Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ෆේස්බුක් අඩවියෙහි ශ්‍රී ලාංකීය වෛරී කථනය:
සමාජ ජාල ප්‍රචණ්ඩත්වයට කැමති වීම

ශ්‍රී ලංකාව තුළ ඔන්ලයින් වෛරී කථනය වර්ධනය වීම තවත් වාර්ගික සංහාරයකට හේතු වනු ඇතැයි ස්ථිරව කිව නොහැකිමුත් එය සාමාජික, ජනවාර්ගික, සංස්කෘතික හා ආගමික සහජීවනය හා විවිධත්වය ආශ්‍රිත අභියෝග ගණනාවක් මතු කරයි. ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් අඩවියෙහි සිදු වන වෛරී කථනය පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදු කළ මෙම අධ්‍යයනය ඒ අභියෝග හඳුනා ගන්නට මඟ පෙන්වයි.

14.03.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

අන්තර්ජාලයෙහි සිදු වන ”වෛරී කථනය” ගෝලීය පරිමාණව සැලකිල්ලට ලක්ව තිබෙන, පූර්ණ විසඳුමක් නොමැති ගැටලූවකි. ඊට විසඳුම් සෙවීම මාපියන්ගේ සිට ප්‍රතිපත්ති සම්පාදකයන් දක්වා පුද්ගලයන් මුහුණ දෙන දුෂ්කර අභියෝගයක් බවට පත් වී ඇත. වෛරී කථනය සිදු වන්නේ අන්තර්ජාලයේ කිනම් ස්ථානයක ද, ඒ සඳහා යොදා ගන්නා භාෂාව හා මාධ්‍යය කුමක් ද, එය සිදු වන්නේ කිනම් පසුබිමක ද යන්න මත මෙන් ම සමහර අවස්ථාවල එහි නිරත ක්‍රියාකාරකයන්ගේ ස්වභාවය මතත් ගැටලූව විවිධ ස්වරූප ගැනීම ඊට හේතුව යි. එහෙත් ගැටලූව ආශ‍්‍රිත තාක්ෂණික අභියෝග පිළිබඳව සුළු වැටහීමක් ඇති හෝ කිසි ම වැටහීමක් නොමැති දේශපාලනඥයන්ට වත් වෛරී කථනය පාලනය කිරීමට උත්සාහ කරන අතර නින්දා සහගත ප‍්‍රචාර වැපිරීමේ ඒකාධිකාරය අත් කර ගැනීමට නිරන්තරයෙන් වලි කන මර්දනකාරී ආණ්ඩුවලට වත් මෙය බාධාවක් වී නැත. වෛරී කථනයට අදාළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රතිචාර හා නීති සම්පාදනය ආශ‍්‍රිත පරිශ‍්‍රමයන් බොහෝ විට දරනු ලබන්නේ පටු ආකල්පවලින් හා හුදු ප‍්‍රායෝගික ප‍්‍රතිඵලවලින් මෙහෙයවී ගෙන ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යය ප‍්‍රශ්න නැගීම සඳහා හෝ සාහසික අපරාධවලට හා එළිපිට ම සිදු වන දූෂණයට ආණ්ඩුව වග වන තත්ත්වයට පත් කරන අන්තර්ගතය සඳහා අවකාශයක් සම්පාදනය නොකරන අතර ඊට එවැනි අවකාශයක් සම්පාදනය කිරීමට ද නොහැකි ය.

අන්තර්ජාලය පදනම් කර ගත් සමාජ මාධ්‍යය සහ වෙබ් ජාලය පදනම් කර ගත් වේදිකා හරහා විරුද්ධ මතධාරී විවේචකයන්ට සිය අදහස් පළ කිරීම සඳහා වැදගත්, අත්‍යවශ්‍ය ඉඩකඩක් සම්පාදනය වන්නේ මෙම තත්ත්වය තුළ ය. එපමණක් නො ව ස්මාට්ෆෝන් හා ටැබ්ලට් මාර්ගයෙන් මෙම අන්තර්ජාල අවකාශයන්ට ප‍්‍රවේශ වීම ද වැඩි වෙමින් පවතී. අන්තර්ජාල අන්තර්ගතය නිර්මාණය කිරීම හා පරිභෝජනය කිරීම වර්ධනය වී ඇති අතර අන්තර්ජාලය රට තුළ පවත්නා අන් කවර හෝ මාධ්‍යයකට වඩා වේගයෙන් පුළුල් හා ගැඹුරු වී ඇත. එහෙත් මෙම වර්ධනය නිසා සුවිශේෂ ප‍්‍රජාවන්ට, පුද්ගලයන්ට හෝ අදහස්වලට එරෙහිව වෛරය, අනර්ථය හා හිංසාව පැතිරවිය හැකි අඩු අවදානම්, අඩු වියදම් හා වැඩි බලපෑමක් සහිත අන්තර්ජාල අවකාශයන් ද බිහි වී ඇත. කුමන්ත‍්‍රණ න්‍යායාචාරීන්, උන්මත්තක භාවයේ අද්දර සිටින්නන් හා ප‍්‍රකෝපකාරීන් අන්තර්ජාලය ඇරඹි මුල් දිනවල සිට ම අන්තර්ජාල අවකාශයන් වාස භූමි කර ගෙන භක්තිමත් අනුගාමිකයන් සමග සම්බන්ධකම් ගොඩ නගා ගෙන ඇත. අන් අයුරකින් කියන්නේ නම් තමන් ප‍්‍රශ්නයට බඳුන් කරන්නන් ප‍්‍රතික්ෂේප කිරීමට හා හෙළා දැකීමට උත්සාහ දරා ඇත.

