Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

එදා කොටි - අද ආණ්ඩුව:
මාවිල්ආරු යළි සටනට

ජල ප්‍රශ්නයක් නිසා ඓතිහාසික අරගලයකට පැටලුණු මාවිල්ආරුව නැවත වතාවක් උණුසුම් වෙමින් තිබේ. එයද ජල ප්‍රශ්නයකි. වෙනස ඇත්තේ ප්‍රශ්නය ඇති කරන පාර්ශ්වයේ පමණකි.

19.10.2016  |  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
දවස් දෙක තුනක් නැවතිලා උයා පිහාගෙන කාලා මහවැලි ගඟට වැලි කොට්ට ගහනවා. එහෙම ගහපුවහම තමයි, මාවිල්ආරට වතුර එන්නේ

“මේ කාලෙට මාවිල්ආරට එන වතුර අඩු වෙනවා. අපි සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකට එකතු වෙලා සෝමාවතිය කිට්ටුව කැලේ තියෙන කන්දකාඩු කියන තැනට ගිහින් දවස් දෙක තුනක් නැවතිලා උයා පිහාගෙන කාලා මහවැලි ගඟට වැලි කොට්ට ගහනවා. එහෙම ගහපුවහම තමයි, මාවිල්ආරට වතුර එන්නේ.”

මූතූර් ගොවි සංවිධානයේ කේ.එම්. රහුමාන් අවධාරණය කළේ සිය ගොවි පෙරමුණේ ශක්තිය ගැනය. ඊළග වාක්‍ය කීපයෙන් ඔහු කතාව නියම තැනට නාභිගත කළේය.

‘කොටි මාවිල්ආර වැහැව්වහම අපි හැමෝම ඒකට විරුද්ධව පාරට බැස්සා. එතන ජාතිභේද තිබුණෙ නැහැ. ආගම් භේද තිබුණෙ නැහැ. කොටි කළත් ආණ්ඩුව ‍කළත් වරද වරදමයි. අපි කොහෙත්ම මේ වැඩේ කරන්න ඉඩදෙන්නෙ නැහැ”

මිනිපේ අමුණ උස් කිරීම

එදා ජලය වෙනුවෙන්  කොටි සංවිධානයට එරෙහිව සටන් බිමට බට අල්ලෙ ගොවියාට අද රජයට එරෙහිව සටනට පිවිසීමට සිදුවීමද දෛවෝපගත සිද්ධියකි. මෙම ගැටුමට මුල් වී ඇත්තේ අල්ලෙ ගොවියන්ගේ හඩට කන් නොදී මිනිපේ අමුණ මීටර් තුනහමාරකින් උස් කිරීමට රජය දියත් කර ඇති කඩිනම් ව්‍යාපෘතියයි.

වියළි කලාපීය ගම් නියම් ගම් රැසක් සිය දියවරෙන් පෝෂණය කෙරෙන මහවැලි ගගෙහි ගමනාත්තය ත්‍රිකුණාමලයයි. එය සිය ගමන නිමා කිරීමට පෙර කන්දකාඩු ප්‍රදේශයේ දී අතු ගංගාවක් මගින් මාවිල්ආරුවට ජලය ලබා දෙයි. මාවිල්ආරුව යනු සේරුවිලට හා මූතුර් ප්‍රදේශයට බටහිරට වන්නට පිහිටි ස්භාවික ජල රදවනයකි.

edit 10
මාවිල්ආරුව යනු සේරුවිලට හා මූතුර් ප්‍රදේශයට බටහිරට වන්නට පිහිටි ස්භාවික ජල රදවනයකි

මහවැලි ගඟ මගින්  මාවිල්ආරුව වෙත ගෙන එන ජලය  අල්ල ගොවි ජනපදයට හා වෙරුගල් ප්‍රදේශයට බෙදා හැරෙන අතර, ඒ මගින් කුඹුරු අක්කර විසි දෙදහස් පන්සියයක් පෝෂණය කෙරේ. අගමැති ඩී.එස්.සේනානායක 1952දී ඇති කළ ගොවි ජනපද ව්‍යාපාර යටතේ 1954දී ගොඩ නැගෙන අල්ලෙයි ගොවිජනපද ව්‍යාපාරයේ  විශේෂත්වය වන්නේ, ඒ යටතේ සියලු ජාතීන්ට ඉඩම් හිමි වීමයි.

