Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සුරුවමෙන් බැස - ත‍ෙප්පමට නැඟි
මන්නාරම් මාතාව

මෙය ගැහැනියක ගැන කතාවකි. ඇය අභිභවනය කළ ගැහැනියක් ගැන ඔබට සිහි කළ හැකිද? මෙය මවක ගැන කතාවකි. මාතෘත්වය ගැන ඇය දෙවැනි කළ පිළිරුවක් ඔබට හමුවී ඇත්ද? පුත‍්‍ර ස්නේහයෙන් පින්වත් කුමරු අතැතිව සිටින මරඳමඩු මාතාවෝය. ඇය වෙනුවෙන් ‘මඩු මාතා’ නමින් වූ දේවස්ථානයක්ද ඇත්තේය. තලෙයිමන්නාරම් තොට ‘සුරුවමක’ ඇය ගල්ගැසී සිටින්නීය. බොහෝ දෙනකුට ඇය හමුවී ඇත්තේ ඇගේ තරුණ […]

25.06.2016  |  
මන්නාරම දිස්ත්‍රික්කය
මාතෘත්වය ගැන ඇය දෙවැනි කළ පිළිරුවක් ඔබට හමුවී ඇත්ද?

මෙය ගැහැනියක ගැන කතාවකි. ඇය අභිභවනය කළ ගැහැනියක් ගැන ඔබට සිහි කළ හැකිද? මෙය මවක ගැන කතාවකි. මාතෘත්වය ගැන ඇය දෙවැනි කළ පිළිරුවක් ඔබට හමුවී ඇත්ද?

පුත‍්‍ර ස්නේහයෙන් පින්වත් කුමරු අතැතිව සිටින මරඳමඩු මාතාවෝය. ඇය වෙනුවෙන් ‘මඩු මාතා’ නමින් වූ දේවස්ථානයක්ද ඇත්තේය. තලෙයිමන්නාරම් තොට ‘සුරුවමක’ ඇය ගල්ගැසී සිටින්නීය. බොහෝ දෙනකුට ඇය හමුවී ඇත්තේ ඇගේ තරුණ වියේදීය. නැත… දැන් ඇය බොහෝ සෙයින් වියපත්ය. සුරුවමේ මෙන් පැහැපත් වූ රූප සොබාවක් ද ඇයට නැත. දිව්‍යමය සළුපිළි වැරහැලි වී බොහෝ කල්ය. වීදුරු ගෙවල්වලින් අභිනිෂ්ක‍්‍රමණය කර වැල්ලේ පොල්අතු පැලක් සිය විමානය කොට ගත්තීය. මානව පේ‍්‍රමයෙන් පෙඟුණු හදවත හැරුණුකොට භෞතික වත්කම් ඇය සතුව නැත.

මුහුද සහ තෙප්පම

හෙලන් ජසින්තා ප‍්‍රනාන්දු ‘මන්නාරම් මාතාවගේ’ වයස දැන් අවුරුදු හැට නවයකි. 1999 දී සිය ස්වාමියා මිය යාමෙන් තුන් මසකට පසු ‘මුහුදු රස්සාව’ තෝරාගත් ඇය අදත් මන්නාරම් මුහුද තරණය කරන්නීය. අද ‘මසුන් මරන්නියක’ ලෙස ඇය මුහුදු යන්නේ තමන්ගේ දරුවන් ජීවත් කරවන්නට නොවේ. අනුන්ගේ දරුවකු ජීවත් කරවන්නටය. තලෙයිමන්නාරම් වැසියන් ජසින්තා අම්මාට කියන්නේ ‘අක්ක නගා අක්කා’ කියාය. ජසින්තා ප‍්‍රනාන්දු කිව්වට එහි කිසිවකු ඇය හඳුනන්නේ නැත. සිංහල කතා කිරීමට අපහසු පිරිස අතරේ ජසින්තා අම්මා හැඳින්වෙන්නේ ‘නෝනම්මා’ කියාය.

තලෙයිමන්නාරම් වැසියන් ජසින්තා අම්මාට කියන්නේ ‘අක්ක නගා අක්කා’ කියාය.
තලෙයිමන්නාරම් වැසියන් ජසින්තා අම්මාට කියන්නේ ‘අක්ක නගා අක්කා’ කියාය.

