Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

යාන් ඔයට බිලිවන
පඹුරුගස්වැව උරුමය

පරම්පරා ගණනක් තිස්සේ ඔවුහු ඒ පොළොව සරු කළහ. යුද්ධය පැවති තිස් වසරක් මුළුල්ලේ ජීවිතය පරදුවට තබා ඒ පොළොව රැකගත්හ. දැන් සංවර්ධනයේ නාමයෙන් ඒ පොළොව ඔවුන්ගෙන් උදුරාගනිමින් තිබේ.

29.09.2016  |  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
.ඉදි වෙමින් පවතින යාන්ඔය ජලාශයේ වේල්ල.

වසර දහස් ගණනක් පුරා පඹුරුගස්වැව බිම සාරවත් කරමින් ගලා ගිය යාන් ඔය ගං කොමලිය තව ටික දිනකින් සිය ගමන නිමා කරන්නේ, මෙතෙක් කල් ඇය සාරවත් කළ බිමද ගිල ගනිමිනි. ත්‍රස්තවාදී ප්‍රහාර හා වන අලි ප්‍රහාර වලට ලක් වෙමින් ගම නොහැර ගිය පඹුරුගස්වැව ගොවි ජනයාට සංවර්ධනයේ නාමයෙන් අවතැන්වීමට සිදුව තිබේ.

උග්‍ර ජල හිගයෙන් පෙළෙන උතුරු මැද, නැගෙනහිර සහ වන්නි දිස්ත්‍රීක්කයයේ ගොවි ජනයාට යල මහ දෙකන්නයට ජලය සැපයීමේ අරමුණින් ආරම්භ කෙරෙන ‘යාන් ඔය ජල ව්‍යාපෘතිය’ මෙරට ඉදිවන තෙවන වීශාලතම ජල යෝජනා ක්‍රමයයි. චීන ණය ආධාර යටතේ ඉදි කෙරෙන යාන් ඔය ජල ව්‍යාපෘතියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් මුල්ගල තැබෙනුයේ, 2012.08.17 දිනයි.

මෙම ජල ව්‍යාපෘතියට ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන පහකට අයත් පවුල් තුන්සියකගේ වාසස්ථාන හා ඉඩකඩම් අහිමි වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේද ඒහා සමාන පවුල් ප්‍රමාණයකට වාසස්ථාන අහිමි වීමට නියමිතය.

අවතැන් වූවන්ගේ ඉරණම

මේ වන විට අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමාවෙමින් පැවතියද, ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන ගෝමරන්කඩවල, පඹුරුගස්වැව හා ඒ අවට ගම්මානවලට අයත් පවුල් සම්බන්දයෙන් මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු වන, පඹුරුගස්වැව සරත් ලාල් විතාන කියා සිටි.

.පඹුරුගස්වැවට දියවර සැපයු මහ සොරොව්ව වැව යාන්ඔය ජලාශයට යටවෙමින් තිබෙන අයුරු
පඹුරුගස්වැවට දියවර සැපයු මහ සොරොව්ව වැව යාන්ඔය ජලාශයට යටවෙමින් තිබෙන අයුරු

“ මේ පඹුරුගස්වැව ග්‍රාමසේවා වසමේ විතරක් පවුල් 189 කට මේ ජල ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වෙනවා. මේවා පුරාණ ගම්.. අපේ සීයලා මුත්තලා 1912 කාලයේ තමා මෙහෙට ඇවිත් පදිංචි වෙලා තියෙන්නේ. අපේ ගමේ විතරක් වැව් පහක් මේකට යට වෙනවා. 2017 වෙද්දී මේකෙ ඉදි කිරීම් අවසන් වෙනවා කියලා රජය කියනවා. නමුත්, මේ වෙනකම් අපිට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අඩුම තරමින් අපි වෙනුවෙන් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපි ගොනුවක්වත් විවෘත කරලා නැහැ..මේක පටන් ගත්ත කාලේ රජය කිව්වා අපිට කජුවත්ත කියන ප්‍රදේශයෙන් ඉඩම් වෙන් කරනවා කියල. නමුත්, අද වන තෙක් අපිට එහෙම ඉඩමක් ලැබිලා හෝ හදුන්වාදීමක් කරලා නැහැ.. ”

