Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සෙසු ජාතික අනන්‍යතා ගැන හැඟීමක් නැතිකම
ජාති ආගම් බේදවලට හේතුවක්

සැබෑ ජාතික හා ආගමික සංහිඳියාවක් ඇති කළ හැක්කේ ඒ සඳහා වුවමනා බීජ පැටි කල සිට ම මිනිස් මනසේ රෝපණය කිරීමෙන් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහචාර්ය උපුල් බී. දිසානායක කියයි. ඒ සංහිඳියාව සඳහා වූ ප්‍රථම ප්‍රාදේශීය පාර්ලිමේන්තු කමිටු රැස්වීම මහනුවර දී අමතමිනි. මෙම ලිපිය මහචාර්ය උපුල් බී. දිසානායක එහිදී පැවැත් වූ විශේෂ දේශනය ඇසුරින් සැකසුණකි.

26.08.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන ජාතීන් ජීවත් වන බහු ආගමික රටකි. බෞද්ධ බහුතරයක් සිටින අතරම මුස්ලිම්, හින්දු හා ක්‍රිස්තියානි යන ආගම් අදහන සැලකිය යුතු පිරිසක්ද මෙරට ජීවත් වෙති.මේ නිසාම ශ්‍රීලංකාව විවිධත්වය මුලීක කර ගනිමින් ගොඩ නැගුණු රටක් ලෙස අර්ථ කථනය කිරීම වරදක් නොවන්නේය. විවිධත්වය තුළ එක් එක් ජාතීන්ට උරුමවූ ආගමික හා සංස්කෘතික වටිනාකම් අවබෝධ කර ගනිමින් ඒවාට ගෞරව කරමින් අතීත ශ්‍රීලාංකිකයා ජීවත්වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ආර්ථික දියුණුවට, සමාජ සංවර්ධනයට හා දේශපාලන ස්ථාවර භාවයට මෙම ජාතික හා ආගමික සංහිඳියාව අත්‍යවශ්‍ය කාරණයකි. ජාතීන් අතර එකමුතුවක් නොමැතිව ශ්‍රීලංකාවට පමණක් නොව ලෝකයේ කිසිදු  රටකට පැහැදිලි  ඉදිරි ගමනක් නොමැති බව කියන්නට ලෝකයේ උදාහරණ ඕනෑ තරම් තිබේ.මෙම සත්‍යය මෙරට නිදහස් සටනට පණ දුන් නායකයෝ අති බහුරතයක් දෙනා දැන සිටියහ. මේ නිසාම ඔවුන් ජාතිය හෝ ආගම පෙරට නොගෙන රට හා ජනතාවගේ නිදහස යන්න වටා ජාති, ආගම්, වර්ග බේදයෙන් තොරව ඒකරාශී වූහ.

ශ්‍රීලංකාවට ලංකා විශ්ව විද්‍යාලයක් යෝජනා කරමින් 1906 දී ප්‍රධාන දේශනය කළ පොන්නම්බලම් අරුණාචලම් මහතා පැවසුවේ මෙරටට සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සංස්කෘත, පාලි, බුද්ධ ධර්මය යන විෂය ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් බිහිකළ හැකි මහාචාර්ය පදවි පවතින විශ්ව විද්‍යාලයක් අවශ්‍ය බවය. එකල නායකයින් තුළ පැවැති සහජීවනය සඳහාවූ කැපවීම පිළිබඳ අපට මෙම  කතාවෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.

