Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මුනි පාමුල ඉටිපහන් දල්වා සංහිඳියාව පතන
බොදුනු සහෘදයා

හදවතේ මෙලැවෙන සෙනෙහසින් ආදරයේ ඉටිපහන් දල්වන  ඩෝල්ටන් මදනායක සිය රටේ මිනිසුන් අතර සංහිඳියාව ප‍්‍රාර්ථනා කරයි. ඔහු ගිනි පුපුරු මත දිය බිඳක් වත්කිරීමට වෙර දරන්නේ ගිනි නැවත වරක් නොඇවිලෙනු පිණිස ය.

11.10.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය

දෝතින් තදකරගත් කහ පැහැති ඉටිපන්දම් ගොන්න හදවතට තවත් ලංකර ගත් ඩෝල්ටන් අඩි කිහිපයක් ඉදිරියට ගොස් හරියටම ශුද්ධවු අන්තෝනි මුනි දේවස්ථානයේ මැද පල්ලියේ මහ දොරකොඩ පිහිටි විදුරු කුඩුවෙන් වටකර තිබු ශූද්ධ වූ අන්තෝනි මුනිතුමාගේ පිළිරුව අසල නැවතෙයි. වීදුරු කූඩුවට සිය දකුණත තබා පිළිරුව සිප වැලඳගෙන සිය කලිසම් සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ද පිළිරුව අභිමුව තිබු කැටයට දමා ඔහු හඬ අවදි කරයි.

”මනුස්සකම ආරක්‍ෂා කරගන්න මට කරන්නට ඉතිරිවී තිබෙන  ඕනෑම දෙයක් කරන්න මා පසුබට වන්නේ නැතැ‘යි      හදවතේ මෙලැවෙන සෙනෙහසින් ආදරයේ ඉටිපහන් දල්වමින්  ඩෝල්ටන් මදනායක  කියයි. සිය රටේ මිනිසුන් අතරට සංහිඳියාව ප‍්‍රාර්ථනා කරන ඔහු ගිනි නැවත නොඇවිලෙන්නට ඒ ගිනි පුපුරු මත ඇල් දිය බිඳක් හෝ වත්කිරීමට වෙර දරයි. එය සියලූ මිනිසුන්ගේ මානූෂීය යුතුකමක් ලෙසින් ද ඔහු සලකයි. ඒ  යුතුකමට අධ්‍යාත්මීක සබැඳීයාවකින් යුත් ප‍්‍රාර්ථනා ද ඔහු නිරතුරු එක්කරයි.

වයස අවුරුදු 55 ඉක්මවා සිටින, උපතින් බොදුනුවකු වන ඔහු නමින් ඩෝල්ටන් මදනායක ය. යෞවන දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් වු ඩෝල්ටන් සිය ආදරණීය බිරිය සහ දියණියන් දෙදෙනා සමඟ ජීවත් වන්නේ කොළඹ නගරයට ආසන්න කොලොන්නාව ප‍්‍රදේශයේ ය. ප‍්‍රසන්න සහ නීරෝගි පෙනුමකින් යුතු ඩෝල්ටන් ගේ   අදහස් බොහෝ තරුණ ය. ඔහු ක‍්‍රියාශීලී ය. මානූෂික ය. බොහෝ සංවේදී ය.

”  මා නිතරම ආව ගිය මේ දේවස්ථානයෙ, මා ගොඩාක් ආදරය කරපු මේ දේවස්ථානයෙ මේ වගේ ඛේදනීය සිද්ධියක් වුණා කියල දැනෙනකොට දරාගන්න හරිම අමාරුයි. මගේ ජීවිතයේ කිසිම දාක නොසිතු සහ නොපැතු ඛේදවාචකයක් මේක. මට හිත හදාගන්න සෑහෙන කාලයක් යාවි.” යැයි ඩෝල්ටන් කියයි.

”  මං නිතර පල්ලි ආවම මුණගැහුණු ගැහැනු පිරිමි, සිංහල දෙමළ සමහර මගේ කි‍්‍රස්තියානි යාළුවෝ එදා බෝම්බෙට අහුවුණා. ඒ අය ගිහිං ඇයි මං විතරක් ඉතුරු වුණේ කියලා මට හිතෙන වාර අනන්තයි.”යැයි ඔහු බිඳුණු හඬින් කීවේය.