නෝනම්මාට ‘අක්ක නගා අක්කා’ කියන්නේ ඇයිදැයි මම ඇගෙන් විමසා සිටියෙමි. ” ඕක කියන්න පටන් ගත්තේ 1976 ඉඳලා… හැත්ත හයේ අපි බෝට්ටු දෙකක් ගත්තා. එතකොට අපිට හිටියේ බාලම දූලා දෙන්නා. බෝට්ටු දෙකෙන් එකකට නම් තිබ්බා ‘අක්කා’ කියලා අනෙකට ‘නංගී’ කියලා නම තිබ්බා. අන්තිමට ඒ දෙකම එකතු කරලා මෙහේ අය මට ‘අක්ක නගා අක්කා’ කියන්න පටන් ගත්තා….”

‘මෙහේ අය’ කිව්වේ අම්මා මෙහේ නොවේදැයි මම ඇයගෙන් පෙරළා ප‍්‍රශ්න කළෙමි…!

”නැහැ මගේ උපන් ගම වෙන්නප්පුවේ උල්හිටියාවේ. මහත්තයාගේ ගම කටුනේරියේ. 1968 අපි දෙන්නා කසාද බැන්දා. ඒ දවස්වල මාදැල් පන්නේ කළා. මම මාළු විකුණ්නා, දැල් ගෙතුවා. අපි දෙන්නගේම දෙපැත්තේ කට්ටිය කසාදෙට විරුද්ධව හිටියේ. දවසක් මහත්තයගේ ගෙදර යනකොට රෙදිපිළි ඔක්කොම එළියට දාලා දොරේ අගුලූ දාලා තිබුණා. මම ගෙදර යනකොට මිදුලේ රෙදි ටික පුච්චලා තිබුණා. ඇඳගෙන හිටපු වස්තර පිටින් නවසිය හැත්තෑවේ තලෙයිවලට ඇවිල්ලා පොල්අතු පැලක් අටව ගත්තා… මහ මුහුද අපිට පිහිට වුණා…! එකදාස් නවසිය අනූව වෙනකොට බෝට්ටු දෙකක්, තෙප්පම් 13 ක්, කරත්තයක්, දැල්මඩි සීයක් විතර අපිට තිබුණා. එළු පට්ටියක් තිබුණා. යුද්දෙ නිසා ඒ ඔක්කොම අතහැරලා වෙන්නප්පුවට ගියා. හිස් අතින් ආවා වගේම ආයිත් හිස් අතින් වෙන්නප්පුවට ගියා. ඔය අතරේ තමයි කරදර වුණේ…!” දීර්ඝ සුසුමකින් පසුව ඇගේ ජීවිතයේ ඊළඟ කාලපරිච්ඡේදය අප හමුවේ තැබුවාය.

සුරුවම බිඳවැටීම nonamma-3
දැල් මඩියක් අරගෙන මං ගියා මුහුදේ.

”1999 අවුරුද්දේ හිටි හැටියේ මහත්තයා නැති වුණා…! එතකොට ලොකු පුතාට අවුරුදු 17 යි. බාල දුවට 12 යි. තුන් මාසේ පින්කම ඉවර වෙද්දි ගෙදර හාල් තිබුණේ නෑ. මට දරුවෝ බඩගින්නේ තියන්න බෑ. මහත්තයා රස්සාව කරපු තෙප්පම තිබුණා. දැල් මඩියක් අරගෙන මං ගියා මුහුදේ. ඊට කලින් මං ඇළක, දොළක, ගඟක පීනලා තිබුණේ නෑ… මං පීනන්න දැනගෙන හිටියෙත් නෑ… මුහුදු ගිය පළවෙනි දවසේම රුපියල් 650 ක විතර මාළු දැල්වල පැටලිලා තිබුණා. ඒ කාලේ හැටියට ඒ මුදලත් ලොකු ගාණක්”

”බය හිතුණේ නැද්ද අම්මේ මුහුදු යන්න.” මම ඇගෙන් විමසුවෙමි.

”කන්න බොන්න දෙන්න කෙනෙක් හිටියේ නෑ… අතපාලා ඉල්ලන්න කෙනෙකුත් නෑ… නෑයෙක් මල්ලෙක් පිහිටට ආවෙත් නෑ… ඉතුරු වෙලා තිබුණේ මහත්තයාගේ තෙප්පමයි හිතේ හයියයි විතරයි. දරුවෝ ගැන හිතද්දි බය පිච්චිලා ගියා මහත්තයෝ…. දරුවන්ගේ ආච්චි ගෙදර ආවම ආච්චිට දරුවෝ ටික දාලා මම පාන්දර තුනට මුහුදු ගියා. උදේ හය හත වෙද්දි ගොඩට ආවා. එහෙම ඇවිල්ලා දරුවෝ ලෑස්ති කරලා ඉස්කෝලෙත් පිටත් කළා…!” ඇගේ මුහුණින් දිස් වූයේ ජයග‍්‍රාහී මඳ සිනහවකි.

