Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සහජීවනය සුරක්ෂිත කළ හැක්කේ
සාධාරණ ඉඩම් ප්‍රතිපත්තියකින්

අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ හා මුස්ලිම් ගොවි ජනතාවට අයත් ඉඩම් අක්කර 14127  ක්, රජය හා පුද්ගලික අංශ පවරාගෙන තිබීම එම ප්‍රදේශය තුළ සංහිඳියාවට ප්‍රබල බාධාවක් ව පවතින බව මානව සම්පත් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හා ඉඩම් නැවත බුක්තියට පවරා ගැනීමේ නියමුවකු වන කයිරුදීන් නිහාල් අහමඩ් කියයි.

11.10.2019  |  
අම්පාර දිස්ත්‍රික්කය

අම්පාර දිස්ත්‍රික්කයේ පවතින්නේ කුමන වර්ගයේ ඉඩම් ගැටලු ද?

ඉඩම් හිමිකම කියන්නේ සමාජ අනන්‍යතාවක්. සාධාරණ ඉඩම් බෙදාදීමකින් පමණයි සහජීවනය සුරක්ෂිත කළ හැකිවන්නේ. ඉඩම් නිසිලෙස උපයෝගී කර ගැනීම පදනම් වන්නේ ආර්ථික සංවර්ධනය  මත යි. ඉතා විශාල ප්‍රදේශයක්, වන සංරක්‍ෂන, වනජිවී සංරක්‍ෂන හා පුරාවිද්‍යා භූමිභාග වශයෙන් මායිම් නියමකරලා තියෙනවා. නමුත්, පරම්පරා ගණනාවක් තිස්සේ මෙම ප්‍රදේශයේ ජීවත්වන, කෘෂිකාර්මික හා තණබිම් අයත් දුප්පත් හා සුලුතර පදිංචිකරුවන් වෙත ඔවුන්ගේ මානව වාසස්ථාන සම්බන්ධයෙන් රජය කිසිඳු ආකාරයේ නිවේදනයක් නිකුත් කර නොමැත. ඇතැම් ප්‍රදේශ, ජාතික ආරක්ෂාව යන මුවාවෙන් ආරක්ෂක බලසේනා විසින් ඔවුන් සන්තකයේ තබාගෙන සිටිනවා. මෙම කරුණු හේතුවෙන් බොහෝ දෙනා ඔවුන්ගේ ඉඩම් අහිමිවීමේ ගොදුරට මුහුණ දී සිටිනවා.

මෙම ඉඩම් නැවත පවරාගැනීම සඳහා ඔබගේ සංවිධානය ගත් උත්සාහයන් මොනවා ද?

අපේ සංවිධානය ‘අම්පාර දිස්ත්‍රික් ඉඩම් අයිතිවාසිකම් සඳහා පවතින සන්ධානය.’ බලපෑමට ලක් වී ඇති ඉඩම් හිමිකරුවන් අපි ඒකරාශී කරලා තියෙනවා. අපේ සංවිධානය වෙත ලැබුණ පැමිණිලි මත පදනම්ව, අක්කර 14127ක් අහිමි වූ (18608 ක හිමිකරුවන් පිළිබඳ) සමීක්ෂණ වර්තාවක් අපි සකස් කරලා තියෙනවා. අපගේ සංවිධානයේ නීති උපදේශක හරහා රාජකාරි ලියවිලි සත්‍යදැයි පරික්ෂා කර බලා අපි තමයි මේ වාර්තාව සකස් කළේ. බලපෑමට ලක් වූ ප්‍රජාවගේ සාක්‍ෂි උපයෝගී කරගනිමින් අපි වාර්තාමය සිනමාපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඒවගේම, මෙම  සිද්ධිය ඉදිරියට ගෙනයාම සඳහා  අදාළ ඉඩම්වල විස්තර පිළිබඳ ලේඛනගත කරලා තියෙන්නේ.

මෙම ඉඩම් පවතින්නේ, අක්කරේපත්තුව, අඩාලච්චේන, පොතුවිල්, තිරුක්කෝවිල්, අලයඩිවෙම්බු, ලගුගල, දමන, සමන්තුරෙයි, නින්තවූර්, ඉරක්කටම් හා අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල යි. මෙම ගැටලු විසඳීමේ සහ ඉඩම් අයිතිකරුවන් සඳහා  එම ඉඩම් නිදහස් කිරිමේ චේතනාවෙන්, අපි මෙම වාර්තාව වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ට, දේශපාලකයන්ට සහ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සුරකින්නන් වෙත ඉදිරිපත් කරමින් සිටිනවා. කාලයෙන් කාලයට සිදුකරන ජනතා රැළි සහ මාර්ගෝපදේශනයන් හරහා දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා. මෙම ගැටලුවේ පවතින බරපතලකම ඉස්මතු කර දැක්වීම සඳහා, අනෙකුත් සිවිල් සංවිධාන හා මාධ්‍යයේ සහයෝගීතාවය ද අපි අපේක්ෂා කරනවා.

