මුකුණුඔයේ පතුලේ කිමිද
දරුවන්ට පණ පොවන ගැහැනිය
මෙය ජීවත් වන්නට වෙර දරන ගැහැනියක පිළිබඳ කතාවකි. එහි පරිච්ඡේද බොහෝ ගණනක් ඉරණම විසින් ලියනු ලැබ තිබේ. ඉතිරි කොටස හෝ මිනිසුන්ට ලිවිය හැකිනම් කෙතරම් අගීද?
මුකුණු ඔය පතුලේ කිමිද, වැලි ගොඩදමා දෙදරුවන් රකින මවක පිළිබඳ පුවත මට දැනගන්නට ලැබුණේ පියරත්න නමැති ඇගේ අසල්වැසියකුගෙනි. ඇගේ ජීවන පුවත පැවසූ ඔහු මෙසේද කීවේය. ‘‘අනේ මහත්තයෝ පත්මා නොවිඳිනා දුකක් නෑ. පුළුවන්නම් ඔය ගැන පත්තරේට දාලා උපකාරයක් අරන් දෙන්ඩ’’
දියෙහි කිමිදී වැලි ගොඩදැමීම පිරිමින්ට ආවේණික රැකියාවකි. හැඩි දැඩි පිරිමියකුට වුවද දිගු කලක් එහි නිරත වීම දුෂ්කරය. ඒ නිසා ඇති වන විවිධ අතුරු ආබාධ නිසා එම වෘත්තියෙන් මෙන්ම ජීවිතයෙන්ද සමු ගැනීමට සිදු වූවන් පිළිබඳ උදාහරණ සුලබය. ගැහැනියක මේ රළු රැකියාවට කෙසේ පිවිසුණා විය හැකිද? වනයට මායිම් වුණු ගම්මානයක කෙළවර අබලන් නිවසක, හුදෙකලාවේ දිවි ගෙවන මෙම ගැහැනිය පිළිබඳ කතාවෙන්, දිළිඳුකම ගැනද, ස්ත‍්‍රීත්වය ගැනද මාතෘත්වය ගැනද බොහෝ දේ කියවෙනු ඇතැයි මට සිතිණි.
ඇයගේ තතු සොයා මා ගිය කටුක මග තොරතුරුද ඇගේ දිවි පුවතින් වෙන් කළ නොහැකි කොටසක් වැනිය.
අලි පාරේ යකාවැවට‘කැබිතිගොල්ලෑව’ යනු තිස් වසරක කුරිරු යුද්ධයේ ඉතිහාසයෙහි කළු අකුරින් සටහන් වූ කුඩා නගරයකි. යුද සමයේ ‘මායිම් ගම්මාන’ යැයි නම් ලද දුෂ්කර ගම්මාන රැසක වැසියන්ගේ අගනුවර වූයේ කැබිතිගොල්ලෑවයි. අපේ ගමන ආරම්භ වන්නේ එතැනිනි.
එහි සිට වවුනියාව දක්වා දිවෙන මාර්ගයේ වයි හංදියෙන් දකුණට හැරී හල්මිල්ලවැටිය දක්වා යා යුතු ය. ඒ මග දෙපස වන අලින්ගෙන් ගහණ වූ පෙදෙසකි. උදෑසන නවයත් සවස පහත් අතර කාලයේදී පමණක් මිනිසුන් සැරිසරන, ඉතිරි කාලයේ වන අලින්ටම සින්නක්කරයට ලියා ඇති ඒ මාර්ගයේ බස් රථ දෙක තුනක් හැරෙන්නට ගමන් කරනුයේ ගම්මුන්ගේ යතුරු පැදි හා ඩිමෝ ලොරි රථ දෙක තුනක් පමණි.
හල්මිල්ලවැටිය හංදියට එළිය වැටෙනුයේ ඒ අසල ඇති කඩ දෙක තුනෙනි. දඹ ගස මුලින් හැරෙන පාර යකා වැව දක්වා දිවෙන ගුරු පාරකි. එහි දෙපස පුරන් වූ කුඹුරුය. හොඳින් හැඞී වැඩුණු වන පෙතෙහි වල් අලින් සැරිසැරූ ලකුණුය. ගුරු පාර තැනින් තැන වළ ගොඩැලිද බොහෝය. වාහනයකට යා හැක්කේ පැයට කි.මි 30කට අඩු වේගයකි. ඒ මගේ කිලෝමීටර් හතක් පමණ යන මුකුණුඔය පාලම හමු වේ. ඉන් ඔබ්බට ඇත්තේ යකාවැව ගම්මානයයි. කැබිතිගොල්ලෑව බස් බෝම්බයට බිලි වුණු බහුතරය ඒ ගමේ වැසියෝය.
