Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

හැදෙන අලූත් ව්‍යවස්ථාවෙන්
රට බෙදෙන්නෙ නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ශ්‍රීලංකාවට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යයෙහි නිරත විද්වතුන් අතර ප්‍රමුඛයෙකි. ඔහු සමග කළ මේ සංවාදයෙන් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහි වන්නන් ගේ මත පිළිබඳ විමසා බැලීමක් සිදු කෙරේ.

01.08.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

මේ දවස්වල පිරිසක් පවසනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ ඒ සඳහා ලබාදුන් ජනවරමක් රජයට නැහැ කියලා. ඒ කාරණය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් පිළිබඳ පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ජනමත විචාරණයක් නොමැතිව දින 100ක් ඇතුළත කරන දේවල් ගැන වෙනමත් සඳහන් වෙනවා. ඊට පස්සෙ එක්සත් ජාතික පෙරමුණ තමන්ගෙ මැතිවරණ ප්‍රකාශනයෙ පැහැදිලිව කියා සිටියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ජාතික ගැටලූවටත් ඒකීය රාජ්‍යයක් තුළ පිළිගත හැකි විසඳුමක් ලබා දෙනවා කියලා. ඔවුන්ට ආසන 106ක් ලැබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පෙනී ඉන්න ජනතා විමුක්ති පෙරමුණට ආසන 06ක් ලැබුණා. ටී.එන්.ඒ ලබාගත්ත ආසනත් මේ කාරණා වෙනුවෙන් ලැබුණු ඒවා. ඒ පක්ෂ සියල්ලට ලැබුණු ඡන්ද ගත්තම අතිවිශාල ඡන්ද ප්‍රමාණයක්. ඉතිං ජනවරමක් නැහැ කියන්න බැහැ. 19 වැනි සංශෝධනයේදී සුලූ වෙනස්කම් කිහිපයක් පමණක් කළේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් වත් නොතිබුණු නිසා. අලූත් ව්‍යවස්ථාවක් හදලා මේ රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවගෙන් ජනමත විචාරණයක් තියලා ඒක සුදුසු ද කියලා අහන එක වැරදිදි. 1972, 78 ව්‍යවස්ථාවලදී ඍජුව ජනතාව සම්බන්ධ කරගත්තෙ නෑ. මෙතැනදී කරන්න හදන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරලා ජනතාවගේ කැමැත්ත ගන්න. එතකොටයි ව්‍යවස්ථාවට සුජාත බවක් ලැබිලා දීර්ඝ කාලයක් පවතින්නේ.

විවේචකයින් සහ එරෙහිවන්නන් අහන්නේ පවතින ව්‍යවස්ථාවට සංශෝධන එකතු කර නොගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි කියලා නේද?
මුල් ව්‍යවස්ථාව ජයවර්ධන මහත්තයාට ඕන විදිහට හදාගත්ත පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථාවක්. දැන් ඒක ඉරිතලලා ඉවරයි. 13 වැනි හා 17 වැනි සංශෝධන වලින් ඒකෙ බලය ටිකක් අඩු කරගත්තා. 18 න් මහින්ද මහත්තයා තිබුණට වඩා බලතල එකතු කරගත්තා. අපි 19 ගෙනල්ල නැවත ඒක වෙනස් කළා. විධායක ජනාධිපති ක්‍රමයේ කරන්න පුලූවන් වෙනස්කම් කරලා ඉවරයි. දෙමළ ජනතාවගේ නියෝජිතයො දේශපාලනයට ඇවිත් දීර්ඝ කාලීන විසඳුමක් ගැන අහනවා. අපි මූලික අයිතිවාසිකම් ගැන, අලූත් මැතිවරණ ක්‍රමයක් ගැන කල්පනා කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න ඕන. මේ සියල්ල කරද්දී ව්‍යවස්ථාවේ ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මට තේරෙන්නේ නැත්තෙ හැමදාම ජේ. ආර් ගේ ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරපු සමහරු ඇයි ඒකම පවත්වා ගෙන යන්න උත්සාහ ගන්නෙ, එක්සත් ජාතික පක්ෂය පවා වෙනස් අදහසකට ඇවිල්ලා ඉද්දී. ඒ ව්‍යවස්ථාව හැදිලා තියෙන්නෙ පරණ පදනමක් උඩ. දැන් අපිට අවශ්‍ය වෙන්නෙ නවීන ව්‍යවස්ථාවක්. දියුණු වෙමින් පවතින අනෙක් රටවල් ලතින් ඇමරිකානු, නැගෙනහිර ටිමෝරය, නේපාලය, දකුණු අප්‍රිකාව ගිහිල්ලා තියෙන දුර අපි සළකා බලන්න ඕන.
විරුද්ධවාදීන් පවසනවා මේ උත්සාහ ගන්නෙ පෙඩරල් දෙන්න. ජාත්‍යන්තර උවමනාවන්ට අනුව රට බෙදන්න කියලා මොකක්ද ඇත්ත තත්ත්වය?


