Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අප අද අත්විඳින්නේ යහපත් මිනිසුන් දැරූ
වෑයම්වල ප්‍රතිපලයි

සංගීත විශාරද ජයතිලක බණ්ඩාර සමාජ සංහිඳියාව, මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය නඟා සිටුවීමේ අරමුණෙන් දශක දෙකකටත් වැඩි කාලයක සිට පවත්වා ගෙන එන ‘සාධු ජන රාව’ ප්‍රසංගය මේ මොහොතේ වෙන්ව ඇත්තේ බිඳ වැටෙමින් තිබෙන සිංහල-මුස්ලිම් සහෝදරත්වය යළි ගොඩනැඟීම වෙනුවෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බරපතල තුවාල ලත් සිංහල-මුස්ලිම් ප්‍රජාවන්ගේ හදවත් සුවපත් කරනු වස් ගමින් ගම, නගරයෙන් නගරය සැරිසරමින් සිය හඬ අවදි කරන ශිල්පී ජයතිලක බණ්ඩාර ඒ පිළිබඳ සිදු කරන අදහස් දැක්වීමකි, මේ.

07.10.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය

ඔබ මුස්ලිම් ප්‍රජාව වෙත එළඹෙමින් කිසියම් ආකාරයක ගේය සාහිත්‍ය කතිකාවක නිරත වෙමින් සිටිනවා. එයට මුස්ලිම් මෙන්ම සිංහල ප‍්‍රජාවේ සැලකිය යුතු සහභාගිත්වයක් ද දකින්නට තිබෙනවා. මේ සිදු කෙරෙමින් පවතින්නේ මොන වගේ කටයුත්තක්ද?

මගේ ‘සාධු ජනරාව’ සංගීත වැඩ සටහනම තමයි මේ කෙරෙන්නේ. සාධු ජන රාව කියන්නේ ‘යහපත් මිනිසුන්ගේ හඬ’ කියන එක. අයහපත් මිනිසුන්ගේ හඬ බොහෝ කොට උස්ව නැඟෙන හැම කාලවකවානුවකදීම වගේ මං යහපත් මිනිසුන්ගේ හඬ අවදි කරන්නට මගේ හඬ භාවිත කළා. මේ කාලවකවානුව ගත්තාමත් අයහපත් මිනිසුන්ගේ හඬ ඉතාම ප‍්‍රබලව සමාජය කම්පනය කරමින් උස්ව නැඟෙමින් පවතිනවා. විශේෂයෙන්ම පාස්කු ඉරිදා එල්ල කෙරුණු බෝම්බ ප‍්‍රහාරවලින් පස්සේ ඒ තත්ත්වය ඉතාම නරක අතට හැරුණා. එතනදි මා තීරණය කළා නැවතත් යහපත් මිනිසුන්ගේ හඬ අවදි කරන්න පාරට බැසිය යුතුයි කියලා. ඒ අනුව මේ වෙනකොට ප‍්‍රසංග ගණනාවක්ම සාර්ථකව පවත්වන්න පුළුවන්කම ලැබුණා.

ප්‍රසංගය පැවැත්වෙන්නේ කවර ආකාරයෙන්ද?

