Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජීවිතයක් ආරක්ෂා කිරීමේදී
වාර්ගික වෙනස්කම් වැදගත් නෑ  

අවයව ලබාදීමේදී හෝ ලබාගැනීමේදී අදාළ පුද්ගලයන්ගේ ආගම හෝ ජනවාර්ගිකත්වය පිළිබඳ සැලකෙන්නේ නැත. මිනිසුන්ට අවයව අවශ්‍ය වන්නේ පැවැත්ම සඳහා යි. මනුෂ්‍යයන් වශයෙන්, සියලු දෙනා එක සමාන වේ. මනුෂ්‍යත්වය සියල්ල අභිබවා නැගී සිටී” යයි ශ්‍රී ලංකා මානව පටක බැංකුවේ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමක ද මෙල් කියයි.

28.09.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා මානව පටක බැංකුව ආරම්භ කළේ කවදා ද?

  වෛද්‍ය හඩ්සන් ද සිල්වා විසින් 1996 දී ස්ථාපිත කරන ලද  ශ්‍රී ලංකා මානව පටක බැංකුව, ලංකාවේ ප්‍රමුඛ අවයව දායක ආයතනයක්වන අතර අක්ෂිදාන සංගමයේ අනු-ශාඛාවක්. ශරීර අවයව දන්දීම සඳහා ගබඩා කිරීමේදී හා සකස් කිරීමේදී, රෝගීන්ගේ හා වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවන් හි ප්‍රමුඛත්වය මත පදනම්ව අප විසින් නොමිලේ මෙම සේවය සපයනු ලබනවා. මිනිසුන්ගේ අවයව ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, යාපනය හා මුලතිව් වගේ දුර ප්‍රදේශවලින් පවා ජනතාව මෙහෙ එනවා. සිංහල, දෙමළ හෝ මුස්ලිම් භේදයක් නැතුව, අපි ඔවුන් සියලු දෙනාටම උපකාර කරනවා.

  අවයව දන්දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාව කෙතරම් දුරට දැනුම්වත් ද?

  බෞද්ධ ජනතාව සැමවිටම පුණ්‍ය කටයුතුවලට මූලිකත්වය දෙනවා. ලංකාවේ සෑම ආගමක්ම අවයව දන්දීම අගයකොට සලකනවා. අපේ ජනතාව අවයව දන්දීමේ වැදගත්කම පිළිබඳ දැනුම්වත්. අවයව ලබාගැනීමේ අරමුණෙන් අප වෙත එන කිසිම අයෙකුගේ ආගම හෝ ජනවාර්ගිකත්වය ගැන කවදාවත් අපි විමසා බලන්නේ නෑ. යමෙකුගේ ජීවිතයක් බේරා ගැනීමේ ක්‍රියාවලියේදී, ආගමට හෝ ජනවාර්ගිකත්වයට කිසිම ඉඩක් නෑ. සියලු දෙනාම මනුෂ්‍යයින්. උතුරේ ජීවත්වන පුද්ගලයෙකුට, දකුණේ හෝ නැගෙනහිර ජීවත්වන පුද්ගලයෙකුගේ අවයව ලබාගන්න පුළුවන්. එය, අපිට වගේම ඔවුන්ටත් ප්‍රශ්නයක් නෑ.


දෙමළ හා මුස්ලිම් පරාර්ථකාමී ජනතාවත් අපිට උපකාර කරලා තියෙනවා.

අනතුරකට ලක්ව තමන්ගේ පාදය බිඳීමට ලක්වුණු මුස්ලිම් පුද්ගලයෙක් ගැළපෙන පාදයක් බලාපොරොත්තුවෙන් අපි ළඟට ආවා. ඔහු අපගේ සේවය ඉතා ඉහළින් අගය කළා වගේම විශාල ධන පරිත්‍යාගයක් ද කළා. දෙමළ හා මුස්ලිම් පරාර්ථකාමී ජනතාවත් අපිට උපකාර කරලා තියෙනවා.