වෛරී කථනය වර්ධනය වීම සංසන්දනාත්මකව හුදෙකලා මෙම කුඩා අවකාශවලින් පිටත සිදු වන වර්ධනයක් බව පෙනෙන අතර බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල ප‍්‍රවේශයෙන් සැලසෙන ආර්ථික වාසි සහ ස්මාට්ෆෝන් භාවිත කරන පිරිස ඉලක්කම් දෙකේ සංඛ්‍යාවලින් වර්ධනය වීම සමග ද සම්බන්ධ ය. ස්මාට්ෆෝන් යනු පොහොසත් මාධ්‍ය අන්තර්ගතයක් නිපදවීමේ ද අන්‍යෝන්‍ය වශයෙන් ඒ මොහොතේ ම සම්බන්ධ වීමේ ද හැකියාව සහිත, රට පුරා ව්‍යාප්ත, අප‍්‍රකට ජාලීය යටිතල පහසුකමකි. මෙම යටිතල පහසුකම සාම්ප‍්‍රදායික භූගෝලීය සීමා මායිම් මකා දමා ඇත. එනම් ලෝකයේ හෝ රටේ එක් කොටසක ජීවමාන යම් ආගමකට, අනන්‍යතා කණ්ඩායමකට හෝ ප‍්‍රජාවකට එරෙහි වෛරය හා අනර්ථය ” ඔන්ලයින් සමාජ මාධ්‍යය හරහා සන්නිවේදනය කිරීමෙන් සහ ට්විටර්, ෆේස්බුක් වැනි වේදිකා මගින් පමණක් නො ව පැරණි එස්එම්එස් තාක්ෂණයට අමතරව අයිමැසේජ් හා වට්ස්ඇප් වැනි ජංගම දුරකථන ආශ‍්‍රිත ක්ෂණික පණිවුඩ යැවීමේ මෘදුකාංග යෙදුම් (applications) මගින් පතළ කිරීමෙන් ” (උදාහරණයක් ලෙස කිව හොත් තත්පර කිහිපයක් ඇතුළත) ලෝකයේ හෝ රටේ වෙනත් කොටසක පවතින ප‍්‍රචණ්ඩ වෛරයක් හෝ චණ්ඩ විරුද්ධත්වයක් බවට පරිවර්තනය විය හැකි ය.