  “භුමිය සඳහාවන හිමිකම් ජනතාවගේ මුලික අයිතිවාසිකමක්” ලෙස නිත්‍යානුකූලව ඉදිරිපත් කිරීමේ හැකියාවක් නෑ නේද?

අපවෙත පැමිණිලි ඉදිරිපත් කළ බොහෝදෙනෙක්, නීතියේ පිහිට දැනටමත් බලාපොරොත්තුවෙනවා. ඔවුන්ගේ ඉඩම්වලින් ඔවුන්ව බලෙන් නෙරපාදැමීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පැමිණිලි කරලා තියෙනවා. මෙම නිලධාරීන්ගේ පහරදීම්වලට හා තුවාල සිදුකිරීම්වලට ඇතැම් පාර්ශවයන් ලක්වෙලා තියෙනවා. තමන්ගේ කුඹුරු බැලීමට ගිය ගොවීන්ව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව හා වනජීවී දෙපාර්තුමේන්තුව විසින් ඔවුන් පැන වූ වැරදි සම්බන්ධ නිසි සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත්වීම හේතුවෙන්, අනෙකුත් නඩු නිෂ්ප්‍රභා කරලා තියෙනවා. නමුත්, මෙමඟින් ජනතාවට තමන්ගේ ඉඩම්වලට ප්‍රවේශවීමට පවතින සීමාවන් පිළිබඳ ගැටලුව විසඳෙන්නේ නැ.

පොතුවිල් ප්‍රදේශයේ ඉඩම් හා සම්බන්ධව නඩුවක් සඳහා ලබාදුන්  තීන්දුව මඟින්, ගොවිජනතාවට හිතවාදී ආකාරයෙන් විසඳුමක් ලබාදුන්නා. මෙම තීන්දුව ලබාදුන් මහේස්ත්‍රාත්වරයා පසුකාලීනව වැඩ තහනමකට ලක්වුණා. ගොවීන් හිතන්නෙ මෙය සිද්ධවුණේ ඔහු ලබාදුන් තීන්දුව නිසා කියලා. මෙම පොතුවිල් සිදුවීමෙන් පසුව බොහෝ නීතීඥයන් මෙවැනි සිද්ධීන් සඳහා නඩු කටයුතු සිදුකිරීමට පසුබට වුණා.

  අම්පාර දිස්ත්‍රික්කයේ සුළුතර  ජනයා නියෝජනය කරන සැලකියයුතු මට්ටමේ පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් සිටිනවා. ඔවුන් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬනගන්නේ නැද්ද?

මෙම ගැටලු විසඳීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ දේශපාලකයින් අතේ. ඔවුන් මෙම ගැටලු පිළිබඳව හොඳින්ම දැනුවත්. කෙසේවෙතත්, ඔවුන්ගේ මන්දගාමී ප්‍රතිචාර දැක්වීම, ජනතාව තුළ සැක-සංකා ඇති කිරීමට පවා හේතුවෙලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ, ගල් ඔය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් පසුව සිදු වූ පදිංචිකිරීම් හේතුවෙන් තමයි මෙම ඉඩම් අහිමිවීම ආරම්භවුණේ. මෙම පදිංචිකිරීම් තවමත් සිදුකෙරෙනවා. ඉඩම් අල්ලාගත් ඇතැම් පුද්ගලයන්  යුධ  පසුබිම වාසියක් කරගනු ලැබුවා.

  දිස්ත්‍රික්කයේ ජාතින් අතර සහජීවනය හා සංහිඳියාව පවත්වා ගැනීමට බාධකයක් ව මෙම ගැටලුව බලපාන්නේ කෙසේ ද?

