Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

බහු වාර්ගික සමාජයක් ජීවත් වන රටක
විවිධ අනන්‍යතා පිළිගත යුතුයි

ඉස්ලාම් ධර්මය කිසිසේත්ම අන්තවාදය අනුමත නොකරන්නකි. සාමය අගය කෙරෙන ආගමක් වන ඉස්ලාමයේ දිවි නසා ගැනීම සපුරා තහනම් ය. සිකුරාදා දිනවල ජුම්මා දේශනාවලදී මවුලවිවරුන්  දේශනා කරන්නේත් හොඳ දේ ම පමණෙකැයි දේශ කීර්ති ෆාතීමා සිමාරා අලි කියයි.

11.08.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් සමාජය වෙත එල්ල වන දෝෂාරෝපණ ගැන ඔබේ අදහස කුමක්ද?

මෙම ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් කාන්තාවක් ලෙස මා දැඩි ලෙස මානසික පීඩනයට පත් වුණා. ඔවුන් මේ ප‍්‍රහාරය ආගමේ නාමයෙන් සිදුකළ බව ප‍්‍රසිද්ධ වුණා. මෙම ප‍්‍රහාරය එරෙහිව සමස්ත මුස්ලිම් ප‍්‍රජාවම තමන්ගේ දැඩි කනගාටුව, කෝපය සහ ශෝකය ප‍්‍රකාශ කර තිබෙනවා. ඔවුන් ප‍්‍රහාරයෙන්  වියෝවට පත් සහ විපතට පත් පවුල්වලට තමන්ගේ ශෝකය පළ කර සිටි අතර ඔවුන් ගෙන් සමාව ද අයැද සිටියා. මේ තත්ත්වය තුළ මුස්ලිම් ජාතියට එරෙහිව ප‍්‍රචණ්ඩ සහ මැර කි‍්‍රයා මෙන්ම දේපළ හානි කිරීම්  හදිසියේ සිදුවූ දේ බව පෙනෙන්නට නැහැ. සිද්ධියෙන් විපතට පත් කි‍්‍රස්තියානි සමාජය ඉතා සාමාකාමීව සිටි බව පැහැදිලි සත්‍යයක්. වෙනත් පිරිසක් මෙය සිදු කළ බවට තොරතුරු හෙළි වී තිබෙනවා. මෙය මුස්ලිම් සමාජය තුළ දැඩි වේදනාවක් සහ පීඩනයක් ඇති කර තිබෙනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමස්ත මුස්ලිම් සමාජය හා කිසිම සම්බන්ධයක් නැහැ.

අන්තවාදී ආගමික පිපාසයෙන් පෙළෙන්නන් හා කණ්ඩායම් හඳුනාගන්නට මුස්ලිම් සමාජයට නොහැකි වූයේ ඇයි යන ප‍්‍රශ්නය බොහෝ දෙනා නඟනවා. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක් ද?

පෙර සිටම එම කණ්ඩායම් හඳුනාගෙන ආරක්ෂක අංශවලට මුස්ලිම් සමාජයේ පිරිස් දැනුම් දුන් බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඉස්ලාම් ධර්මය කිසිසේත් ම මෙවන් කි‍්‍රයා අනුමත කරන්නේ නැහැ. දිවි නසා ගැනීම  ඉස්ලාම් ආගම අනුමත කළ එකක් නොවෙයි. මේ පිළිබඳ සිකුරාදා ඇතුළු අනිකුත් දිනවල පවත්වන දේශනාවලදීත් සංවාදයට බඳුන් වෙනවා. අන්තවාදය ඉස්ලාම් ආගමේ නැහැ. අන්තවාදී කි‍්‍රයාවන්වලටත් ඉස්ලාම් ආගමේ ඉඩ නැහැ.  මෙම ප‍්‍රහාර එල්ල කළ අය මොළ සේදීමකට ලක් වූ පිරිසක් වෙන්නට පුළුවන්. මගේ මතය අනුව ඔවුන් නමින් පමණක් මුස්ලිම් වූවාට ඉස්ලාම් ධර්මය අදහන්නන් පිරිසක් නොවෙයි.