අද දින අන්තර්ජාලය තුළ නිපදවෙන අන්තර්ගතයේ පරිමාව, විවිධත්වය හා එය නිපදවෙන වේගය සැලකිල්ලට ගන්නා විට වෛරී කථනයට විසඳුම් සෙවීම ආශ‍්‍රිත ප‍්‍රධාන අභියෝගයක් වන්නේ හැකි තාක් දුරට ඒ මොහොතේ ම පාහේ ප‍්‍රබල ලෙස ප‍්‍රවේශ වී ප‍්‍රකෝපකාරී, අන්තරායකර හෝ වෛරී අන්තර්ගතය සීමා කිරීම තාක්ෂණිකව කළ නොහැකි දෙයක්ව තිබීම යි. සිංහල හෝ දෙමළ වැනි වෙනත් භාෂාවලින් ප‍්‍රකාශිත අන්තර්ගතය තබා ඉංග‍්‍රීසියෙන් ප‍්‍රකාශිත අන්තර්ගතය වත් මෙවැනි සීමා කිරීමකට ලක් කිරීම කළ නොහැකි දෙයකි. පළමුව වෙබ් ජාලයේ තනි වේදිකාවක් උදෙසා යම් අන්තර්ගතයක් නිපදවූ විට අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ අන්තර් ක‍්‍රියාවන් හා ප‍්‍රතිචාරයන් මගින් එය බොහෝ විට වෙනත් වෙබ් අඩවි හා වේදිකා දුසිම් ගණනක් ඔස්සේ යළි ප‍්‍රකාශයට පත් වන අතර එහි දී එම අන්තර්ගතය වෙනස් වීම්වලට භාජන වීම ද සිදු වේ. එනම් මුල් අන්තර්ගතය ඉවත් කළත් මකා දැමුවත් නැත් නම් සංශෝධනය කළත් එහි පැවැත්ම මුළුමනින් ම අවසන් කළ හැකි නො වේ. මේ නිසා වෛරී කථනයෙන් ඇති වන අනර්ථයට විසඳුම් සෙවීම අතිශය දුෂ්කර වේ. ඊට හේතුව වෛරී කථනය එතරම් ම මාධ්‍ය ගණනක් තුළ ඩිජිටල් ස්වරූපයෙන් එතරම් ම පැතිර පැවතීම යි.

තවත් අභියෝගයක් වන්නේ වෛරී කථනය නිර්වචනය කිරීම යි. පමණට වඩා පුළුල් නීති පද්ධති විරුද්ධ මත සීමා කිරීම හා මැඩ පැවැත්වීම සඳහා යොදා ගන්නා නීතිය අවදානමට ලක් කරයි. ලිහිල්ව අර්ථ නිරූපණය කර ඇති නීති අදහස් පළ කිරීමේ නිදහස ගැන සඳහන් කරමින් පලා යාමට වෛරී කථනයේ නිරත අපරාධකරුවන්ට ඉඩ සලසා දෙයි. වෛරී කථනයේ ඉලක්ක බවට පත්ව සිටින කෝපයට පත් ප‍්‍රජාවන්ට හා පුද්ගලයන්ට ප‍්‍රතිචාර දැක්වීමට සිදු වන විට ප‍්‍රතිපත්ති සම්පාදකයන් බොහෝ විට කරන්නේ තමන්ට විසඳුම් ලබා දිය නොහැකි ගැටලූවක් විසඳන බවට පොරොන්දු වීම යි. එම පොරොන්දුව පවා දෙන්නේ ඔවුන් වැදගත් ඡුන්ද දායකයන් පිරිසක් නම් පමණකි. අන්තර්ජාල සේවා සම්පාදකයන් සහ ගූගල්, ෆේස්බුක් හා ට්විටර් වැනි විශාල සමායතනයන් තමන් තම වේදිකාවල දී ඉඩ සලසන අන්තර්ගතය ආශ‍්‍රිතව ප‍්‍රබල මාර්ගෝපදේශ සකස් කර ඇතත් ඒවා ප‍්‍රශස්ත මට්ටමකින් ක‍්‍රියාත්මක වන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන් නිපැයෙන අන්තර්ගතය සම්බන්ධයෙන් පමණක් බව පෙනේ. උදාහරණයක් ලෙස ෆේස්බුක් අඩවිය තුළ සිංහල භාෂාවෙන් නිදහසේ පතළ කෙරෙන වෛරයේ පරිමාව කොතරම් අසීමිත ද යන්නට මෙම කෙටි අධ්‍යයනය වුව සාක්ෂි දරයි. එවැන්නක් සිදු වන්නේ එවැනි අන්තර්ගතයන්ට අදාළව පරිහරණය කරන්නන් නෙරපීම හා අවහිර කිරීම ද ඇතුළු පැහැදිලි මාර්ගෝපදේශ සමාගම සතුව පැවතිය දී ය.

වෛරී කථනය පිළිබඳ පොදුවේ පිළිගත් කිසිදු නිර්වචනයක් නොමැති බව ප‍්‍රමුඛ වෙබ් සමාගම් එම යෙදුම විවිධාකාරයෙන් නිර්වචනය කිරීමෙන් පිළිබිඹු වන අතර එය මවිතයට කරුණක් නො වේ. එහෙත් එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ එක් රටක දී හෝ කලාපයක දී පිළිගත හැකි යැයි සැලකෙන හෙවත් නීත්‍යනුකූලව තැපැල් කෙරෙන අන්තර්ගතයක් එම වේදිකාවට හෝ අඩවියට ම අදාළව වුව ද අනෙක් රටවල් හෝ කලාප විසින් වෛරී හා නීති විරෝධී අන්තර්ගතයක් යැයි කල්පනා කළ හැකි වීම යි. ගගූල් සමාගමේ යූටියුබ් අඩවිය වෛරී කථනය නිර්වචනය කර ඇත්තේ මෙසේ ය:

නීතියෙන් සුරක්ෂිත කණ්ඩායමකට එරෙහිව වෛරය ප‍්‍රවර්ධනය කරන … අන්තර්ගතය. උදාහරණයක් ලෙස වෛරී කථනය යැයි සැලකිය හැකි වර්ගවාදී හෝ ස්ත‍්‍රී-පුරුෂ භාවය මත වෙනස්කම් කරන අන්තර්ගතය. සමහර විට වෛරී කථනය ලෙස සැලකෙන්නේ කුමක් ද නොසැලකෙන්නේ කුමක් ද යන්න අතර පවත්නේ සියුම් බෙදුම් රේඛාවක් විය හැකි ය. උදාහරණයක් ලෙස යම් ජාතියක් විවේචනය කිරීම සාමාන්‍යයෙන් පිළිගත හැකි දෙයක් වුවත් යම් ජාතිකත්වයකට අයත් ජනතාව පොදුවේ නින්දාවට පත් කරන අන්තර්ගතයන් ඉදිරිපත් කිරීම පිළිගත හැකි දෙයක් නො වේ.

/

ෆේස්බුක් අඩවිය වෛරී කථනය නිර්වචනය කරන්නේ මෙසේ ය:

සැබෑ හෝ සිතා ගත් වර්ගය, ජනවාර්ගිකත්වය, ජාතික මූලය, ආගම, ස්ත‍්‍රී-පුරුෂ භාවය, ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවය, ලිංගික නැඹුරුව, ආබාධිතත්වය හෝ ලෙඩ රෝග පදනම් කර ගෙන ජනතාවට පහර දෙන අන්තර්ගතයන්ට ඉඩ නො ලැබේ. එහෙත් තර්ජනයක් හෝ ප‍්‍රහාරයක් යැයි සැලකීමට ඉඩ තිබෙන නමුත් සරදම හා උපහාසය සඳහා දරන පැහැදිලි ප‍්‍රයත්නයන්ට අපි ඉඩ දෙන්නෙමු. මීට ඇතුළත් වන්නේ බොහෝ ජනයා විසින් නොමනා රුචිකත්වය ලෙස සැලකීමට ඉඩ තිබෙන (විහිළු කතා, පේ‍්‍රක්ෂක පිරිසක් ඉදිරියේ සිට ගෙන විහිළු කතා කියන හාස්‍ය නාටක වර්ගය, ජනප‍්‍රිය ගී රචනා ආදී) අන්තර්ගතය යි.

වෛරී කථනයට විසඳුම් සෙවීම සඳහා අතීතයේ දී ප‍්‍රමාණවත් තරම් ප‍්‍රයත්නයක් දරා නොතිබීමට විසඳුම් සොයන4 ට්විටර් අඩවිය සිය වර්තමාන රෙගුලාසි හා ප‍්‍රතිපත්ති තුළ මෙසේ සඳහන් කරයි:

පරිහරණය කරන්නන් අනෙකුන්ට එරෙහිව වර්ගය, ජනවාර්ගිකත්වය, ජාතික මූලය, ආගම, ලිංගික නැඹුරුව, ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවය, ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවීය අනන්‍යතාව, වයස හෝ ආබාධිතත්වය පදනම් කර ගෙන පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එදිරිව කරන තර්ජනයන් ඇතුළු ඍජු, සුවිශේෂ ප‍්‍රචණ්ඩ තර්ජනයන් නො කරති යි අපේක්ෂා කෙරේ.

