්පහ දිස්ත්‍රික්කය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් දෙමසක් ගතවී තිබෙන මේ අවස්ථාවේදි ඒ පිළිබඳ ඔබේ විවරණය කෙබඳුද?

කාලය දෙමසක් වුවත් නොසිතු ආකාරයෙන් එවැනි ඛේදවාචකයක් සිදුවීම ගැන අපි තවමත් විශාල කම්පනයකින් පසුවෙනවා. ඒ කම්පනය, කම්පාව දුරුවීමට තවත් බොහෝ කාලයක් ගතවෙයි. මේ ඛේදවාචකය හරහා, මා විශ්වාස කරනවා මුස්ලිම්වරුන්ගේ දෙවුර මත විශාල වගකීමක් පැටවී තිබෙනවා කියා. සිදුවී ඇති වැරදි තවත් සිදුනොවන ලෙසට නිවරැදිකර ගැනීම සඳහා බරපතල ලෙසට ආපසු හැරී බැලීමකින් කටයුතු කළ යුතුව තිබෙනවා. අන්තවාදයට පිළිතුර විය යුත්තේ තවත් අන්තවාදයක් ක‍්‍රියාත්මක කිරීමත් නොවෙයි. කාදිනල්තුමන් කියන්නා සේ මේ අන්තවාදයෙන් මිදෙන්නට අපි සියලූම දෙනා එකතුවී සටන් කළ යුතු වෙනවා.

බහුතර කිතුනු ජනතාව ඇතුළු පොදු මහජනතාව ඉලක්ක කර එල්ල කළ මේ ප‍්‍රහාරය ඔබේ ජනතාව දකින්නේ කෙසේද?

ෂාධි කියා එක්තරා පර්සියානු කවියෙක් සිටිනවා, ඔහු කියා තිබෙනවා, මිනිසා එක් ශරීරයක් වගෙයි. එක් කොටසකට තුවාල වුවහොත් අනෙක් කොටස්වලටද වේදනාව දැනෙනවා කියා. ඒ වගේ කිතුනුවකු මුණගැහුණුම අපට යම් ආකාරයක වේදනාකාරි හැඟීමක් දැනෙනවා. මේ කම්පනය කවදා නිම වෙයිද කියන්න බැහැ. මේ පහරදීම් හා බහුතර මුස්ලිම් ප‍්‍රජාව අතර සම්බන්ධයක් නැති බව දන්නවා. බෝම්බකරුවන් පොලඹවා ඇති බව නැවතත් අපි කියනවා. ඔවුන් අපගේ ප‍්‍රජාවේ කොටසක්. එය ප‍්‍රතික්‍ෂ්ප කළ නොහැකියි. අප කෙරෙහි සමාජය දක්වන අගෞරවය, අවමානය, සැකය සාධාරණයි. ප‍්‍රහාරකයන් සමඟ අපේ සම්බන්ධයක් නැතැයි කියා මෙයින් අපට පැනයා නොහැකියි. ඒ නිසා මේ ඛේදවාචකයේ බරපතලකම දෙගුණයක්ව අපිට දැනෙනවා. අනෙක් අතට එක් කණ්ඩායමක් එසේ කළා යැයි කියා සමස්ත මුස්ලිම් ප‍්‍රජාව ම සැක කිරීම සහ ඔවුන්ට දඩුවම් කිරීමත් අසාධාරණයි.

/

කිතුනු භක්තිකයින් සමඟ මුස්ලිම්වරුන්ගේ ඇති සම්බන්ධය විමසිය හැක්කේ කවර අයුරකින් ද?

දේවධර්මවාදි දෘෂ්ටිකෝණයෙන් බලන විට අපි දෙගොල්ලන් ම එකම දෙවියන්ට වන්දනා කරනවා. අල් කුරානය එය ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කරනවා. අල් කුරානය තුළ ආබ‍්‍රහම්, ජාකොබ්, ජෝශප්, මෝසස් සහ ජේසු ගැන කථාකරන ඡේද ඕනෑතරම් ගෙනහැර දක්වන්නට පුළුවන්. මුස්ලිම්වරුන් මේ කී සියලූ අනාගත වක්තෘවරුන් අනුගමනය කළ යුතුයි. එසේ නොකරන මුස්ලිම්වරුන් පරිපූර්ණ මුස්ලිම්වරුන් නොවෙයි, ඔවුන් ඉස්ලාමීය ඇදහිල්ලේ කොටසක් විතරයි. යම් යම් වෙනස්කම් තිබුණත් අප දෙපාර්ශවය ම අදහන්නේ දෙවියන් හඳුන්වා දුන් ආගමක්. අපට කිසි කලෙක කිතුනුවන් සමඟ කිසිම ආකාරයක ආරෝවක් තිබුණේ නැහැ. අදටත් ඒ බහුතර මුස්ලිම්වරුන් සහ කිතුනුුවන් අතර වන සුහද බැඳම එලෙසමයි. එය පළුදු නොවී ඉදිරියටත් රැකගැනීමට අප ක‍්‍රියා කළ යුතුයි.

මුස්ලිම්වරුන් අන්තගාමී නොවී සිටීමට උත්සාහ කළ යුත්තේ කෙලෙසින් ද?

