Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ලෙඩ රෝග, නූගත්කම, දුප්පත්කම ඉහවහා ගිය
කැලෑවටම අතහැර දැමූ තම්බපණ්ණියේ සිංහලයෝ

‘තම්බපණ්ණිය’ කව්රුත් දනිති. ‘ඇළපත්ගම’ ‘වන්නිපලූගොල්ලෑව’ සමහරුන් අසා තිබෙනවා වන්නට පුළුවන, එහෙත් කොක්පැටියාව, තුප්පිටියාව, මහඊරිකෑව ගැන කව්රු නම් දනිත්ද? මේ ගම්මාවල සැරිසරන කෙනෙකුට දැකගත හැකි වනු ඇත්තේ, ජාතියක වංශ කතාව සමඟ ඈඳුණු නමුත්, ජාතිය විසින් අතරමං කර දමා ඇති පරපුරක කටුක ඉරණමයි. ‘තම්බපණ්ණිය’ යන නම ඇසුණු විට, එය මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් හා බැඳුණු නාමයක් බව […]

10.06.2016  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

‘තම්බපණ්ණිය’ කව්රුත් දනිති. ‘ඇළපත්ගම’ ‘වන්නිපලූගොල්ලෑව’ සමහරුන් අසා තිබෙනවා වන්නට පුළුවන, එහෙත් කොක්පැටියාව, තුප්පිටියාව, මහඊරිකෑව ගැන කව්රු නම් දනිත්ද? මේ ගම්මාවල සැරිසරන කෙනෙකුට දැකගත හැකි වනු ඇත්තේ, ජාතියක වංශ කතාව සමඟ ඈඳුණු නමුත්, ජාතිය විසින් අතරමං කර දමා ඇති පරපුරක කටුක ඉරණමයි.
‘තම්බපණ්ණිය’ යන නම ඇසුණු විට, එය මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් හා බැඳුණු නාමයක් බව සිහියට නොනැගෙන කෙනෙකු නොවන තරම්ය. විජය කුමරු ඇතුළු පිරිස මේ දිවයිනට ගොඩබට මොහොතේ, වැල්ලෙහි තැබූ දෑත්වල තැවරුණු තඹ පැහැය නිසා ඒ වෙරළද, පසුව මුළු දිවයිනද ‘තම්බපණ්ණි’ නම් විය.
වයඹ දෙසින් විල්පත්තුවේ මුහුදු තීරය තඹ වැල්ලෙන් සමන්විතය. කොක්මොටේ නම් වු ප‍්‍රදේශයේ මේ වැලි තලාවේ ශේෂ වු ගල්කණු කිහිපයක් ඉතිරිව ඇත. එය කුවේණිගේ රාජධානිය නමින් හදුන්වයි. එහි විසූ මුල් පදිංචිකරුවන්ගේ පරපුරට කුමක් වීද?
ඔවුන්ගේ පරපුර ක‍්‍රමයෙන් එම ඝන කැලෑවෙන් එළියට විත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විල්පත්තු කැලෑවට මායිම් වූ ගම්මාන කිහිපයක අදටත් දිවි ගෙවන බව, බොහෝ දෙනා නොදන්නා අපූරු කතාන්දරයකි.

‘සැබෑ සිංහලයෝ’

නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුමඬලාව ග‍්‍රාම නිලධාරී වසමේ ‘ඇළපත්ගම’ එයින් එක් ගමකි. එම ගමට නුදුරින් පිහිටි වන්නිපලූගොල්ලෑව, කොක්පැටියාව, මහඊරිකෑව, තුප්පිටියාව යනාදී යම්මානවලද එකී පරපුරට නෑකම් කියන ජනයා දිවි ගෙවති. ඇළපත්ගම වෙසෙන ඩබ්.හේරත්බණ්ඩා (73* සිය පරපුරේ පුරාවෘත්තය අපූරුවට විස්තර කරයි.
‘‘අපි තමයි මේ රටේ සැබෑ සිංහලයෝ. අපේ මුත්තලා කියපු විදිහට තම්බපණ්ණිය කියන නගරය තිබුණේ ඔය විලපත්තු කැලේ මැද. එදා එ් නගරයේ හට ගත්තායැයි කියන මහා ගැටුමකින් පස්සේ මිනිස්සු විසිරිලා ගියා. අපේ වැඩිහිටියො පදිංචියට ආ දිහාවට කීවේ ‘ඉරුදෙනියාය’ කියලයි. අපේම කියන ඥති පවුල් 15 ක් පමණ එහි ජීවත් වුණා. දැන් එ් ගම අතහැරලා මෙහාට ඇවිල්ලත් අවුරුදු 50-60 පමණ වෙනවා. වන්නියේ දෙවියන්ට පිං සිද්ද වෙන්න අපි අදටත් කැලෑ කොළ කාලා හරි පුළුවන් විදිහට ජීවත් වෙනවා ’’

ඇළපත්ගම විල්පත්තු රක්ෂිත මායිමේ පිහිටි ගමකි.
‘ඇළපත්ගම’