මේක වර්තමානයේ ජනප‍්‍රියව පවත්නා ආකාරයෙන් ප‍්‍රසංග වේදිකාවේ පැවැත්වෙන දැවැන්ත වර්ගයේ සංගීත ප‍්‍රසංගයක් නොවෙයි. වැඩි වශයෙන්ම ප‍්‍රජා ශාලා, පාසල්, පංසලේ බණ මඩු වැනි තෝරාගත් ස්ථානවල පැවැත්වෙන ප‍්‍රසංගයක්. මේකෙදී මා සිංහල භාෂාවෙන් වගේ ම දෙමළ භාෂාවෙනුත් ගීත ගායනා කරනවා. ගායනා අතරතුර සාහිත්‍යමය සංවාදයත් ඉදිරියට ගෙනියනවා. ජාතිවාදයට ආගම්වාදයට යට නොවී අපි මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය මතු කරගැනීමටයි ඒ සංවාදයේ ප‍්‍රමුඛත්වය ලැබෙන්නේ. මා සමඟ කුඩා කණ්ඩායමක් මේකට සහභාගි වෙනවා. අද ප‍්‍රධාන වශයෙන් ඇතිවෙලා තියන සිංහල-මුස්ලිම් විරසකය සහෝදරත්වයක් බවට පත්කරගැනීම සඳහා දැරෙන උත්සාහයක් බවට දැන් මේ ප‍්‍රසංගය පත්කොට තියනවා. සාධු ජන රාව නමින් 1995 අවුරුද්දේ මුලින්ම මේක පටන් අරගෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිගටම පවත්වාගෙන ආවා. එදා සිටම සමාජය වෙනස් වන ආකාරය සැලකිල්ලට ගනිමින් අද වෙන කොට ඒක ජාතික ගැටලූව සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය අවදි කිරීම සඳහා කෙරෙන සාහිත්‍යමය කථිකාවක් බවට පත්කර ගෙන තියනවා.

ඔබ සාධු ජන රාවපටන් ගන්නේ සංකීර්ණ යුද ගැටුමකට රට මැදිව තිබුණු කාලයක. සාමය සඳහා වන එවැනි වැඩසටහන් කොතෙකුත් කෙරුණත් අන්තිමට ඒ යුද ගැටුම විසඳෙන්නේ අවි බලයෙන්.   සාහිත්‍ය කලාව වැනි මාධ්‍යයන් ගෙන් කොතරම් දුරකට ජනතාව සාර්ථකව ආමන්ත‍්‍රණය කළ හැකි යැයි සිතනවාද?

ප්‍රශ්නය තියනවා. අපි මේක පටන් ගන්නේ එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් ඉතාම දියුණු සන්නද්ධ අවස්ථාවක. ඊටම හරියන්න ආණ්ඩුවත් නවීණ තාක්ෂණය යොදාගනිමින් ප‍්‍රතිප‍්‍රහාර කරන කාලයක. මේ හැම කණ්ඩායමකින්ම අපත් පීඩාවට පත්වුණා. අපි යාපනය විශ්වවිද්‍යාලයේ ප‍්‍රසංගය කරන්න ගියාම එල්ටීටීඊ එක අපිට ඉඩ දුන්නේ නෑ. කරන්න එපා කිව්වා. අපි කිව්වා එහෙම නම් අපි මහ පාරේ කරනවා කියලා. එතකොට ඔවුන් කියනවා එහෙම කළොත් ඔබලාට ඉතාම කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙයි කියලා. කටුක අත්දැකීම් කියන්නේ අවසානයේ මරණය. අපි කිව්වා ‘ප‍්‍රශ්නයක් නෑ.  ඕගොල්ලන්ට පුළුවන් එහෙම කරන්න. සාමය පිළිබඳ ගීත ගායනා කරන්න දකුණේ සිට ආව කණ්ඩායමක් මේ විදිහට ඝාතනය කළා කියන එක එතකොට මුළු ලෝකයටම යයි. ඒක  ඕගොල්ලන් තීරණය කරන්න’ කියලා. ඊට පස්සේ ඔවුන් නැවත සාකච්ඡා කරලා අපිට යාපනය විශ්වවිද්‍යාලය තුළම ප‍්‍රසංගය කරන්න ඉඩ දුන්නා. ඒ වගේම දකුණේ සිංහල ජාතිවාදීන්ගේ බරපතල ප‍්‍රහාරයන්ටත් මේ ගමනෙදි අපි ලක්වෙනව. ඔවුන් අපිට ඉඩ නොදෙන අවස්ථා තියනවා. නමුත් අපි ඒවාත් ජයග‍්‍රහණය කරනවා. තීරණාත්මක අවස්ථාවේදි ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා, බර අවි ප‍්‍රහාර එල්ල කරමින් සටන් වැදුණු යුදමය වාතාවරණය තුළ අවසාන තීරකයා බවට ආයුධ පත්වුණත්, ඒ ආයුධවලින් මිනිස් හදවත්වලට වෙන විනාශය අඩු කරගන්නට සාහිත්‍ය කලාවට යම් මෙහෙයක් කළ හැකි යැයි අපි විශ්වාස කරනවා.

