Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කාත්තාන්කුඩියේ රට ඉඳිගස් තිබුණට
ජාතිවාදය පෝෂණය වෙන්නේ නෑ

ජාතීන් අතර මෙන්ම ආගම් අතර සම්බන්ධතා ගොඩ නඟමින් සියලු ජාතීන් එක් ගමනක් එකට යායුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටින විශාල පිරිසක් කාත්තාන්කුඩියේ සිටිති. ඔවුන් අතර ප්‍රමුඛයකු වන කාන්තාන්කුඩි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී මොහොමඩ් සෙරීෆ් මොහොමඩ් ජාබීර් මහතා සිංහල හා මුස්ලිම් සම්බන්ධතාව පළුදු වීමට ප්‍රධාන හේතුව වැරදි මත සමාජ ගත වීම බව පෙන්වා දෙයි.

29.08.2019  |  
මඩකලපුව දිස්ත්‍රික්කය

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල හා මුස්ලිම් ජන සමාජය අතර යම් විරසක වීමක් ඇති වුණා. කොහොමද මේ තත්ත්වයෙන් සමාජය මුදා ගන්නේ?

ප්‍රශ්න බොහොමයකට මූලික හේතුව බොරුව සමාජ ගත වීමයි. මිනිස්සු අතර ඉන්නවා යම් දෙයක සත්‍ය අසත්‍ය තෝරා ගන්න නොදන්නා අය. මේ අය තමන්ට එන ආරංචිය සත්‍යයක් කියලා විශ්වාස කරනවා. බොරුව පියාපත් ලබලා පැතිර යන්නේ මේ අය මගිනුයි. හිතාමතාම බොරුව සමාජ ගත කරලා ජාතීන් බේද ඇති කරන අයත් ඉන්නවා. එම පිරිස ප්‍රමාණාත්මකව ඉතා අඩුයි. ඒත් දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක මාධ්‍ය ආයතන මේ සුළු පිරිසගේ හඬට ලොකු ඉඩක් දෙනවා. මධ්‍යස්ථ මතදාරී ජාතීන් අතර එකමුතුව ප්‍රාර්ථන කරන පිරිස බොහෝ දුරට නිහඬයි. මේ අය ඉදිරියට ඇවිත් ඇත්ත සමාජ ගත කරන්න ඕන. බොරුව වහන්න පුළුවන් ඇත්තෙන් විතරයි. අනෙක් කාරණය ආගමික නායකයින්. මං කියන්නේ මිනිස්සු ප්‍රශ්නයක් ඇති වුණාම ඒකට විසඳුම් සොයා ගෙන ආගමික නායකයින් පසුපස යායුතු නැහැ. යායුත්තේ සමාජය ගැන දැනුම හා අවබෝධය තියෙන උගතුන් ළඟටයි. ඇතැම් ආගමික නායකයින් ප්‍රශ්න ගැන කතා කරන්නේ ආගමික නායකයින්ගේ දෘෂ්ඨියෙන් නොව ඔවුන්ගේ පෞද්ගලික දෘෂ්ඨියෙන්. සමාජය ජාති හා ආගම් ලෙස බෙදී වෙන් වෙන්න මේවත් බලපානවා. ආගමික අන්තවාදයෙන් නොමඟ ගිය ඉතා සුළු කණ්ඩායමක් මේක කළේ. සමස්ත මුස්ලිම් ජනතාව මේක අනුමත කරන්නේ නැහැ. මේ අවස්ථාවේ මුස්ලිම් සමාජයේ උගතුන් පෙරට පැමිණ ජනතාව දැනුම්වත් කිරීම ඉතා වැදගත්.

සිංහල,දෙමළ හා මුස්ලිම් ලෙස සමාජය බෙදා වෙන් කිරීමට ගියත් මේ ජාතීන් අතර සම්මිශ්‍රණයක් පැවතීම අපට අමතක කළ නොහැකියි.

