Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මවුබිමෙන් එපිට ලොවක් දිනූ
‘සිංහල මරික්කාර්‘ ගේ දියණිය

සී. ඒ. එස්. මරික්කාර් හෙවත් ‘සිංහල මරික්කාර්‘ ජන හද දිනුවේ මේ පුංචි කොදෙව්වේ සියලු ම මිනිසුන් ගේ යහපත පිණිස ජාති ආගම් බේදවලින් තොරව එක් ව කටයුතු කිරීම හේතුවෙනි. ඔහු ගේ ඥාති දියණිය කරීමා මරික්කාර්ට සිය මවුබිමෙන් එපිට ලොවක් දිනන්නට හැකි වූයේ ද තම ලොකු තාත්තා ගේ ම පියවර ගුරු කොට ගැනීම හේතුවෙනි.

11.08.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය
ලන්ඩන්හි හැරෝ නගරයේ පුරපතිනිය බවට පත්වූ කරීමා මරික්කාර්

ශ්‍රීලංකීය නාමය ජත්‍යන්තරයේ අමරණීය ලෙස සටහන් කරමින් එක්සත් රාජධානියේ ලන්ඩන්හි හැරෝ නගරයේ පුරපතිනිය බවට පත්වූ ඇය නමින් කරීමා මරික්කාර් ය. තිදරු මවක වන කරීමා 1990 සිට වාසය කරන්නේ එංගලන්තයේ හැරෝ නගරයේ ය. ඇය අපට සුවිසෙස් වන්නේ ශ්‍රීලංකාවේ උපත ලැබ විදේශීය රටක පුරපතිනියවූ එකම කාන්තාව ඇය වීම හේතුවෙනි. යුරෝපීය රටක පුරපතිනිය වූ එකම මුස්ලිම් කාන්තාව වීමේ ගෞරවය හිමි වන්නේ ද කරීමාට ය.

ඇය තම සුවිසෙස් ජය ලබන්නට හේතු වූ බහු වාර්ගික සහයෝගිතාවේ පදනම විස්තර කරන්නේ මෙලෙසිනි.

‘මං ජාතියෙන් මුස්ලිම්. ඉස්ලාම් ආගම අදහන්නේ. ඉගෙන ගත්තේ මහනුවර උසස් බාලිකාවේ. ඒත් මට හිටිය යාළුවෝ ගොඩක් අය සිංහල. අපිට ජාති ආගම් බේද තිබුණේ නැහැ. ඒනිසාම තාත්තා මියගිය වෙලාවේ හාමුදුරුවෝ වැඩම කරවලා පිරිකර පූජා කළා.‘

සිය පවුල් පසුබිම කරීමාට සිය අනන්‍යතාව ගොඩ නඟා ගන්නට සපයා දුන් දායකත්වය ඉමහත් බව ඇය සිහිපත් කරයි. පවුලේ වූ බහු වාර්ගික සහයෝගිතා මානසිකත්වය විසල් ලොවක දොරටු තමනට විවර කර දෙන්නට සවියක් හා දිරියක් ම වූ බව ඇය සිහිපත් කරයි.

සිංහල මරික්කාර්

‘හිටපු ඇමැති සී.ඒ.එස් මරික්කාර් මගේ ලොකු තාත්තා. එයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන සටනේදී බණ්ඩාරනායක මහතා සමඟ හිටියා. ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසන වැඩසටහන් ආරම්භ කරන කොට පිරිත් සජ්ජායනය විකාශනය කළේ ලොකු තාත්තාගේ අදහසකට අනුවයි. ඒ නිසාම එයාට මිනිස්සු කිව්වේ සිංහල මරික්කාර් කියලා….‘

මව් රටට අවශ්‍ය ගෞරවය ලබා දීම තම යුතුකම බව කරීමා සලකයි

ඇය හැරෝ නගරයේ පුරපතිනිය බවට පත්වූ විගස කළේ තම උපන් රටේ ජාතික කොඩිය ඔසොවා ගුවනේ ලෙළවන්නට කටයුතු යෙදීම ය. තමනට හැකි සැම මොහොතක ම මව් රටට අවශ්‍ය ගෞරවය ලබා දීම ශ්‍රී ලාංකිකයක් ලෙස තම යුතුකම බව කරීමා සලකයි.

‘ශ්‍රී ලංකාවේදී අපි සිංහල, දෙමළ, මුස්ලිම් වුණාට රටින් පිටට ගියාම හැමෝම ශ්‍රීලාංකිකයෝ. ඒක හිතේ තියාගෙන හැම වෙලාවෙම වැඩ කරනවා නම් මේ පුංචි රටේ සෑම ජාතියකටම සාමයෙන් සමඟියෙන් ඉන්න පුළුවන්‘ යැයි කරීමා කියයි.

