Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

'නිදි දෙව් දුව' උරණ වූ
ගම්පියසක කතාවක්

‘නිදා නොගන්නා ගමක් තියෙන්නේ’ යැයි ගීතයක් එක කාලයක ගුවන්විදු‍ලියෙන් තොරතෝංචියක් නැතිව ප්‍රචාරය විය. මේත්, නිදා නොගන්නා ගමක් ගැන කතාවකි. එහෙත් ඔවුන්ගේ ජීවන පුවත ගීයෙහි මෙන් මිහිරි නොවේ.

30.09.2016  |  
පුත්තලම දිස්ත්‍රික්කය
காற்றா லையில் உ்ளள பாரிய காற்றாடி

වයඹ පුරවරයේ, කල්පිටි අර්ධද්වීපයේ මහ සයුර සහ කළපුව මායිම් කරගත්, ඉලන්තඩිය නම් අපූරු ගම් පියසකි. පවුල් තුන්සියයක පමණ වාසභූමිය වූ එහි වෙසෙන්නෝ, වෘත්තියෙන් ගොවියෝ සහ ධීවරයෝය. ඔවුහු සිය ගොවි බිම් වල රතු ලූනු, උඩ පහත දෙරට එළවළු වගා කරමින් ශ්‍රී ලාංකීය ජනතාවගේ බත රස කරන්නෝය. එමෙන්ම මත්ස්‍ය සම්පත නෙළා දෙමින්, දේශීය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරන්නෝය.

උදෑසන හිරු හා එක්ව සිය ජවය ගොවි බිමටත්, මහ සයුරටත් දන්දෙන මෙම ගම් වැසියනට, සිය ගත සිත නිවාලන දිව ඔසුවකි- සුව බර නින්ද. එහෙත් නිදි දෙව් දුව උරණව, මෙම ගම් වැසියන් කරා නොපැමිණෙන්නීය. එබැවින් මානසික පීඩනයෙන් හෙම්බත්ව, භීතියෙන් ඇළලී රැය පහන් කරන්නට ඔවුන්ට සිදුව තිබේ. සිසු දරුවන්ට අකුරු කරන්නට නොහැකිය. රූපවාහිණී නැරඹීමට හෝ ගුවන් විදුලියට සවන්දීමට, දුරකථන ඇමැතුමකට පවා ඉඩ හසර නොමැත්තේය. මෙම අපූරු ගම් දනව්වේ සංචාරක නිවස්න කරා පැමිණෙන සංචාරකයින්ද, වෙන් කර ගන්නා ලද නිවස්න පවා අත් හැර නික්ම යන්නේ කළමනාකරුවන්ට දොස් පවරමිනි.

අද්භූත කතාන්දරයක් වැනි මේ පුවතෙහි සුල මුල සොයා අපි එහි ගියේ රැයෙහි නොව දහවලකය. වෙනත් අද්භූත කතාන්දරවල මෙන් නොව මෙම කතාවේ භූතයා රැයෙහි පමණක් නොව දහවලෙහිද දැකගත හැකි වීම ඊට හේතුවයි.

wind-mill
ගමට පිවිසෙත්ම, මන්ද මාරුතයක් හමා එන බදු විශාල ශබ්දයකින් අපි මොහොතකට තිගැස්සුණෙමු

බැලූ බැලූ අත දකින්නට ඇත්තේ උඩ පහත දෙ රටටම, අයත් එළවළු වගා බිම්ය. රතු ලූනු, මිරිස් සහ දුම් කොළ වගාවන්ය. ඒ අතර කරවල වේලන දසුන්ද වේ. ශ්‍රී ලාංකීය එළවලු සහ මත්ස්‍ය වෙළද පොළට, මෙම ජනතාවගේ දායක්ත්වය දිස්වන නිහඩ සාක්ෂි අත් විදිමින් අපි ඉදිරියට පිය මැන්නෙමු.

 “මේ ඉන්නේ යකා.”

ගමට පිවිසෙත්ම, මන්ද මාරුතයක් හමා එන බදු විශාල ශබ්දයකින් අපි මොහොතකට තිගැස්සුණෙමු. ඒ හාම අප නෙත ගැටුණේ, අපගේ පැමිණීම අපේක්ෂාවෙන් දෑස් අයා බලා සිටි  නෙලී තිසේරාය. ඇය 45 හැවිරිදි තෙදරු මවකි. සැමියා නොමැති නිසා, සිය පවුල ඇය නඩත්තු කරන්නේ අසල්වැසි ගොවි බිම් කරා ගොස් කුලී වැඩක නිරත වීමෙනි.