මිශ්‍ර අධ්‍යාපන ක්‍රමය

නිදහස ලබන කාලයේ ශ්‍රීලංකාව ආර්ථික ස්ථාවරත්වය,සාමය සහ නීතිය සඳහාවූ කෙම්බිමක් ලෙසින් ආසියානු රටවල් අතර පිළිගැනීමක් තිබිණි. නිදහසින් පසු අපේ නායකයන් අතට බලය පැමිණීමත් සමඟ මෙම තත්ත්වය වෙනස් වන්නට විය. එතැන් සිට බලය පිහිටවූ කිසිදු පාලන තන්ත්‍රයකට ජාතික හා ආගමික සහජීවනය ඇතිවන ආකාරයේ ස්ථිරසාර වැඩපිළිවෙළක් දියත් කරන්නට නොහැකිවූ අතර ජාති හා ආගම් වශයෙන් ජනතාව බෙදා ඡන්ද ව්‍යාපාර මෙහෙයවන දේශපාලනඥයන් පිරිස ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව ඉහළ යන්නට වූහ. එවක පැවැති සිංහල, දෙමළ ,මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට අයත් ළමයින් එකම පාසලක අධ්‍යාපනය ලබන ක්‍රමය වෙනුවට පසුකාලීනව ජාති හා ආගම් වශයෙන් ළමයින් බෙදා වෙන්කර ඉගැන්වීම් සිදු කරන පාසල් පද්ධතියක්  බිහි විය.


ජාතිය හා ආගම පදනම් කර ගත් පාසල් බිහිවීම හේතුවෙන් තම ජාතිය, ආගම හා සංස්කෘතිය පිළිබඳ හැරුණු විට මෙරට ජීවත් වන සෙසු ජාතීන්ගේ ආගම් හා සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් නොමැති පිරිසක් බිහිවූහ.

බෞද්ධ පාසල්, හින්දු පාසල්, ක්‍රිස්තියානි පාසල් හා මුස්ලිම් පාසල් ලෙස මෙරටට පාසල් පද්ධතිය වෙන්ව ගොඩ නැගෙත්දී ඒ ඒ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම ජාතිය හා ආගම පදනම් කර ගනිමින් සිදුවිය. සිංහල බෞද්ධ මව්පියන් තම දරුවන් බෞද්ධ පාසල්වලට ඇතුළත් කිරීමට උනන්දු වෙද්දී සෙසු ජාතීන්ද ඒ ආකාරයෙන්ම තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට පෙලැඹිණි. මේ හේතුවෙන් තම ජාතිය, ආගම හා සංස්කෘතිය පිළිබඳ හැරුණු විට මෙරට ජීවත් වන සෙසු ජාතීන්ගේ ආගම් හා සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් නොමැති පිරිසක් බිහිවූහ. මෙය සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් දැන හෝ නොදැන කළ වරදකි. එය දැන් හෝ නිවැරදි කළ යුතු කාලය එළඹ තිබේ.

කුඩා දරුවාගේ පවා සිත් තුළ ජාති හා ආගම් වාදී බීජ වපුරන මෙම ක්‍රමවේදය වෙනස් නොකර ජාතීන් අතර සංහිඳියාව ඇති කළ නොහැකිය. සෑම පාසලක් තුළම මෙරට ජීවත් වන ජනතාව කතා කරන භාෂා, අදහන ආගම් පිළිබඳ ඉගැන්වීමක් කළ යුතුව ඇත. එමඟින් සෙසු ජාතීන්ගේ අන්‍යන්‍යතා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට සෑම ජාතියකටම පසුබිම සැකසෙන්නේය. සෑම දරුවකුම මෙරට ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සැලකිය යුතු ජන පිරිසක් අදහන ආගම් පිළිබඳ ඉගෙන ගැනීම ජාතික හා ආගමික සමඟියට හේතු වෙයි. තවත් පැත්තකින් යහපත් දරුවකු බිහි වීමට ද එය රුකුලක් වනු ඇත. සෑම ආගමික නායකයකුම තම දේශනාවලින් පෙන්වාදී තිබෙන්නේ යහපත් මිනිසකු වන මඟ ය.