   අවයව පරිත්‍යාග කිරීම ගැන තවමත් දැනුම්වත් නොමැති ජනතාවට ඔබට මොකක්ද කියන්න පුළුවන්?

  අවයව පරිත්‍යාග කිරීම මඟින් ජීවිතයක් බේරගන්න පුළුවන්. මරණය කියන්නෙ පිරිමැසිය නොහැකි අහිමිවීමක්. රෝගී පුද්ගලයෙකුට අවයව දන්දීම මඟින්, එම පවුලට සැනසීමක් ලබාදෙන්න පුළුවන්. වකුගඩු, අක්මාව, පෙනහළු, ඇස්, අස්ථි, මාංශ පේශි, ගාත්‍රා, දණිස් කටු හා හිස්කබල හා සම්බන්ධ කොටස් වැනි අවයව රාශියක් අපේ බැංකුවේ ගබඩාකරලා වගේම සංරක්ෂණය කරලා තියෙනවා. රෝගීන්ගේ අවශ්‍යතාව මත අපි ඒවා නොමිලේ ඔවුන්ට ලබාදෙනවා.

ඝාතනය කළ, සියදිවි හානිකරගත්, බෝම්බ පිපුරමකින් හෝ යුද්ධයෙන් මියගිය හෝ වෛරස්, දිලීර, බැක්ටීරියා රෝග මඟින් මියගිය, පිළිකා, ක්‍ෂයරෝගය සහ තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ අවයව අපි ලබාගන්නේ නෑ. හදවත් රෝග, දියවැඩියාව හෝ මොළය ආශ්‍රිත රෝගවලින් මියගිය පුද්ගලයන්ගේ අවයව අපි ලබාගන්නවා. පරිත්‍යාග ලෙස අපිට ලැබෙන්නේ ඉතා අඩු අවයව ප්‍රමාණයක්.

මහජනයාට අවයව පරිත්‍යාග කරන්න පුළුවන් කොහොමද?

  මරණයෙන් පැය 4ක් ඇතුළත ඇස් හා මරණයෙන් පැය 12ක් ඇතුළත අනෙකුත් අවයව අපිට ලැබිය යුතුයි. ඇස් පරිත්‍යාග කිරීමට වයස් සීමාවක් නොමැත.   අනෙකුත් අවයව දන්දීමේදී වයස් සීමාව අවුරුදු 15-70 අතර විය යුතු යි. අවයව පරිත්‍යාග කිරීමේදී, අදාළ පුද්ගලයා ජීවත්ව සිටියදී ලියන ලද ලිපිය හෝ රෝගී පුද්ගලයා විසින් තම සමීප ඥාතියෙකුට ලබාදුන් අවසරය අවශ්‍යයි. බොහෝවිට, කාන්තාවන් ස්වේච්චාවෙන් අවයව ලබාදීම සිදුකරනවා. කාන්තාවන් තම ස්වාමියාගේ හෝ සමීපතමයන්ගේ අවයව දන්දීමෙන් තවත් පුද්ගලයෙකුට ජීවිතයක් ලබාදියහැකිය යන උදාර අරමුණ සහිතව කටයුතු කරනවා.

දිළිඳු පවුලක පුද්ගලයෙකු අවයව දන්දෙන්නේ නම්, එම පරිත්‍යාගය වෙනුවෙන් අපි එම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබාදෙනවා. මළසිරුර අපවෙත ලැබුන විට, අපි අදාළ අවයව ඉවත්කරගෙන අවසන් කටයුතු ඔවුන්ගේ පවුලේ චාරිත්‍රවලට අනුකූලව කරගෙන යාමට ඉඩදෙනවා.

   වර්තමානයේ පුද්ගල ශරීරයේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ කුමන අවයව කොටස් සඳහාද?