රළ සමඟ පොර බැදීම

නෝනම්මා කවුදැයි තලෙයිමන්නාරමේ මාළු ව්‍යාපාරිකයකුගෙන් මම විමසුවෙමි. ”හාපෝ… පිරිමියෙකුටත් කරන්න බැරි වැඩ තමයි එයා කරන්නේ… යකඩ ගෑනියෙක්…!” වයස අවුරුදු පනස් දෙකේ දි මහ මුහුදට පය තැබූ නෝනම්මාට දැන්නම් ගොඩත් මහ මුහුදත් එක වාගේම හුරුය. නෝනම්මා මුහුදු ගිය මුල් කාලයේ ධීවර කාර්මිකයන් ඇය දෙස බැලුවේ මහත් පුදුමයකිනි. ඇයම ඒ බව කීවේ මෙසේය.

නෝනම්මාට දැන්නම් ගොඩත් මහ මුහුදත් එක වාගේම හුරුය.
නෝනම්මාට දැන්නම් ගොඩත් මහ මුහුදත් එක වාගේම හුරුය.

”නාවික හමුදාවේ පුතාලා මාව දැක්කම ළඟට ඇවිත් අහනවා අම්මා ඇයි මේ මුහුදේ… මං කිව්වෙ රස්සාව කරනවා පුතේ කියලා! ඒ කට්ටියට හරි පුදුමයි. මුහුදට ගියාම පිරිමි රස්සාව කරන තැන්වලම තමයි මාත් පන්නේ කරන්නේ. එදා වගේම අදත් කොල්ලෝ මුහුදෙ දි මට විහිළු කරනවා… දවසක් තෙප්පම පෙරළුණා. බෝට්ටුවලින් ගියපු කට්ටිය මට උදව් කළා. එහෙම වුණේ නැත්නම් එදා තමයි මැරෙන්න තිබුණු දවස… දැනුත් මං තුනට වැල්ලට ගිහින් තෙප්පමෙන් මුහුදු යනවා. හය හත වෙද්දි ගොඩ එනවා. දවසකට රුපියල් දෙතුන් දාහක මාළු අහුවෙනවා. සමහර දවස්වලට හාරසීයයි, පන්සීයයි.”

”මහ රෑ මෙහෙම යන්න බය නැද්ද අම්මා..”

”මොකට බය වෙන්නද? මේ වැල්ලට පය තියලා දැන් කොච්චර කල්ද? මේකේ ගැවසෙන හැම කෙනාම මං අඳුරනවා. සිංහල වගේම දෙමළ කතා කරන්නත් මට පුළුවන්. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම මට ආදරෙයි. මගේ වයසේ පිරිමියෙක්වත් මෙහේ මුහුදු යන්නේ නෑ…!”

”ඉතින් අම්මේ… දැන් ඔය රස්සාව නවත්තන්න පුළුවන්නේ?” මම ඇයට කීවෙමි.

”ඔව් පුතේ පුළුවන්… මගේ දරුවෝ හය දෙනාම පොළොවේ පය ගහලා රස්සා කරගෙන ඉන්නවා… මන්නාරම්තොට වාළුකාරාමය පන්සලේ ලොකු හාමුදුරුවෝ මට රුපියල් හැත්තෑපන්දාහක් දුන්නා. මං ඉතුරු කරපු සල්ලිත් දාලා අපි දැන් කඩයකුත් කරනවා. මගේ දරුවන්ට ප‍්‍රශ්න නැහැ. ඒ වුණත් පුතේ මගේ හත්වැනි දරුවාට මං වගකියන්න  ඕන…”

69 හැවිරිදි අම්මා සහ 13 හැවිරිදි පුතා

ඒ කතාව කුමක්දැයි මම ඇගෙන් විමසුවෙමි.

