Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කසළ තුළ ජීවිතය සොයා ගිය
මරණයට අභියෝග කළ ජූඩි

ජීවිතය හා මරණය දෙකෙළවර පිහිටි සරල රේඛාවේ මරණයේ අන්තයට අත පොවන දුරක් ඇදී ගිය ඇය ආපසු හැරී ආවේ ඇය සතු අප්‍රතිහත ධෛර්ය නිසාම ය. මරණය පෙනී පෙනී සිට ජීවිතය ලත් ජූඩි අද රටටම ප්‍රශ්නයක්ව තිබෙන කසළවලින් නව නිර්මාණ සිදු කරන්නේ සියලු ජාතීන්ට ම අයත් වූවනට තම ශිල්පීය දැනුම ද ප්‍රදානය කරමිනි.

24.09.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය

ඇය මරණයට අභියෝග කරමින් ජීවිත සටන ජය ගන්නට සමත් වූවාය.ලක්ෂයකින් එක් අයෙකුට වැළඳෙන්නාවූ පිළිකා රෝගයකට ගොදුරුව බරපතල ශල්‍යකර්මයකට ලක්වූ ඇය ජීවිත් වන්නට වරම් හිමිකර ගැනීම හාස්කමක් වැනිය. කුඩා මොළය හා සුසුම්නාව අතර පිළිකාවක් බවට පත්ව තිබෙන ගෙඩියක් සැත්කමක් මගින් ඉවත් කිරීමේදී ජීවත් වීමේ වරම් හිමිවන්නේ ඉතා සුළු පිරිසකට බව වෛද්‍යවරු පවසති.එවැනි සැත්කමින් පසු ජීවිත වරම් හිමිකර ගත් ඇය ඊළඟට මුහුණ දුන්නේ තවත් දුක්මුසු අත්දැකීම් රැසකටය.තමන්ගේ මෙළොව වසන එකම සම්පත වන එවකට වයස අවුරුදු දෙකක්වූ දියණිය තුරුළට නොගෙන ඈ දෙස ඈත සිට බලන්නට ඇයට සිදුවූයේ රේඩියෝ තෙරපි ප්‍රතිකාර මගින් ශරීර ගතවූ කිරණ වල බලපෑමෙන් දියණිය මුදා ගැනීම සඳහාය. ඒ සඳහා ලැබුණු වෛද්‍ය උපදෙස වුයේ දරුවා අසලට නොයා සිටීමය. එය අකුරට පිළිපඳිමින් ඇය දියණිය දෙස ඈත සිට බලා කඳුළු වැගුරුවේ සිතේ උපන් දුක ඒ සමඟ මුදා හිරිමිනි. සැත්කමෙන් පසු අංශභාග තත්ත්වයට අමතරව කඩහඬ දුබල වීම, ඇස් පෙනීම දුර්වල වීම වැනි තවත් රෝග රැසකින් පීඩා විඳි ඇය දෙවසරක කාලයක් රෝහල් ගතව සිට 2016 වසරේ පෙබරවාරී මස නිවසට පැමිණියේ ජීවත් වන්නට කිසිදු මඟක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ය. අසනීප තත්ත්වයත් සමඟ සැමියාද ඇය අතහැර ගියේ ය. දියණිය නොසිටින්නට ඇය මරණය සොයා ගොස් බොහෝ කල් ය. හයක් හතරක් නොතේරෙන දියණිය වෙනුවෙන් ජීවත් වන්නට ධෛර්ය ගත් ඇය නමින් ජූඩී හේවගේ ය. කුණ්ඩසාලේ වරාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය අද අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජය ගනිමින් සිටින්නීය.


මරණය පෙනී පෙනී සිට ජීවිතය ලත් ජූඩි අද රටටම ප්‍රශ්නයක්ව තිබෙන කසළවලින් නව නිර්මාණ සිදු කරයි.

මුළු රටටම ප්‍රශ්නයක් වූ කසළ තුළ ජූඩි ජීවිතය සොයා ගියාය. මිනිසුන් ඉවත දමන ප්ලාස්ටික් බෝතල්,පොලිතීන්,ඉටි රෙදි,පොල් කටු,ටයර් කැබලි ඇය ජීවිතය සරසන්නට යොදා ගත්තාය.මේවායින් මල් පෝචිචි,බිත්ති සැරසිලි,බෑග්,පාපිසි,කී ටැග්,මේස ලාම්පු ආදි විසිතුරු නිර්මාණ රැසක් කරමින් ආර්ථිකය ශක්තිමත් කර ගන්නට සමත්වූ ඇය අද මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍යය කළමණාකරණ ඒකකය මගින් පවත්වා ගෙන යන පුහුණු ඒකකයේ පුහුණු කිරීමේ නිලධාරිනියක ලෙස දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ඉවතලන දේ වලින් විසිතුරු නිර්මාණ සකස් කිරීමට කියා දෙන ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටින්නීය.