  අස්ථිවලට ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා, බහුල ලෙස සිදුවෙන මාර්ග අනතුරු වගේම මිනිසුන් ගස්වලින්, ගොඩනැගිලිවලින් වැටීම නිසා. එවගේම, අස්ථි හා සම්බන්ධ රෝගත් තියෙනවා. වෛද්‍යවරු, අසරණවූවන් වගේම රෝගීන් බිඳුණු අස්ථි ප්‍රතිස්ථාපනය කරන්න අපි ළඟට එනවා. මසකට එවැනි ඉල්ලීම් 80කට වඩා අපිට ලැබෙනවා.

  ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේ දී ඔබගේ කාර්යභාරය කෙසේද?

  යුද සමයේ, විවිධ අභියෝග මැද, අපි උතුරට ගියා රෝගීන් බේරගන්න. අවයව, ඉතා ආරක්ෂිතව උතුරට ප්‍රවාහනය කළා. මුහමාලේ මුරකපොල්ල හරහා ඉතා ඉහළ ආරක්ෂාවක් යටතේ අවයව ප්‍රවාහනය කරන්න සිදුවුණා වගේම ඇතැම් අවයව හානියට ලක්වෙලා තිබුණා. රජයේ ආරක්ෂක අංශ හා LTTE යන පාර්ශවයන් දෙක අතර ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීම අපිට පැවරුණ බරපතල රාජකාරියක් වුණා. ඇතැම් අවස්ථාවල, අපේ පැහැදිලිකිරීම්වලින් පසුව කණ්ඩායම් දෙකම එකඟ වුණා අදාළ රෝගීන්ට ආරක්ෂිතව අවයව ගෙනයන්න. මේ ආකාරයෙන්, අපිටත් හැකිවුණා මේ දෙපාර්ශවය වාර්ගිකමය වශයෙන් සම්බන්ධ කිරීමේ මානවවාදී පාලමක් ලෙස කටයුතු කරන්න.


දෙපාර්ශවය වාර්ගිකමය වශයෙන් සම්බන්ධ කිරීමේ මානවවාදී පාලමක් ලෙස කටයුතු කරන්න අපිට හැකිවුණා

  අවයව සංරක්ෂණය කිරීම සඳහා ඔබ ඉහළ තාක්ෂණයක් යොදාගන්නවා වගේම, එම අවයව අවශ්‍යතාවය මත නොමිලේසපයනවා. ඔබ මේ සඳහා මුල්‍යමය සහයෝගය ලබාගන්නේ කෙසේ ද?

  ජීවිත ආරක්ෂා කිරීමට අපි විසින් ලබාදෙන අවයව බද්ධ කිරීම සඳහා යෝග්‍ය ස්වරූපයෙන් තිබිය යුතුයි. මෙම අවයව හොඳ තත්ත්වයේ තැබීමට යොදාගන්න වායුසමීකරණ යන්ත්‍රය සඳහා පමණක් මිලියන 2.9ක වියදමක් දැරීමට සිදුවෙනවා.   විෂබීජ නාශනය සඳහා විකිරණ යන්ත්‍රයක් අපි භාවිත කරනවා. ලක්ෂ 3කට වැඩි මුදලක් වායුසමීකරණ කාමරය සඳහා වැයවෙනවා. අපගේ ආයතනය ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ අනු ශාඛාවක් නිසා, එයින් අපිට මුල්‍යමය සහය යම් තරමකින් ලැබෙනවා. මෙම පරිත්‍යාග කරන ලද අවයව, අංශක 60-80 අතර ශීතන තත්ත්වයේ වසර 5ක කාලයක් තිබීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙම වියදම් පියවා ගැනීම සඳහා, පරාර්ථකාමී පාර්ශවයන්ගෙන්, සමාජ සේවා ආයතනයන්ගෙන් මෙන්ම ඉහළ මහල කුලියට දී ලැබෙන ආදායම යොදාගන්නවා. ඇත්තටම ඒ ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ.