අප අපම නැවත ඇගයීමකට ලක්කළ යුතුයි. වැරැද්ද කොතැනද යන්න අවබෝධකර ගත යුතුයි. එසේ නොමැතිව මේ අරබයා ක‍්‍රියාත්මක වන ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ අර්ථවත් වන්නේ නැහැ.


අපගේ බොහෝ දෙනෙක් ”ඔබට වඩා මම හොඳයි”, ”ඔවුන්ට වඩා අපි තමයි උසස්” යන අධිමානසිකත්වයෙන් පෙළෙනවා.

මා වසර 20ක් පුරාවට, යාපනය, මඩකළපුව, කොළඹ, හම්බන්තොට යන ප‍්‍රදේශවල බෝම්බ පුපුරා යනවිටදී එක්තරා කණ්ඩායමක් සමඟ, සමගිය බිහිකිරිමෙහිලා කටයුතු කරමින් සිටියා. නමුත් මට හැඟෙන්නේ සම්පුර්ණ වශයෙන් ම අප අවංක නැති බවයි. අප සැබවින් ම, අනෙකාගේ වැරදි සෙවීම පමණක් නෙවෙයි, එකිනෙකා තේරුම් ගැනීම පටන් ගතයුතුයි.

අපගේ බොහෝ දෙනෙක් ”ඔබට වඩා මම හොඳයි”, ”ඔවුන්ට වඩා අපි තමයි උසස්” යන අධිමානසිකත්වයෙන් පෙළෙනවා. මේ ප‍්‍රවේශය ඉතා භයානකයි. ඉස්ලාම් ධර්මය තුළ කථාකරන මනුෂ්‍යත්වයේ හැඟීම, සාමයේ හැඟීම, සහෝදරත්වයේ හැඟීම යනාදිය නැවත මේ පිරිසට සිහිපත් කර දිය යුතුයි.

අපගේ තරුණ තරුණියන් ඉස්ලාමීය රාජ්‍යයේ හෝ වෙනත් කිසිදු කණ්ඩායම්වල ගොදුරු බවට පත්නොවෙන්නට, ඔවුන්ගේ ප‍්‍රචාරණ කටයුතුවලට නොරැවටෙන ලෙසට වග බලා ගැනීම අද අපේ යුතුකමයි. මුස්ලිම් තරුණ තරුණියන් රැඩිකල්වාදි මුලිකාංගවලින් සමන්විත දේශනවලින් වෙනතකට යොමුවීම වළක්වා ගැනීම අපගේ ප‍්‍රමුඛ කාර්යයක් විය යුතුයි. මේ සඳහා අප තවමත් ප‍්‍රමාද වැඩි නැහැ.

/

සහජීවනය ඇතිකිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම කෙසේ කළ යුතුදැයි මුස්ලිම්වරුන් සිතනවා ද?

මුස්ලිම් සමාජය තවමත් කම්පනයක් සහිතව සිටිනවා. වැරැද්ද කුමක්ද යන්න වටහාගෙන එයින් හඟවන සංඥාව කුමක් දැයි හඳුනා ගත යුතුයි. මරාගෙන මැරෙන බෝම්බකරුවකු නිර්මාණය කිරීම පහසු නැහැ. එයට විරුද්ධව සටන් කිරීම ද පහසු නැහැ. මුස්ලිම්වරුන්ට එක් රැයකින් අන්තවාදය තුරන් කළ හැකි යැයි කීම පහසු නැහැ. අන්තවාදයේ අමු ද්‍රව්‍ය තවමත් ඇතැම් මුස්ලිම්වරුන් අතර පවතින බව අප විසින් පිළිගත යුතුව තිබෙනවා. ඒ යථාර්ථය පිළිගෙන ඉදිරියට යා යුතුයි.

මුස්ලිම් ප‍්‍රජාව ගැඹුරු ස්වයං ඇගයීමක් වෙත යායුතුව තිබෙනවා. ඉස්ලාම් ධර්මය නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනීම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිම මේ වන විට යම් යම් කණ්ඩායම් අතර, පුද්ගලයින් අතර සංවාදයට ලක්වී තිබුණත් මේ තත්ත්වය බහුතර ප‍්‍රජාව අතරට ළඟා වී නැහැ. මුස්ලිම්වරුන් ප‍්‍රමුඛ රටේ සෑම පිරිසක් වෙත ම මේ පණිවිඩය සමීප කළ යුතුයි.
හිටපු ඉන්දියානු දාර්ශනිකයෙක්, කවියෙක්, ප‍්‍රතිසංස්කරණවාදියෙක් වු අල් අමාන් ඉක්බාල් ”ඉස්ලාමයේ ආගමීක චින්තනය ප‍්‍රතිසංස්කරණය කිරීම” නමින් 30 – 40 දශකයේදී ලියා පළ කළ කෘතිය ශ‍්‍රී ලංකා මුස්ලිම් සමාජ සන්දර්භය සමඟ නැවත ගැළපීම හා අර්ථ නිරූපණය කිරීම වඩාත් උචිත දෙයක් සේ මා දකිනවා. වත්මන් යුගයේ මුස්ලිම් සමාජයේ කාර්යභාරය අවබෝධ කරගැනීම සඳහා මුස්ලිම් ප‍්‍රජාවට මහත් සේ අදාළ ඒ පොත එදා මෙන් ම අදත් ගුරුකොට ගත යුතුයි.