Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

රජරටින් ඇසෙන
නියඟයේ අඳෝනාව

රජරට ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක් දරුණු නියඟයකින් පීඩාවට ලක්ව තිබේ. එහෙත් රජයේ මෙන්ම පුරවැසි සමාජයේද ඒ කෙරෙහි ඇත්තේ අල්ප වූ අවධානයකි.

30.08.2017  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

/

‘‘මේ දරුවො දෙන්නා ඉස්කෝලේ නොගිය තුන්වැනි දවස. හරිහැටි කෑමක් බීමක් නැතිව කොහොමද යවන්නේ? අනුරාධපුරය මහවිලච්චිය ඇද්දත්කල්ලේ පදිංචි එන්. මල්ලිකා (28) නම් වූ සිව් දරු මව එසේ පවසද්දී ඇගේ කටහඬ සැලූණි. දරුවන් කුසගින්නේ නම්, ඇයද කුසගින්නේ බව අමුතුවෙන් කිව යුතුද?

මාස කිහිපයක් තිස්සේ රජරට කලාපය පෙළෙමින් තිබෙන නියඟයෙහි සැබෑ තතු දෑසින් දකිමින් ගම් බිම්වල සැරිසරද්දීය, ඇය අපට මුණගැසුණේ. ඇගේ සැමියා වූ කේ.ඞී නන්දසේන (38), ඇයගේත් දරුවන්ගේත් කුසගිනි නිව්වේ මහවිලච්චිය වැවේ මාළු ඇල්ලීමෙනි. වැවේ වතුර සිඳී ගිය බැවින් කුසගින්න ළැව්ගින්නක් සේ ඇවිල යමින් තිබේ.

කන්න තුනක් පාළුයි
එන්. මල්ලිකා සිව් දරු මව

මහ විලච්චිය පමණක් නොව කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, පදවිය යන ප‍්‍රදේශවලින්ද අසන්නට ලැබුණු තතු ශෝකජනකය. කන්න දෙක තුනක් වර්ෂාව නොමැති කමින් ගොවිතැනද නිස්සාර වී සතා සිව්පාවාට පවා බීමට වතුර පොදක් නැති විය. ගවයෝ තැන් තැන්වල වැටී මියයති. රජරට වෙසෙන බොහෝ මිනිසුන්ද සතුන් තරමටම අසරණය.
‘‘වතුවල තිබුණ මයියොක්කා අල තම්බාගෙන කෑවා. කැළේ තිබුණ පලූ ටිකත් කඩලා අනුරාධපුර ටවුමට අරගෙන ගිහින් වික්කා. ඉන් පස්සේ කැලේ තිබුණ අමු සියඹලා කඩලා තම්බලා වේලලා විකිණුවා. ඒකත් ඉවරයි. දැන් ඉතිරිවෙලා තියෙන්නේ ඉරිතලාපු වැව් පිටියේ තියෙන නෙළුම් අල විතරයි.’’ මහනිකවැව, ඔයාමඩුව පදිංචි උදාර රත්නමලල (49} පැවසුවේය.
නියං සමයේ වැව්පිටිවල ඇති නෙළුම් අල කෑමට සුදුසු නැති බව ඔවුන් නොදන්නවා නොවේ. වකුගඩු රෝගයට ඉවහල්වන රසායනයන් ඒවායේ තැන්පත්ව ඇති බැවිනි. එහෙත් කුසගින්න ඊට වඩා බලවත්ය. ඒ නිසා ඔවුහු නෙළුම් අල සුද්ද කර, ඊට කහ ස්වල්පයක්ද කැකුළු සහල් මිටක් දෙකක්ද දමා තම්බාගෙන, නෙළුම් අලය පමණක් කෑමට ගනිති. ඉතිරි සහල් ටික සතෙකුටවත් නොදී ඉවත දමයි. අලවල තිබුණු විෂ සහල්වලට උරාගෙන ඇතැයි ඔවුහු හිත හදාගනිති.