සමහරු කියනවා ඒකීය රාජ්‍යයක් කියන්නේ නොබෙදුණු රාජ්‍යයක් පමණයි කියලා. සමහරු කියනවා ඊට වඩා නීතිමය අර්ථයක් තියෙනවා කියලා. කොහොම වෙතත් ඔය පෙඩරල් කතන්දරයක් මේකෙ නෑ.

ජනාධිපතිතුමයි අගමැතිතුමයි දෙන්නම එකඟ වෙලා තියෙනවා සියල්ල කරන්නෙ ඒකීය රාජ්‍යයක් තුළ කියලා. ඒකීය රාජ්‍යය ගැනත් නොයෙක් නිර්වචන තියෙනවා. සමහරු කියනවා ඒකීය රාජ්‍යයක් කියන්නේ නොබෙදුණු රාජ්‍යයක් පමණයි කියලා. සමහරු කියනවා ඊට වඩා නීතිමය අර්ථයක් තියෙනවා කියලා. කොහොම වෙතත් ඔය පෙඩරල් කතන්දරයක් මේකෙ නෑ. මේකෙ තියෙන්නෙ එක්සත් රාජ්‍යයක් කියලත් නෙවෙයි. ඉතාම පැහැදිලිව ඒකීය රාජ්‍යයක් කියලා ඇතුළත් කරන්න අද දෙමළ ජාතික සන්ධානය පවා එකඟයි. ශ්‍රී ලංකාව නොබෙදිය හැකි රාජ්‍යයක් විය යුතුයි, රටේ පරමාධිපත්‍ය පවතින්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව මත, අනාගත ව්‍යවස්ථා හැදීමේ බලය තියෙන්නේ කේන්ද්‍රයේ තියෙන ව්‍යවස්ථාදායකයට පමණයි කියන මූලික කරුණු වලට හැමෝම එකඟ වෙලා තියෙනවා. ඉතිං කොහෙද පෙඩරල්.

පාර්ලිමේන්තුවට අමතරව සෙනෙට් එකක් හදන යෝජනාව ආවෙ මහින්ද මහත්තයාගෙ කාලෙ. නීති හදද්දී පළාත් සභාවලට නිශේධ බලයක් ලැබෙන්නෙ නෑ. ඒ තමයි ඒකීය රාජ්‍යයක මූලික පදනම.