වෙළෙඳාමට මෙරටට ආ ආරාබි ජාතිකයින් ඒ රටින් කාන්තාවන් අරගෙන ආවේ නැහැ. ඔවුන් විවාහ වුණේ මේ රටේ සිංහල හා දෙමළ කාන්තාවන් සමඟයි. ශුද්ධ සිංහල, ශුද්ධ දෙමළ හෝ ශුද්ධ මුස්ලිම් අය නැහැ. කොහෙන් හරි වෙනත් ජාතියකට අපේ ඥාතියෙක් සම්බන්ධයි. මේ අය ආගමෙන් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව හින්දු සංස්කෘතිය තුළ තමයි බහුලව ජීවත් වුණේ. කසාද බඳිනකොට තැල් බඳින්න ඕන කියන එක තමිල්නාඩු දෙමළ ජනතාවගෙන් ආව එකක්. ජාතිය මුල්කර ගෙන මිනිස්සු ගහ මරා ගන්න කොට මැරෙන්නේ තමන්ගේම ඥාතියෙක් කියන එක මිනිස්සු දන්නේ නැහැ.

කාත්තාන්කුඩිය සම්බන්ධව දකුණේ සිංහල ජනතාව අතර මෙතරම් සැකයක් ඇති වෙලා තිබෙන්නේ ඇයි?

මෙහි ජීවත් වන්නේ 100% ක්ම මුස්ලිම් ජනතාවයි. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් පිළිබඳ කතා කළා. ඔහු මෙහි පල්ලියක් පවත්වා ගෙන ගියා. ඇත්තටම ඔහු නොමඟ ගිය තරුණයෙක්. මානසික රෝගයකට ප්‍රතිකාර අවශ්‍යව තිබූ අයෙකුට නිසි වේලාවට ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීමේ භයානක ප්‍රතිපලය ලාංකීය සමාජය අත්වින්දා. ඇත්තටම සහරාන් කියන්නේ රෝගියෙක්. ඔහු රෝගියෙකු ලෙස නොදැක මුස්ලිම් ජාතිකයෙකු ලෙස දැකීම නිසා තමයි සමාජයේ සිංහල මුස්ලිම් බේදයක් ගොඩ නැගුනේ. කාත්තන්කුඩියේ ආරාබි නාම පුවරු හා රට ඉඳි ගස් තිබීම වගේ කාරණා ඉස්මතු වුණෙත් සහරාන්ගේ ප්‍රශ්නය මූලික කර ගෙනයි.

/

ලංකාවේ වර්ග කිලෝ මීටරයක වැඩිම ජන සංඛ්‍යාවක් ජීවත් වන ප්‍රදේශය මේක.මෙහි වර්ග කිලෝ මීටරයක 7000 ක් පමණ ජීවත් වෙනවා. දෙවැනි තැන ගන්න දෙහිවල ඉන්නේ වර්ග කිලෝ මීටරයක් 3000 ක වගේ පිරිසක්. වසර 30 ක් මේ ප්‍රදේශයේ යුද්ධයක් තිබ්බා. මිනිස්සු තමන්ට ඕන ඉඩම් අල්ලගෙන ගොඩනැගිලි හැඳුවා. කවුරුත් හෙව්වේ බැලුවේ නැත්තේ යුද්ධය තිබූ ප්‍රදේශයක් නිසයි. පාරවල් කිට්ටටුම ගොඩනැගිලි හදලා තියෙනවා. දැන් මේවා දැක්කම මිනිස්සු කියනවා නීතියක් නැති ප්‍රදේශයක් කියලා. යුද්ධය කාලේ හෙල්මට් දාගෙන බයිසිකල් වලින් ඇවිත් වෙඩි තියලා යනවා. මේ නිසා හෙල්මට් දාන එක ඒ කාලේ තහනම් කළා. මිනිස්සු ඒකට හුරු වුණා. දැන් යුද්ධය නැති වුණාම ඒ මානසිකත්වයෙන් මිනිස්සු ගලවා ගන්න ටිකක් කල් යනවා. දැන් නම් පොලීසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.මේ කාරණා දකුණේ සමාජයේ කතා බහට ලක්වන්නේ ඇත්ත තත්ත්වයට වඩා වෙනස් විදිහටයි.

මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධවත් සමාජ ප්‍රශ්නයක් මතුව තිබෙනවා?