ඇඳුම් නිසා කාන්තාවන් පමණක් නොව සංස්කෘතියත් ආරක්‍ෂා වෙනවා. නැත්නම් ශ‍්‍රී ලංකාවේ  අනන්‍යතාවයත් අපේ සංස්කෘතියත් විනාශ වී යාමට ඉඩ තිබෙනවා.

ජාතික ආරක්ෂාව ගැන සලකා මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ සීමා පනවා තිබෙනවා. මේ සීමා පැනවීම ගැන කතා කළොත්?

බහු ජන සමාජයක් ජීවත් වන රටක මුල් තැන ඇඳුමටයි කියන එක  කිසිවෙකුට ප‍්‍රතික්‍ෂෙප කරන්න බැහැ. මුලින් පිටින් සහ ඊට පසුවයි අනෙකුත් ඒවා බලන්නේ. සියලූම දෙනා එක විදියෙන් ජීවත් වෙන්න නියෝග කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි. එවිට එය බහු ජන සමාජයත් පවතින රටක් වන්නේ නෑ. මුස්ලිම් කාන්තාවන් වන අපට අපේ ශරීරයේ් වැසිය යුතු කොටස් එළියට පෙනෙන ආකාරයේ ඇඳුම් අඳින්නට බැහැ. එය අනිත් පිරිමින්ගේ හැඟීම් නොමඟ යැවීමක් වනවා. ඉස්ලාම් ධර්මය අපගේ ආරක්‍ෂාව සලකලායි එහෙම ඇඳුම් අඳින්නට උපදෙස් දී තිබෙන්නේ. මෙය බල කිරීමක් නෙවෙයි. මුහුණ ආවරණය කිරීම රටටත් සමාජයටත් තර්ජනයක් නම් ඉන් වැලකී සිටින්න පුළුවනි.

බහු ජන සමාජයක් ජීවත් වෙන මේ රටේ අනිකුත් වාර්ගික කාන්තාවන්ට ආරක්‍ෂාව නැහැ කියලද කියන්නේ?

කාන්තාවන් කියන්නේ අපේ ඇස් දෙකට සමාන ලෙස සැලකිය හැකි අය. කාන්තාවන් මැණික්වලට වඩා අගයෙන් ඉහළයි. ඒ නිසා කාන්තාවන්ගේ ශරීරය මෙන් ගෞරවය ද ආරක්‍ෂා කළ යුතුයි. ඒ නිසයි මුස්ලිම් සමාජය ඇඳුමට මුල් තැන දෙන්නේ. රටේ සිංහල, ද්‍රවිඩ ජනතාව අඳින්නේ ඔවුන්ට ආවේණික සංස්කෘතික ඇඳුම් බටහිර ඇඳුම්. දෙමළ ජනතාවට අයත් පාරම්පරික සල්වාර් තාවනී වැනි ලස්සන ලස්සන ඇඳුම් ක‍්‍රම දැන් උත්සවවලට පමණක් සීමා වෙලා.  ඔවුන් තමන්ට ආවේණික සංස්කෘතික පිළිවෙත් අනුගමනය කළා නම් ඔවුන්ගේ සංස්කෘතියත් ආරක්‍ෂා වෙනවා. ඇඳුම් නිසා කාන්තාවන් පමණක් නොව සංස්කෘතියත් ආරක්‍ෂා වෙනවා. නැත්නම් ශ‍්‍රී ලංකාවේ  අනන්‍යතාවයත් අපේ සංස්කෘතියත් විනාශ වී යාමට ඉඩ තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ රජයේ සේවකයින්ට ඇඳුම් පිළිබඳ සීමා පනවමින් චක‍්‍රලේඛ පවා නිකුත් කෙරුණා. ඒ ගැන ඔබ පවසන්නේ කුමක්ද?

මෙම සීමා කිරීම්වලින් පෞද්ගලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවෙනවා. රටේ පවතින තත්ත්වය තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නට රජය භාවිත කරන බවයි මා පවසන්නේ.

බහුජන සංස්කෘතියක් පවතින රටක දැඩි සංස්කෘතිකවාදී පිළිවෙත් අනුගමනය කෙතරම් දුරට ප‍්‍රායෝගික ද? මෙවන් පසුබිමක ඔවුන්ගේ හැසීරීම කෙබඳු විය යුතු ද?