සර් අයිවෝ ජෙනිංග්ස්ගේ අනාගත දැක්ම

මේ රටේ අතීතයේ සිංහල මරික්කාර්ලා බිහි විය.ඉමිතියාස් බාකීර් මාකර්ලා බිහිවූයේ ආනන්දයෙනි.මොවුන්ගේ නමින් මිස ඔවුන් කරන ක්‍රියාවලින් ජාතියක් හෝ ආගමක් ඉස්මතු නොවේ. ඔවුන් සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා අපට හිතෙන්නේ නැත. සර් අයිවෝ ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීම පිණිස සැලසුම් සකස් කරන ලද්දේ බොහෝ දුරදිග කල්පනා කරමිනි. ඒ සඳහා හොඳම උදාහරණය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ පිහිටා තිබෙන පූජනීය ස්ථානවලින් පැහැදිලි වේ. එදා සර් අයිවෝ ජෙනිංග්ස් බුද්ධියේ වේදිකාව මත පන්සලක්, පල්ලියක්, කෝවිලක් හා දේවස්ථානයක් ස්ථාපිත කළේය. එකම භූමියක මේ ආකාරයෙන් පූජනීය ස්ථාන කිහිපයක් ගොඩ නඟමින් ඔහු කල්පනා කළේ විශ්ව විද්‍යාලයට පැමිණෙන සියලු ළමයින්ගේ අයිතීන් රැක දෙන්නටය. ඒ තුළ ජාතික හෝ ආගමික ගැටුමකට කිසිදු ඉඩක් නොවී ය. මෙරට සමාජ හැඩතලය සම්බන්ධව පුළුල් අවබෝධයක් ඇතිව සර් අයිවෝ ජෙනිංග්ස් කටයුතු කර තිබෙන බව තේරුම්  ගැනීමට මෙයම ප්‍රමාණවත් ය. නිදහසින් පසු මෙරට බලයට පැමිණි බොහෝ නායකයන්ට මෙම අවබෝධය නොතිබූ බව කනගාටුවෙන් වුව කිව යුතුව ඇත.

ළමයින් ආගමික පරිසරයෙන් ඈත් වීම බොහෝ ගැටලුවලට හේතුව බවට මතයක් සමාජ ගතව තිබේ. මෙයට පිළියමක් ලෙස දරුවන් දහම් අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු බවට මතයක් පවතී. අමතර පන්තිවලට ළමයින් ඉරිදා දිනවල සහභාගි වන බැවින් එම දින අමතර පන්ති පැවැත්වීම තහනම් කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව ඇත. ඉරිදා දිනවල ළමයින්ට වෙනත් වැඩක් නොමැති නම් ඔවුන් පන්සලට, කෝවිලට, පල්ලියට, දේවස්ථානයට එයි කියා අප තුළ විශ්වාසයක් පවතී. ළමයාට ඉරිදා වෙන වැඩක් නොමැති නම් මේ ආකාරයට ආගමික ස්ථානයකට පැමිණේවිද නොමැති නම් ඒ වැඩෙත් මේ වැඩෙත් දෙකම නොකර ඔහු හෝ ඇය වෙනත් වැඩකට යොමු වෙයිද කියන කාරණය සම්බන්ධව අප ගැඹුරින් විමසා බැලිය යුතුය.මේ නිසා ඉරිදා පන්ති නැවැත්වීමෙන් පමණක් අදාළ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙතැයි විශ්වාස කිරීම මුළාවක් වන අතර ඒ සදහා යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් ද සකස් කළ යුතුව තිබේ.