1965 දී, අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, කෘෂිකාර්මික හා ජනතාව පදිංචි ඉඩම් දහස් ගණනක් සීනි සංස්ථාව මඟින් පවරාගත්තා. මුස්ලිම් ජනතාව බලයෙන් මෙම ප්‍රදේශවලින් නෙරපුවා. එදා පටන්, මෙම ඉඩම් රජයේ අධිකාරිත්වය යටතේ වගා කරනවා. කෘෂිකාර්මික වගා බිම්වල උක් ගස් අස්වැන්න ලබාගැනීම සඳහා දකුණෙන් සිංහල ජනතාව මෙම ප්‍රදේශවලට ගෙන්වූ අතර, ඔවුන්ට මෙම ඉඩම්වල අයිතිය ලබා දුන්නා. නොරොච්චෝලේ, අම්බලතාරු, ඔමරන්කේ, සෙනයිකන්දම්, සොලවට්ටයි, වෙලමරත්තුවේලි, සියදරවත්තෙයි සහ  පොන්නවේලි යන ප්‍රදේශවල ද ඉහත සිදුවීම් සිදුවුණා.

සුළුතර මුස්ලිම් හා දෙමළ ජනතාවගේ ඉඩම් උදුරාගෙන බහුතර ප්‍රජාවට රාජ්‍ය අනුග්‍රහය ද සහිතව ලබාදුන් පසු, අපි සංහිඳියාව අපේක්ෂා කරන්නේ කෙසේ ද? මෙය සුළුතර ප්‍රජාවට එරෙහිව සිදුකරන බරපතල ප්‍රචණ්ඩත්වයක් මෙන්ම අසාධාරණයක්. නිදර්ශන ලෙස, අම්බලතාරු වත්තයි (අක්කර 75), කීත්තුපට්ටු බවපුරම් (අක්කර 96) ඔමරන්කෙයි වත්තයි(අක්කර 650 ) සහ පොන්නවෙලි වත්තයි (අක්කර 600)  යන සුළුතර ප්‍රජාවගේ ඉඩම් බලයෙන් පවරාගෙන තියෙනවා.

ළඟ එන ජනාධිපතිවරණය  සඳහා කෙබඳු  ආකාරයේ අරගලයක් ඔබගෙන යනවා ද?

අම්පාර දිස්ත්‍රික්කයේ 18000කට වැඩි ජනතාවකට ඔවුන්ගේ ඉඩම් අහිමිවෙලා තියෙනවා. ඉදිරි මැතිවරණ කාලයේ දී, තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කරන දේශාපලකයන්ට පමණක් ඔවුන්  සහයෝගය ලබාදේවි. ඔවුන්ගේ විප්ලවය සඳහා සහයෝගය ලබාගැනීමට ඉඩම් හිමිකරුවන්  ඔවුන්ගේ සමීප සම්බන්ධතා  ඔස්සේ දැනුවත් කිරීම් සිදුකරනවා.

මෙම වසරේ අගෝස්තු මස “ඉඩම් ආපසු ලබාගැනීමේ සතියක්” අපි ප්‍රකශයට පත්කළා. පෝස්ටර් ව්‍යාපාර, මාර්ගෝපදේශන සහ මහජනතාව දැනුවත්කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් අපි පවත්වාගෙන යනවා. මෙම ක්‍රියාව මාස්පතා අඛණ්ඩව සිදුකරනවා. ඔවුන්ගේ ඉඩම්, යථා තත්ත්වයට පමුණුවා ගැනීමටත්, තවදුරටත් ඉඩම් උදුරාගැනීම් සිදුනොවීම සහතික කිරීමටත්, ඉඩම් අහිමි වූ ප්‍රජාව ගෙයින් ගෙට ගොස් උපකාර ලබාගැනීමේ හා සහයෝගය ලබාගැනීමේ ව්‍යපෘතියක් ආරම්භකරලා තියෙනවා.

  ජාතික ත්‍රෛභාෂා මාධ්‍ය හරහා මෙම ගැටලුව ඉදිරියට ගෙනඒම සඳහා කුමන ආකාරයේ භුමිකාවන් සිදු කරන්නේ ද?

දමිළ ප්‍රකාශන කිහිපයක් පමණක් මේවෙත අවධානය යොමුකරලා තියෙනවා. බහුතර ප්‍රජාව අතර මෙම ගැටලුව පිළිබඳ දැනුවත්බවක් ඇතිකිරීම සඳහා මෙම සිද්ධිය සිංහලෙන් හා ඉංග්‍රීසි  භාෂා මාධ්‍යවලින් ප්‍රකාශනය විය යුතු යි. සුලුතර ප්‍රජාව විසින් වන භූමි පවරාගැනීමේ උත්සාහයක නිරතවන බවට අසත්‍ය ප්‍රචාරණ අඛණ්ඩව සිදුකරමින් පවතිනවා. සත්‍ය තමයි, අසරණ දුප්පත් ජනතාවගේ ඉඩම් බලෙන් පවරගෙන තියෙනවා වගේම, මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු යි.