වැරදි තීරණයක්

මිනිපේ අමුණ තව දුරටත් සංවර්ධනය කිරීමෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතුර්, සේරුවිල හා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගොවි පවුල්වල අසූ දහසකට වැඩි පිරිසක් අගතියට පත් වන බව මාවිල්ආර ඒකාබද්ධ ගොවි සංවිධානය කියා සිටි. එහි සභාපති අනුරුද්ධ විශ්වන්ත මහතා මෙසේ පැවසුවේය.

“අපි ගොවියන් හැටියට, මිනිපේ අමුණ උස් කරලා ඇළ සංවර්ධනය කරලා තවත් ගොවි පිරිසකට ජලය ලබාදීම සම්බන්ධයෙන් විරෝධයක් නැහැ. නමුත් මේ ව්‍යාපෘතිය සැලසුම් කරල ‍තියෙන්නෙ අපේ ප්‍රදේශයේ තිබෙන ජල ප්‍රමාණයන් ගණනය කරල නෙවෙයි. මේක  කළොත් අල්ල ගොවි ජනපදයට යල කන්නයේදී උග්‍ර ජල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. එහෙම වුණොත් කව්ද ඒක‍ට වගකියන්නෙ? ”

වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය හා මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ සක්‍රියතා අධ්‍යනය 2012 වසරේ දී ආරම්භ කර තිබේ. සක්‍රියතා අධ්‍යනයකදී සියලු පාර්ශ්වයන් හා අගතියට පත් වන්නන් පිළිබඳ සලකා බැලුවද, මිනිපේ අමුණ සංවර්ධන ව්‍යාපෘතියේදී එම න්‍යාය ක්‍රියාත්මක නොවුණේ මන්දැයි මාවිල්ආර ව්‍යාපාරයේ ගොවීහු ප්‍රශ්න කරති. සෝමපුර කාවන්තිස්ස ගොවි සංවිධානයේ අසේල සම්පත් ඒ ගැන මතු කරන කරුණු ප්‍රබලය.

සක්‍රියතා අධ්‍යයනය

“මේ සක්‍රියතා අධ්‍යනය ආරම්භ කරලා තියෙන්නේ 2012 දී. නමුත්, මේ වෙනකම් එකම එක නිලධාරියෙක්වත් මේ ප්‍රදේශයට ඇවිත් නැහැ.මාවිල්ආර ඒකාබද්ධ ගොවි සංවිධානය යටතේ ගොවි සංවිධාන 42ක් ක්‍රියාත්මක වෙනවා. නමුත්, මේ කිසිම කෙනෙකුගෙන් අදහස් විමසීමක් කරලා නැහැ. අඩුම තරමින් මූතුර්, සේරුවිල, වෙරුගල් ප්‍රාදේශීය ලේකම්වරුවත් දිසාපතිතුමාවත් මේ ව්‍යාපෘතිය පිළිබද දැනුවත් කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි, අපි ගිය අවුරුද්දේ විජිත් විජිතමුණි සොයිසා ඇමතිතුමාගෙන් මේ ගැන ඇහුවම එතුමත් ඒ ගැන දන්නෙ නැහැ කියලා කිව්වා. මේ සක්‍රියතා අධ්‍යනය කා එක්කද කළේ කියලයි අපි අහන්නේ..”

