Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දියවඩන නිලමේට සළු පොරවන
දළදා පෙරහරේ සංහිඳියාව

මහනුවර ඇසළ පෙරහර වඩාත් විචිත්‍රවත් වන්නේ එහි ගැබ්ව තිබෙන ප්‍රබල ජාතික හා ආගමික සංහිඳියාවේ පණිවිඩය තුළය. ජාතික හා ආගමික සමඟිය හා සංහිඳියාව වඩාත් තිව්‍ර කරන සිරිත් ගණනාවක් රජ දවස පටන් අද ද එ තුළ ආරක්ෂාවී තිබේ.

06.09.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීදී සංචාරය ආරම්භ කරන්නට ඇත්තේ සුළු මොහොතකි. මහනුවර ශ්‍රී සෙල්ව විනායගර් කොවිලේ භාරකාර තුමන් හා පූජකතුමන්ලා ඇතුළු සිය දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දළදා මාලිගාවට පෙරහරකින් ගමන් කරන දසුනක් අප නෙත් ගැටෙයි.දළදා මාලිගාවට පෙරහරින් පිවිසෙන මේ පිරිස එහිදී දියවඩන නිළමේ තුමන්ට දෙමළ චාරිත්‍රානුකූලව සළු පොරවා ආශීර්වාද කරමින් පෙරහර මංගල්‍යය කිසිදු කරදරයක් බාධාවක් නොමැතිව හොඳින් අවසන් කරන්නට ලැබේවායි ආශිර්වාද කරති. මෙම අවස්ථාවේදී මහනුවර ශ්‍රී සෙල්ව විනායගර් කොවිලේ භාරකාර තුමන් විශේෂ සළුවක් දියවන නිළමේ තුමන්ට ලබා දෙන්නේ එදින පෙරහර කරඬුව ඒ මත තබා වැඩම කරන්නට ය. රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට ප්‍රථම දළදා මාලිගාව වෙත පෙරහරින් ගොස් දියවඩන නිළමේතුමන්ට පෙරහර සාර්ථකව පවැත්වීම සඳහා ආශීර්වාද කරමින් පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා රන් සළුවක් පිළි ගැන්වීම සියවස් දෙකකටත් වැඩි කාලයක් තිස්සේ නොනැසී පැවැත එන චාරිත්‍රයකි.

ශ්‍රී දළදා වහන්සේටත්,නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහ දෙවිවරුන්ටත් පූජෝපහාරයක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර වඩාත් විචිත්‍රවත් වන්නේ උඩරටට ආවේනික ගායන,වාදන හා නර්තන ඊට ඇතුළත් වීමෙනි.පෙරහර තුළ මතුපිටින් දැක්වෙන විචිත්‍රත්වයට වඩා එහි අභ්‍යන්තරය තුළින් මතු කෙරෙන ගුණාංග ඉතා ඉහළය.රජ දවස පටන් එහි ගැබ්ව තිබෙන ජාතික හා ආගමික සංහිඳියාවේ පණිවිඩය ඉතා ප්‍රබලය.බෞද්ධ උත්සවයක් ලෙස ප්‍රකට පෙරහරෙහි දෙමළ ජනතා සහභාගිත්වය වඩාත් කැපී පෙනෙන්නේ කතරගම දේවාළ පෙරහරෙ තුළය.ජාතීන් අතර පවත්නා සංස්කෘතික වෙනස් කම් කලා ශිල්පීන්ගේ කුසලතා ලෙස පෙරහරට එක්වීම තුළින් එහි සුන්දරත්වය තවත් ඔප් නැංවී තිබෙයි.ජාතික හා ආගමික සමඟිය හා සංහිඳියාව වඩාත් තිව්‍ර කරන සිරිත් ගණනාවක් රජ දවස පටන් අද ද එ තුළ ආරක්ෂාවී තිබේ.