“මේ ඉන්නේ යකා.” ඈ තමා පිටු පසින් වූ, විශාල සුළං කොරටුව ( සුළං බලාගාරයේ විද්‍යුත් ජනක ස්ථම්භය) පෙන්නුවාය. සුළං කණුවෙන් නැගෙන හඩ ඉතා ප්‍රබලය. අපි මොහොතකට වික්ෂිප්ත වූවෙමු.

“මේ වාරකන් කාලය නිසා හරිම සද්දයි. ඔය ඇත්තන්ට මේ ඩිගිත්තටත් අහන් ඉන්න අමාරුයි නේද? එහෙමනම් මේ ගම මැද්දෙ, කණු දොළහක් තියෙනවා. ගමේ අපි පවුල් තුන්සියයක් ඉන්නවා. අවුරුදු හයක් තිස්සෙ අපි කොහොමද මේ සද්දේ දරා ගෙන ඉන්නේ?” ඇය මගෙන් විමසුවාය.

‘කැරකෙනකල් දන්නෙ නෑ’

ලංකා විදුලි බල මණ්ඩලයේ ලිපි ගොනුවලට අනුව මෙම ව්‍යාපෘතිය ‘කල්පිටිය සුළං විදුලිබල ව්‍යාපෘතිය’ ලෙස නම් කොට ඇති අතර, DGM(EPT)/WPP/2430 යන අංක යටතේ නම් කොට ඇත. ඒ අනුව ව්‍යාපෘතියේ ස්ථාපිත විදුලි බල ධාරිතාව මෙගා වොට් 9.8කි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් සදහා ස්ථානීය අනුමැතිය ලබාදෙන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරීය විසිනි. එම ආයතනයේ වෙබ් අඩවියට අනුව, කල්පිටිය අර්ධද්වීපය, සුළං බලාගාර ඉදිකිරීමට සුදුසු ස්ථානයක් ලෙස හදුනා ගෙන ඇත.

“මේ කණු හිටවද්දී, ගමේ අයට විරුද්ධ වෙන්න තිබුණා නේද?”

” මගේ ජීවිත කාලයටම මේ වගේ කණු දැකලා නැහැ. හුළං පෙති කරකැවෙනකම් මේ ගමේ කවුරුවත් දන්නේ නැහැ මේ වගේ සද්දයක් ඇහෙයි කියලා.එහෙම දැනගෙන උන්නානම් අපි ඉඩ දෙනවද මේක අටවන්න?”

නෙලී තිසේරා පැවසුවාය.

අවුල් වූ ජීවිත

“තිරිසන් සතෙකුට වුණත්, දවස පුරා වෙහෙස වුණාම රෑට සැනසිලේ ඇහැ පියාගන්න ඕනේ. මේ සද්දෙ නිසා අපේ ගමේ කිසි කෙනෙකුට හරි හැටි නින්දක් නැහැ. හිටපු ගමන් බෝම්බ දමනවා වගේ මහා විශාල සද්ද පිටවෙනවා. පොඩි නින්දක් ගියත් ගැස්සිලා ඇහැ ඇරෙනවා. අපේ වහළෙට මේ බමරේ කඩා වැටෙයිද කියලා බය හිතෙනවා. නමෝ මරියක්, පරමණ්ඩලයක් කියලා නිදා ගන්න හැදුවත් නින්දයන්නේ නැහැ. පහු වෙනිදාට වැඩට ගියාම නිදා වැටෙනවා.”

“මගේ දුව මේරි ඩිලානිගේ අවුරුදු දෙකක දුවව, රෑට නිදි කරවන්නම බැහැ. පුදුම වදයක් විදින්නේ.”

ඩබ්ලිව්. නිලන්ති පැවසුවේ, ඇගේ දියණිය ඉකුත් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී පාඩම් කිරීමට නොහැකිව අපමණ පීඩනයකට ලක් වූ බවය.”අපි හුගක් මහන්සි වෙලයි දුවව උසස් පෙළ දක්වා අරං ආවේ. අන්තිමේ දී මේ කරුම හුළං කණු නිසා, දුවට හරිහැටි පාඩම් වැඩ කර ගන්නත් බැරි වුණා.”

ටී.සුභද්‍රා ප්‍රියදර්ශනී ප්‍රනාන්දු (අවුරුදු 33 )ගේ දියණියද ශිෂත්ව විභාගය සදහා පෙනී සිට ඇත. සිය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට මෙම ශබ්දය බාධාවක් වූ බව ඇය පවසයි.