දැන් අවුරුදු 40 ක පමණ කාලයක සිට අපේ කාන්තාවන් මැද පෙරදිග රට වලට ගෘහ සේවිකාවන් ලෙස යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් මේ තුන් ගොල්ලම ආරාබි රටවලට ගිහින් ගෙවල්වල වැඩ කරනවා. අපේ ගෙදරක වැඩට අහිංසක අම්මා කෙනෙක් ආවොත් අපි එයාට අපේ ගෙදර අය ඇඳපු පරණ ඇඳුම් දෙන්නේ නැද්ද? එහෙම ඕනෑ තරම් වෙනවා. අරාබි රටවල වැඩ කරලා මේ රටට එන අපේ කාන්තාවන් කී දෙනෙක් ඒ ගෙවල් වල නෝනලා ඇඳපු ඇඳුම් අරන් ඇවිත් මෙහේ අඳිනවාද? අපි ජීවත් වෙන්නේ ශ්‍රීලංකාවේ මිසක් අරාබියේ නෙවෙයි. මේ රටේ සංස්කෘතිය හඳුනා ගෙන ජීවත් වීමයි වැදගත්. බුර්කාව තහනම් කළාට පස්සේ එළියට නෑවිත් ගෙවල් වලටම වෙලා ඉන්න කාන්තාවන් කාන්තන්කුඩියේ ඉන්නවා.


මං රැවුල වවලා නැහැ. මගේ නෝනා අබාය අඳින්නේ නැහැ. කවුරුත් මේ වනතුරු ඇයට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් හෝ තර්ජනයක් කරලා නැහැ.

මං රැවුල වවලා නැහැ. මගේ නෝනා අබාය අඳින්නේ නැහැ. කවුරුත් මේ වනතුරු ඇයට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් හෝ තර්ජනයක් කරලා නැහැ. සිංහල බෞද්ධ නම් නැෂනල් එක අඳිනවා. මේ වගේ එක් එක් ජාතීන්ගේ අනන්‍යතාව පෙන්වන ඇඳුම් තිබෙනවා. මං කියන්නේ අපි ඇඳුමෙන් හෝ ස්වරූපයෙන් සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා පෙන්වන්න අවශ්‍ය නැහැ.මේ රටේ මුස්ලිම් ජනතාව කතා කරන්නේ දෙමළ භාෂාව. ලියන්නෙත් ඒ අකුරු. තමන් අදහන ආගමට සම්බන්ධ අකුරු,ඇඳුම් වැළඳ ගන්න කැමැති පිරිසක් ඉන්නවා. මේවා මනෝ විද්‍යාත්මක කල්පනා කරලා බලලා පිළිතුරු සොයන්න ඕන ප්‍රශ්න. බොරුවට විවේචනය කිරීමෙන් සිදු වන්නේ ප්‍රශ්න තවත් වැඩිවෙන එකයි.

විවාහ වීම සඳහා පොදු වයස් සීමාවක් හඳුන්වා දීමට යනවා. මේ ගැන ඔබේ අදහස?

එය ඉතා හොඳ දෙයක්.වෛද්‍ය විද්‍යාත්මක බලන කොට වයස අවුරුදු 18 ට අඩු අයෙකුට හරි තීරණයක් ගන්න තිබෙන හැකියාව අඩුයි. ඡන්ද අයිතිය පවා අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ලබා දෙන්නේ ඒ නිසයි.වෛද්‍ය විද්‍යාත්මක ගැහැනු ළමයෙක් කසාද බඳින්න ඕන අවුරුදු 22 ත් 35 ත් අතරයි. ළමයෙකුට ළමයෙක් බලා ගන්න බැහැ.වයස අවුරුදු 14 ක ළමයෙක් තමන්ගේ ළමයා වඩාගෙන උත්සවයකට යනකොට ඒ ළමයා පත්වන අසීරුතාව කොච්චරද? මේ නිසා මේ වයස් සීමාව සංශෝධනය වීම ඉතා හොඳ දෙයක්. මුස්ලිම් සමාජය මේ කාරණය අවබෝධ කරගෙන ඉන්නේ. විවාහ වීමට වයස් සීමාවක් නොතිබුණත් එවැනි අඩු වයස් විවාහයන් සිදු වන්නේ ඉතාම ස්වල්පයයි.

කාත්තාන්කුඩියේ අධික ජනගහනයක් සිටීම අන්තවාදයක් දක්වා තරුණයින් තල්ලු වීමට හේතුවක්ද?

නැහැ.එවැනි තත්ත්වයකදී සිදු වන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව අතර ගැටලු හා ආරවුල් ඇති වීමයි.මොකද ඒ අය ජීවත් වීම පිණිස කරන අරගලයේදී තමන්ගේ ආසන්නතමයා සමඟ තරඟකාරීත්වයක් ඇති වෙනවා. සහරාන් මෙහේ හිටියට මෙහේ ඉඳිගස් තිබුණට ජාතිවාදය මෙහේ පෝෂණය වෙන්නේ නැහැ.