”  මගේ යාළුවෝ ගිහිං මාව ඉතුරු වුණේ මගෙන් ඒ අයටත්, සමාජයටත් වෙන්න අවැසි පුංචි හරි කර්තව්‍යයක් ඇති. අන්න ඒ යුතුකම මං ඉෂ්ට කරනවා.”

”මං අවුරුදු 30ක් පුරාවට මේ ඉටිපන්දම් 33 දල්වනවා. අන්තෝනි මුනිවරයාගෙන් පිහිට ආශිර්වාද ඉල්ලූවේ මට , මගේ පවුලේ අයටයි. නමුත් දැන්  මං, මගේ ජීවිතේ තියෙන තුරාවට මේ ඉටිපන්දම් 33 දල්වලා ඉල්ලන්නේ වෙනත් දෙයක්.”

/

”ඒ තමයි, මේ වගේ දුකක් , මේ වගේ අපරාධයක් තවත් නම් මේ අපේ ලංකා පොළොවේ කිසිම තැනක, කිසිමදාක, කිසිම මිනිසෙකුට සිද්ධවෙන්න ඉඩ දෙන්න එපා කියලයි! ජීවිත නැතිකරන්න සැලසුම් කරන මිනිස්සුන්ගේ සිත් වෙනස් කරන්න කියලයි! මිනිස්සුන්ට මිනිස්කම ගැන අවබෝධ කරගන්න උදව් වෙන්න කියලයි! අපේ රටේ සියලුම දෙනා අතර සාමය , සංහිඳියාව ගොඩනැගෙන්න කියලයි ”. යනුවෙන් අධිෂ්ඨානශීලිව ඩෝල්ටන් කියයි.

ඔහුගේ අධිෂ්ඨානශීලි හදවත ප‍්‍රාර්ථනා සමඟ පමණක් නතර වී නැත. ”පල්ලියේදි , පන්සලේදී ප‍්‍රාර්ථනා වෙනුවෙන් ආලෝක පුජා තබනවා වගේම මං ඒ වෙනුවෙන් ප‍්‍රායෝගිකව කරන්න තිබෙන දේවල්වලට මගේ සම්පුර්ණ දායකත්වය ලබාදෙනවා.” යැයි කීවේ උදේ හවස ගෙදරදී ඔහුත් බිරියත් සමහර අවස්ථාවලදි දරුවන් දෙදෙනාත් එකතුවී බුදු පහන තබා ඉල්ලා සිටින්නේ ද එකම ඉල්ලීම බවයි.

උපතින් ම තමන් බෞද්ධයෙකු වුවත්, තමන්ගේ පන්සලේ දායක සභිකයෙකු වුවත් කොච්චිකඬේ පල්ලිය සහ ශුද්ධවු අන්තෝනි මුනිඳුන් තමන්ගේ ජීවිතයේ හද බැඳගත් ගෞරවනීය සහ ආදරණීය සමීපතමයින් බවයි.

පන්සලයි , පල්ලියයි දෙකක් බවත්, පල්ලිය හා පන්සල එකට පටලවා ගන්නට කැමැත්තක් නැති බව කී ඩෝල්ටන් ” පන්සලේ සංස්කෘතියයි, පල්ලියේ සංස්කෘතියයි දෙකක්. වැඳුම් පිඳුම් ක‍්‍රම වෙනස්. නමුත් මං ආගම් දෙකෙන්ම පෝෂණය ලබාගන්න කෙනෙක්. ඒ නිසා මට මිනිස් ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට ආගම ජාතිය වෙනස් වුණාට හැම කෙනාම තේරුම් ගන්න පුළුවන්. පිළිගන්න පුළුවන්. ඒ ගුණය දෙවියන්ගෙන් ම මට ලැබුණු ආශීර්වාදයක්.” යැයි ඔහු කීය.

කොලොන්නාවේ සිට කොළඹ නගරයට පැමිණෙමින් වසර 30ක් පුරාවට සෑම සතියකම දින දෙකක් හෝ තුනක් කොළඹ කොච්චිකඬේ ශුද්ධවු අන්තෝනි මුනිතුමන්ගේ දේවස්ථානයට පැමිණ වන්දනාමාන කරන්නට ඩෝල්ටන් මදනායක පුරුදුව සිටියේය.  එසේ පැමිණ ඉටිපන්දම් දල්වා තමන්ට අවශ්‍යකරන දේ ඉල්ලා සිටින්නට ඔහු ඔහුගේ ම වචන භාවිතා කළේය.