උහුලනු බැරි උණුසුම

ඇලයාපත්තුවේ සිට නිකවැව, බණ්ඩාරගම, ඇද්දත්කල්ල, පේමඩුව හා නවෝදාගම, තම්බියාව, තන්තිරිමලේ යන ප‍්‍රදේශවල පාර දෙපස පිහිටි ඇතැම් නිවෙස් දහවල් කාලයේදී දොරගුළු දමා වසා තිබුණි. එම නිවෙස්වල පදිංචිකරුවෝ නිවෙස් පිටිපස ඇති ගස් සෙවණේ පැදුරු මත වැතිර සිටිනු දක්නට ලැබිණ. ඔවුන්ගේ මුහුණු මලානික වී තිබිණ. බොහෝ පිරිසකගේ උඩුකය නිරාවරණය වී තිබිණ. අව් රෂ්මිය එතරම්ම තියුණුය. මානාවලින් ගහණ වියැළී ගිය ලඳුකැළෑව ගිනි ගෙන අළු වී ඇත.
/තම්බියාව, කුඹුක්වැව පදිංචි කාංචනා සඳමාලි නම් වූ එක්දරු මවක් සමග තවත් කතක් මහවිලච්චියේ ඞී-04 ඇළ දෙපස පලා නෙළන අයුරු දැකගත හැකි විය. ‘‘මගේ මහත්තයා රත්නපුරේ කුලී වැඩට ගිහිල්ලා. මේ කන්කුන් කඩාගෙන ගිහින් ගෙදර තියෙන හාල් ටිකෙන් බත් උයාගෙන, පලා මැල්ලූමක් හදල දරුවට බත් ටිකක් කවන්නයි.’’ ඇය පැවසුවේ මුහුණ වසන් කරගෙනය.
ඉපැරණි ගමක් වන ඇලපත්ගමදී අපට මුණගැසුණු එම්.බණ්ඩාරනායක (60* සහ කමලාවතී යුවළ එහි වැසියන්ගේ ජීවන තතු විස්තර කළේය. ‘‘අපි මේ වටේ තියෙන ලදු කැලෑවල රිංගලා තෙල් එඩරු, දෙබට, කොහොඹ පොතු , බටු මුල්, පොල්පළා වගේ බෙහෙත් ඖෂධ හොයලා නගරයට අරන් ගිහින් විකුණගෙන හොයාගන්නා සොච්චමෙන් තමයි ජීවත් වුණේ. මහ කැලේ ගිනිගත් නිසා දැන් ඒකත් නෑ. අපි දැන් කොහොම ජීවත් වෙන්නද?’’

‘එක්ලක්ෂ විසි දෙදාහක්’

අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාගෙන් විමසීමක් කළෙමු.
‘‘පානීය ජලය හා ආහාර අහේනිය තදින්ම බලපාලා තියෙනවා. මේ වන විට එක් ලක්ෂ විසි දෙදාහක (122,000) ජනතාවක් නියඟයෙන් පීඩාවට පත්වෙලා. අනුරාධපුර දිස්ත්‍රික්කය ආපදාවට ලක් වූ දිස්ත‍්‍රික්කයක් ලෙස නම් කරන්න යැයි රජයෙන් ඉල්ලා සිටියා. එවිට රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන හා විදෙස් ආධාර ගලා එන්න පුළුවන්. මේ වන විට අතිවිශාල ජනතාවකට ආපදා කළමනාකරණ ඒකකය මගින් ජලය බෙදාහැරීම සිදු කරනවා. ඒත් අඩුපාඩුකම් සිදුවිය හැකියි. ජලය ලබාගත හැකි ස්ථානවල තාවකාලිකව ළිං කපාගැනීම සඳහා මම ප්‍රාදේශීය ලේකම් වරුන්ට චක්‍රලේඛන නිකුත් කර තිබෙනවා.’’
තැනින් තැන සුළු වැසි ඇදවැටුණු නමුත් මෙතෙක් නියඟය අවසන් වන ලකුණක් නැත. දිනෙන් දින රජරැටියන්ගේ ගැටළු වැඩිවන අතර රාජ්‍ය සේවයේ මැදිහත් වීම ප්‍රමානවත් නොවන බව නියඟයට පත්වූවෝ කියති.