අන්තවාදය කියන චෝදනා මුස්ලිම්වරුන් වෙත යොමුකරන ඊතලයක් වෙලා. සංස්කෘතිය කියන්නේ සියලූම සමාජවලට අයත් අනන්‍යයතාවක්. කි‍්‍රස්තියානි ජාතිකයන්ට කුරුසිය, සිංහල අයට ඔසරිය වගේ, මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ඇඳුම්. මෙය කොහොම ද අන්තවාදයක් වෙන්නේ කියලා මට නම් වැටහෙන්නේ නැහැ. රජයේ නියෝගයෙන් දැන් මුහුණ ආවරණය කරන්නේ නැහැ. මෙය සියලූ දෙනාම අනුගමනය කරනවා. බහුතර මුස්ලිම්වරුන් අතර අන්තවාදයක් හෝ දැඩි මතවාදයක් නැහැ. එහෙම ඔවුන් හැසිරෙනවා නම් ඔවුන් හරියට ඉස්ලාම් ධර්මය හඳුනා ගෙන නැහැ. ඉස්ලාම් ධර්මය ඉතා සරලත්වය මත පදනම් වුණු ආගමක්.

/

මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමට නම් පුද්ගලික වශයෙන් පුරවැසියන්ට පැවරෙන වගතීම කෙබ`දු දැයි ඔබ සිතනවා ද?

ගම දෙකට බෙදෙනවාට බලාගෙන ඉන්න පිරිස සතුටුයි. එවැන්නන්ගේ කුමන්ත‍්‍රණවලට අපි හසුවිය විය යුතු නෑ. අවධානයෙන් සිටීමයි වැදගත්. කීප දෙනෙක් හැර සියලූම දෙනා හොඳ අවබෝධයකින් ඉන්නවා. අන්තවාදීන් කියා මුස්ලිම්වරුන්ට චෝදනා කරන පිරිසයි අන්තවාදීන් විදියට හැසිරෙන්නේ. එහෙම හැසිරෙන පිරිස සාමකාමීව ක‍්‍රියා කළා නම් උද්ගත වී ඇති ප‍්‍රශ්න සහමුලින්ම නැති කරන්න පුළුවන්. සියලූම දෙනා තම තමන් ගේ හෘදය සාක්ෂිය පිළිබ`ද අවංකව ම සිතා බැලීම මෙතැනදී අවශ්‍යයි.

අන්තවාදීන් කියා මුස්ලිම්වරුන්ට චෝදනා කරන පිරිස අන්තවාදීන් විදියට හැසිරෙනවා කියා  ඔබ පවසනවා. ඒ පිරිස කවුරුන් ද?

මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන මුස්ලිම්වරුන්ට පහර දෙන, චෝදනා කරන, ඒ වගේම මුස්ලිම්වරුන්ගේ ඇඳුම් පිළිබඳ සීමාව ඉක්මවා කටයුතු කරන කවුරුන් හෝ වේවා මේ පිරිසට අයිති වෙනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලාංකික ජනතාව සිය ඉවසීමේ සීමාව කෙතෙක් දුරට රැක ගෙන සිටියාදැයි ඔබ නිරීක්ෂණය කළා ද? ඉවසීම කෙතරම් දුරට තිබෙනවාද?

මැල්කම් රංජිත් කාදිනල් පියතුමාගේ මග පෙන්වීම යටතේ ක‍්‍රිස්තියානි ජනතාව තමන්ගේ ඉවසීම ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. ඒ වගේ අනිත් පිරිසත් කටයුතු කළා නම් එය රජයටත් ආරක්‍ෂක අංශයටත් ප‍්‍රයෝජනවත් දෙයක් වේවි. දේපළ හානි මෙන්ම අවදානම් තත්ත්වවලදී මුස්ලිම් සමාජය ඉතාමත්ම ඉවසීමෙන් කටයුතු කරනවා. රටේ සාමය ශක්තිමත් වෙන්න නම් ඉවසිම සහ සාමුහිකව කටයුතු කිරීම ඉතා වැදගත්.