දුකෙහි කිමිදෙන ගැහැනියමේ ගම් පියසට නුදුරින් පිහිටා ඇති ඉඳිගහපොතාන අද ජනශුන්‍ය ප‍්‍රදේශයකි. ඉඳිගහපොතානට යාබද යකාවැව ගම්මානයේ අවසන් කෙළවර, ඇගේ දිළිඳු නිවස පිහිටියේය. ඒ නිවසෙහි ජීවත් වන්නේ සෙනෙවිරත්නගේ පත්මා නම් ඇයත්, ඇගේ දුවත්, පුතාත් පමණි. ඉන් ඔබ්බෙහි අලි සහ වන සතුන් ගහණ වනයයි. කුඩා ගෙපැලත්, ප්ලාස්ටික් පුටු දෙක තුනක්, කළු ගැහුණු වළං කැබලි කිහිපයක් හැරුණු විට ඇයට ඇත්තේ ඇඳිවත පමණි.
යකාවැව ඔස්සේ ඝන කැළෑව මැදින් ගලා යන මුකුණුඔය පතුලේ කිමිද වැලි ගොඩදැමීම ඇගේ රැකියාවයි. එය කොතරම් දුෂ්කර වුවද ඇයගේත්, පාසල් යන වයසේ වූ ඇගේ දරුවන්ගේත් ජීවිත පවත්වාගෙන යන්නේ එයිනි.
මිනිස් පුළුටක් ඇහැ නොගැටෙන ඝන කෑළෑව මැදින් ගලා යන ජල කඳෙහි කිමිදෙන පත්මා, කොරහකට වැලි එකතු කර ඒවා ගං ඉවුරේ ගොඩගසයි. කිමිදී උඩ මතුවන හැම වාරයකදීම ඇය වැලි ගොඩ දෙස බලන්නේ, කුඩා දියණිය වැලි ගොඩ මත හිඳ ඈ දෙස බලා සිටින බැවිනි. මෙය එක දිනක, දෙකක නොව, වසර ගණනාවක් තිස්සේ ඇගේ දින චරියාවය.
වැලි ට්‍රැක්ටරයක් ගොඩ දා ගැනීමට ඇයට දරන්නට සිදුවන වෙහෙස අපමණය. ඊට වඩා පහසුවෙන් වැලි රැස් කර ගත හැකි මංකඩවල් සියල්ල පිරිමින් විසින් අල්ලාගෙන හමාරය. පත්මාට වැලි ගොඩ දැමීමට තිබෙන්නේ ගල් මුල් සහිත පෙදෙසකි. ගස් මුල් හා ගල්පර අතර රැඳී ඇති වැලි කොරහට එකතු කර ගැනීම දුෂ්කර වෑයමකි. වැලි ට්‍රැක්ටරයක් යනු එවැනි කිමිදුම් වාර සිය දහස් ගණනකි. ට්‍රැක්ටරයක ප‍්‍රමාණයේ වැලිවලට, වෙළෙන්දන්ගෙන් ඇයට ලැබෙන්නේ රුපියල් එක්දාස් පන්සීයකි.
අත්වැල බිඳුණු පසු‘‘මගේ මහත්තයා ඒ කාලේ කුඹුරු වැඩ කළා. ගඩොල් කැපුවා. ඒ වගේම වැලිත් ගොඩ දැම්මා. මුකුණුඔයේ එයා වැලි ගොඩදානකොට මට වතුරටවත් බහින්න දුන්නේ නෑ. පැත්තකටවෙලා ඉන්න කියනවා. එහෙම මහන්සි පත් වෙලා ගෙදර ආවාම ඇග රිදෙන බව හැමදාම කියනවා. ඒත් ඒවාට ප්‍රතිකාරයක් ගත්තෙ නෑ. අසනීපය ටික ටික වැඩි වුණා. ඉන් පස්සෙ එයා සිවිල් ආරක්ෂක බළකායට බැඳුණා. ඒකෙ පුහුණුවට ගිහින් ඉන්නකොට තමයි වකුගඩු රෝගෙ හැදිල එයා නැතිවුණේ.’’ ඇගේ කටහඬ සැලෙන්නට විය. ඉන් පසුව ගෙවුණු දස වසරක ජීවිතය ඇය විස්තර කළේ නැත. මේ වචන කිහිපය ඇය කීවේ බිම බලාගෙනය.
‘‘දරුවො දෙදෙනාත් මමත් මේ ලෝකෙ තනි වුණා. එදා ඉඳල අද වෙනකල් නොවිඳපු දුකක් නෑ.’’
‘‘අපි එක වේලක් කෑවොත් අනෙක් වේල බඩන්නේ. සමෘද්ධියෙන් දෙන රුපියල් දෙදාහෙන් හාල් ටික ගන්නවා. වැලි ගොඩදාල තමයි මාසේ ඉතිරි වියදම හොයා ගන්නේ.’’