ඇළපත්ගම විල්පත්තු රක්ෂිත මායිමේ පිහිටි ගමකි. දර කැඞීම, මී කැඞීම, වැලි ගොඩ දැමීම, දඩයම් කිරීම හා සුළු වශයෙන් හේන් ගොවිතැන් කිරීම ඔවුන්ගේ ජීවනෝපාය වෙයි. මෙම පරපුරේ ගැමියන්ගේ සෑම නිවසකම පාහේ ඉදිරිසට දෙවොලක් ඉදිකර ඇත. ඒ යක්ෂ ගෝත‍්‍රිකයන්ට නෑ කම් ඇති දෙවිවරුන් වෙනුවෙනි. ‘ඉලන්දාරි දෙවියන්’ එසේ ඇදහීමට ලක්වන එක් දෙවි කෙනෙකි.
ඇළපත්ගම ග‍්‍රාමයේ පවුල් 300 ක් පමණ වෙසෙති. ඔවුනගේ දුක්බර වු ජීවිතය හඳුනාගත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් එම ගැමියන්ට නිවාස 76 ක් ඉදිකර දී ඇත. එම ගම්මානයේ ශ‍්‍රී සෝභිතාරාමය නමින් විහාරස්ථානයක්ද ස්ථාපනය කර ඇත. ගමේ ඇති එකම වැව් කැටය පිළිසකර කර දී ඇති උන්වහන්සේ, වසරකට වතාවක් ගැමියන්ට වියළි සලාක මල්ලක් පරිත්‍යාග කිරීමද සිදු කළහ.
ඇළපත්ගම සෝභිතාරාමයේ හිටපු විහාරාධිපති  සීලවිමල හිමි මේ ගැමියන්ගේ දුක් වේදනාවන් මැනවින් හඳුනන හිමි නමකි.
‘‘මේ ගමේ බොහෝ පිරිසකට හරියට පේරු දානය දීගන්ටත් බෑ. මේ පන්සල සමඟ සම්බන්ධකම් පවත්වන්නේ පවුල් කිහිපයක් පමණයි. මට ලැබෙන දානයෙන් කොටසක් අනුභව කිරීමෙන් ජීවත් වන අසරණ පවුලක් මේ ගමේ ඉන්නවා. සමහර දවස්වලට මම දානය නොලබා එ් ඇත්තීටත්, දරුවටත් ලබා දෙනවා. කුසගින්නේ ගෙවෙන දවස් අපමණයි.’’
අපි නායක හිමියන් පැවසූ දිළිඳු පවුලේ තතුු සොයා ගියෙමු. උඩුකය නිරාවරණය වු අවුරුදු 7 ක පමණ ගැහැණු දරුවෙකු සමග සිටි අවුරුදු 40ක් පමණ වයසැති කෙසග සිරුරැති කතක් අපට මුණගැසිණි. ඇගේ බස් වහර අමුතුය. ආගන්තුකයෙකු දුටු සැණින් ඇය ‘අනේ මට කෑමට යමක් දෙන්නැයි’ ඇය අයදියි.

කැලෑවට සින්නවූ ‘වන්නිපලූගොල්ලෑව’

අනුරාධපුර සිට කටුකැලියාව, මල්වතුඔය ඔස්සේ අළුත්ගම, ගම්බිරිගස්වැව යන මුස්ලිම් ගම්මාන පසු කරමින් වන්නිපලූගොල්ලෑවට යා යුතුය. එහි බොහොමයක් නිවාස පැල්පත්ය. ඊට ආසන්න අනෙක් ගම ‘කොක්පැටියාව’ යි.
මෙම ගම්මාන දෙකේ වෙසෙන බොහෝ පිරිසකගේ ජීවනෝපාය හේන් ගොවිතැනය. වසරේ එක කන්නයක් බඩ ඉරිගු වගා කරමින් ඉපැයූ අස්වැන්න අතරමැදි වෙළෙන්දන්ට අඩු මුදලට දී මාස දෙක තුනක් ඔවුහු තරමක් සුව සේ දිවි ගෙවති. වසරේ ඉතිරි කාලය අසල්වැසි ගම්මානවල කුලී කරමින් දුකසේ ගෙවා දමති. දෛනික ආදායමෙන් අඩක් පමණ මත්පැන්වලට වැය කිරීමද ඔවුන් මේ විශම චක‍්‍රයටම සිර කර තබන හේතු වලින් එකකි.
‘‘මේකේ ඉන්න එවුන් බොන්ටම තමයි. ගෙවල් ෙදාරවල් ගැන බලන්නේ නෑ’’ වන්නිපලූගොල්ලෑව ගමෙහි වියපත් කාන්තාවක් පැවසුවාය.

