Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට
ජාති, ආගම්, බේද යට යනවා

මහ පොළවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මේ ජාති,ආගම්,කුලමල බේද ඔක්කොම…ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන ආසාව උඩට එනවා.

16.11.2019  |  
මහනුවර දිස්ත්‍රික්කය
රාසික් යතුරු පැදි අලුත්වැඩියා කරමින්

මහ පොළවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මේ ජාති,ආගම්,කුලමල බේද ඔක්කොම…ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන ආසාව උඩට එනවා. ඒ වෙලාවට ගඟේ ඉන්න කෙනා මගේ ජාතිය,ආගම බලන්නේ නැතුව කරේ එල්ලෙනවා…මහ පොළවේ පය ගහලා ඉන්නකොටත් මේ විදිහට අපිට හිතන්න පුළුවන් නම් මේ ජාති,ආගම් බේද ඇති කරගෙන මිනිස්සු මරා ගන්නේ නැහැ‘යි මහවැලි ගඟේ ගිලී මිය යන්නට ගිය දෙදහසකට පමණ යළි ජවිතය දුන් මොහොමඩ් අලී රසීක් ෆරීඩ් පවසයි. රාසික් තම්බි ලෙස කාඅතරත් ප්‍රසිද්ධ ඔහුගේ නවාතැන කොළඹ නුවර පාරේ පේරාදෙණිය ආසන්නයේ මහවැලි ගඟට යාබද ස්ථානයකි. ගඟේ සිට මීටර සියයක පමණ දුරින් නිවස පිහිටා තිබීම නිසා රාසීක්ට කුඩා කල සිටම ගඟේ දියරැලි, මුවක හසරැලි තරම් සමීප වූවේය.

‘ගඟට වැටුණු දෙදාහක් විතර මං ගොඩ අරන් තියෙනවා. මැරෙන්න කියලා හිතලා ගඟට පනින ඕනම කෙනෙක් වතුරේ ගිලෙනකොට බේරෙන්න දඟලනවා. ඒ කෙනා සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා ගඟට වගක් නැහැ. ගඟ බලන්නේ ඕනම කෙනෙක් තුරුලට ගන්න. ගඟත් එක්ක පොර බදලා ගිලෙන්න යන කෙනෙක් බේර ගන්න එක ලේසි නැහැ.
මං උපතින් ඉස්ලාම් භක්තිකයෙක් වුණාට මගේ යාළුවෝ ගොඩක් සිංහල අය.පාස්කු ප්‍රහාරයත් එක්ක මුස්ලිම් ජනතාව දෙස සිංහල ජනතාව සැකයෙන් බලන්න පටන් ගත්තා. ගඟට වැටුණු කෙනෙක් බේරගන්න ගියාම මං කවදාවත් ජාතිය,ආගම බැලුවේ නැහැ. අපි හැමෝම මිනිස්සු. මගේ අම්මා තාත්තා මුස්ලිම් නිසා මං මුස්ලිම් වුණා. සිංහල අයත් එහෙමයි. පුංචි පුංචි දේවල් නිසා අපි මනුස්සකම් අතහැරලා ජාති වශයෙන් බෙදෙනවා නම් අපි හැමෝම පරදිනවා‘යි රාසික් පවසන්නේ වයස අවුරුදු දහයක පමණ තරම් වයසේ සිට ගඟේ සැඟවී යන්නට ගිය මිනිස් ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීමෙන් ලත් අත්දැකීම් සමඟ ය.
‘මට දැන් අවුරුදු පනහක් වෙනවා.දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.මගේ නෝනා සිංහල කෙනෙක්. එයාගේ නම සුමිත්‍රා. ආදරයට ජාති,ආගම් කුල බේද නැහැ. සුමිත්‍රාව දැක්කම මට ආදරයක් ඇති වුණා. අපි විවාහ වුණේ 1995 දී. ලොකු පුතාට දැන් අවුරුදු 17 ක් වෙනවා. අනිත් දෙන්නා දූවරු.‘

රාසික් බිරිය සහ දරුවා සමඟ

තුනේ පන්තියෙන් පාසල් ගමන නිමා කළ රාසික්ගේ ජීවන වෘත්තිය යතුරු පැදි අලුත්වැඩියා කිරීම ය. ඔහුගේ පියාගේ මස්සිනා සතු ගරාජයෙන් මෝටර් බයිසිකල් හදන්න ඉගෙන ගත් ඔහු අද තමන්ගේම කියා ගරාජයක් පේරාදෙණියේ පවත්වාගෙන යයි. යතුරු පැදියක් හදමින් ඉන්න විට කවුරුන් හෝ ගඟට පැන්නොත් කාගේත් මතකයට එන්නේ රාසික්ය .‘මිනිහෙක් ගඟට පැනලා‘ යැයි ඇසුණු සැණින් ඔහු දෙවරක් නොසිතා ගඟ කරා දිවයන්නේ මොහොතක ප්‍රමාදය ජීවිතයක් අහිමි වීමට හේතුවන බව අත්දැකීමෙන් දන්නා බැවිනි.