දිරූ කැණිමඬල යටඇය ජීවත් වන කුඩා නිවස, සැමියා මිය ගිය පසු සිවිල් ආරක්ෂක බලකාය විසින් ඉදි කර දුන් එකකි. කාලයාගේ ඇවෑමෙන් වහලය දිරාපත් වී මුදුන් යට ලීය බිඳී ගොසිනි. සුළං හමන විට එය මැදින් පහත් වෙයි. ඇය තුන් හතර වතාවක් ගොස් ග්‍රාම නිලධාරිවරයා හමු වී මේ ගැන දැනුම් දුන්නේ ආණ්ඩුවෙන් සහනයක් බලාපොරොත්තුවෙනි. පසු දිනක පැමිණි ඔහු, ‘මීට වඩා පරණ ගෙවලූත් තියෙනවා. බලමුකෝ’ යැයි කියා ගිය නමුත් විසඳුමක් ලැබුණේ නැත. ඇයම පුළුවන් හැටියට බිඳුණු යට ලීය තුන් හතර පොළකින් ලණුපොටවලින් බැන්දාය. ‘‘මේ කැලෙන් කොයි වෙලාවෙ අලිය එයිද කියන්න බෑ. අලිය වහලෙ කොනක හරි ගෑවුණොත් මමයි දරුවො දෙන්නයි මේකටම යටවෙලා මැරිල යාවි’’ හැම රැයක්ම ඇය පහන් කරන්නේ ඒ බියෙනි.
ඇයට ඇත්තේ ඒ බිය පමණක් නොවේ. වැලි ගොඩ දැමූ කාලයේ සිය සැමියා පැවසූ වේදනාවන් ඇයටද දැන් දැනෙන්නට පටන්ගෙන තිබේ. සැමියාට මෙන් ඇයටද ඒවා ගැන සොයා බලන්නට වෙලාවක් නැත. ‘එයා විඳපු දුක කොයිතරම්ද කියල මට තේරෙන්නෙ දැන්’ ඇය කියන්නේ වේදනාවෙනි. සැමියා ගැන පමණක් නොව සිය මව විඳි වේදනාවන් ගැනද ඇයට දැන් වඩ වඩාත් දැනෙන්නට පටන්ගෙන තිබේ.
‘‘මගේ තාත්තා මං පොඩි කාලෙ සර්පයෙක් කාලා නැතිවුණේ. මං වගේම මගේ අම්මත් දරුවොත් එක්ක තනි වුණා. මම පහේ පන්තියට විතරයි ඉස්කෝලේ ගියේ.’’
පත්මා මුකුණු ඔය පත්ලේ කිමිදෙමින් සොයන්නේ, පරම්පරා දෙකක් අත්විඳි ඒ කටුක ඉරණමින් සිය දරුවන් ගළවාගන්නා මගකි. කෙතරම් අගහිඟකම් තිබුණද ඇය සිය දරුවන්ගේ ඇස් පාදන්නට වෙර දරන්නේ ඒ නිසාය. ඇගේ පුතු කැබිතිගොල්ලෑව විදුහලේද දියණිය යකාවැව විදුහලේද ඉගෙනුම ලබති.
කාරුණික බැල්මක්පත්මාගේ අසල්වැසියා ඉල්ලා සිටි පරිදි, රජයේ ඇයට කිසියම් සහනයක් සලසා දෙන ලෙස ඉල්ලීමට, කැබිතිගොල්ලෑව සහකාර ප‍්‍රාදේශීය ලේකම් මංජරී ශ‍්‍රී චන්ද්‍රදාස මහත්මිය හමුවුණෙමු. ඒ වන විටත් එස්. පත්මා නම් වූ කාන්තාවක් පිළිබඳව ඇයට දැනගන්නට ලැබී තිබිණි. වහලය ඉදිකරදීමට ග්‍රාම නිලධාරී මහතා දැනුම්වත් කර ඇති බවද පත්මාගේ පවුලේ සියලු දෙනාට කිසියම් සහනයක් සැලසීමට සමාජසේවා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන බවද ඇය පැවසුවාය.
කෙතරම් කාරුණික නිලධාරීන් සිටියද රාජ්‍ය යන්ත‍්‍රය මගින් කටයුතු සිදු වන ආකාරය අපි අත්දැකීමෙන් දනිමු. සුළු උපකාරයක් ලැබුණද පත්මා නම් ගැහැනිය මුකුණු ඔයේ දිය කඳින් ගොඩට ගැනීමට තරම් විසඳුමක් නොලැබෙනු ඇති බව සහතික ය. ඇය දියෙන් ගොඩ ගෙන, ඇගේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අන් කිසි මගක් ඇද්දැයි ඔබේ කාරුණික හදවතට හැඟෙයිද?