/

ඒ එදා. අද ලබන අත්දැකීම් කෙබඳු?

අදත් ඒකම තමයි තත්ත්වය. මේ ළඟදි දවසක මුස්ලිම් පාසලක මේ ප‍්‍රසංගය කළා. ඒගොල්ල ඉස්සෙල්ලා අනුමැතිය දීලා ඊට පස්සේ කියනවා කරන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ පැය භාගයක් විතරක් දෙන්න කැමැති වුණා. අපි ඒ පැය භාගය කළාට පස්සේ ඒගොල්ල කියනවා ‘නෑ තව කාලය අරගෙන කරගෙන යන්න. අපේ අදහස වැරදියි.’ කියලා. ඊළඟට ඔවුන් යෝජනා කරනවා ඒ වෙනකොට ගොඩනඟමින් තිබෙන ඔවුන්ගේ ශ‍්‍රවණාගාරය විවෘත කිරීමේ ප‍්‍රසංගය බවට සාධු ජනරාව පත්කරගන්න කැමතියි කියලා. ඊළඟට ඒ ප‍්‍රදේශයේම සිංහල විද්‍යාලයක ප‍්‍රසංගය කරනවා. ඔවුන් කියනවා අපට දෙන්න පුළුවන් උපරිම කාලය විනාඩි 45ක් වගේ කාලයක් කියලා. විනාඩි 45 කරලා නවත්වන්න යනකොට ඉස්සරහා ඉඳගෙන හිටිය විදුහල්පතිතුමා කිව්වා ‘නෑ තව දිගට කරගෙන යන්න’ කියලා.

ඒ කියන්නේ මෙවැනි සෞන්දර්යාත්මක ආමන්ත‍්‍රණවලින් රළු මිනිසුන් පවා වෙනස් කළ හැකියි?

එක්තරා දුරකට සාහිත්‍ය කලාවට මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කළ හැකියි. යහපත් මිනිසුන් අයහපත් මිනිසුන් බවට පත් කරන්නත්, අයහපත් මිනිසුන් යහපත් මිනිසුන් බවට පත් කරන්නත් පුළුවන්. බලන්න සිංහල අන්තවාදී පිරිස් දිගනදි මුස්ලිම් අයට පහර දෙනවා. දර්ගා නගරයේදි පහර දෙනවා. ගාල්ලෙදි පහර දෙනවා. නමුත් ඒ කිසිවක් මුළු රට පුරාම අරගෙන යන්නට ඒ ජාතිවාදීන්ට නොහැකි වුණා. එහෙම වෙන්නේ යහපත් මිනිසුන් කාලයක් පුරා අරගෙන ආව මේ ක‍්‍රියාදාමයන්ගේ ප‍්‍රතිඵලයක් විදිහට. ඒ වගේම පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ මුළු රට පුරා මුස්ලිම් ප‍්‍රජාවට  එරෙහිව ප‍්‍රචණ්ඩත්වය ඇති කරන්න සියලූ  ජාතිවාදීන්, බලයට පත්වෙන්න ඉන්න මිනිසුන් උත්සාහ කළා. පවතින ආණ්ඩුවේ ඒ ගැන බරපතල නිහඬතාවක් තිබ්බා. ආරම්භ කළ ප‍්‍රචණ්ඩත්වය රට පුරා අරගෙන යන්න බැරිවුණා. මා ඒක දකින්නේ යහපත් මිනිසුන් මෙතෙක් දරන ලද උත්සාහයන්ගේ ප‍්‍රතිපලය විදිහටයි. අපිත් සුළු වශයෙන් හෝ දායක වෙන්නේ ඒකටයි.