/

පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම මගින් රට බෙදෙනවා කියලා ඇතමුන් ප්‍රකාශ කරන්නෙ ඇයි ?
පොලිස් බලතල දැනටම තියෙනවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ. සාගල රත්නායක මහත්තයා සභාපතිත්වය දරන ඔය සම්බන්ධ අනුකමිටුව කරපු අලූත් යෝජනාවක් තමයි පළාත්බද පොලීසිය පිහිටෙවුවට එහි ප්‍රධානියා එදිනෙදා කටයුතු වලදී මහ ඇමතිවරයාට වග කියන්නෙ නෑ. ඔහු වග කියන්නෙ පළාත් සභාව හදාගන්න පොලිස් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියට පමණයි. පළාත්බදව රාජ්‍ය සේවා හා පොලිස් කොමිසම පත් කරන්නේ කේන්ද්‍රය මගින්. ඉඩම් බලතල ගැන අද මෙහෙම කතා කරන්න වෙලා තියෙන්නෙ ජාතික ඉඩම් කොමිසමක් හදපු නැති නිසා. ඒක 13 වැනි සංශෝධනයේ හොඳ යෝජනාවක්. රටේ ඉඩම් ප්‍රතිපත්තිය එවැන්නකින් තීන්දු කෙරුණා නම් අද ප්‍රශ්නයක් නෑ.

රටේ මූලික නීතිය ව්‍යවස්ථාව වනවිට උඩරට නීතිය, තේසවලාමෛ නීතිය වැනි අනන්‍යතා පැවතීම ගැන මොනවද හිතන්නේ?
මං හිතන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හා ව්‍යවස්ථාව අදාල වෙනවානම් සියලූ දෙනාට පොදු නීතියක් තිබිය යුතුයි. ඔය නීති හැම එකේම සමානාත්මතා මූලධර්මය හා මූලික අයිතිවාසිකම් විශේෂයෙන් ස්ත්‍රීන්ගේ අයිතීන් උල්ලංඝනය වෙනවා. 72, 78 ව්‍යවස්ථා වල තිබුණා මූලික අයිතිවාසිකම් මොක වුණත් ඒ නීති වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒත් අද විශාල ඉල්ලීමක් තියෙනවා ඔය හැම නීතියක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුයි කියලා. බලන්න ඉඩම් අයිතීන් හිමි වීමෙදි එහෙම ස්ත්‍රීන්ට විශාල අසාධාරණයක් වෙනවනේ. උඩරට ජනතාව, යාපනේ ජනතාව කැමතියි මේවා වෙනස් වෙනවට. මුස්ලිම් නීතිය ආගමික නිසා ප්‍රශ්නයක් තියෙනවා. විවාදයක් තියෙනවා ඒ ප්‍රජාව තුළ. ඒ ප්‍රජාව තුළින් අදහසක් ආවොත් ප්‍රතිසංස්කරණය කරන්න ඒක පහසුවක්.

ව්‍යවස්ථාවේ සමානාත්මතාව ගොඩනැගෙන්නේ අයිතීන් එක්කනේ. ආන්තික හා සුලූතර කණ්ඩායම්වල නැත්නම් වෙනස් ලිංගික රුචීන් ඇති අයගේ වගේ අයිතීන් ගැන නව ව්‍යවස්ථාවක අවධානය යොමු වෙනවද?
ඔව්. හැම ප්‍රශ්නෙටම ව්‍යවස්ථාවෙන් විසඳුම් දෙන්න බෑ. ඒත නව ලෝක තත්ත්වයන් ගැන හිතන්න වෙනවා. දැන් ඔය සුලූතර ලිංගික කණ්ඩායම් ගැන එහෙම මගේ මතය කෙනෙකුගේ ලිංගික රුචිය අනුව ඔහුට හෝ ඇයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන්න බෑ. උදාහරණයක් හැටියට රජයේ ලිපිකාර සේවයට ගන්න කොට අයදුම්කරුවෙකු සමලිංගික යැයි කියලා නොගෙන සිටීම අත්තනෝමතිකයි. නමුත් පිරිමි පාසල් නේවාසිකාගාරයක පාලක තනතුරට එවැනි නැඹුරුවක් ඇති කෙනෙකු පත්කිරීම ප්‍රතික්ෂේප කිරීම කියන්නේ වෙනම කාරණයක්. එහෙම ආරක්ෂාකාරී අන්දමින් මේවා දිහා බලන්න ඕන. තව එකක් මං කියන්නම් නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමේ ප්‍රමුඛත්වය නැති වෙන්නෙත් නෑ.