මයිල්වාගනම්, සංගීතා සහ ජෙසින්තා
පරම්පරා තුනක අරගලය
පාරම්පරික උරුමය හා නූතනත්වය පිළිබද අරගලය සදාතනික එකකි. මුතූර්හි ආදිවාසී සම්භවයක් සහිත ජන කොටසක් ඒ අරගලයට මුහුණ දෙන අයුරු මේ ලිපියෙන් අපූරුවට සිත්තම් වෙයි.
මේ සැගවුණ ජන වර්ගයක පරම්පරා දෙකක අරගලයකි. එක් පාර්ශවයක හිදින්නේ, මුහුදු ආදිවාසී කේ.මයිල්වාගනම්ය. ඔහු මූතූර් නල්ලූර්හි නිල නොලත්, මුහුදු ආදිවාසි නායකයාය. අනෙක් පාර්ශවයට නිල නොලත් නායකත්වය දෙන්නේ, ගුණසේකරම් සංගීතායි. එය අතිශයෙන් මානුෂීය හා සාධාරණ අරගලයකි.
හැට අටවන වියේ පසුවන කේ.මයිල්වාගනම් අන් අයට හදුන්වා දෙන්නේ, තමා නියම වැද්දෙකු ලෙසිනි. තමන් ඇතුළු පිරිස මහියංගනයේ වෙසෙන ආදි වාසීන්ට නෑකම් කියන බව මයිල්වාගනම් කියන්නේ මහත් ආඩම්බරයෙනි. ඒ නෑ උරුමය කුවේනිගේ පුරාවෘත්තය දක්වා දිව යන්නක් බව ඔහු කියයි. තමන්ගේ ජන වර්ගය ආදිවාසී මිස දමිළ නොවන බව කියන මයිල්වාගනම් විවිධාකාර සමාජ විපර්යාසයන් හමුවේ තම ජන වර්ගය තව දුරටත් ආරක්ෂා කර ගත නොහැකිව ඉච්ඡාභංගත්වයට පත්ව සිටියි.
මයිල්වාගනම් අද දිනයේ සිය උරුමය රැක ගැනීමට එසේ වෙහෙසෙද්දී, සංගීතා සිය දරුවන් වැදී ලේබලයෙන් ගළවා ගැනීමට මහත් වෙහෙසක් දරන්නීය. යුධ ගැටුම් පැවති සමයේ කොටි සංවිධානයෙන් ගැළවීමට වයස අවුරුදු දහයේ දී ඉන්දියාවට පලා යන සංගීතා නැවත තම උපන් ගම වු නල්ලූර් වෙත පැමිණෙන්නේ, වසස අවුරුදු විසිපහේදීය.
ඒ වන විට තම ගම්බිම් වෙලා ගෙන තිබු කුරිරු යුද්ධය නිමා වී තිබුණි. ඇය විසල් ලෝකයක් දැක තිබිණි. ඇය දුටු ඒ ලෝකය සිය දරුවන්ටද උරුම කර දීම සංගීතාගේ එකම පැතුමයි. එහෙත්, ඊට එරෙහි වැටකඩොලු ගොන්නකි. ඒ වැට කඩොලු මතින් පැනීමට මේ දහිරියවන්ත වැදි ගැහැනියට හැකියාවක් නැති සෙයකි.
ජාතිය අහිමි කිරීමත්රිකුණාමලය මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දකුණට වන්නට පිහිටි ගම්මාන එකොළහක පමණ ‘මුහුදු ආදිවාසීන්’ ලෙස හැදින්වෙන, සුවිශේෂ අනන්‍යතාවකින් යුත් මේ ජන පිරිස විසිර සිටිති. යටත් විජිත සමයේ ඉංග්‍රීසීන් සිය පරිපාලන පහසුව තකා රතුගල හා දඹාන යන ආදිවාසී ගම්මානවල පදිංචිව සිටි පිරිසක් මඩකලපුව වාකරේ සිට ත්‍රිකුණාමලයේ සම්පූර් දක්වා වු වෙරළ තීරයේ පදිංචි කළ අතර, පසු කාලීනව ඔවුන් මුහුදු ආදීවාසීන් ලෙස බිම්ගත විය.