මෙම එකිනෙකට වෙනස් නිර්වචනයන් ඉදිරිපත් කරන අතර සඳහන් කළ යුත්තේ ” උදාහරණයක් ලෙස ආන්තික නොවන ප‍්‍රහාරාත්මක, අරුචිකර, උපහාසාත්මක හෝ රළු අන්තර්ගතය මෙන් නො ව ” වෛරී කථනය නිර්වචනය කිරීම පිළිබඳ අභියෝගය ඒ ඒ වෛරී කථනයට අදාළ පසුබිම හා එහිලා පළ කරන අදහස සමග ගැඹුරින් සම්බන්ධ වූවක් බව යි. ඉහත සඳහන් මාර්ගෝපදේශ අනුව ගත් විට ” ඉංග‍්‍රීසි භාෂාවට හා වෙනත් පසුබිමකට අදාළ කර ගත හැකි පරිදි පරිවර්තනය කරන විට ” කතා ව්‍යවහාරයේ දී යොදා ගැනෙන පොදු පිළිගැනීමට ලක් වන යෙදුම විය හැක්කේ වෛරී කථනය යන්න බව පෙනී යයි. එපමණක් නො වේ. ඉංග‍්‍රීසි නොවන භාෂාවක් යොදා ගැනීමෙන් හා ලිඛිත නොවන ආකාරයෙන් අදහස් පළ කිරීමෙන් ” හෝ මේ දෙකෙහි ම සංයෝගයක් යොදා ගැනීමෙන් ” වෛරී කථනය පහසුවෙන් වසං කළ හැකි ය. සුවිශේෂ ප‍්‍රජාවකට එරෙහි ප‍්‍රකෝපකාරී නින්දා සහගත අන්තර්ගතය සිංහල භාෂාවෙන් ලියැවී තිබීම නිසා ෆේස්බුක් අඩවිය තුළ අදහස් පළ කිරීමට ඉඩ සැලසී ඒවා එළිපිට ම එහි පැවතීම පිළිබඳ උදාහරණ ගණනාවක් මෙම අධ්‍යයනයේ ඇතුළත් වේ. සිංහල භාෂාව ෆේස්බුක් අඩවියේ ඇති ස්වයංක‍්‍රිය සහ මිනිසා විසින් පාලනය කෙරෙන නිරීක්ෂණ රාමු සතුව දැනට තිබෙන භාෂා නිපුණතාවන් අතරට කිසි සේත් ම ඇතුළත් නොවන්නකි. මෙය වෛරී කථනය ආශ‍්‍රිත ප‍්‍රධාන අභියෝගයක් අප හමුවේ මතු කරයි. එය වෛරී කථනය පැතිරීමට ආධාර කිරීම හා එහි පැතිරීම සීමා කිරීම යන දෙකේ දී ම අතරමැදියන් ලෙස ක‍්‍රියා කරන්නේ ආණ්ඩු නො ව සමායතන බව අවබෝධ කර ගෙන, ඒවා ආමන්ත‍්‍රණය කිරීම පිණිස වෛරී කථනයේ පසුබිම දැන හඳුනා ගැනීමේ අවශ්‍යතාව හැම විට ම ද වැඩි වැඩියෙන් ද මතු කරයි.

වෛරී හා අනර්ථකාරී අන්තර්ගතය හඳුනා ගැනීම හා අවහිර කිරීම සඳහා පවතින යාන්ත‍්‍රික මට්ටමේ රාමු හා ඇල්ගොරිත්මික රාමු බොහෝ විට අසාර්ථක වන්නේ ඒවා අඩවිවල පළ විය හැකි යැයි සිතෙන වෛරී අන්තර්ගතයන් (වෛරී කථනය යැයි සාවද්‍ය ලෙස අවධානයට ලක් කෙරෙන අන්තර්ගතයන්) විශාල සංඛ්‍යාවක් කෙරෙහි අවධානය යොමු කරවන බැවින් හෝ ඒවා සිය ප‍්‍රධාන අභිමතාර්ථයට නොගැළපෙන අයුරින් (කලින් සඳහන් කළ පරිදි ඉංග‍්‍රීසි නොවන භාෂාවලින් ඉදිරිපත් වන) වෛරී කථනයන් විශාල ප‍්‍රමාණයකට රිංගා යාමට ඉඩ දෙන බැවිනි. මෙමගින් මෙම අන්තර්ගතයට විසඳුම් සෙවීමේ ප‍්‍රධාන වගකීම පරිහරණය කරන්නන් මත ම පැටවෙන අතර වාර්තාකරණ යන්ත‍්‍රණයන් හරහා සියලූ ප‍්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා පමණක් ගිනි තබන ඔවුන්ට අදාළ පසුබිම සහිතව වෛරී කථනය වාර්තා කිරීමට තීරණය කළ හැකි ය. මෙම වාර්තාකරණ යන්ත‍්‍රණයන්ට ද වාර්තාව ඉදිරිපත් කළ වේලාවේ සිට මුල් අන්තර්ගතය, පිටුව, ගිණුම හෝ පරිහරණය කරන්නා සැබවින් මකා දැමීම හෝ අවහිර කිරීම පටන් ගන්නා මොහොත දක්වා යම් කාලයක් ගත කිරීමට සිදු වේ. එහෙත් එම පමාව ඇති වන්නේ වෛරී කථනය වාර්තා කරන්නන් සංඛ්‍යාව විශාල වන තාක් දුරට පමණකි. කෙසේ වුව ද ප‍්‍රචණ්ඩත්වය උත්සන්න වූ සමයක දී මෙම කාල පමාව පිහිටක් නො වේ. එමෙන් ම මෘදුකාංග යෙදුමක, සේවාවක, වේදිකාවක හෝ වෙබ් අඩවියක (සමායතනික) හිමිකරුවා වෛරී අන්තර්ගතය වාර්තා කිරීම සඳහා එකඟ වන බවට සහතිකයක් ද නො පවතී. අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ වෛරී කථනයට විසඳුම් සෙවීමේ දී ” උදාහරණයක් ලෙස ” ෆේස්බුක් අඩවිය තුළ පවා සැලකිය යුතු විවිධත්වයක් පවතින බව යි.