ඉඩම් අහිමි වන එම පවුල්, ව්‍යාපෘතියේ සිට කිලෝ මීටර් 15ක් පමණ එපිටින් පිහිටි කජුවත්ත නැමැති ප්‍රදේශයේ පදිංචි කරන බව බලධාරීන් සදහන් කර ඇත. එහෙත් ගම්වාසීන් පවසන්නේ මෙතෙක් එම ඉඩම් හදුනා ගෙන හෝ මැණුම් කටයුතු කිසිවක් සිදුකර නොමැති බවයි. ව්‍යාපෘතිය ආසන්න දකුණු ඉවුරේ හෙක්ටයාර 14,000 කට වඩා ඉඩම් තිබියදී, තමනට කජු වත්ත වැනි වනගත ප්‍රදේශකින් ඉඩම් ලබාදෙන්නේ මන්දැයි පඹුරුගස්වැව ජනතාවට ගැටලුවකි.

‘කැලේ යන්න බෑ’

ඊට පිළිතුරු ලෙස ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ, යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවන් එහි දකුණු ඉවුරෙන් ඉඩම් ඉල්ලා සිටියද, එහිදී සිදු වන වන විනාශය හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවයි. කෙසේ නමුත්, මෙම පිරිස් පදිංචි කිරීමට නියමිත කජුවත්ත ප්‍රදේශය යාන්ඔය දකුණු ඉවුරට වඩා වන ගත ප්‍රදේශයක් බව ගම්වාසීන්ගේ අදහසයි. පඹුරුගස්වැව ජනයා ඉල්ලා සිටින ඉතා සරුසාර බිමක් වු දකුණු ඉවුරේ අක්කර 19,000 ක් කෙසෙල් වගාව සදහා ඉන්දියානු සමාගමකට වෙන් කර ඇති බවද කියති.

“ දැන් අපිට තියෙන ප්‍රශ්නේ, අපිට නොදී මේ ඉඩම් කාටද දෙන්නේ කියන එකයි. රජය කියන්නේ, දකුණු ඉව්රේ ඉඩම් දුන්නොත් වන සම්පත විනාශ වෙනවා කියලා. නමුත්, අපි දන්න හැටියට ඔය කජුවත්ත කියන දිහා අපි ඉඩම් ඉල්ලන දකුණු ඉවුරට වඩා ඝන කැලේ.. අපිව කැලේට තල්ලු කරන්න හදන එකට අපි එකහෙළා විරුද්ධයි. මේ දකුණේ ඉවුරේ ඉඩම් කෙසෙල් වගා කරන්න ඉන්දියාවට දීලා කියලා කතාවක් තියෙනවා. එහෙම වුනොත්, අපි මේ ඩෑම් එක උඩ මැරෙනකම් උපවාස කරනවා..”

එසේ කියන්නේ පඹුරුගස්වැව ලාල් ගුණතිලක ය. ඔහුගේ නිවස හා අක්කර දහයක් වූ කුඹුරද යාන්ඔය ව්‍යාපෘතියට මේ වන විටත් යට වී හමාරය.

කුලීත් නෑ-වන්දිත් නෑ

ව්‍යාපෘතියට ඍජුවම ඉඩම් යට වූ (වේල්ලට) පවුල් රැසක් මේ වන විට පඹුරුගස්වැව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තාවකාලිකව රැදී සිටින අතර, ඔවුන්ට රජය පොරොන්දුවු කුලී නිවාස මුදල් හෝ මෙතෙක් ගෙවා නොමැති බව මහ සොරොව්ව වැව සුජාතා අරංපොල චෝදනා කර සිටියි.

ඉදි වෙමින් පවතින යාන්ඔය ජලාශයේ වේල්ල.
ඉදි වෙමින් පවතින යාන්ඔය ජලාශයේ වේල්ල.

“මේ ව්‍යාපෘතියේ ඩෑම් එකට අපි නව දෙනෙකුගේ ඉඩම් නැති වුණා. දැන් අපි ඉන්නේ, වෙනත් අයගේ ගෙවල්වල.. අපිට ව්‍යාපෘතියෙන් මාසෙකට රුපියන් 15,000 ගානේ ගෙවල් කුලියක් ගෙවනවා කියලා පොරොන්දු වුණත්, අද වෙනකම් එක සතයක් ලැබිලා නැහැ.. අපිට මේක නිසා හැමදේම අහිමි වුණා..”

මෙම ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වන ඇතෙමෙකුට මීට පෙර ඔප්පු සහිත ඉඩම් අක්කර 5-10 අතර තිබුණද, රජයෙන් මේ වන විට ලබාදීමට සැලසුම් කර ඇත්තේ, එක් පවුලකට අක්කර දෙකහමාරකි. ඒ ගොඩින් අක්කර 1ක් හා මඩින් 1½ක් ලෙසිනි. ඉඩම් අහිමිවූවකු වන සම්පත් කුමාර අබේසිංහ මෙම ක්‍රමයට තදින්ම විරෝධය පළ කරයි.