දළදා මාලිගාවට පෙරහරකින් ගමන් කරන දසුන

මහනුවර ඇසළ පෙරහර උත්සවය තුළ ජාතික සමඟිය ගොඩ නැගෙන කටයුතු ගොඩක් සිදු වෙනවා.දළදා වහන්සේ කන්ද උඩරටට වැඩම කරවීමට පෙර පටන් නුවර දේවාළ පෙරහර පැවැත්වූවා.දළදා වහන්සේ වැඩම කරවීමෙන් පසු උන්වහන්සේ උදෙසා දෙමළ ජනතාව තුළ පවත්නා නොමද ගෞරවය ඉස්මතු වුණේ දේවාළ පෙරහර අවසානයේ ප්‍රධාන පූජකවරු ඇතුළු කණ්ඩායමක් පෙරහරින් දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේට පුදපූජා පැවැත්වීම තුළිනුයි.පසු කාලයේ දළදා මාලිගාවේ පෙරහරත් දේවාළ පෙරහර හා එකතු වුණා.එත් එදා පැවැති චාරිත්‍රය අදත් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කෙරෙනවා.ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීදී සංචාරය ආරම්භ කරන්න කලින් කෝවිළේ පෙරහර වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වනවා.පසුව ප්‍රධාන භාරකරු,පූජකවරු ඇතුළු සිය දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දළදා මාලිගාවට පෙරහරකින් ගමන් කරනවා.එහිදී දියවඩන නිළමේ තුමන්ට දෙමළ චාරිත්‍රානුකූලව සළු පොරවා ආශීර්වාද කරමින් පෙරහර මංගල්‍යය කිසිදු කරදරයක් බාධාවක් නොමැතිව හොඳින් අවසන් කරන්න ලැබේවායි ආශිර්වාද කරනවා.මෙම අවස්ථාවේදී විශේෂ සළුවක් දියවන නිළමේ තුමන්ට ලබා දෙන්නේ එදින පෙරහර කරඬුව ඒ මත තබා වැඩම කරන්නයි…. ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිළේ ප්‍රධාන භාරකාර ක්‍රිෂ්ණමූර්ති ගෝවින්දසාමි මහතා පවසයි.

පෞරාණික චාරිත්‍ර රැසක්

මහනුවර ඇසළ පෙරහර හා බැඳුණු පෞරාණික චාරිත්‍ර රැසක් පවතී.රජ දවස පටන් ඒවා අද දක්වාද නොනැසී පැවැතීම විශේෂත්වයකි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ හිඳනා බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේටත් නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහ දෙවිවරුන්ටත් උපහාරයක් ලෙස පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යය තුළ නිරූපණය වන ජාතික හා ආගමික සහජීවන කීරති ශ්‍රී රාජසිංහ රජ දවස පටන් පැවැත එන්නකි.දළදා වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩම කරවන විටත් දේවාල පෙරහර පවත්වා තිබෙන බව ඉතිහාසයේ සඳහන් වෙයි.සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට වැඩම කළ 1753 වසරින් පසු දළදා පෙරහර දේවාළ පෙරහර හා එක් වන්නට ඇතැයි අනුමාන කෙරෙයි.සෙංකඩගල රාජධානියේ පාලනය කළ අවසන් රජවරු නායක්කාර වංශිකයන්වූ නිසා ඔවුන් දේවාළ පෙරහර අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වීමට කටයුතු කර තිබෙන බව ඉතිහාස වාර්තාවලින් පැහැදිලි වෙයි.

පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා රන් සළුවක් පිළි ගැන්වීම

මුල්කාලයේ නාථ,විෂ්ණු,කතරගම,පත්තිනි යන දේවාළ පෙරහරට අමතරව ශ්‍රී සෙල්ව විනායගර් කෝවිළ මගින්ද පෙරහරක් පවත්වා තිබෙන බව එහි වත්මන් ප්‍රධාන භාරකරු ක්‍රිෂ්ණමූර්ති ගෝවින්දසාමි මහතා පවසයි.පසුකාලීනව මෙම පෙරහර නතරවී තිබේ.අවසන් රන්දෝලි පෙරහරින් පසු සතර මහ දේවාළ පෙරහර ගැටඹේ දිය කපනා තොටට ගොස් දිය කැපුම් මංගල්‍යය සිදුකරයි.දිය කැපීමෙන් පසු ජලය පුරවන ලද කෙංඩි පසුදින දවල් පෙරහර ආරම්භ වන තෙක් තැන්පත් කර තබණුයේ විනයාගර් කෝවිළේය.සිව් මහ දේවාළවල බස්නායක නිළමේවරු කෝවිළට පැමිණ පුදපූජා පැවැත් වීමෙන් පසු දේව අභරණ වැඩමවා දවල් පෙරහර ගමන් ආරම්භ කරන්නේ මෙම ස්ථානයෙනි.