පසු කාලීනව ඇතැම් නිලධාරීන්ගේ ජාතිවාදී උවමනාව සහ නොදැනුවත්කම හේතුවෙන් මෙම ජන වර්ගයාගේ ‘ආදි වාසී’ උරුමය ඔවුන්ගෙන් ගිලිහී යන්නේ, ඔවුන් සිය කැමැත්තෙන් තොරව දමිළයන් බවට පත් කරවමිනි.
“අපි දෙමළවත් හින්දුවත් නෙවෙයි, අපි වැද්දෝ.. නමුත් හැම තැනකදිම අපිව සලකන්නෙ දෙමළ කියලා.” නල්ලූර් ආදිවාසී නායක නඩරාසා කනගරත්නම් කියයි. ඔහු පෙන්වා දෙන්නේ එය සමාජයීය වශයෙන් පමණක් නොව උප්පැන්න සහතිකයේ සිටම සිදුවන අසාධාරණයක් බවය.
”අපේ මුල් කාලේ අයගේ උප්පැන්නේ ජාතිය කියන තැන තියෙන්නේ ‘ආදිවාසී’ කියලා. නමුත්, අද වෙන කොට ඒක සහමුලින්ම වෙනස් වෙලා. අපේ පරම්පරාවම දමිළ කරලා. මේක අපිට කරන ලොකු අසාධාරණයක්…”
වෙනස් වන පරපුරඑහෙත් සංගීතා ඉන්නේ ඊට වෙනස් අදහසකය. වෙනස් වන ලෝකය හමුවේ තමන්ට පමණක් ආපස්සට යා හැකි දැයි සංගීතා අසන පැනයට පිළිතුරු සෙවීම අසීරුය. තම දරුවන් වැද්දන් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව ඇයගේ අදහසයි. නොදියුණු යුගයේ තම ආදිතමයන් මනහ්කල්පිත ඇදහීම් කළද, තම දරුවන් ඊට යොමු කිරීමට තමා කිසිසේත් එකග නැති බව සංගීතා කියන්නීය.
“අපේ වැද්දෝ කියලා මහ හයියෙන් කෑ ගහලා කිව්වට අපිට මොනවද ලැබෙන්නේ? අපේ ගමට අල්ලපු ගම සංතෝෂ පුරම්. ඒකක් ආදි වාසි ගමක්. ඒ ගමේ හැමෝම හිගමනේ යනවා. අපේ සීයලා ආච්චිලා වැන්දේ ගස් ගල් වලට.. අපි වැන්දේ දෙවියන්ට.. නමුත්, අපි දැන් ක්‍රිස්තියානි ආගමට ගිහින් ඉන්නේ.. මේ ගමේ ඉන්න පවුල් වැඩි හරියක් ආගමට හැරිලා ඉන්නේ. දැන් තමයි අපි මනුස්සයෝ වගේ ජීවත් වෙන්නේ..ඒකට අපේ සමහරක් අය කැමති නැහැ. එයාලට ඕනේ, තමන්ගෙම අයට හූනියම් කර කර මේ නරා වළේම වැටිලා මැරිලා යන්නයි. මෙතනින් එහා ලෝකයක් තියෙනවා කියලා එයාලා දන්නේ නැහැ.. තම පාරම්පරික උරුමය වෙනුවෙන් අරගලයක යෙදෙන මයිල්වාගනම්ලාට -කනගරත්නම්ලාට සංගීතා අභියෝග කරන්නේ එලෙසිනි.