 රට වැසියන් පොදුවේ ලද ජයක්

ශ්‍රීලංකාවේ උපත ලැබ විදේශීය රටක පුරපතිනියවූ එකම හා පළමු කාන්තාව ලෙස ශ්‍රීලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් කරීමා ගේ සේවය අගයා ඇයට උපහාර පිදීමට මහනුවර නගර වැසියන් අමතක නොකළේ ඇය පිළිබඳ වන ළෙන්ගතුබව හේතුවෙනි. ඒ සඳහා ඔවුන් මහනුවර මහ නගර සභා ශ්‍රවණාගාරයට පැමිණියේ ජාති, ආගම් බේද කිසිවක් නොසලකමිනි. ඔවුන් සියලු දෙනා ඇගේ ජයග්‍රහණය සැලකුවේ සියලු රට වැසියන් පොදුවේ ලද ජයක් විලසිනි.

ඒ ඇය සිය පාසල් සමයේ සිට ම බහු වාර්ගික ජන සමාජය තුළ තහවුරු කර ගත් අනන්‍යතාව හේතුවෙනි.

කරීමා ගේ සේවය අගයා ඇයට උපහාර

‘අපේ පාසලේ වැඩිපුර හිටියේ සිංහල ළමයි. මම පාසලේ ඉස්ලාම් සංගමයේ සභාපති. මගේ ගොඩක් යාළුවෝ සිංහල. මං එයාලගේ ගෙවල් වල යනවා. එයාලා අපේ ගෙදර එනවා .සිංහල අවුරුද්දට යාළුවෝ අපිට කැවිලි ගේනවා. අපේ අවුරුද්දට මං එයාලට කැවිලි දෙනවා.කවදාවත් අපි අතර ප්‍රශ්න ඇති වෙලා නැහැ.මං ඉස්කෝලේ හොකී ක්‍රීඩාව හොඳින් කළා. ඒ නිසාම ගෝල රකින්නිය ලෙස ජාතික කණ්ඩායමත් නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා.‘

පාසල් සමයෙන් අනතුරුත් කරීමා සිය ඉදිරි ගමන් මඟේ ප්‍රගතිශීලී සලකුණු ම පළ කරන්නට සමත් වූවා ය. ඇගේ පළමු රැකියාව හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධයෙනි.

‘උසස් පෙළ කළාට පස්සේ මං හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වුණා. එම ක්ෂේත්‍රෙය් ඉහළටම යන්න මට පුළුවන් වුණා. ආර්.ප්‍රේමදාස මහත්තයා ජනාධිපති ධූරයේ දිව්රුම් දුන්නේ 1988 ජනවාරී මාසේ 02 වැනිදා. එතකොට ඔබරෝයි හෝටලයෙන් තමයි මහනුවර ක්වීන්ස් හෝටලය පාලනය කළේ. මං එහි ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් මැනේජර් විදිහට වැඩ කළේ. ප්‍රේමදාස මහතා ඇතුළු සම්භාවනීය පිරිසට පිළියෙළ කළ ආහාර ඒ අයට යවන්න කලින් රස බලලා අනුමැතිය දෙන්න අවස්ථාව හිමි වුණෙත් මටයි.‘

පියවරෙන් පියවර සිය සමාජ ප්‍රතිරූපය හා සමාජ විශ්වාසය ගොඩ නඟා ගන්නට තමන් සමත් වූ අයුරු කරීමා එලෙස විස්තර කරයි.

මව්බිමත් එහි උරුමයත්

1961 වසරේ උපත ලද කරීමා මරික්කාර් එක්සත් රාජධානිය වෙත ගොස් ඇත්තේ 1990 වසරේදී ය. ඒ වයස අවුරුදු 29 දී ය. ඇය මේ වනවිට වසර 28 ක් සිටින්නේ එංගලන්තයේ හැරෝ නගරයේ ය. අවුරුදු 26 හා 21 වයසේ පසුවන පුතුන් දෙදෙනකුගේ හා 23 හැවිරිදි දියණියකගේ මවක වන ඇය සෑම විටම තම මව්බිමත් එහි උරුමයත් අනුව කටයුතු කරන්නට දරුවන් ද හුරු කළා ය.