ආගම සහ ඔළු ගෙඩි ගණන

ආගමික ස්ථාන තැනින් තැන  ඉදි කිරීමද අද ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙය ජාතික හා ආගමික සංහිඳියාව පවා බිඳ දමන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත්තේ රටේ මේ සම්බන්ධව විධිමත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවන බැවිනි. බොහෝ ආගමික නායකයන් උත්සහ කරන්නේ තමන්ගේ ආගමට සම්බන්ධ පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය කර ගන්නටය. අපේ රටේ බෞද්ධයන් කැමැති වැඩි වශයෙන් බෞද්ධයන් සිටිනු දැකීමටය. මුස්ලිම්වරු කැමැති ඉස්ලාම් භක්තිකයන් වැඩිවනු දැකීමට ය. සෙසු ආගම්වල බහුතරය සිටින්නේ ද මෙම මතයේම ය. ඔළු ගෙඩි ප්‍රමාණය වැඩිකර ගැනීම සහ අදාළ ආගමේ ශාස්තෘත්වහන්සේලාගේ දහම වැලඳ ගැනීම අතර පැහැදිලි වෙනසක් තිබේ. තම ආගමට නාමිකව සම්බන්ධ හිස් ගෙඩි ප්‍රමාණයට වඩා වැදගත් වන්නේ දහම ගැන අවබෝධයෙන් ඒහා එකතු වන පිරිස ය.


අපේ රටේ ආගමික අන්තවාදීන් තම ආගමේ ඔළුගෙඩි ප්‍රමාණය වැඩි කර ගැනීමට දරන ප්‍රයත්නයන් හමුවේ ආගමික සංහිඳියාව කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල වී තිබෙන බව ආගමික නායකයන්ගේ අවධානය යොමුවිය යුතුව තිබෙන ප්‍රශ්නයකි.

නොයෙක් වරප්‍රසාද ලබාදී පුද්ගලයන් ආගම්වලට බඳවා ගැනීමෙන් සිදු වන්නේ  බඳවා ගන්නා හා බැඳෙන දෙපිරිසම මුළාවේ වැටීමකි. අද වනවිට අපේ රටේ ආගමික අන්තවාදීන් තම ආගමේ ඔළුගෙඩි ප්‍රමාණය වැඩි කර ගැනීමට දරන ප්‍රයත්නයන් හමුවේ ආගමික සංහිඳියාව කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල වී තිබෙන බව ආගමික නායකයන්ගේ අවධානය යොමුවිය යුතුව තිබෙන ප්‍රශ්නයකි. මිනිස්සු අවබෝධයෙන් වැලඳ ගතහොත් පමණක් දහම ප්‍රචලිත වන බව මැක්ස් වෙබර් නම් දාර්ශනිකයා කීවේය. අද අපේ බොහෝ අය කරන්නේ දහම ප්‍රචලිත කිරීමට වඩා ආගමට පිරිස් බඳවා ගැනීමට වෙහෙසීම ය.

ජාතික සමඟියට,ආගමික සහජීවනට බාධාවන ආකාරයේ වෛරී ප්‍රකාශ මෙන්ම අසත්‍ය ප්‍රචාරයන් සමාජ සමාජ ජාලා මාධ්‍යවල ප්‍රචාරය වීම අද බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. පසුගිය මාර්තු මස දිගන නගරයේ ඇතිවූ ගැටුම් උත්සන්න වීමට සමාජ මාධ්‍ය මගින් ගෙනගිය ප්‍රචාර බෙහෙවින් බලපෑ අතර ප්‍රශ්නය කෙතරම් උග්‍ර වූයේද යත් තාවකාලිකව ෆේස්බුක් තහනම් කිරීමටද රජයට සිදුවිය. මේ වන විටද ජාතින් අතර පවත්නා සහෝදරත්වයට හානි වන ආකාරයේ වෛරී ප්‍රකාශ සමාජ  මාධ්‍ය තුළ සංසරණය වන බව රටම දන්නා සත්‍යයකි.මේ නිසා මෙය වලක්වාලීම පිණිස නීති හඳුන්වා දීම කාලෝචිත අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