ජාතික හා ආගමික සංහිඳියාව

‘මහනුවර ඇසළ පෙරහර කියන්නේ සිංහල හා දෙමළ ජනතාව අතර පවතින බැඳීම තවත් වැඩි කරන පූජෝත්සවයක්.රජ කාලේ පටන් පැවත ගෙන ආ ජාතික හා ආගමික සංහිඳියාවේ වැදගත්කම එදාට වඩා වැදගත් වන්නේ අදටයි.අපෙන් පස්සේ මේ චාරිත්‍රය තවත් හොඳට කෙරෙන්න ඕන.ඒක තමයි මගේ ප්‍රාර්ථනය.මහනුවර කියන්නේ සිංහල හා දෙමළ පමණක් නොව මුස්ලිම් ජනතාවද එකට සාමයෙන් සමඟියෙන් ජීවත් වන නගරයක්.අපේ ජාතීන් අතර එකමුතුව අත්‍යවශ්‍යම කාලයක් මේක.එදා රජ දවස පටන් පැවත එන චාරිත්‍ර ආරක්ෂා කර ගත යුත්තේ ඒ නිසයි.දැන් කෝවිළට වැඩිපුරම එන්නේ බෞද්ධ ජනතාව.අපි යනවා දළදා මාලිගාවට.කිසිම ආගමික ශාස්තෘන් වහන්සේ නමක් තවත් ජාතියකට හෝ ආගමකට එරෙහි වන්න කියලා නැහැ.බුදුන් වහන්සේ වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව පිටු දකිමින් කරුණාව,මෛත්‍රිය,දයාව උසස් ගතිගුණ වර්ධනය කර ගන්න මඟ පෙන්නුවා.මේ කාරනා හින්දු දහමෙත්,ඉස්ලාම් දහමෙත්,ක්‍රිසාතියානි දහමෙත් කියා තිබෙනවා.’ක්‍රිෂ්ණමූර්ති මහතා පවසයි.

ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිළේ ප්‍රධාන භාරකාර ක්‍රිෂ්ණමූර්ති ගෝවින්දසාමි

දළදා මාලිගාව හා සෙසු පූජනීය ස්ථාන අතර අතීතයේ සිට මනා සම්බන්ධතාවක් පැවත තිබේ.සිංහලයේ අවසන් රාජධානියවූ කන්ද උඩරට සිංහල රාජ වංශය ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් අවසන් විය.ඉංග්‍රීසින් විසින් 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔවුන්ගේ ග්‍රහණයට ගන්නා තෙක් උඩරට පාලනය කළේ නායක්කාර වංශික රජවරුය. මෙම රජවරු දළදා වහන්සේට මෙන්ම දේවාළවලටද පූද පූජා කිරීම නිසා නිරන්තරයෙන් මෙම ආගමික ස්ථාන අතර සබැඳියාවක් ගොඩ නැගිණි.

දළදා පෙරහර තුළ නිරූපිත ජාතික හා ආගමික සංහිඳියාව මොනවට පැහැදිලි වන මෙම චාරිත්‍රය අනාගත පරපුර වෙත උරුම කරදීම සැමගේ වගකීම බව ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිළේ ප්‍රධාන භාරකාර ක්‍රිෂ්ණමූර්ති ගෝවින්දසාමි මහතා පවසන්නේ එහි අගය අදට වඩා හෙට වඩාත් දැනෙන බව ඔහුට තේරුම් ගොස් ඇති බැවිනි.