කරීමා ගේ සේවය අගයා ඇයට උපහාර පිදූ මහ ඇමතිවරයා හා මහනුවර නගර වැසියෝ

හැරෝ වෙස්ට්හි ගැරට් තෝමස් අමාත්‍යවරයා හමුවීම මගේ ජීවිතය අලුත් මාවතකට යොමු කළා. ගැරට් මහතා විනිවිද භාවයකින් කටයුතු කරන අවංක පුද්ගලයෙකු බව මා තේරුම් ගත්තා. ඔහුගේ ආරාධනයෙන් මා  එරට දේශපාලනයට යොමු වුණා. 2006 වසරේදී කම්කරු පක්ෂයෙන් රේනස් ලේන් කොට්ඨාසයෙන් මැතිවරණයට තරඟ කළා. 2010 වසරේදිත් මා වෙස්ට් හැරෝ කොට්ඨාශයෙන් තරග වැදුනා.එහිදී මට අති විශිෂ්ට ජයක් ලැබුණා.‘

අභියෝග වලට මුහණදී ජය ගැනීමේ ශක්තිය පවුල් පසුබිමෙන්ම දායද කරගත් කරීමා නගරධිපති ධූරය තෙක් පැමිණි ගමනද අපූරුය.

‘මෙවර 2018 අවුරුද්දේ ඡන්දය වෙනදට වඩා අභියෝගාත්මක එකක් වුණා. එල්ල වූ විවිධ අභියෝග හමුවේ සියල්ල ජය ගන්න මට අවසානයේ හැකි වුණා. මගේ සටන නිම වුණේ  ඒ නගරයේ පුරපති ධුරය හිමි වුණාට පසුවයි. ඒ රටේ මිනිස්සු මාව විශ්වාස කළා. මං එදා අපේ රටේ ජාතික ධජය සභාවේ එසෙව්වා.මගේ රටට කරන්න පුළුවන් ගෞරවය මං කොතනත් කරනවා. ඒ අභිමානය මගේ රටට දෙන්න ලැබුණ එක ගැන මං පුදුම සතුටක් ලැබුවා.‘

එංගලන්තයේ කිංග්ස්බරි විහාරස්ථානයේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයක දේශනයක් කරන්නට නගරාධිපතිනිය ලෙස ඇරියුම් ලද්දේ කරීමා ය. එහි වැඩසිටින මහ සංඝරත්නය හා ඇය අතර ද පවතින්නේ විශාල බැඳීමකි, සබඳතාවකි.

ආගමික සංහිඳියාව

‘විහාරස්ථානයේ පිංකම් අවස්ථාවලටත් මා සම්බන්ධ වෙනවා.විහාරස්ථානයේ කඨින පූජාවටත් මා එක්වුණා. එදා දේශනයට සිංහල අය විශාල පිරිසක් පැමිණ සිටීම මට ගෙන දුන්නේ විශාල සතුටක් ‘ යි කරීමා කියයි.

ලොව කොතැනක සිටිය ද සිය මවුබිමේ ජනතාව සමඟ ඇය කතා බහේ යෙදෙන්නේ සිංහලෙනි. ‘සිංහල අය සිංහල අය එක්ක ඇයි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ.මව් භාෂාව තමයි අපේ අභිමානය‘ ඇය පවසයි.

‘අපේ පවුලේ පිරිමි ළමයි දෙන්නයි ගෑනු ළමයි දෙන්නයි. අම්මා, තාත්තා අපිව හැදුවේ හැමෝගෙම ගෞරවය ආරක්ෂා කරන්න කියලයි. අපි කාට හරි ගෞරව කළොත් තමයි එයත් අපිට ගෞරව කරන්නේ. අපි කාටවත් ගෞරව නොකර වෙනත් කෙනෙකු ගෙන් ගෞරවයක් අපේක්ෂා කරන්න බැහැ .ශ්‍රීලංකාවේ ජාතීන් කිහිපයක් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන අය ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා තමයි රට ඉස්සරහට ගෙනි යන්න පුළුවන්.අපි ජාති,ආගම් වලට බෙදිලා හිටියොත් ශ්‍රීලාංකිකයන් ලෙස හැමෝම පරාද වෙනවා‘ යි කරීමා පවසන්නේ යුරෝපයේ වසර 28 ක් ජීවත්වීමෙන් ලද අත්දැකීම් ඇසුරිණි.

හැරෝ නගරයේ දෙලක්ෂ හතළිස් අට දහසක ජනතාවක් වාසය කරති. ගුජරාටි, දෙමළ,මුස්ලිම් පමණක් නොව සිංහල ජනතාවද එහි වෙසෙන බව ඇය පවසයි. මෙහි පූජනීය ස්ථාන අසුවකි.හැරෝ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු ගණන 64 කි. මේ සියල්ලයටම වත්මනෙහි  නායකත්වය ලබා දෙන එහි පළමු පුරවැසි කාන්තාව කරීමාය. සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි පරිචයක් ඇය සතු ය. සංහිඳියාවෙන් සපිරි සමාජයක පැවැත්ම පිණිස තමනට සෙසු භාෂා දැනුම මහත් පිටු බලයක් වූ බව කරීමා කියයි.