“අපේ ගමේ ගොඩක් දෙනෙකුට එක්කෙනාට අක්කර පහ හයකට වඩා තිබුණා.. ඒවා සින්නක්කර ඔප්පු තියෙන ඉඩම්.. නමුත්, අලුතින් ඉඩම් දෙන්න යන්නෙ හැමෝටම එක ප්‍රමාණයක්. ඒක අසාධාරණයි.”

පඹුරුගස්වැව ප්‍රදේශයේ පිහිටි වැව් බොහොමයක් මේ වන විට යාන්ඔය ව්‍යාපෘතියට යට වීම හේතුවෙන් කන්න කිහිපයක්ම අස්වැද්දවීම මග හැරී ගොස් තිබේ. ඒ වෙනුවෙන් ඔවුනට කන්න හානි ලබා දෙන බවට රජය පොරොන්දු වී තිබුණද, එයද නිසි ලෙස ක්‍රීයාත්මක වී නැත.

දෙන වෙලාවට ලැබේවි’

යාන්ඔය ජල ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන ජනයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රීයාමාර්ග පිළිබදව අප ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් එස්.එම්.සී.සමරකෝන් මහතාගෙන් විමසීමක් කළෙමු.

“මේ යාන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 140 කට පමණ නිවාස අහිමි වෙනවා. අනු පවුල් එක්ක ගත්තොත්, පවුල් 275ක් පමණ වෙනවා. තවමත් මෙම ඉඩම් පවරා ගැනීම පිළිබදව ගැසට් නිවේදනය නිකුත් කර නැහැ. එය සිදු වූ වහාම අදාළ නිවාස පිළිබද තක්සේරු වාර්තා කැදවා ඔවුනට හිමි ප්‍රතිලාභ පිළිබද දැනුවත් කරනවා. මේ වන විට වේල්ලට යටවීම නිසා නිවාස අහිමි වු පවුල් නවයකට ලබා දෙන වන්දි සම්බන්ද‍යෙන් ඔවුන් දැනුවත් කර තිබෙනවා. ඔවුන්ට ලබා දිමට නියමිත ඉඩම් පිළිබද මෙතෙක් තීරණයකට පැමිණ නැහැ. මොකද කජුවත්ත ප්‍රදේශයෙන් ඉඩම් ලබාදීම ගැන වැඩි පිරිසකගේ කැමැත්තක් නැහැ. ඒ වගේම ඒ සම්බන්ධ පරිසර වාර්තාව මෙතෙක් පිටවෙලත්නැහැ.. ඒ නිසා ඒ ගැන වැඩි යමක් ප්‍රකාශ කිරීම අපහසුයි..”

නිලධාරීන් බොහෝ සන්සුන් ලෙස එසේ පැවසුවද ජනතාව එදිනෙදා මුහුණදෙන ගැටලු, කල්දැමිය හැකි ඒවා නොවේ. වන්දි අනුමත වී එනතුරු ‘කුසගින්න’ ඉවසා වදාරන්නේ නැත. පඹුරුගස්වැව මල්වාගේ නාමවතී, කාටත් දැනෙන බාසාවෙන් පැවසුවේ ඒ ගැනය.

10-(3)
ඉදි වෙමින් පවතින යාන්ඔය ජලාශයේ වේල්ල.

“වැව් ටික කැපුවා..කුඹුරු කරන්න වතුර නැහැ..අපි කන්නේ මහ පොළොවේ පස්ද? කන්න හානි දෙනවා කියලා කිව්වට, ඒක දුන්නෙත් දෙපාරයි. අපි හැම අතින්ම අසරණයි. අපිට කාගෙවත් පිළිසරණක් නැහැ.. අය්යනායක දෙය්යොම තමා මේ අවනඩුව බලා ගන්න ඕනේ..”

සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රමුඛතම කාර්යය විය යුත්තේ වින්දිතයන්ට සහන සැලසීමයි. තිස් වසරක යුද්ධයෙන් බැට කමින් තම ගම්බිම් හැර නොගිය පඹුරුගස්වැව ජනයාට එම න්‍යාය වලංගු නොවන්නේ නම්, ඔවුනට අය්යනායක දෙවියන්ගේ පිහිට හැර අන් සරණක් වේද ?