අතේ පයේ හයිය තියෙද්දි මං කාටවත් අත පාන්නේ නෑ...
අතේ පයේ හයිය තියෙද්දි මං කාටවත් අත පාන්නේ නෑ…

”පුතේ මීට අවුරුදු 13 කට කලින් මගේ ළඟ වැඩ කළා සපරමාදු කියලා ගමේ හාදයෙක්. මිනිහා මේ වැල්ලෙ දි ලේ වමනේ දාලා හදිසියේ මැරුණා. මැරෙන මොහොතේ කිව්වේ ‘නෝනම්මේ මගේ දරු පැටියා බලාගනින්’ කියලා… මිනිහගේ ගෑනිත් දරුවා මට දාලා ගියා. කිරිපිටි දිදී පැටියා මං හදාගත්තා. දැන් ඒ පැටියට අවුරුදු 13 යි. මට කියන්නේ නෝනම්මා කියලා. මගේ අනිත් දරුවොත් මේ දරු පැටියට ආදරෙයි. මගේ දරුවන්ට දැන් දරුවෝ ඉන්නවා. මේ මං හදාගත්ත කොලූ පැටියා ඉස්කෝලෙ යවන්නේ මං. ඌට යන වියදම් හොයලා දෙන්න මං මුහුදු යනවා. අතේ පයේ හයිය තියෙද්දි මං කාටවත් අත පාන්නේ නෑ… මේ දරු පැටියට මං සේරම කියලා තියෙන්නේ… හංගන්න දෙයක් නෑ. ඌට අම්මයි තාත්තයි දෙන්නම නෑ. දෙන්නගේම යුතුකම මායි කරන්න  ඕනෑ. ඌට අතේ පයේ වාරු ඇතිව රස්සාවක් කරගන්න පුළුවන් වෙනකං මං මුහුදු යනවා…!”

හැට නව හැවිරිදි නෝනම්මා ධෛර්යයෙන් යුතුව කීවාය. මන්නාරම්තොට උතුරු කොටසේ කෙළවරක නෝනම්මාගේ මාළු වාඩිය පිහිටා ඇත. ඇය පදිංචි නිවසේ සිට එතැනට කිලෝමීටර් පහක පමණ දුරකි. අලුයම දෙකට නැගිටින ඇය කිලෝමීටර් පහක දුරක් වැල්ලේ පියවර මනින්නීය. මාළු වාඩියේ සිට මුහුදු යාමට සුදුසු ඇඳුමින් සැරසෙන ඇය දැල් ආම්පන්න තෙප්පමට දමා මුහුදු ගමන් ආරම්භ කරන්නීය.

හැඩි දැඩි පිරිමි දැල් එළන මුහුදු සීමාවේ නෝනම්මා ද රාජකාරි අරඹන්නීය.
හැඩි දැඩි පිරිමි දැල් එළන මුහුදු සීමාවේ නෝනම්මා ද රාජකාරි අරඹන්නීය.

පළලින් වැඩි උණ පතුරකින් සාදා ගත් හබල හැඩි දැඩි පිරිමියකු මෙන් හසුරුවන ඇය ඉතා කෙටි කාලයක් තුළ තලෙයිමන්නාරම් වැල්ලේ සිට කිලෝ මීටර් හතක් ගැඹුරු මුහුද දෙසට හබල් ගාන්නීය. හැඩි දැඩි පිරිමි දැල් එළන මුහුදු සීමාවේ නෝනම්මා ද රාජකාරි අරඹන්නීය. ඉස්සන්, සූඩයන්, කටුවල්ලන්, මෝරුන් දැලට පටලවා ගන්නා ඇය ගෙදර බතට මාළු පිනිත්, හත්වන දරුවාගේ එදිනෙදා වියදමුත් පියවා ගන්නීය.

කාලගුණයෙන් බාධා ඇතත් ඇය ඒවා අභිභවන්නීය. එහෙයින් මහ වැස්සෙත්, සඳ එළියෙත්, කාෂ්ටක අව්වේත්, මධ්‍යම රාත‍්‍රියේ මෙන්ම දහවලෙත් රළ සමඟ හැපෙන්නට ධෛර්යයක් ඇය සතුව ඇත. මාතෘත්වය පොබ කළ නෝනම්මා ගැන මරඳමඩු මෑණියන් දනී නම් නියත ලෙසම ඇය දෝත පා නෝනම්මා තමන් ළඟට ඔසොවාගනු ඇතැයි මට සිතේ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

Video Courtesy : Hirutv.lk