  අප්‍රේල් 21දින සිදුවීමෙන් අසරණ වූ පාර්ශවයන්ට ඔබගේ ආයතනයෙන් නොමිලේ සේවය සැපයුවා ද?

  හිස් කබලට අදාළ කොටස් හානියට ලක් වූ අවුරුදු 10 හා අවුරුදු 3 කටුවාපිටිය ගැහැනු දරුවන් දෙදෙනා අපගේ ආයතනය  හරහා ආරක්ෂණය කරනු ලැබුවා. ඔවුන්ගේ ශල්‍යකර්මය සිදුවන කාලය වනතෙක් අපි එය සංරක්ෂණය කළ යුතු යි. හිස්කබල හා සම්බන්ධ ව්‍යාපෘතියට අදාළව, අපි මේ ක්‍රියාවලිය කරගෙන යනවා වගේම මෙමඟින් හිස හා සම්බන්ධ ආබාධයට ලක් වූ රෝගීන්ට වඩාත් යහපත් ජීවිතයක් ලබාදීමට හැකිවෙනවා.

  ශීර්ෂකපාල ප්‍රතිනිර්මාණ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු මොනවාද?

  මේ ව්‍යාපෘතියට මුල පිරුවේ ස්නායුවේද දෙපාර්තමේන්තුවේ භෞතිකවෛද්‍ය අහමඩ් ශ්‍යාම්. අපි ඔහුට ණයගැතියි මෙවැනි නිදර්ශනයක් සකස් කිරීමට උපකාර කළාට. හානියට ලක් වූ මිනිස් හිස්කබලක් සකස් කිරීම ඉතා බරපතල ක්‍රියාවක්. හිස්කබලේ හානියට පත් වූ කොටස් එයින් ඉවත් කර, රෝගියාගේ උදරයෙහි තැම්පත් කර මසා පසුව ප්‍රයෝජනයට ගැනීම හෝ ඉවත්කිරීම සිදුකරනවා. මෙම ක්‍රමවේදය ලංකාවේ වෛද්‍යවරුන් විසින් මීට වසර 4කට පෙර සිට ක්‍රියාත්මක කරනු ලැබුවා. වෛද්‍යවරුන් විසින් රෝගියාගේ ඉවත්කරන ලද හිස්කබලේ කොටස් තුළ ටයිටේනියම් හෝ යකඩ දැලක් තැන්පත් කරනු ලබනවා. මේ සඳහා, රෝගීන්ට සිය දහස් ගණනින් මුදල් වියදම් කරන්න සිදුවෙනවා. සෙන්ටිමීටර් 1ක ටයිටේනියම් ප්‍රමාණයක් සඳහා රෝගියෙකුට ලක්ෂ 2-3ක මුදලක් දැරීමට සිදුවෙනවා. මෙම ටයිටේනියම් දැල නොමැතිව අදාළ සැත්කම සිදුකළොත්, එම රෝගියාගේ මොළය හානිවීමට සහ ආසාදනයට ලක්වීමේ ඉඩකඩ පවතින අතර මරණය තෙක් දරුණු තත්ත්වයට පවා පත්විය හැකි යි. අපේ ව්‍යාපෘතිය මෙවැනි රෝගීන්ට පවතින අපහසුතා මගහරින්නට උපකාරී වෙනවා.

   ඔබගේ සේවය සඳහා රජයේ සහය ලැබෙනව ද?

  රජයෙන් අපිට සහයෝගය දෙනවා නම්, ජනතාව වෙනුවෙන් අපිට ඉතා හොඳ සේවයක් ලබාදෙන්න පුළුවන්. මිනිස් අවයව පරිත්‍යාග වශයෙන් ලබාගැනීම සඳහා ලංකාව පුරා පවතින රජයේ රෝහල්වලට නීත්‍යානුකුල අවසරය ලබදෙනවානම්, අපිට විශාල ජීවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන්. මා රජයෙන් ඉල්ලා සිටිනවා අපිට මෙම අයිතිය ලබාදෙන්න කියල.