පූජනීය ස්ථානවල වෛරය පැතිරවීම

පන්සල, පල්ලිය, කෝවිල අද ඇතැම් දේශපාලනඥයන් ජාති හා ආගම් වාදී ප්‍රකාශ කරන මධ්‍යස්ථාන තත්ත්වයට පත්කර ගත් ස්වභාවයක් පෙනෙන්නට තිබේ. ආගමික සිද්ධස්ථානවලට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු මොවුහු එම පරිශ්‍රය තුළදීම මාධ්‍යය හමුවේ නොයෙක් වෛරී හා ද්වේශ සහගත ප්‍රකාශ කරනු ලබති.  පූජනීය ස්ථාන වෙත පැමිණ මුළුමනින්ම ශාස්තෘන්වහන්සේලාගේ දේශනාවන්ට පටහැනි දේ පවසමින් ජාති හා ආගම් වාදය පමණක් නොව වෛරී දේශපාලනය ද පතුරුවන මෙවන් පුද්ගලයන්ට ඒ සඳහා පූජනීය ස්ථාන තුළ අවකාශ ලබාදීම සම්බන්ධව ආගමික නායකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.


විවිධ ජනවර්ග ජීවත් වන රටක ජාතික හා ආගමික සංහිඳියාව ඇති කරන්නට ඒ ඒ ජාතින් සෙසු භාෂා පිළිබඳ දැනුමක් ලබා ගැනීම ඉතා වැදගත් ය.

විවිධ ජනවර්ග ජීවත් වන රටක ජාතික හා ආගමික සංහිඳියාව ඇති කරන්නට ඒ ඒ ජාතින් සෙසු භාෂා පිළිබඳ දැනුමක් ලබා ගැනීම ඉතා වැදගත් ය. විශේෂයෙන් සිංහල ජනතාව දෙමළත්, දෙමළ ජනතාව සිංහලත් ඉගෙන ගැනීම සංහිඳියාව ගොඩ නැගීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හේතුවනු ඇත.දෙමළ භාෂාව නොදැන සිංහල අයකු උතුරට ගියවිට පත්වන අසීරුතා, සිංහල නොදැන දකු‍ණට පැමිණෙන දෙමළ ජාතිකයකුද එලෙසින්ම අත් විඳියි.භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැති විට අදහස් දැක්වීම් විකෘති කර සමාජ ගත කරමින් සිංහල ජනතාව මෙන්ම දෙමළ ජනතාව ද මුළා කිරීමට ජාතිවාදීන්ට වැඩි අවකාශයක් සැලසෙනු ඇත. මෙයද රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලැබ ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙළක් වන අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් රජය යම් යම් පැසසිය යුතු ක්‍රියාමාර්ග ගෙන තීබීම සුබදායක තත්ත්වයකි.

යුද ජයග්‍රහණයේ පරාජිතයෝ

යුද ජයග්‍රහණයෙන් පසු පිරිසක් ජයග්‍රහණය සමරද්දී තවත් පිරිසක් පරාජිතයන් බවට පත්වූහ. ඉන් පසු ගෙවුණු කාල පරිච්ඡේදයේදී  සිදු කෙරුණු යුද සැමරුම් මගින් බොහෝ විට පරාජිත සිතුවිලි සමඟ ජීවත්වූ පිරිසගේ මානසිකත්වය තවත් පහළ වැටිණි. යුද්ධයට භාජනය වූ පිරිස අමතක කර අපට ගමනක් යා නොහැකි ය. ඔවුන්ද මේ රටේ මිනිසුන් බව අප අමතක නොකළ යුතු ය. යුද ජයග්‍රහණය උමතුවක් ලෙසින් සැමරීම පරාජිත පිරිසගේ මානසිකත්වය බිඳ වැටීමට හේතුවනු ඇත. එසේ වූ බැවින් යුද ජයග්‍රහණයෙන් පසු සියලු ජාතීන් අත්වැල් බැඳ එකට ගමනක් යෑමට තිබූ අවස්ථාව අපට ගිලිහී ගිය බව අප තේරුම් ගත යුතුව තිබේ.