මෙම අධ්‍යයනයේ අභිමතාර්ථය වන්නේ පශ්චාත් යුද කාලීන ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රධාන වශයෙන් ම මුස්ලිම් ප‍්‍රජාවට හා ඉස්ලාම් ආගමට එරෙහිව ඍජුව එල්ල කෙරෙන වෛරී කථනය සැලකිය යුතු අයුරින් වර්ධනය වීම ආශ‍්‍රිතව මෙම අභියෝගයන් කෙරෙහි අවධානය යොමු කිරීම යි. ශ‍්‍රී ලංකාව තුළ ඉස්ලාම් භීතිකාව නැගී ඒම පිළිබඳ සාක්ෂි ප‍්‍රමාණවත් තරමින් ලේඛනගත වී ඇති අතර එය බැස යාමේ කිසිදු ලකුණක් පෙනෙන්නට නැත. මෙම එදිරිවාදීකම පිළිබඳව කෙරෙන අධ්‍යයනයන් බොහෝ විට අවධානය යොමු කරන්නේ ප‍්‍රසිද්ධ රැස්වීම්වල දී අන්තවාදී කණ්ඩායම් කරන ප‍්‍රකාශයන්ට සහ ප‍්‍රචණ්ඩ හා බිය ගන්වන කායික ක‍්‍රියාවන් කෙරෙහි ය. අඩුවෙන් අධ්‍යයනය කර ඇතත් ඒ හා සමානව සැලකිය යුතු කරුණක් වන්නේ ඔන්ලයින් සමාජ මාධ්‍යය තුළ වෛරී කථනය වර්ධනය වීම යි. ෆේස්බුක් අඩවිය තුළ වඩාත් ම ක‍්‍රියාකාරී අන්තවාදී කණ්ඩායම් හතරක් පිළිබඳව කළ අධ්‍යයනයෙන් පසුව 2013 දී සඳහන් කළ පරිදි:

* වඩාත් ම ප‍්‍රහාරාත්මක මුස්ලිම් විරෝධී හැඟීම්වලට හා ප‍්‍රකාශයන්ට පවා වෙබ් ජාලය පදනම් කර ගත් සමාජ මාධ්‍යය තුළ පේ‍්‍රක්ෂක, ශ‍්‍රාවක හෝ පාඨක පිරිසක් සහ අනුගාමික පිරිසක් වර්ධනය වෙමින් සිටිති.

* ප‍්‍රධාන ප‍්‍රවාහයේ සහ සාම්ප‍්‍රදායික මාධ්‍යය තුළ නො ව ඔන්ලයින් සංවාද මණ්ඩප තුළ පළ වන විට එවැනි අන්තර්ගතයන් එක් පරිහරණය කරන්නෙකුගෙන් අනෙකා අතට පත් වීමටත් සැබෑ ලෝකයේ ක‍්‍රියාව කෙරෙහි බලපෑමටත් වැඩි ඉඩකඩක් ඇත.

* අන්තර්ගතය බොහෝ දුරට දෘශ්‍ය ස්වභාවයක් ගන්නා අතර ආයාචනය කෙරෙන්නේ (තවමත් පාසල් යන) වයස අවුරුදු 18 තරමේ තරුණ පිරිසකට ය.

* සාමාන්‍යයෙන් මුස්ලිම් විරෝධී වෛරී කථනය යුද්ධයේ උපරිම අවස්ථාවේ පැවති එල්ටීටීඊ විරෝධී හැඟීම්වලටත් වඩා ගුණාත්මක වශයෙන් කුරිරු හා විසකුරු වේ.