යුද්ධය හා සුනාමියයුධ ගැටුම් පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ පැවති මෙම ආදිවාසී ගම්මානයන්හි පාරම්පරික උරුමය යම්තාක් දුරකට ආරක්ෂා වී තිබුණද, යුද ගැටුම් නිමාවත් සමග එම තත්වය උඩුයටිකුරු වු බව පාඨාලිපුරම් ග්‍රාමීය සංවර්ධන සමිතියේ සභාපති ගුණසේකරම් මයිලන් පැවසුවේය.
යුධ ගැටුම් ඉතා තදින් පැවති සමයේ පාසල් සිසුවෙකු වු ඔහු මඩකලපුවට ගොස් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා මේ වන විට රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන්නේය.
ඉතාමත් අසීරු අවධියක තම ස්වෝත්සහයෙන් අධ්‍යාපන කඩඉම ජයගත් ආදිවාසි තරුණයෙකු වු මයිලන් අදටත් සිය වර්ගය රැක ගැනීමේ පරම උවමනාවෙන් කටයුතු කරන්නෙකි. පාඨාලිපුරම් ගම්මානයේ, අන්‍ය ආගමක් වැලද නොගත් පවුලක සාමාජිකයෙකි.
“ යුද්දේ ඉවර වුන ගමන් එක එක සභාවල් කිය කියා විවිධ ආගම් ගමට ආවා. මේ ගම්වල ඉන්න අයගේ නූගත්කමයි, දුප්පත්කමයි ප්‍රයෝජනයට අරගෙන අපේ අයව එයාලගේ ආගම්වලට හරවා ගත්තා. අද වෙන කොට මේ ගමේ පවුල් 305 න් පවුල් 130ක්ම වෙනත් ආගම්වලට හරවගෙන. මේ ගමේම සභාවල් තුනකට අයිති පල්ලි තියෙනවා. මේ පල්ලි වලට පිට රටවල්වලින් සල්ලි එවනවා. ඒ සල්ලිවලට අපේ උරුමය අයිතිය විකිණෙනවා. මේකට විසදුම් නැහැ. අපිට ආදිවාසීන් හැටියට කටයුතු කරන්න උවමනාවක් තිබුණත්, පල්ලියේ සල්ලිත් එක්ක අපි අසරණ වෙලා. වෙන එකක් තියා මගේ අක්කත් අද වෙනත් ආගමකට හැරිලා. ඇයි අපිට බැරි ආගම වෙනස් නොකර, ආදි වාසි උරුමය තියාගෙන දියුණු වෙන්න?”
නීලංකේනි ආදිවාසි ජනයා වැඩි වශයෙන් වෙසෙන තවත් ආදි වාසී ගම්මානයකි. සුනාමියෙන් දැඩි සේ හානියට පත් නීලංක්නි ගම්මානයේ පිහිටීම පමණක් නොව, ඔවුනගේ ජීවිතද සහන සැලසීමට පැමිණි රාජ්‍ය නොවන සංවිධාන විසින් වෙනස් කළ බව පොදුවේ ඇසුණු චෝදනාවකි.
“ අපිට අපේම කියල ජීවිතයක් තිබුණා. අපි ඒ කාලේ මාළු ඇල්ලුවේ, රිටකින් ඇනලා. මී කැඩුවා, පලු කැඩුවා. සත්තුන්ට මදු උගුල් අටෙව්වා. දැන් අපේ ළමයි ඒවා දන්නේ නැහැ. එයාලා රට යනවා.. කුලී වැඩට යනවා. ඉස්සර පොරව කරේ දාගෙන අපි ආඩම්බරෙන් ඇවිද්දා.. අද අපේ ළමයි, ෆෝන් එක කනේ ගහගෙන ඇවිදිනවා. මේ හැම හෙනයක්ම ආවේ සුනාමියෙන් පස්සෙයි. අපේ පරණ ගම තිබුණේ මුහුද අයිනේ. නමුත් සුනාමියෙන් පස්සේ අපිට ගෙවල් හදලා දෙන්න ආපු ආගමික සංවිධානයක් ගම මෙතනට ගෙනාවා. අපේ ළමයි ත්‍රිකුණාමලේ ගෙනිහින් බෝඩින්වල දාලා ඉගැන්නුවා. ඒකටත් කමක් නැහැ කියමුකෝ.. හැබැයි ආගමත් වෙනස් කරලා. දැන් අම්මා තාත්තා හින්දු. දරුවෝ ක්‍රිස්තියානි.. ඒ දරුවෝ කැමති නැහැ අපේ ආදිවාසී උරුමය රැක ගන්න. මේ හැම දෙයක්ම කළේ අපිට සහන දෙන්න ආපු සංවිධානයි. එයාලා කෝවිල් තිබ්බ ගමේ පල්ලි හැදුවා.”