10-3 edit
ගලා යන ජල ප්‍රමාණය පිළිබද නිසි අධ්‍යනයක් නොකර මෙම ව්‍යාපෘතිය සකස් කිරීම මවිතයට හා හාස්‍යයට කරුණක්

මහවැලි ගඟෙහි අවසන් භාගයේදී ගලා යන ජල ප්‍රමාණය පිළිබද නිසි අධ්‍යනයක් නොකර මෙම ව්‍යාපෘතිය සකස් කිරීම මවිතයට හා හාස්‍යයට කරුණක්  බව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ඩග්ලස් ධර්මරත්නම් මහතා  කියා සිටියි.

“මේ ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙන්නේ, ගාමිණි දිසානායක ඇමතිතුමාගේ කාලේ.  එදා ගලපු ගඟ නෙවෙයි අද ගලන්නේ. පාරිසරික හේතු මත ගගේ වතුර අඩු වෙලා. අස්වද්දපු කුඹුරු ප්‍රමාණය කිහිප ගුණයකින්ම වැඩි වෙලා. ගඟ අවසාන හරියෙදී ගලා යන ජල ප්‍රමාණය ගැන මේ අය ගණනය කරලා නැහැ. වාරිමාර්ග ඇමතිතුමා වත් නොදැන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එකම රට මේක වෙන්න ඕනේ.”

එස්.සෙල්දිල්දාස්, මුන්නම්පෙරිවෙට්ට් (මූතුර්) හි පදිංචිකරුවෙකි. ඔහු මෙසේ පැවසුවේය.

“අපි යුද්දෙ කාලේ නොසෑහෙන්න දුක් වින්දා.. මේ ගම්බිම් අතහැරලා ගහින් කදවුරුවල හිටියා.. දැනුයි, යාන්තම් හුස්ම ටිකක් ගන්නේ. අපි ආණ්ඩුවට කියන්නෙ, අපිව නැවත වරක් අනාථ කරන්න එපා. මොකද අපිට තියෙන එකම පිහිට මේ මාවිල්ආර වතුර ටික විතරයි.”

වන උයන් අනතුරේ

සංහිදියාවට කදිම තෝතැන්නක් වු මාවිල්ආර ඒකාබද්ධ ගොවි සංවිධානය සිංහල දමිළ මුස්ලිම් පමණක් නොව, මෙරටේ දෙමළ භාෂාව කතා කරන ආදිවාසීන්ද නියෝජනය කෙරෙන කදිම සංවිධානයකි. එහි වර්ගවාදයක් හෝ ආගම්වාදයක් නැත. ඔවුන් එක හඩින් කියා සිටින්නේ, ජලයට අත නොතබන ලෙසයි.

මිනිපේ අමුණ ව්‍යාපෘතියෙහි පාරිසරික වාර්තාවද මාවිල්ආර එකාබද්ධ ගොවි සංවිධානය අභියෝගයට ලක් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය නිසා තමන් පමණක් නොව සෝමාවතී වන උද්‍යානය ඇතුළු වන උද්‍යාන හා වන රක්ෂිත රැසක පැවැත්මද අභියෝගයට ලක්වන බවයි. සේරුවිල උපාලි කුමාරතුංග ඒ ගැන අපූරු නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කළේය.

“සෝමාවතිය,කන්දකාඩු රක්ෂිතය, ඇතුළු වන උද්‍යාන රැසක් පෝෂණය වෙන්නේ, මහවැලි ගගෙන්. යල කන්නයේ දී ගගේ ජල ධාරිතාව සීග්‍ර ලෙස පහළ යනවා. එතකොට කැලේ සත්තුන්ට පවා වතුර හිග වෙනවා. දැන් මේ වෙන කොටත් අලි රංචු මාවිල්ආරට වතුර හොයා ගෙන එනවා. මිනිපේ අමුණ උස්සන්න කලින් තත්වය මේක නම්, අඩි නවයක් ඉස්සුවොත් කොහොම වෙයිද? මේ වෙන කොටත් මහවැලි ජලයෙන් ක්‍රියාත්මක වෙන මුතුර් ජල යෝජනා ක්‍රමයයි, වෙරුගල් ජල යෝජනා ක්‍රමයයි අසාර්ථක වෙලා. ගගේ වතුර අඩු වෙද්දී මුහුදෙ වතුර ගග දිගේ ඉහළට එනවා..මේ නිසා මූතුර් එකේ පොම්ප් හවුස් එකට වතුර ගන්නේ, නීලපොල හරියෙදී ගගට වැලි කොට්ටා ගහලා..මේ මිනිපේ අමුණ හැදුවොත් අපිට වෙන්නේ, තව සැරයක් අවතැන් වෙන්නයි…”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මිනිපේ වම් ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ඉකුත් දා මුල්ගල තැබුණි.
 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් මිනිපේ වම් ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ඉකුත් දා මුල්ගල තැබුණි.