* මෙම කණ්ඩායම්වලට එක් වන සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර ලිබරල් සාරධර්ම, ඉවසා දැරීම හා ආගමික ඒකාබද්ධතාව සඳහා සහාය දෙන ප‍්‍රතිවිරුද්ධ කථන හා අන්තර්ගතය ඔස්සේ මීට විසඳුම් සෙවීමට ආණ්ඩුව නො දනී, නැත හොත් අසමත් ය.

මෙම අධ්‍යයනය ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මෙම කාරණා පිළිබඳ දැනුම පුළුල් කිරීම ගැන ය. එහෙත් පර්යේෂණයේ අන්තර්ගතය ප‍්‍රමාණයෙන් තව තවත් වර්ධනය වීම කනගාටුවට කරුණකි. ලිංගික, ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වීම සහ බොදු බල සේනා වැනි කණ්ඩායම් මුළුමනින් ම නීතියෙන් ගැලවී වෛරී කථනයට විවෘතව ප‍්‍රශංසා කිරීම එකට යා වන විට අනාගතයේ දී ඔන්ලයින් අන්තර්ගතය නිසා මීට වැඩි ප‍්‍රචණ්ඩත්වයක් වුව ඇවිළීමේ අවදානම මතු වෙයි. මේ දක්වා ඔන්ලයින් අන්තර්ගතය සැබෑ කායික ප‍්‍රචණ්ඩත්වයට තුඩු දීම පිළිබඳ සාක්ෂි ඇත්තේ සුළු වශයෙන් වුවත් ” දසදහස් ගණනක් දෙනා වෛරී කථනය නිෂ්පාදනය කිරීමෙහි ක‍්‍රියාකාරීව නිමග්නව සිටින තත්ත්වය තුළ ” විශේෂයෙන් ම කනස්සල්ලට කාරණය වන්නේ තැති ගන්වන පරිමාණයකින් වයස අවුරුදු 18 තරමේ තරුණයන් පෙරළිකාරී වීම යි. ප‍්‍රසිද්ධ සංවාද මණ්ඩප ගත් කල සාකච්ඡුා මෙහෙයවීම හා අන්තර්ගතය නිපදවීම සිදු වන්නේ ෆේස්බුක් වැනි වේදිකා ඔස්සේ වුවත් ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් පවත්නා පරතරය නිසා දේශපාලනඥයන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ බොහෝ දෙමාපියන් පවා මෙම පෙරළිකාරිත්වයේ පරිමාණය හා තරම නො දැන සිටීම උත්ප‍්‍රාසයට කරුණකි. 2013 දී අප අනතුරු ඇඟවූ පරිදි,


අන්තවාදීන් වෙබ් ජාලය අතැඹුලක් සේ දැන හඳුනන අතර සිංහල භාෂාවෙන් පළ වන තොරතුරු නිසා වර්ගවාදී අන්තර්ගතය පැතිරේ දැයි කෙරෙන සාමාන්‍ය පරීක්ෂාවන්ගෙන් ගැලවී ගන්නා තත්ත්වය තුළ ආණ්ඩුව බැරෑරුම්, අර්ථාන්විත හා හදිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය ය.

එසේ නො ගත හොත් වෛරය ඔන්ලයින් මාධ්‍යය තුළ පවත්නා වඩා මධ්‍යස්ථ අදහස් මුළුමනින් ම යටපත් කර දමනු ඇති බවත් 1983 කළු ජුලියේ මග දිගේ මුස්ලිම්වරුන්ට එරෙහි සැබෑ ලෝකයේ ප‍්‍රචණ්ඩත්වය දක්වා පැතිරීමේ අවදානම මතු වනු ඇති බවත් සිතිය හැකි ය.

ශ‍්‍රී ලංකාව තුළ ඔන්ලයින් වෛරී කථනය වර්ධනය වීම තවත් වාර්ගික සංහාරයකට හේතු වනු ඇතැයි ස්ථිරව කිව නොහැකි බව නිසැක ය. එහෙත් එය සාමාජික, ජනවාර්ගික, සංස්කෘතික හා ආගමික සහජීවනය හා විවිධත්වය ආශ‍්‍රිතව ආණ්ඩුව හා පාලනය හමුවේ ද අවසානයේ දී අප පශ්චාත් යුද සමය තේරුම් ගන්නා හා එම සමය තුළ දී සංවිධානය වන ආකාරය ආශ‍්‍රිතව සිදු වන විවාදයන්හි හරි මැද ම ද වෙනත් අභියෝගයන් ගණනාවක් මතු කරයි.

