Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මානවවාදී අදහස් ඔස්සේ
ගැටුම් නිරාකරණය කළ හැකියි

මේ රටේ, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස  සිතන්නේ නම්, තවදුරටත් මේ රටේ අන්තවාදී ක්‍රියා හා යුද්ධ ඇති  නො වනු ඇති බව සමාජ ක්‍රියාකාරී සහ මඩකලපුව මානවවාදී මධ්‍යස්ථානයේ සභාපති, වෛද්‍ය නාගමුත්තු පන්නීර්සෙල්වම් කියයි.

18.09.2019  |  
මඩකලපුව දිස්ත්‍රික්කය

 සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන්, ජාතික සංහිඳියාව ගොඩනැගීම අපහසුවීම සඳහා බලපා ඇති හේතු ලෙස ඔබ හඳුනාගන්නේ මොනවා ද?  

ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය පිළිගන්නා රටක, සුළුතරයට කිසිඳු ගැටලුවක් පැනනගින්නේ නැහැ. ලංකාවේ දේශපාලනය, ජාතිවාදය, ආගම හා භාෂාව පදනම් කරගත් අන්තවාදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස, ශූන්‍යබව හා අවිනිශ්චිතබව නිර්මාණය වී තිබෙනවා. මේ රටේ සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතමින් මනුෂ්‍යත්වයට, මානවවාදයට මූලිකත්වයක් ලබාදෙමින්, වාර්ගික, ආගමික, භාෂාමය වශයෙන් පවතින අන්තවාදී අදහස් අවසානය කරා රැගෙන එන්නේ නම්, තවදුරටත් මේ රටේ අන්තවාදී ක්‍රියාවන් හා යුද්ධ ඇති නොවේවි. අප්‍රේල් 21 දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට හේතුව, අපේ දේශපාලකයන්. මේ රටේ ජාතිකත්වය අහිමිවෙලා. මේ අසමත්වීමට හේතුවන්නේ, මෙම ගැටලුවලට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සොයාගැනීමට නොහැකිවීම යි. මේ රටට අවශ්‍යවන්නේ, දූරදර්ශී දේශපාලන අදහස් පවතින පුනරුදයක් ඇතිකළ හැකි දේශපාලකයන් හා දේශපාලන පක්ෂ යි.

  මනෝවිද්‍යාත්මක සහාය හා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෙකු වශයෙන්, පශ්චාත් යුද සමය පිළිබඳ ඔබ දකින්නේ කෙසේ ද?

උතුරු – නැගෙනහිර යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, බහුතර ප්‍රජාවක් දිළිඳුබවේ රේඛාවට පහළින් සිටීනවා. තරුණ විරැකියාව සහ ඉඩම් සම්බන්ධව නොවිසඳුණු ගැටලු රාශියක් මේ සමඟ ඉස්මතු වී තිබෙනවා. මෙම සියලුම ගැටලු, යම් දවසක භූමිකම්පාවක් මෙන් පිටතට මතුවිය හැකියි. වර්තමානය සාමයේ සංක්‍රාන්ති සමයක් පමණක් වන අතර එය ජනතාවට තාවකාලික අස්වැසිල්ලක් ලබාදෙන බවයි මා දකින්නේ.   අපිට අවශ්‍යවන්නේ ස්ථිර සහ පිළිගත් මට්ටමේ සංහිඳියාවක්.

  ඇයි ඔබ එහෙම කියන්නෙ?

ආගමික අන්තවාදය කියන්නෙ දේශපාලන සංස්කෘතිය විසින් මෙරටෙ හි ඇති කළ දෙයක්. භාෂාව, ආගම හා වාර්ගිකත්වය මත පදනම් වූ දේශපාලන අන්තවාදය, ගම් සහ නගර හරහා පෝෂණයවෙමින් පවතිනවා. මේ සියල්ල ඒකරාශී කරගත් දේශපාලන පසුබිමක් ඇතිකිරීමේ ඉඩකඩ අවමයි. වාර්ගික ප්‍රජාවන් අතර සහයෝගී සබඳතාවක් අපේක්ෂා කළ හැකිවන්නේ, නීතිය සහ යුක්තිය සියලු ශ්‍රී ලාංකිකයන්ට සමානව ක්‍රියාත්මකවන්නේ නම් පමණයි. මෙවැනි ක්‍රියාවලියක් නොමැතිවීමේ ප්‍රතිඵල ලෙස අප්‍රේල් 21 දින එල්ල වූ ප්‍රහාර වැනි සිදුවීම්වලට මුහුණදීමට අපට සිදු වෙලා.  

  අප්‍රේල් 21 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසු තත්ත්වය ඔබ දකින්නේ කෙසේ ද?

අප්‍රේල් 21 දින සිදු වූ ප්‍රහාරයෙන් රටේ සාමකාමී තත්ත්වය බිඳ වැටුණා වගේම රටේ ආර්ථිකයට හා ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් ඉන් එල්ල වූවා. මෙය අපේ රටේ මුස්ලිම් විරෝධී චේතනා වර්ධනය කිරීමට හේතුවෙලා තියෙනවා. සත්‍ය ස්වරුපය මීට වඩා වෙනස්. වර්තමානයේ, මිලියනයකට අධික ලාංකිකයන් මැදපෙරදිග සේවය කරනවා. මේ හරහා රට තුළ විදේශ විනිමය උපදවනවා. මේ රටවලින් සපයන ඉන්ධන ද වැදගත් තැනක පවතිනවා. සමස්ත ප්‍රජාවටම වෛර කිරීම සාධාරණීකරණය කළ නොහැකි යි.

  ගැටුම් ඇතිවීම කෙරෙහි ආගම ප්‍රබල බලපෑමක් සිදුකරනවා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ දර්ශනය තදින් ම මුල්බැස ගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ යහපත් සාරධර්ම, මනුෂ්‍ය ජීවිතය හා සම්බන්ධ වන අයුරු පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා අවම වශයෙන් කෘමියෙකුටවත් හිංසා නොකළ යුතුයි කියලා. උන්වහන්සේගේ මෙම ඉගැන්වීම් පිළිගන්නේ නම් හා අනුගමනය කරන්නේ නම්, මේ රට යහපත් දේශයක් ලෙස ගොඩනැගේවි. යුද්ධය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, බෞද්ධ දර්ශනය නොපිළිපැදීම යි. සියලු දෙනාටම ආගමක් ඇදහීමේ අයිතියක් තියෙනවා. ආගම හැරුණවිට, මානවවාදී දොරටු සෑමවිටම විවෘතව තැබිය යුතු යි.  මානවවාදී අදහස් ඔස්සේ ගැටුම් නිරාකරණය කරන්න පුළුවන්. ගැටුම් පවතින තාක්, ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ළඟා කරගැනීමට නොහැකි යි. අන්තවාදී අදහස් සහිත අන්තවාදී පුද්ගලයන් ඉන්න පුළුවන්. නමුත්, ඔවුන්ව මානුෂවාදී සංස්කෘතියකට පරිවර්ථනය කරන්න පුළුවන්. මේ සඳහා, සාකච්ඡා පැවැත්විය යුතු යි. සාකච්ඡා මඟින් විසඳිය නොහැකි කිසිවක් නෑ.