මුස්ලිම් ප්‍රජාව, සිංහල ප්‍රජාව කෙරෙහි කෙබඳු ආකල්පයකින් පසුවන බවක් ද මේ කෙරන සංවාද අතර ඔබට පෙනෙන්නේ?

මෑතකදි අපි ආණමඩුව ප‍්‍රදේශයේ සිංහල ගම්වලින් වටවෙලා තියන මුස්ලිම් ගමක ප‍්‍රසංගය කළා. සහරාන්ලගේ ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධ කරලා ඉතාම මෑතකදි ඒ මුස්ලිම් ගමේ ගෙවල්වලට පහර දීලා, ත‍්‍රීවිල් ගිනි තියලා, දේපල විනාශ කරලා, ඒ වගේ සිද්ධීන් කීපයක් සිදුව තිබුණා. ඒ නිසාම තමයි අපි සිංහල සහ මුස්ලිම් යහපත් මිනිසුන් ඒකරාශී කරලා ඒ ප‍්‍රදේශයේ මේක පැවැත්තුවේ. ඒ වෙනකොට සමහර මුස්ලිම් අය ප‍්‍රදේශය අත්හැරලා යන්නට සූදානම් වෙලා හිටියේ. සමහර මුස්ලිම් අය ප‍්‍රදේශය පමණක් නොවෙයි රටම අත්හැරලා යන්න සූදානම් වෙලා හිටියා. ඔවුන් සමඟ මේ සහෝදරත්වය බෙදාගැනීම තුළ ඔවුන්ට බලාපොරොත්තුවක් ඇතිවෙනවා මුස්ලිම් අන්තවාදය කියන්නේ මුස්ලිම් සියලූ දෙනාම නොවන්නා සේම සිංහල අන්තවාදය කියන්නේ සිංහල සියලූ දෙනාම නොවන බව. ඔවුන්ට ඒ බව කියා බලාපොරොත්තුවක් ඇති කරන්න හැකියාව අපට ලැබුණා. තවතවත් කලාකරුවන් මේවාට දායක වී, තවතවත් මෙවැනි දේවල් කිරීම තුළ, තව තවත් යහපත් මිනිසුන් මේ කටයුත්තේ නිරත වීම තුළ එක්තරා මට්ටමකට ඒවා සමනය කරන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා.

/

ප්‍රසංගය සඳහා ජන සහභාගිත්වය කවරාකාරද?

පොදු වැඩසටහන්වලට අද මිනිස් සහභාගිත්වයේ බරපතල අඩුවක් තිබෙනවා. පහුගිය කාලය පුරා ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක මැරුණේ මිනිසුන් සහ ගැහැනුන් විතරක් නොවෙයි. විනාශ වුණේ ගෙවල් දොරවල් විතරක් නොවෙයි. මිනිසුන්ගේ ආධ්‍යාත්මයත් මිය ගිහින් තියෙන්නේ. විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සු හුරු වුණා තමතමන්ගේ එදිනෙදා පෞද්ගලික කටයුතු සිදුකරගනිමින් පෞද්ගලික කුටුම්භය ආරක්ෂාකරගෙන තමන්ගේ කටයුතුවල පමණක් නිරත වෙන්න. එවැනි පසුබිමක් තුළ තමයි අපිට මේ කටයුත්ත සිදුකරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සඳහා සමාජ ව්‍යාපාර නෑ. ඒ සඳහා දේශපාලන පක්ෂ කටයුතු කරන්නේ නෑ. ඒ සඳහා ආණ්ඩු කටයුතු කරන්නේ නෑ. එවැනි තත්ත්වයක් තුළ සමාජය මේ තත්ත්වයට පත්වීම ගැනත් පුදුම විය යුතු නැහැ.