අනාගතයේ දී ඔන්ලයින් වෛරී කථනය මතු වී ඒම සාර්ථක ලෙස සීමා කිරීම සඳහා යොදා ගත හැකි කෙටි කාලීන සර්ව රෝග නිවාරක පිළියම්, පහසු විධිවිධාන හෝ විසඳුම් කිසිවක් නො පවතී. එපමණක් නො ව වෛරය ඇති කරන්නන් ආරක්ෂා කරන ආණ්ඩුවකට ඔන්ලයින් මාධ්‍යය තුළින් ප‍්‍රකාශයට පත් වන එම වෛරය වර්ධනය වීමේ ප‍්‍රවණතාවට විසඳුම් සෙවීම ආශ‍්‍රිතව ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළ නොහැකි ය. එසේ ම ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වන තත්ත්වය තුළ උචිත යැයි පෙනී යා හැකි වුවත් ඩිජිටල් සාක්ෂරතාවක් නොමැති දේශපාලනඥයන්ට ද වෛරී කථනයට විසඳුම් සොයන නීති සම්පාදනය කළ නොහැකි ය. මෙම අධ්‍යයනයේ අභිමතාර්ථය වන්නේ පශ්චාත් යුද සමයේ දී ගැටුම හා ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමට තුඩු දෙන නමුත් මේ තාක් ප‍්‍රමාණවත් තක්සේරුවකට ලක්ව නැති දෙය ආශ‍්‍රිතව සාක්ෂි සම්පාදනය කිරීම යි. ගැටලූවේ පරිමාණය හා බරපතළකම පිළිගැනීම වුව දැනුදු පවතින නොදැනුමෙන් මිදීමට තබන පියවරක් වේ.

පෙරට යාමට නම් ආණ්ඩුවේ ද සමාජ මාධ්‍ය අන්තර්ගතයට සත්කාරකත්වය සපයන ශ‍්‍රී ලංකාවෙන් පිටත ක‍්‍රියාත්මක පෞද්ගලික සමායතනවල ද නීති ප‍්‍රජාව හා හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන පුද්ගලයන් ඇතුළු රටේ සිවිල් සමාජයේ ද ඩයස්පෝරාවට අයත් ආයතනවල හා දේශීය අන්තර්ජාල සේවා සම්පාදකයන්ගේ ද සියලූ මට්ටම්වල අය තම පාරිභෝගික පදනමට රැකවරණය සැලසීමේ යුතුකමෙන් බැඳී ඔන්ලයින් වෛරී කථනය මේ සා පරිමාණව වර්ධනය වීමට විසඳුම් සෙවීම සඳහා එක සේ සහයෝගීව ක‍්‍රියා කළ යුතු ය. ශ‍්‍රී ලාංකික ඔන්ලයින් සංවාද මණ්ඩප තුළ පවත්නා වෛරී කථනය ආශ‍්‍රිතව එක සේ සහයෝගී, සාමූහික ප‍්‍රවිෂ්ටයකින් කටයුතු කිරීම හෝ වඩා පුළුල් අධ්‍යයනයක් කිරීම සඳහා මුල පිරෙන්නේ කවදා ද යන්න හා එවැනි මුල පිරීමක් සිදු වේ ද යන්න පැහැදිලිව කිව නොහැකි ය. එහෙත් මෙම කනස්සල්ල ඇති කරන සංසිද්ධිය අධ්‍යයනය කොට ඒ සඳහා පිළියම් යෙදීම සඳහා හැකි තාක් දුරට පියවර ගැනීම කොතරම් හදිසි අවශ්‍යතාවක් ද යන්න ආශ‍්‍රිතව කෙරෙන දැනුවත් සාකච්ඡුාවලට මෙම අධ්‍යයනය ආරම්භක ලක්ෂ්‍යයක් සම්පාදනය කරයි.

‘ප‍්‍රචණ්ඩත්වයට කැමති වීම‘ (Liking violence: A study of hate speech on Facebook in Sri Lanka) යන මැයෙන් ශ‍්‍රී ලංකාව තුළ ෆේස්බුක් අඩවියෙහි සිදු වන වෛරී කථනය පිළිබඳ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ශිල්පා සමරතුංග සහ සංජන හත්තොටුව සිදු කළ අධ්‍යයනයේ හැඳින්වීම ඇසුරින් සැකසුණු ලිපියකි මේ. මෙම අධ්‍යයනයේ පූර්ණ වාර්තා http://www.cpalanka.org/liking-violence-a-study-of-hate-speech-on-facebook-in-sri-lanka/ සබැඳියෙන් පරිශීලනය කළ හැකි ය.