මිනිපේ අමුණ උස් කිරීමට එරෙහිව ඔවුන් කොතෙක් කරුණු දැක්වුවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මිනිපේ වම් ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ඉකුත් 06 වන දින මුල්ගල තැබුණි. ඒ යටතේ මිනිපේ අමුණ මීටර් තුනහමාරක් උස් කිරීම හා මිනිපේ වම් ඉවුර කිලෝ මීටර් 72 ක් සංවර්ධනය කිරීමට නියමිතය.

“මේකේ වැරුද්දක් තියෙනවා කියලා මෙයාලා දන්නවා. ඒක හිංදා තමයි, ජනාධිපතිතුමාව ගෙන්නලා ඉක්මනට මුල්ගල තිබ්බේ. මේ හැම දෙයක්ම යට තියෙන්නේ කොමිස්. අපි ජනාධිපතිතුමාටත් මේ ගැන පැහැදිලි කරලා සංදේශයක් දුන්නා. ගොවියෙක් වුණ එතුමත් ඒකට නිහඬයි..  ” ගෝපාල පිල්ලේ පැවසුවේය.

හුඹස් බියක් පමණයි

මිනිපේ වම් ඉවුර ඇළ පුනරුප්තාපන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සුසන්ත මැදිවක මහතා කියන්නේ, මිනිපේ වම් ඉවුර ඇළ පුනරුප්තාපන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාවිල්ආර ගොවියන් දක්වන්නේ හුඹස් බියක් බවයි. රන්ටැබෙන් හා රන්දෙනිගලින් මිනිපේ අමුණට ජලය මුදා හරින්නේ ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන අවථාවට පමණක් බවත්, එම අවස්ථාවේදී මිනිපේ අමුණෙන් පිටාර ගලන ජලය රදවා ගැනීම සදහා මිනිපේ අමුණ මීටර් තුනහමාරක් මෙසේ උස් කරන බවත් ඔහු පැවසුවේය.මිනිපේ අමුණ යටින් සවිකර ඇති ගේට්ටු මගින් ජලය හිග කාලයේ දී මාවිල්ආරට පෙර පරිදිම ජලය මුදා හැරෙන බවත්, මෙමගින් ජලය හිග කාලවලදී පවා බාධකින් තොරව මාවිල්ආරට ජලය සැපයෙන බවත් මැදිවක මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවත්, මහවැලි අධිකාරියත් එකගතා ගිවිසුමකට එළැඹෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

කවුරුන් මොන තීරණ ගත්තද, සොබාදහම තමන්ට යුක්තිය ඉටු කරනු ඇතැයි මාවිල්ආරු ගොවියෝ විශ්වාස කරති. සේරුවිල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වු එස්.එම්.ප්‍රේමරත්න ඒ විශ්වාසය මෙසේ තහවුරු කළේය.

“මේ සේරුවිල කියන්නේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සියලු ආගම් පැතුරුණු මහ විශාල පුන්‍ය භූමියක්. මේ පුන්‍ය භූමියේ ජනතාවට වතුර දෙන මාවිල්ආර වහන්න ගිහින් තමයි, කොටි සංවිධානය අතු ගෑවිලා ගියේ. ඒ වගේම නැවත වරක් කව්රු හරි ඒ දේම කරන්න හදනව නම්, ඒ අයගෙ ඉරණමත් ඊට වෙනස් වෙන්නෙ නෑ..”