”මං යාඥා දැනගෙන පල්ලියට ගොඩවුණු කෙනෙක් නෙවෙයි.  මගේ හිතට නැගෙන වචන ඔක්කෝ ම ඉබේම යාඥා බවට පෙරළුණා. මං ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් ඉදිරියේ දණින් වැටුණා. මා, මං වෙනුවෙන් යැද්දා. මගේ පවුලේ අය වෙනුවෙන් යැද්දා, මගේ යාළු හිතෛෂීන් වෙනුවෙන් යැද්දා, අපිට ජීවත්වෙන්න හරි හම්බකර ගන්න පිහිට වෙන්න කියලා ඉල්ලූවා. ශුද්ධවු අන්තෝනි මුනිදුන් මගේ යාඥා හොඳට ම ඇසුවා. මං ඉල්ලපු දේවල් මට දුන්නා. මගේ ජීවිතේ සාර්ථක කරගන්න මට පිහිට වුණා.”

/

කොච්චිකඬේ පල්ලියට පැමිණීමත් , ශූද්ධවු අන්තෝනි මුනි ප‍්‍රතිමාව පාමුල ඉටිපන්දම් 33 ක් දල්වා එතුමන් නැමදීමත් ඉතාම ආදරණීය, තමන්ගේ සිතට ඉතාම ශාන්තියක් ගෙන දෙන යහපත් වු ක‍්‍රියාවක් ලෙසට තමන්ගේ ජීවිත චර්යාව හා කැටි වී ඇති බව ඔහු බොහෝ සතුටින් ප‍්‍රකාශ කළේ ය.

”අසනීපයක් හැඳිල හිටියත් මට අන්තෝනි මුනිතුමා නොදැක ඉන්න බැහැ. ඉටිපන්දම් පත්තු නොකර ඉන්න බැහැ. ඒ නිසා තමයි මං මගේ පන්සලේ වැඳීමට අමතරව මෙහෙ පල්ලියට එන්නේ. නාලා පිරිසුදුවෙලා ඉක්මනින් ඇවිත් අන්තෝනි මුනි රුව බලලා, යාඥා කරලා ඉටිපන්දම් ටික පත්තු කරලා ඉවර වුණාම හිතට දැනෙන නිදහස, සැනසීම සහ ආදරය කොපමණක් ද කියන්න වචන නැහැ මට.”

ශුද්ධවු අන්තෝනි මුනිතුමන් යනු නැතිවී ගිය දේ සොයා දීම වෙනුවෙන් මැදිහත් වෙන සාන්තුවරුයෙකැයි පැවසු ඩෝල්ටන් , ”මා තදබල ලෙස විශ්වාසකළා දවස් දෙකක් තුනක් ඇතුළත මේ ඛේදවාචකය කළේ කවුද, කළේ ඇයි ද කියලා අපිට හෙළිදරව් කරල දෙනවා කියලා. ඒක ඒ විධියට ම සිද්ධ වුණා. සැක නැතිව, සවිස්තරාත්මකව මුළු ලෝකෙටම හෙළි කළා උන්වහන්සේ.” යැයි ඩෝල්ටන් සතුටින් කීවේ ය.

”අපි මනුස්සයෝ විධියට හැමදෙනාට ම පැවරී තිබෙන පුරවැසි යුතුකමක් වගකීමක් තිබෙනවා ඉටුකරන්න. ඒ තමයි, රට ජාතිය ආරක්‍ෂාකර ගන්න එක.  ජාතිය ආගම අනවශ්‍ය විධියට හිතේ උදුම්මවා නොගෙන, සියලූම දෙනා ශ‍්‍රී ලාංකීක ජාතින් විධියට සලකාගෙන, මනුෂ්‍යත්වයට ගරුකරනවා නම්, ආදරණීය ප‍්‍රාර්ථනාවන්ගෙන් හිත පුරවාගෙන දවස අරම්භ කරනවා නම් ඒක තමයි අද අපිට අපේ රට ජාතිය වෙනුවෙන් කරන්න ඉතිරිවෙලා තියෙන්නේ.” යැයි සිය මානූෂීය හදවතේ දැල්වෙන ආදරයේ ඉටිපහන් පුදසුන මත දල්වා සිය රට මිනිසුන් අතර සංහිඳියාව ප‍්‍රාර්ථනා කරන ඩෝල්ටන් මදනායක කියයි.