දිස්ත‍්‍රික්කයේ දුෂ්කරම පාසල

වන්නිපලූගොල්ලෑව පාසල අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දුෂ්කරම පාසලය. දරුවෝ 115ක් එහි උගනිති. ඔවුනට අකුරු කරන ගුරුවරු 16 දෙනෙකි. බොහෝ පන්ති කාමරවල වහලයේ සෙවිලි කළ උළු බිම ඇද වැටීමට ආසන්නය. පාසලේ වගා ළිදේ ජලය ළමුනට බීමට තරම් සුදුසු නැත. සමහර දරුවන් පාසලට යන අටියෙන් ගෙදරින් පිටත් වුවද පොත් බෑගය ගහක එල්ලා ගහ මුල නිදාගෙන පාසල ඇරෙන වෙලාවේ නිවසට යන බව අපට පැවසුවේ එම විද්‍යාලයේ ගුරුවරයෙකි. මේ ගැන මාපියන් කොතෙක් දැනුවත් කළද එය නිවැරදි කිරීමට අපහසු බව ඔහු සඳහන් කළේය. එසේම 10 සහ 11 වසරවල ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් 5 දෙනෙකු පසුගිය වසරේ විවාහ වූ බවද ඇසුවෙමු. ඒවා පොතේ නොලියැවුණු විවාහයන්ය.

වන්නිපලූගොල්ලෑව ගමේ සෞඛ්‍ය ගැටලූ රැසකි.
වන්නිපලූගොල්ලෑව ගමේ සෞඛ්‍ය ගැටලූ රැසකි.

වන්නිපලූගොල්ලෑව ගමේ සෞඛ්‍ය ගැටලූ රැසකි. පවුල් දෙසීයක් පමණ වෙසෙන එම ගම් පියසේ වකුගඩු ආසාදනයට ලක් වූ කිහිප දෙනෙක් සිටිති. හඳුනා නොගත් රෝගීහුද එ් අතර වෙති. හදවත් රෝගීන්ද කිහිප දෙනෙකි. නෑනා-මස්සිනා පමණක් නොව, අයියා-නංගි වැනි ළඟ නෑයන් අතර පවා සිදුව ඇති විවාහ සබඳතා හදවත් රෝගීන්ගේ කතාව සමග ඈඳී ඇති බවද අසන්නට ලැබිණි. උපතින්ම අන්ධභාවය උරුම කරගත් කිහිපදෙනෙකි. එපමණක්ද නොව ලාදුරු රෝගීන් යැයි සැක කරන කිහිප දෙදෙක්ද මෙම ගැමියන්ගෙන් අතර සිටිති. මෙම තත්ත්වය සෞඛ්‍ය අංශවල දැඩි අවධානයට ලක් විය යුතුව තිබේ.

දිය බිඳක් නැති රෝහලක්

<p”>මෙම ගම්මානවලට ආසන්නයේ ඇති රෝහල ‘ගම්බිරිගස්වැව රෝහලේ’ තතු ශෝකජනකය. එහි නේවාසික වාට්ටු සංකීර්ණය කඩා වැටෙමින් පවතී. ගම්මාන 25ක ජනයාට ප‍්‍රතිකාර කිරීමට එහි සිටින්නේ වෛද්‍යවරයෙකුත්, ඖෂධවේදිනියකත්, අනියම් කම්කරුවෙකුත් පමණකි. එක් මසකට බාහිර රෝගි අංශයෙන් රෝගීන් 3000ක් පමණ ප‍්‍රතිකාර ලබති. එහෙත් දිය බිදක්වත් නැති ලෝකයේ එකම රෝහල එය විය හැකිය. උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත බණ්ඩාර සදහන් කළේ ලක්ෂ 10ක වියදමින් ළිඳක් කැපූවද වතුර බිදක්වත් හමු නොවු බවයි. රෝහලේ ගිලන් රථයක් නැති හෙයකින් බරපතළ රෝගාබාධයක් හෝ දරු ප‍්‍රසූතියකදී කිලෝ මීටර් 32 ක දුරක් ගෙවා අනුරාධපුර රෝහල වෙත පැමිණීමට ඔවුන්ට සිදු වේ.
මෑතකදී නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එහි ගැමියන්ට නිවාස සාදා ගැනීම සදහා රුපියල් ලක්ෂය බැගින් ලබා දී තිබේ.

‘ගම්බිරිගස්වැව රෝහලේ’ තතු ශෝකජනකය.
‘ගම්බිරිගස්වැව රෝහලේ’ තතු ශෝකජනකය.
පළාත් සභාවත් අසරණයි

අතිශයින්ම දුක්බර වූ මෙම ගැමියන්ගේ කතා වස්තුව, අපි උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් එච්.එම්. ආර්.බී.හේරත් මහතා ඉදිරියෙහි තැබුවෙමු. පිළිතුරද එතරම්ම දුක්බරය.
‘‘මීට පෙර පැවති රජයන්ගෙන් උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රාග්ධන වියදම් හැටියට ඉල්ලූ මුදල් ප‍්‍රමාණය අපට ලැබුණේ නෑ. එ් නිසා පළාත් සභාවෙන් කරපු වැඩ කටයුතු අඩපණ වුණා.’’
ඉතින් මේ ගැටලූ කාට කියමුද? ජාතියක මුල් පරපුරට නෑකම් කියන ජන ප‍්‍රජාවක් පත්ව සිටින මනුෂ්‍යත්වයට නිගා දෙන තරමේ දුක්ඛිත ඉරණමෙන් ඔවුන් ගළවාගත හැකි මගක් නැතිද?