‘මමයි, චූටියයි, අතුලයි, ඩොරිසුයි, සනයි, ගාමිණියි, උක්කුනුයි, මෝගනුයි අපි හැමෝම පුංචි කාලේ දවසම ගත කෙරුවෙ ගඟේ. සෙල්ලම් කළේ ගඟේ ගල් අස්සේ. එදා ඉඳන් මේ ගඟේ පුංචි වෙනසක් වුණත් අපිට දැනෙනවා. ඒ කාලේ වන්දනා නඩ ඇවිත් ගම්පොළ පාරට හැරෙන තැන තියෙන ලොරි ස්ටෑන්ඩ් එක ළඟින් පහළට බැහැලා නානවා.පිටින් එන අය ගඟේ තරම දන්නේ නැහැ. වතුරේ ටිකක් ඈතට ගිය ගමන් ගිලෙනවා. බේර ගන්න කියලා කෑ ගහනකොට අපි ගිහින් ගොඩට ඇදන් එනවා. ගිලුණු කෙනාව බේර ගත්තම වන්දනා නඩේ අනිත් අය අපිට පින් දෙනවා. ඒ කාලේ මේක විනෝදයක් වුණා. සතියකට දෙන්නෙක් තුන්දෙනෙක් අපි බේර ගන්නවා.
කොල්ලා කෙල්ලට බූට් එක තිබ්බම කෙල්ල ගඟට පනිනවා.කෙල්ල කොල්ලට බූට් එක තිබ්බම කොල්ල ගඟට පනිනවා.විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයි ගඟට පනින අවස්ථා තියෙනවා. මං ගොඩක් අයව බේරගෙන තියෙනවා.අද ඒ අය ලොකු රස්සාවල් කරනවා ඇති. මං ගඟට පැනලා දහස් ගානක් බේර ගත්තත් ඒ අය අතරින් තාමත් මාව බලන්න එන්නේ එකම එක්කෙනයි. ගඟට පැනලා ජීවිතේ බේරුණාට පස්සේ ගොඩක් අය තමන් ගත්ත තීරණය ගැන දුක් වෙනවා. ඒ සිද්ධිය යළි සිහිපත් කරන්නවත් මේ අය කැමැති නැහැ. පවුල් පන්සල් වුනාම තමන්ගේ අතීතිය යළි ඉස්මතු වෙනවාට.ඒ නිසා කවුරුත් මා බලන්න නොඑන එකගැන මං දුක්වෙන්නේ නැහැ‘ යි ඔහු කියයි.

රාසික්ගේ නිවස

රාසික් බේරාගත් බොහෝ දෙනා ගඟට පිනූ අයයි.ගඟට වීසි කළ පුද්ගලියන් පස් හය දෙනෙකු බේරාගෙන තිබෙන ඔහු එම අත්දැකීම මෙසේ විස්තර කළේය.
‘1988 භිෂණ කාලේ පේරාදෙණිය පාලම උඩට තරුණයින් ගෙනල්ලා ගඟට වීසි කරනවා.ඒ අයට හොඳටම පහර දීලා තමයි ගඟට දාන්නේ.සමහර අයගේ ඔළුව නැහැ. සමහර අයගේ අත්පා නැහැ. වතුරට දාන්න කලින්ම ඒ අයව මරනවා. දවසක් තරුණයෝ හතර දෙනෙක් පාලම යට වැටිලා හිටියා.මං ගිහින් බලන කොට ඒ අයට පණ තිබුණා. ගහලා වතුරට දානකොට පාලම යට වතුර නැති තැනකට වැටිලා.මං ඒ අයව ගොඩට ගෙනත් රෝහලට අරන් ගියා.ඊට පස්සේ මොනවා වුනාද දන්නේ නැහැ.‘

මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට ගොස් ඔහු මුහුණ දුන් අපූරු සිදුවීම් රැසකින් රාසික්ගේ ජීවිතය පිරී තිබේ.
‘දවසක් පාලම උඩ මිනිස්සු කෑගහනවා ඇහිලා මං ගඟ දිහා බැලුවා.මනුෂ්‍යයෙක් ගඟේ දඟලනවා වගේ දැක්කා. මං දෙවරක් නොහිතා ගඟට පැනලා මනුස්සයව ගොඩට ගෙනාවා.ගොඩට ගෙනාපු ගමන් පොලීසිය ඇවිත් මිනිහව අල්ලා ගත්තා. බලන කොට මිනිහා පොලිසියෙන් බේරිලා පැනලා යන්න ගඟට පැනලා තියෙන්නේ.මනුස්සයා මට බැණ බැණ තමයි එතනින් ගියේ….‘

මං කැමතියි මගේ පුතා මා එක්ක ඇවිත් මේ වැඩේ ඉගෙන ගන්නවා නම් .මොකද මං මැරුණ දවසක මේ ග‍ඟට වැටෙන අය බේරා ගන්න කවුරු හරි ඉන්න ඕන.ඒත් ප්‍රශ්නේ දැන් ගඟත් මිනිස්සු වගේ හිටි හැටියේ දරුණු වෙනවා.ඉස්සර එහෙම නැහැ.අපේ දරුවෝ වැල්ලෙම නැටුවේ නැහැ.පුතාට අනතුරක් වුණොත් මං ජීවත් වෙලා වැඩක් නැහැ.මට ජීවිතේ කියා දුන්න මේ ගඟ නිසා මට මේ ලෝකේ දරුණුම පීඩාව ලැබුණොත් මං මේ ගෙවපු ජීවිතේ තේරුමක් නැති වෙනවා යැයි රාසික් පැවසුවේ දියයට සිට ගොඩට පැමිණ හෙළන සුසුමකටත් වඩා දිගු සුසුමක් හෙළමිනි.

පේරාදෙණිය පාලම