වෙනසද- බලහත්කාරයද?වෙනස් වීම හෝ නොවීම ඔවුන්ගේ අයිතියකි. වෙනස හොදද නැද්ද යන්න ගැන කොතෙකුත් වාද විවාද කළ හැකිය. එහෙත් ඔවුන් බලහත්කාරයෙන් වෙනස් කිරීම හෝ වෙනස්වීමට බලපෑම් කිරීම අනුමත කළ නොහැකිය. ඔවුන්ගේ ජනවර්ගය සොරා ගැනීම හා අන්‍යාගම්කරණය පිළිබද මැදිහත් විමසා බැලීමක් අවශ්‍යය. නැගෙනහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව මීට කලකට පෙර මෙම ජනවර්ගය සම්බන්ධයෙන් අවධානයක් යොමු කළද, අද වන විට එම තත්වය දැකිය නොහැක.
“ඒ විතරක් නෙවෙයි, අද වෙන කොට තෝපූර් වල ඉන්න මුස්ලිම් අය ඇවිත් අපේ ඉඩම් බලහත්කාරයෙන් අල්ල ගන්නවා. අපේ ගෑනු රවට්ටලා සල්ලි පෙන්නලා රට යවනවා. අපේ අය දුප්පත් නිසා සල්ලි දැකපු ගමන් මේවට අහුවෙනවා. ඒ මදිවට එයාලා රට ගිහින් එද්දි මුස්ලිම් වෙලා ගමට එන්නේ..”
”අපිට සංවර්ධනය ඕනේ. මම ඒක එපා කියන්නේ නැහැ. නමුත් අපේ වර්ගය රැකෙන්න ඕනේ. ” ආදිවාසී නායක නඩරාසා කනගරත්නම් කියා සිටි.
අනාගත පරපුරසංගීතාගේ එකම දියණිය වන දහතුන් හැවිරිදී එස්. ජෙසින්තා නල්ලූර් දෙමළ විද්‍යාලයේ අට වසරේ අකුරු කරන්නීය. කාටත් රහසේ කැලේ පිපුණු කරඹ මලක් බදු ජෙසින්තා නගරයේ පාසලකට යන්නට සිහින දකින්නීය. ඇයගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක් වීමයි.
“මම ආසයි කවදා හරි ටීචර් කෙනෙක් වෙන්න.. ඒත්,කවදාවත් අපේ ස්කෝලෙ ඒ තරම් දුරට ඉගෙන ගන්න පහසුකම් නැහැ. කවදාවත් අපේ ස්කෝලෙන් ලොකු රස්සාවකට කවුරුත් ගිහිල්ලත් නැහැ. අපේ පල්ලියේ පාස්ටර් කිව්වා ලබන අවුරුද්දේ මාව ත්‍රිකුණාමලේ ලොකු ස්කෝලෙකට දානවා කියලා. මම හරි ආසාවෙන් ඉන්නේ ලස්සන සපත්තු දාලා, ටයි පටියක් බැදගෙන අලුත් ස්කෝලෙට යන්න…”
ජෙසින්තාගේ ඒ අහිංසක සිහින පොදියද, හමුවේ කනගරත්නම්ලාගේ වර්ගය රැක ගැනීමේ සටනද මුහුණට මුහුණ හමු වී තිබේ. කවුරුන් ජය ගනු ඇත්ද?