ඔබ හිතන අකාරයට ප්‍රසංගය නැරඹීමට පැමිණෙන පිරිස කෙතරම් ඔබගේ පණිිවිඩය ග‍්‍රහණය කරගන්නවා ද?

මා හිතන්නේ නෑ මේකට එන සීයට සීයක්ම අපි කියන පණිවිඩය ගන්නවා කියලා. නමුත් මා හිතනවා මේ තරමින්වත් මේ සමාජය යහපත්වීමට මෙවැනි ක‍්‍රියාකාරිත්වයන් බලපෑවාය කියන එක. ඒක නම් මට නොකියා ඉන්නට බෑ. අපිත් ඒකට දායක වෙලා තියනවා කියන අදහස මගේ හිතේ තියනවා. මුල්‍ය ප‍්‍රතිලාභ සඳහා කෙරෙන ප‍්‍රසංගයක් නොවෙන සාධු ජනරාව ප‍්‍රසංගය වාර දහස් ගණනක් අපි කළා. මේ තුළින් අපි පැළ කරපු මනුෂ්‍යත්වයේ බිජු තාමත් මේ මහ පොළොවේ තියනවා.


මිනිසුන්ගේ ආධ්‍යාත්මයත් මිය ගිහින් තියෙන්නේ. විනාශ වෙලා තියෙන්නේ.

කොතරම් කාලයක් මේ ප්‍රසංගයත් සම මුස්ලිම් ප‍්‍රජාව තවදුරටත් අමතන්නට ඔබ බලාපොරොත්තු වෙනවද?

අපි වැනි මිනිසුන් කල්පනා කරන්නේ දිගින් දිගටම මෙවැනි දේවල් කළ යුතුයි කියලා. අපි අද වයසක මිනිසුන් බවට පත්වෙලා. මටත් මේ වෙනකොට අවුරුදු හැටහතක් වෙනවා. මේ කාලේ අපි උණුවතුර ටිකක් නාගෙන ගෙවල්වලට වෙලා විවේක ගන්ඩ  ඕනේ කාලයක් තමයි. නමුත් ඒ විවේකය ගන්න අපිට බැරිවෙලා තියනවා. අනෙක් මිනිසුන් මේ සඳහා දායක නොවීමෙන් දිගින් දිගටම තවදුරටත් මෙවැනි කටයුත්තක නිරත වෙන්නැයි සමාජය අපට බල කරනවා. ඒක අපේ අභාග්‍යයක්. ඛේදවාචකයක්. නමුත් අවසානයක් ගැන නොසිතා කළ යුතු වෙනවා. ඒ සඳහා අපි අපිට හැකි අයුරින් කටයුතු කරනවා.

සංගීතය විශ්ව භාෂාවක් ලෙසින් පිළිගැනීමක් තිබුණත්, ගීතයට එය එසේම අදාළ වන්නේ නෑ. වෙනත් භාෂාවක් කතා කරන මුස්ලිම්, දෙමළ ජනතාව අතරට මේ ප‍්‍රසංගය ගෙනයාමේදී ඇති වන භාෂාමය ගැටලූ විසඳාගන්නේ කොයි ආකාරයෙන්ද?

මෑත භාගයේ අපි මුස්ලිම්, දෙමළ පාසල් ළමයින් සහ ඒ ඒ ප‍්‍රජාවන් අමතන්නේ පරිවර්තන කටයුත්තකුත් සම`ගයි. අපි සිංහල ගීතත්, දෙමළ ගීතත් දෙකම ගායනා කරනවා. අපි කියන අදහස දෙමළ භාෂාවෙන් ලබා දෙන්නට අපි පරිවර්තකයන් යොදාගන්නවා.