“මට බබෙක් ලැබෙන්න ඉන්නවා.මේ සද්දෙ දරුවටත් බලපාන බව මට දොස්තර මහත්තයාත් කීවා.” සුභද්‍රා කණස්සල්ලෙන් පවසයි.

‘සංචාරකයො එන්නෙ නෑ’

මේ සුළං කොරටු වලින් නිකුත්වන අධික ශබ්දය, සංචාරක ව්‍යාපාරයටද මරු පහරක්ව ඇතැයි , කල්පිටිය සංචාරක හෝටල් ව්‍යාපාරීකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කීර්ති සම්පත් පීරිස් මහතා පවසයි.

ඉලන්තඩිය ගමේ පිහිටි බොහෝ සංචාරක නිකේතනයන්ට මෙම ගැටලුව බරපතළ ලෙස බලපා ඇති බවද ඔහු අවධාරණය කළේය.

“බොහොමයක් හෝටල්වලට, මේ සද්දෙ නිසා සංචාරකයෝ එන්නේ නැහැ. ආවත් එක දවසින් හැරිලා යනවා.”

හිටපු කල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්. නලින් තිසේරා පවසන්නේ මේ සුළං මෝල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, නියමිත පිළිවෙතින් බැහැරව සිදු කර ඇති බවයි.

“මෙම ඉදි කිරීම් සිදු කරද්දී ගම්වාසීන් හෝ මහජන නියෝජිතයන් දැනුවත් කළේ නැහැ. ව්‍යාපෘතිය ඉදි කිරීමෙන් පසු ඇති වන පාරිසරික හා සමාජ ගැටලු ගැන අධ්‍යනයක් සිදු කර නැහැ. එහි විපාක විදින්නට සිදුවෙලා තිබෙන්නේ ගමේ අහිංසක ජනතාවටයි. අප මේ පිළිබදව, කල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ සිට ගරු අග්‍රාමාත්‍යවරයා දක්වා දැනුම් දී තිබෙණවා. අපේ එකම ඉල්ලීම මේ කණු පද්ධතිය මෙතනින් ඉවත් කොට සුදුසු තැනකට ගෙන යන්න කියන එකයි.”

wind-mill3
මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධව පරිසර අනුමැතිය ලැබී ඇති බවද කියයි.
බලධාරීන්ගේ ප්‍රතිචාර

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී යේ සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂ පී. යූ. රත්නායක මහතා පැවසුවේ, අදාළ සංචාරක හෝටල් හිමියන් විසින් තමාට මේ පිළිබදව දන්වා ඇති බවයි. ඒ සදහා විසදුමක් ලබා දීමට උත්සහ කරන බවද ඔහු පැවසුවේය.

මේ පිළිබදව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් එච්.එම්. සුනන්ද ප්‍රසන්න හේරත් මහතාගෙන් විමසීමේදී ප්‍රකාශ කළේ, මේ පිළිබදව සුනිත්‍ය බල ශක්ති අධිකාරීය වෙත දන්වා ඇති බවත්, ඔවුන් මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවත්ය.

අපි මෙම ගැටලුව ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරීයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විමල් නදීර මහතාගෙන් විමසූ වෙමු. ඒ මහතා ප්‍රකාශ කළේ විභවය හදුනා ගැනීම සහ මූලික අනුමැතිය ලබාදීම සංකීර්ණ පියවර ගණනාවක් ඔස්සේ තම ආයතනය විසින් සිදු කරන බවය. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධව පරිසර අනුමැතිය ලැබී ඇති බවද ඔහු කියයි.

මේ බලධාරීන් කියන අන්දමට සියලු කටයුතු නිසි පරිදි සිදු වී තිබේනම් ඉලත්තඩියේ ගම්වාසීන්‍ට නින්ද නොයෑමට හේතුවක් තිබිය නොහැකිය. එහෙත් කටුක සත්‍යය නම් මේ සුළං මෝල් සවි කිරීමට සැලසුම් කළ, අනුමැතිය දුන් සියලු බලධාරීන් සුවසේ නිදාගෙන සිටියදී ඉලත්තඩියේ මිනිසුන් වසර ගණනාවක් තිස්සේ නිදි නැතිව සිටින බවයි.

ගැටලුවක් නැතැයි කියන සියලු බලධාරීන් වෙත, ඉලන්තඩිය ගම්වාසීන් ඉදිරිපත් කරන්නේ එකම එක අභියෝගයකි.

“මහත්වරුනේ, පුළුවන් නම් එකම එක රැයක් ඉලන්තඩියේ නතරවෙලා යන්න එන්න.”