ජීවිතය හා මරණය දෙකෙළවර පිහිටි සරල රේඛාවේ මරණයේ අන්තයට අත පොවන දුරක් ඇදි ගිය ඇය ආපසු හැරී ආවේ ඇය සතු අප්‍රතිහත ධෛර්ය නිසාමය.මරණය පෙනී පෙනී සිට ජීවිතය ලත් ජූඩි අද රටටම ප්‍රශ්නයක්ව තිබෙන කසළවලින් නව නිර්මාණ සිදු කරන අතර තුර සුළු සිත් තැවුලකදී පවා ජීවිතයෙන් පලා යාමට උත්සහ කරන අයට උපදේශන ලබා දෙන උපදේශිකාවක ලෙසද කටයුතු කරන්නීය.

ඇගෙන් පුහුණුව ලබන සිංහල,දෙමළ හා මුස්ලිම් තරුණියන්.

‘මගේ දුවට අවුරදු දෙකක් වෙන කොට මට නිතර හිසේ කැක්කුම හැදෙන්න ගත්තා.ඒක දරා ගන්න බැරි වේදනාවක්.එක දවසක් මට අංශභාග තත්ත්වයක් ඇති වුණා.පසුව කොළඹ මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගත්තා.මාව පරීක්ෂා කළ වෛද්‍යවරු සුසුම්නාවේ කුඩා මොළයට ආසන්නව ගෙඩියක් ඇති බව සොයා ගත්තා.ඒක ඉවත් කරන්න ශල්‍යකර්මයක් කරන්න අවශ්‍යය බව වෛද්‍යවරු කිව්වා.සැත්කම නොකළොත් අනිවාර්යයෙන්ම මියයන බවත් එය සාර්ථක වුවත් අතුරු ආබාධ රැසකට මුහුණ දීමට සිදුවන බවත් වෛද්‍යවරු කිව්වා.එවැනි බරපතල සැත්කම් වලට ලක්වූ අය අතපය පන නැතුව,කතා කරගන්න බැරිව රෝහලේ ඉන්න හැටි දැක්කම මම සැත්කම කරන්න බය වුණා.මගේ කුඩා මොළය ආසන්නයේ තිබූ ගෙඩිය පිළිකාවක් බවට වෛද්‍යවරු නිර්ණය කළාට පස්සේ 2014 වසරේදී මාව මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කළා.එහිදී සැත්කම් දෙකකට මාව ලක්කළා.අධික වේදනාව දරා ගන්න බැරිව මම දොස්තර මහත්වරුන්ට කිව්වා මාව මරන්න කියලා.සියල්ල ඉවසා ගන්න බැරි තත්ත්වයට අවාට පස්සේ මම ගෙඩිය අයින් කරන සැත්කම කරන්න කැමැති වුණා.රේඩියෝ තෙරපි කරලා මගේ කොණ්ඩය ඔක්කම ගියා.දුව අම්මා ලගට යන්න ඕන කියලා අඩත්දීවත් මට දරුවා වඩා ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.මොකද රේඩියෝ තෙරපි කරලා කිරණ ශරීර ගතවෙලා හිටපු නිසා ඒක දරුවට හොද නැති බව දොස්තර මහත්වරු කිව්වා. සැත්කමෙන් පස්සේ මම මාස හතක් මහනුවර පිළිකා නිවස්නයේ හිටියා.’ ජූඩි පවසයි.

මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය ඒකකයේ අලෙවි මධ්‍යස්ථානය

‘මං ගෙදර ගියේ අවුරුදු දෙකක් රෝහලේ ඉදලා.සැත්කමෙන් මගේ කඩ හඬ වෙනස් වුණා. බැලන්ස් එක නැතිවුණා. අත්වාරු නැතුව ඇවිද ගන්න බැරිවුණා. ඇස් පෙනීම අඩු වුණා. මං ගෙදරට වෙලා කල්පනා කළේ දුවගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් හොයා ගන්න රස්සාවක් කරන්නේ කොහොමද කියලා. එතකොට මං දැක්කා මීතොට මුල්ල කුණු කන්ද කඩා ගෙන ගිහින් මිනිස්සු මැරිලා මහා ඛේදවාචකයක් වෙලා තියෙනවා. රටේ කුණු බැහැර කරන්න තැනක් හොයා ගන්න තැනක් නැතුව ලොකු ප්‍රශ්න වෙනවා මං දැක්කා. මං හිතුවා කුණු ගොඩේ ඇති මිනිස්සුන්ට නොපෙනෙන සම්පත්වලින් මට උඩට එන්න පුළුවන් කියලා. මං මගේ හිතවත් අය ඉවත දමන ප්ලාස්ටික් බෝතල්,රෙදි කෑලි,ටයර් කැබලි ඇතුළු ගොඩක් දේවල්වලින් විසිතුරු නිර්මාණ කරන්න පටන් ගත්තා. මට සිංහල,දෙමළ,මුස්ලිම් සියලු ජනතාව උදව් කළා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා මැලේ භාෂා කතා කරන්න මට පුළුවන් වුණා.මේ භාෂා දැනුම මට සෑම ජාතිකයකගේම ආදරය ලබා ගන්න ගොඩක් ඉවහල් වුණා. අමාරුවෙන් කළ නිර්මාණ ගමේ සීයා කෙනකුට දීලා ගෙන් ගෙට ගොස් අ‍ලෙවි කළා. ක්‍රමයෙන් මේ භාණ්ඩ අලෙවිය වැඩිවුණ නිසා මගේ අතට මුදල් ටිකක් ලැබුණා. මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමානාකරණ ඒකයේ නිලධාරින් හමුවි මගේ තත්ත්වය පැහැදිලි කළා.’

ඔවුන්ට ලැබෙන ඝන අපද්‍රව්‍ය රැගෙන නිර්මාණ කරන්නට පසුබිම ඒ ඔස්සේ උදාවුණ බවද ඇය පවසයි.

මහනුවර නගර සභාවේ ඝන අපද්‍රව්‍යය කළමණාකරණ ඒකකය මගින් පවත්වා ගෙන යන පුහුණු පාඨමාලාවට සහභාගිවී මෙම ශිල්පය උගත් පිරිස මේ වනවිට 1700 කට ආසන්න ය. කිසිදු මුදලක් අය නොකර පවත්වන මෙම පුහුණුව සම්පූර්ණ කර ඉවත ලන ද්‍රව්‍යවලින් නිර්මාණාත්මක විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට යොමුවූ පිරිසක් ද සිටිති. ඔවුන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම පිණිස නගර සභාව මගින් මහනුවර වැව රවුමේ විශේෂ අලෙවි කුටියක්ද ස්ථාපිත කර තිබේ.
‘මගෙන් මේ ශිල්පය සිංහල,දෙමළ,මුස්ලිම් සෑම ජාතියකටම අයත් පිරිස් ඉගෙන ගන්නවා.විශේෂ අවශ්‍යතා ඇති පිරිස් මෙන්ම අනතුරු වලින් ආබාධිතවූ අයත් ඉන්නවා.මගෙන් පුහුණුව ලබන කුඩාම දරුවාගේ වයස අවුරුදු 3 1/2 යි.වයස අවුරුදු 79 ක් වන අයෙකුත් මගෙන් මේ ශිල්පය පුහුණු වෙනවා.වකාකෝ කන්ඩා (Wakako Kanda) කියන ජපන් ජාතික කාන්තාව එයාගේ උපාධි නිබන්ධනය වෙනුවෙන් කළ ව්‍යාපෘති වාර්තාවට කළේ මගේ මේ වැඩපිළිවෙළ. දින 20 ක් එයා මාත් එක්ක ගත කළා. අන්තිමට එයා ගියේ සිංහලත් යම් මට්ටමකට කතා කරන්න ඉගෙනගෙනයි.

//

ජපන් ජාතික වකාකෝ කන්ඩා මහත්මිය සමඟ

මං අසනීප වෙන්න කලින් එම්බ්‍රොයිඩර් වැඩ කළා. සැත්කමෙන් පස්සේ ඒක කරන්න බැරි තත්ත්වයක් ඇති වුණ නිසා මේ වැඩේ පටන් ගත්තේ. මං අසනීප තත්ත්වයෙන් සිටියදී එය බාධාවක් කර නොගෙන ජීවත් වෙන්නට දරන උත්සහය දැකලා මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකොන් හා නාගරික යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක යන මහත්වරු මැදිහත් වෙලා මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කසල කළමනාකරණ ඒකය මගින් පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවලදී සිසු සිසුවියන්ට ඝන අපද්‍රව්‍ය ආශ්‍රිත නිර්මාණ කිරීමට පුහුණුව ලබා දෙන්න මා තෝරා ගත්තා.ඒ පිළිබඳව මං ඔවුන්ට ස්තූතිය පුද කරන්න කැමතියි.’